Print this Article


සමාධි සම්බොජ්ඣංගයට හේතුවන ධර්ම

සමාධි සම්බොජ්ඣංගයට හේතුවන ධර්ම

ලොකු කුඩා අප සැමගේ මතකය වර්ධනය කර ගැනීමටත්, එදිනෙදා කටයුතුවලටත්, නුවණ වැඩීමටත්, දුකින් එතෙර වීමටත් අවශ්‍ය වන සමාධිය හෙවත් සිතේ එකඟකම පිළිබඳ තුන්ලෝකාග්‍ර වු භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් සවිස්තර ව වර්ණනා කොට වදාළ සේක.

“ සමාධිං භික්ඛවෙ භාවෙථ . සමාහිතො භික්ඛවෙ භික්ඛු යථාභූතං පජානාති“

මහණෙනි, උපචාර - අර්පණා සංඛ්‍යාත සමාධිය වඩව. මහණෙනි, සමාධිමත් මහණ තෙම ඇත්ත ඇති සැටියෙන්, තත් වූ පරිද්දෙන් දනී.

කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, උද්ධච්ඡ කුක්කුච්ච, විචිකිච්ඡා යන පංච නීවරණ ධර්මයන්ගෙන් වෙන් ව, සිත එකඟ කර ගැනීම චිත්ත ඒකාග්‍රතාව සමාධිය යි.

සමාධි සම්බොජ්ඣංගය ඉපදවීමට හේතු වන ධර්මයෝ එකොළසකි.

වත්ථුවිසදකිරියතා.

අපිරිසිදු වූ මුඩු වූ, තෙල්, දුර්වර්ණ ව ගඩතොලු වී ඇති පහන් තැටිල්ල ද, අපිරිසිදු පහන් වැටි ද නිසා උපන් පහන් සිළුව අඳුරු දුර්වර්ණ වන්නාක් මෙන් අපිරිසිදු බාහිර අභ්‍යන්තර වස්තු නිසා උපන් සමාධිය ද පිරිහීමට පත් වේ. නුවණ ද අපිරිසිදු ය.

එමෙන්ම පිරිසිදු තෙල්. පිරිසිදු පහන් වැටි හා තැටිල්ල නිසා උපන් පහන් සිළුව දීප්තිමත් ව පිරිසිදු ආලෝකය පතුරුවන්නාක් මෙන්, බාහිර අභ්‍යන්තර පිරිසිදුකම නිසා ප්‍රඥාව ද නූපන් සමාධිය ඉපදීමටත්, උපන් සමාධිය වැඩි දියුණු වීමටත් හේතු වන විශිෂ්ට ධර්මයකි.

ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා.

ශ්‍රද්ධා, විරිය, සති සමාධි, පඤ්ඤා යනු ඉන්ද්‍රිය ධර්ම වෙති. ශ්‍රද්ධා - පඤ්ඤා, වීරිය - සමාධි එකකට එකක් අඩු වැඩි වීමට ඉඩ නොදී ඒ ඒ ඉන්ද්‍රියයන්ට තම තමන්ට අයත් කෘත්‍ය නිසි සේ කරන්නට ඉඩ ලැබෙන සේ සම බවෙහි තැබීම .

සතිය වනාහි අනෙක් ඉන්ද්‍රියයන් වන උද්ධච්ච පක්ෂයෙහි වූ ශ්‍රද්ධාව ද, වීර්යය, ප්‍රඥාව නිසා උඩගු බවෙහි වැටීමෙන් ද, අලස බවට පක්ෂ වූ සමාධිය හේතුවෙන් සිත අලස බවෙහි වැටීමෙන් ද, සිත රැක ගනියි. එහෙයින් සතිය සෑම තැන ම බලවත් ව තිබිය යුතුයි.

නිමිත්ත කුසලතා

නිමිත්ත කුසලතා නම්, චිත්ත ඒකාග්‍රතාවයට කාරණා වූ කසිණ පටිභාග නිමිත්ත ඉපදවීමෙහි දක්ෂ බව ය. ඉපද වූ කසිණ පටිභාග නිමිත්ත වැඩීමෙහි දක්ෂ බව ය, භාවනා වශයෙන් වඩා ගත් පටිභාග නිමිත්ත ආරක්ෂා කර ගැනීමෙහි දක්ෂ බව ය. යන ත්‍රිවිධ දක්ෂ භාවයන් අතුරෙන් රක්ෂණ කෞෂල්‍ය නිමිත්ත කුසලතා නම් වේ.

