Print this Article


සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යය අතීතයෙන් වර්තමානයට

සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යය අතීතයෙන් වර්තමානයට

ඇසළ පෙරහර මංගල්‍ය දෙස් විදෙස් නරඹන්නන්ගේ නෙත් සිත් ඇද බැඳ ගන්නා අසිරිමත් මංගල සම්මත පෙරහර මංගල්‍යයකි. මෙකී පෙරහර මංගල්‍ය මුලින් ම ආරම්භ වූයේ කිත්සිරිමෙවන් රජු (ක්‍රි.ව. 301-328) දවස දළදා වහන්සේ ලක්දිවට වැඩම වීමත් සමඟ ය.

එතැන් පටන් සියලු රජවරු, සතුරු ආපදා සම්පන්න අවස්ථාවල හැර, අන් හැම විට ම, දළදා පෙරහර චිරාගත සම්ප්‍රදායානුකූල ව නොකඩකොට මහත් බැතියෙන් පැවැත්වූහ.

පොළොන්නරු සමයේ මහා පරාක්‍රමබාහු රජු රජ ගෙදර පටන් යොදුනක් තැන් මඟ අතුල් තලයක් සෙයින් සමතලා කරවා සියලු සතුන්ගේ වැඩෙහි ඇළුණේ හැම තන්හි සිතියම් දරන්නා වූ ලෝකානන්දයට හේතු වු තොරන් කරවා ...... පුජාවට සුදුසු අන්‍ය වු දෙයින් ද, සරසා පෙරහර චමත්කාර ලෙස පැවැත්වීය.

සියලු ආභරණයන්ගෙන් සැරසුණු වීණා, වස් කුළල්, මෘදංග භේරීගත් ජනයා මහත් රූප ශෝභාවෙන් යුතු වූ නෘත්‍ය ගීත වාදනාදියෙන් පූජා කෙරමින්, පෙරහරෙහි ගමන් ගත්හ. ජත්‍ර, චාමර, ධජපතකාදිය රැගෙන යන්නෝ ද, ඇත්තු ද, අශ්වයෝ ද ගමන් කළෝ ය. රජු විසිතුරු ආභරණයෙන් සැරසී ඇතු පිට නැඟී ගමන් කළේ ය. මෙම පූජා පෙරහරේ මහිමයෙන් වැව් පිරී යන තරමට වර්ෂාව ද පතිත විය.

දඹදෙණි රාජධානියෙහි ද පෙරහර වාර්ෂික ව පැවැත්විණි. දෙවැනි පරාක්‍රමබාහු රජු දවස පෙරහර පැවති අයුරු වංශකතාවන්ගෙන් හෙළි වේ. යාපහුව රාජධානියේ ද ඇසළ පෙරහර අලි ඇතුන් විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් කොඩි, සේසත්, චාමර සහිත ව වීදි සංචාරය කළ බව කියැවේ.

කුරුණෑගල සමයෙහි රචිත දළදා සිරිත නමැති පොතෙහි සඳහන් ව්‍යවස්ථාවලට අනුව එවකට පෙරහර පැවති ආකාරය මෙසේ විස්තර වේ.

කුරුණෑගල සිව්වැනි පරාක්‍රමබාහු රජු දවස නගරය දෙව්පුරයක් සේ සරහා උතුරුඵමුඵ අයතැන් සිටිතැන් ගණවැසි, කිලිං දෙකුලයෙන් නිස්සන් සමඟ වැඩහුන් කරඬුුව ගඳකිලියෙන් මෑත් කොට විසිතුරු කොට සරහන ලද රථයෙහි භද්‍රාසනයට වඩා ගණවැසි කිලිං දෙකුලයෙන් දෙන්නකු කරඬුව වඩා යන ලෙස රථයට නැංවූහ. සුබ ලකුණෙන් යුත් මහා ඇතකු රථයෙහි යොදා ඒ රථය පළමු කොට ගමන් කරවා සුපිළිපන් මහ සඟන පිළිවෙළින් රථයෙහි බඳ පිරිත් හුය ගෙන පිරිත් කෙරෙමින් වැඩම කරවූහ......

දළදා සිරිතෙහි එන එම පෙරහර චාරිත්‍ර බොහෝමයක් අඛණ්ඩ ව අද දක්වාත් පැවත ගෙන එයි.

කුරුණෑගල රාජධානියේ සිට ගඟසිරිපුර රාජධානියටත්, එතැන් සිට කෝට්ටේ රාජධානියටත්, ඉන් අනතුරුව සිතාවක රාජධානියේ දෙල්ගමුව රාජමහා විහාරයටත්, දළදා වහන්සේ වැඩම වූ බව වංශකතාවල සඳහන් වේ. එකී රාජධානි තුළ ද චිරාගත සම්ප්‍රදායානුකුල ව ඇසළ පෙරහර මංගල්‍ය පැවැත්වු බව අනාවරණය කර ගත හැකි ය.

කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි.ව.1747 - 1781) දවස ක්‍රි.ව. 1753 දී දළදා පෙරහර පෙරටුකොට නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි සිව් මහා දේවාලය අනුපිළිවෙළට ගමන් ගන්නා ආකාරයට ඇසළ පෙරහර මංගල්‍ය පැවැත්වීම ආරම්භ විය. එතැන් සිට අද දක්වා ම මෙම පෙරහර මංගල්‍ය චිරාගත සම්ප්‍රදායානුකූ ල ව ශ්‍රී දළදා මාළිගාව පෙරටුකොට පැවැත්වේ.

ක්‍රි.ව. 1828 වැන්නේ සර් එඩ්වඩ් බාර්න්ස් ආණ්ඩුකාරතුමාගේ සමයේ දී ශ්‍රී දළදා වහන්සේ මහ පෙරහරින් බැහැරට වැඩම වු බව වාර්තාවේ. ඉන් අනතුරුව අද වනතුරු දළදා වහන්සේ ශ්‍රී දළදා මාළිගාවෙන් බැහැරට වැඩම වූ බවක් සඳහන් නොවේ. වර්තමානයේ මංගල හස්තිරාජයා පිට වැඩම වනුයේ සධාතුක ධාතූන් වහන්සේ වැඩසිටින පෙරහර කරඬුවයි. ශ්‍රී දළදා වහන්සේ වැඩමවීමක් එහිදී සිදු නොවේ.

වර්තමාන මහනුවර ඇසළ පෙරහරරේ පෙළගැස්ම 1753 කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස පැවති ආකාරයට සැකසී ඇත. දළදා මාළිගාවේ පෙරහර පෙරටු කොට නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිව් දේවාල ගමන් ගන්නා ආකාරයට පෙරහර සැකසුණේ එසමයේ සිට ය.

වර්තමාන ඇසළ පෙරහර මංගල්‍යයේ පෙළගැස්මේ විශේෂාංග කිහිපයක්

ආරක්ෂක රථය

පෙරහර ගමන් ගන්නා මාර්ගයෙහි ඉඩකඩ සලසා දීමත්, ආරක්ෂාව තහවුරු කිරීමත් මෙමඟිින් සිදුවේ.

කසකරුවන්

කස සකස් කර ගනුයේ හණ හෙවත් නියඳ පඳුරු තුළින් කපා ගත් හණ පත් ලෑල්ලක බැද හණ පතෙහි මතුපිට ගෑවිට මතුවන නූල් ගෙන, වේළා සකස් කර ගැනීමෙනි. අඩි 7ක් පමණ දිගට අග හීන් වන සේ අඹරා බැඳ ගන්නා කසය අල්ලා ගන්නා කොටස අතට පහසු වන සේ ලණුවලින් හෝ වෙනත් ද්‍රව්‍යයකින් බැඳ ගැනීම සිරිත ය.