සමය චිත්තසස පග්ගණ්හණතා

යම් කලෙක යෝගාවචරයාගේ සිත හීන විර්යය නිසා හැකිළුණේ වී නම්, ධම්මවිචය - වීරිය- ප්‍රීති යන බොජ්ඣංගත්‍රය වැඩිය යුතුයි. එසේ වැඩීමෙන් සමාධිය නැවත උපදවා ගත හැකි ය.

සමයෙ චිත්තස්ස නිග්ගණ්හණතා

යම් කලෙක යෝගාවචරයාගේ සිත අධික විර්යය නිසා නොසන්සුන් වේ ද, පස්සද්ධි, සමාධි, උපේක්ඛා යන බොජ්ඣංගත්‍රය වැඩිය යුතුයි.

සමයෙ සම්පහංසනතා

යම් අවස්ථාවක, සිතෙහි යෙදුනු නුවණ මද බැවින් හෝ සිත එකඟ කිරීමෙන් හෝ ලැබිය යුතු උපසම සුඛය පහව යාමෙන් හෝ ආශ්වාද රහිත වේ ද, එකල්හි මහා සංවේග වස්තු අට නුවණින් කල්පනා කිරීමෙහි දක්ෂ බවට පමුණුවා, යළි බුද්ධාදී රත්නත්‍රය පිළිබඳ ගුණ සිහි කිරීමෙන් සිත පහන් කොට සිත සතුටු කිරීම. ජාති, ජරා, ව්‍යාධි, මරණ, අපාදුක. ඉකුත් ව ගිය සසර දුක ඉදිරියෙහි එන සසර දුක, ආහාර සෙවීම මුල් කොට පවතින දුක යන මේ අට මෙහි සඳහන් සංවේග වස්තු වෙති.

සමයෙ අජ්ඣුපෙක්ඛණතා

තවද සිත මැදිහත්ව බැලිය යුතු අවස්ථාව පැමිණි විට එසේ කිරීම අජ්ඣුපෙක්ඛණතාවය යි. උපමාවක් ලෙස, රථයෙහි යෙදූ අසුන් සම ව දුවන කල්හි, කෙවිටෙන් නො තලා, රථය නො හසුරුවා මැදහත්ව බලා සිටි රියදුරා මෙනි.

අසමාහිත පුග්ගල පරිවජ්ජනතා

යම්කිසි භාවනාවකින් සිත වසඟ කර නො ගත් පුද්ගලයාගේ ඇසුර නිවනට බාධාවකි. එබැවින්

අසමාහිත පුද්ගලයන් දුරු කිරීම

සමාහිත පුග්ගලසෙවනතා

උපචාර සමාධි ප්‍රාප්ත හෝ අර්පණා සමාධිප්‍රාප්ත පුද්ගලයන් කරා කලින් කල හෝ පැමිණ ඔවුන් සමග සාකච්ඡා පැවැත්වීම් ආදී වශයෙන් ඇසුරු කල යුතුයි. එබඳු සමාධි ලාභීන්ගේ ආශ්‍රයෙන් යෝගාවචර තෙම වහා සමාධිය දියුණු තියුණු කොට ගෙන සතර මාර්ගඥාන අවබෝධය කෙරෙයි.

ඣානවිමොක්ඛ පච්චවෙක්ඛණතා.

උපචාර සමාධි හෝ අර්පණා සමාධි ප්‍රත්‍යවේක්ෂාව

තදධිමුත්තතා.

මෙහි සඳහන් ඉඳීම්, සිටීම්, යාම්, ඊම් ආදී සෑම ඉරියව්වක දී ම සමාධි ඉපදවීමට නැමුණු, බර වූ සිත් ඇති බව. සමාධිය ලැබීමට ප්‍රායෝගික ලෙස උපදවා ගැනීමට හේතු වූ මෙම කරුණු සිත්හි ධාරණය කර ගෙන ගුරු ඇසුරේ ම සීලය පිරිසිදු කොට සමාධිය උපදවා එයින් දියුණුව විදර්ශනා වඩා, බුද්ධාදී මහෝත්තමයන් වහන්සේ විසින් වර්ණනා කරන ලද ජාත්‍යාදී සියලූම සංස්කාර දුකින් එතෙරව ලබන ශාන්ත සුන්දර අමාමහ නිවන් සැප සාදා ගැනීමට අපි උත්සාහවත් වෙමු.