පැරැණියේ දී රජ දරුවන් බැහැරට ගමන් ගන්නා විට රජු ඉදිරියෙන් කස පුපුරුවමින් යැම සිරිත විය. රජු එන මඟ ඉඩකඩ සලසා ගැනීමටත්, රජු ළඟ ළඟ එන බව ඇඟවීමටත් කසකරුවන් යොදාගන්නා ලදී. එම සිරිත බුද්ධ පුජා ම ය මංගල්‍යයන් හී දි පෙරහර ගමන් ගන්නා මාර්ගයෙහි ඉඩකඩ සලසා ගැනීමටත්, පෙරහර ළඟ එන බව සන්නිවේදනය කිරීමටත් කසකරුවන් යොදා ගැනීම සිදු වේ. අතීතයේ පෙරහර පැවැත්වීමේ එක් අරමුණක් වුයේ කලට වැසි ලබා ගැනීම ය. දළදා කරඬුුව දොරට වැඩීමේ දී වැස්ස ලැබෙන බවට විශ්වාසයක් පවතී. කස පිපිරවීම තුළින් වැස්සට පෙර දසත විහිදෙන විදුලිය කෙටීමේ හඬ හා ස්වරූපය සංකේතවත් කෙරේ.

ගිනිබෝලකරුවන්

පෙරහර ගමන් ගන්නා මාර්ගය දෙපස ආලෝකවත් කිරීමත්, මඟ හෙළි පෙහෙළි කර දීමත්, ළඟ ළඟ එන පෙරහරෙහි ආකර්ෂණය වර්ධනය කොට නරඹන්නන්ගේ නෙත් සිත් පැහැර ගෙන පෙරහර කෙරෙහි යොමු කරවා බුද්ධාලම්බන ප්‍රීතිය දැනවීමත් මෙමඟින් සිදු වේ.

බෞද්ධ කොඩි

බෞද්ධ ආගමික පෙරහරක් බව නිරූපණය කර දක්වයි.

මෙහිදී එක් ජාතික කොඩියක් ද රැගෙන යනු ලැබේ. එමඟින් මෙම පෙරහර ජාතික උත්සවයක් ද වන බව අඟවයි.

මීට අමතරව දිසා කොඩිය (රෙදි) රැගෙන යයි.

කඩු ගෙනයන්නෝ

පෙරහරට ආරක්ෂාව සැපයීම සංකේතවත් කරමින් පැරණි පෙරහර පෙළගැස්මේ සිට පැවත එන අංගයකි. පෙර රජ දවස රාජකීය හමුදාවේ කඩු ගත් හමුදාව මෙයට සහභාගි වුහ.

හස්තියකු පිට ගමන් ගන්නා පෙරමුණේ රාළ

මහනුවර රාජ සමයේ අවසාන භාගයේ එක්ව තිබූ අංගයකි. අලියකු පිට නැඟී යන මොහු නිලකරුවන්ගේ රාජකාරි වාර්තා, ශ්‍රී දළදා මාළිගාවේ දේපළ පිළිබඳ වාර්තා හා පෙරහර ගමන් ගන්නා මාර්ගය පිළිබඳ වාර්තා සහිත ලේකම් මිටිය සංකේතවත් කරමින් රිදී මංජුසාවක බහා රැගෙන යාම සිදු කරයි. මොහු සුදු තුප්පොට්ටියකින්, සුදු හැට්ටයකින් හා හිස් වැසුමකින් සැරසී සිටී.

හේවිසිකරුවෝ

දවුල්, තම්මැට්ටම්, හොරණෑව, තාලම්පට, කොම්බුව, හක්ගෙඩිය, ගෙජ්ජි යන වාද්‍ය භාණ්ඩ භාවිත කෙරේ. පුජා හා සන්නිවේදනයට විවිධ ගමන් පද වාදනය කරමින් ඉදිරියට ඇදී යන ඔවුහු පෙරහරේ චමත්කාරය වර්ධනය කරති. එසේම මොවුහු පෙරහරේ තේජස ද, ගාම්භීරත්වය ද වර්ධනය කරති. ශ්‍රී දළදා මාළිගාවේ හේවිසි පරම්පරා හතරම දවුල් කණ්ඩායමට ඇතුළත් වීම සුවිශේෂී ලක්ෂණයකි. දවුල් ගැසීමට පැරණියේ දී සමත්කම් දැක්වූවන් අතර වැල්ලේතොට පරපුර, මොළදණ්ඩ පරපුර, හේවාවිස්ස, උඩුවෙල, කහල්ල, උඩුපිහිල්ල යන පරපුර බෙහෙවින් දක්ෂ වූහ. එසේ ම මෙම පරම්පරා අතර මොළගොඩ, ඉහළවෙළ, මාලගම්මන වැනි පරපුර වර්තමානයේ දී ද ප්‍රසිද්ධියට පත්වී ඇත.

ගජනායක නිලමේ

රජතමය අංකුසයක් අතින් ගෙන අලියකු පිට ගමන් කරන මොහු ඇත් පන්තියේ නායකත්වය ගත් තැනැත්තා ලෙස පෙර සිට ම සංකේතවත් කෙරිණි. පුජාමය මංගල්‍යයන්හි අලි ඇතුන් සහභාගි වීම පැරැණි රජ කාලයේ සිට පැවත එන චාරිත්‍රයකි. විශේෂයෙන් වැසිබර මේඝය සංකේතවත් කර දැක්වීම අලි ඇතුන්ගෙන් ඉටු වේ. අනුරපුර, පොළොන්නරුව ආදී පැරැණි යුගවල අලි ඇතුන්ට අමතර ව, අසුන් ද පෙරහරට සහාගි කරවා ගත් බව දක්නට ලැබේ.

හොරණෑ වාදකයෝ

දේශීය පංච තූර්ය වාදනයේ සුසිර කොටසට අදාළ ව මිහිරි නාදයක් උපදවන නළා විශේෂයක් වශයෙන් හොරණෑව සුවිශේෂ ය. හේවිසි වාදනයේ දී ද හොරණෑව යොදා ගනී. 2006 වසරේ සිට ශ්‍රී දළදා මාළිගාවේ පෙරහරට අලුතින් එක් කළ අංගයකි. ජයමංගල ගාථා, ගජගා වන්නම ඇතුළු භක්තිය ප්‍රකාශ වන විවිධ නාද මාලා මෙම හොරණෑ වාදන කණ්ඩායම භාවිතයට ගෙන ඇත.

චාමර නැටුම

ශ්‍රී දළදා වහන්සේට සහ රජවරුන් ඇතළු ප්‍රභුන්ට පවන් සැලීම සඳහා චාමරය යොදා ගෙන ඇත. එම කාර්යය විදහා දක්වමින් පසු කාලයක රාජ සභා නර්තනයක් වශයෙන් චාමර නැටුම සංවිධාන වී ඇත. මෙවලමක් අතැති ව නර්තනයේ යෙදෙන නිසා මෙය ගැමි නැටුමක් ලෙස ද හැඳීන්වීමට හැකි ය. එහෙත් මේ සඳහා යොදාගෙන ඇති ගායන සහ චලන දෙස බලන විට ගැමි නැටුමක් වශයෙන් හැඳීන්වීමට නොහැකි ය. කෙසේ වුව ද හුදු විනෝදය සඳහා සරල බෙර පද හා නර්තන ඇසුරු කර ගනිමින් නිර්මාණය වී ඇති චාමර නැටුම මෙම පෙරහරේ සුවිශේෂ තැනක් ගනී.

ලී කෙළි කණ්ඩායම

ඉතා සරල නැටුම් විශේෂයකි. ගෝත්‍රික නැටුම්වලින් ශේෂ වූ නර්තන අංගයකි. සරල බෙර පද, සරල කවි, රංග රටා හා සරල චලන යොදා ගනිමින් තාලානුකූල ව ලී එකිනෙක ගට්ටනය කරමින් නිර්මාණය වූ ගැමි නැටුම් අංගයකි. උඩරට නැටුම් සම්ප්‍රදායානුකූල ව සකසා ගෙන ඇති මෙම නර්තන කාර්යයේ දී පැරණියේ දී සමත්කම් දැක්වුන් අතර, උඩුවෙල, පරණගම, දූල්වල, පරපුර ප්‍රධාන තැනක් ගනී.

පන්තේරු කණ්ඩායම

උඩරට නර්තන සම්ප්‍රදායේ විශේෂ වූ නර්තන අංගයකි. සූවිසි විවරණ, සත්සතිය, පන්සාළිස්වස වැනි නර්තන අවස්ථා පන්තේරු නැටුමෙන් වර්ණවත් වී ඇත. පත්තිනි දේවියන්ගේ සළඹ අනුසාරයෙන් පන්තේරුව සැකසී ඇති බව ප්‍රකට මතයකි.

ගැටබෙරය හෙවත් උඩරට බෙරය මෙහිදී වාදනය සඳහා යොදා ගනී. උඩරට නර්තනයට අදාළ ව සුවිශේෂ කුසලතා දක්වමින් නර්තනයේ යෙදීම පන්තේරු නැටුමේ විශේෂ ලක්ෂණයකි. හිස බඳින රෙද්ද කර වට බඳින සුරය, කඩුක්කන්තෝඩු, වළලු, පිජාමාව, අදින රෙද්ද, පච්චවඩම, සිලම්ඹු, කළුලේන්සුව, හවඩිය ඇඳුම් ආයිත්තම් අතර දක්නට හැකි ය.

අතීතයේ දී ඌරුපොල, වේරකේ, අලපලාවල, බූටාවත්ත, බටුගොඩ, මැදගොඩ, කඩිගමුව, බටගල්ල, පාතහේවාහැට පරපුර නම් දැරූහ.

තාලම් කණ්ඩායම

ගැමි නැටුම් විශේෂයකි. තාල වාද්‍ය භාණ්ඩයක් වන තාලම්පට අත ඇති ව, සරල නැටුම් හා ඒ සඳහා නියමිත ගායනා යොදා ගනිමින් ගැට බෙරයේ වාදනයට අනුව සකස්වී ඇති සරල නැටුම් අංගයකි.

හවඩි දඟය

ලී කෙළි නැටුමෙන් වර්ධනය වූ චමත්කාර නැටුම් අංගයකි. මෙහි විශේෂත්වය වනුයේ ලී කෙළි නැටුමට යොදා ගන්නා පොලු සහ ලණු යොදා ගනිමින් අලංකාර රටා වියමනක් නිර්මාණය කිරීමයි. කණ්ඩායම වටේට නටමින් මැද කණුවක් යොදා ගනිමින් ඒ වටා රටා ගෙතීම සහ එම ගෙතීම නැවත ආපසු යථා පරිදි නිදහස් කිරීම නර්තනයේ යෙදෙමින් ම කෙරෙන සුවිශේෂ කාර්යයකි. මෙය ද, ගැමි නැටුම් අංගයකි.

නෛයියංඩි කණ්ඩායම

හිසවෙස් ආභරණ රහිත ව නෛයියංඩි රංගාභරණයෙන් සැරසුණු ප්‍රවීණ ශිල්පීන් විසින් ඉදිරිපත් කරන උඩරට සම්ප්‍රදායික නැටුමකි. ගැටබෙරය වාදනය සඳහා යොදා ගන්නා අතර, උඩරට නැටුමට අදාළ වූ කවි ගායනා යොදා ගනී. (කණ්ඩායම් දෙකකි) උඩරටට ආවේණික නැටුම් විශේෂයකි. වෙස් නැටුමට පෙරාතුව හැදෑරිය යුතු නැටුම් විශේෂයකි. වෙස් නැටුමට පෙර කළඑළි රංගනයට ද යොදා ගනී. අවුල් හැරය, බන්ඩි වළලු, උරබාහුව, සිලම්බු, රැළි මන්තය, යට කලිසම, අටිරියක අඳින රෙද්ද, පච්චවඩමල ආදියෙන් ඇඳුම් ආයිත්තම් සමන්විත වේ. අතීතයේ වෙස් නැටුමට සමත්කම් දැක්වූයේ නාරම්පනාව, ඇලඔටුව, ගල්දොල යන පරපුර ය. උඩරට නර්තන සම්ප්‍රදායට අදාළ නර්තන අංගයකි.

කඩු සරඹ

කඩු සරඹ පදනම් කර ගනිමින් ජන නැටුමක් වශයෙන් ජනප්‍රිය වූ නර්තන අංගයකි. ප්‍රශස්ති සහ හටන් ගී මෙහි ගායනා වශයෙන් යොදා ගනී.

පන්තේරු නැටුම

අත් රබන්

ශ්‍රී ලංකාවේ රබන් වාදන අතර, මහ රබන්, අත් රබන් සහ විරිදු රබන් වශයෙන් කොටස් තුනකට වෙන් කළ හැකි ය. මෙහි අත් රබන් කොටසට අයත් ව අතින් වාදනය කරමින්, රබාන කරකවමින්, සුවිශේෂ වූ ශිල්ප දක්වමින්, උඩ දැමීම, දෑත් වටා කර කැවීම ආදී ශිල්ප දැක්වීම මෙහි වැදගත් ලක්ෂණයකි. රබන් වාදනයට අදාළ කවි ගායනා සහ ප්‍රශස්ති ගායනා යොදා ගනී. යට කලිසම මඳක් ඉහළින් අදී, දුඹුරු පාට රෙද්ද, මන්තය, අවුල් හැරය කඩුක්කන්, සිලම්ඹු, ඇඳුම් පැළඳුම් වශයෙන් භාවිත කෙරේ.

තාලං නැටුම

පන්තේරු නැටුම

වේවැල් නැටුම

වේවැල් අතින් ගෙන රංග රටා නිර්මාණය කරමින් රංගනයේ යෙදෙන විශේෂිත වූ ගැමි නැටුමකි. මෙහි නැටුමට වඩා ආකර්ෂණීය වූ රංග රටා සමූහයකින් යුක්ත ය. දික්වූ වේවැල් කෙළවර අල්ලාගෙන කණ්ඩායමේ එකිනෙකා මාරු වෙමින් ප්‍රේක්ෂක සිත් ඇද ගනිමින් රංගනයේ යෙදේ. ගායන හා වාදන සඳහා විශේෂ තැනක් හිමි නොවේ.

උඩැක්කි නැටුම

ආතත භාණ්ඩයක් වන උඩැක්කිය අතින් ගෙන, එක් අතකින් වාදනය කරමින්, බුදු ගුණ ගයමින්, එයට ම ආවේණික වූ රංග වස්ත්‍රාභරණයකින් සැරසී, සරල නැටුමක් ඉදිරිපත් කිරීම මෙහි විශේෂත්වයයි. පෙරහර අංගයක් වශයෙන් සැකසීමේ දී විශේෂිත වූ රංග රටා යොදා ගනිමින් අත් වාරු ආදිය ඇති ව වාදනයේ යෙදෙමින් රංගනයේ යෙදේ.

නෛයියංඩි කණ්ඩායම

කඩු නැටුම්

තම්මැට්ටම් වාදන

පංච තූර්ය වාදන භාණ්ඩයක් හා හේවිසි වාදන භාණ්ඩයක් වශයෙන් විශේෂ තැනක් ගන්නා තම්මැට්ටම පමණක් යොදා ගනිමින් ඉදිරිපත් කරන වාදන කණ්ඩයකි. 2006 වසරේ සිට මෙම පෙරහරට අලුතින් එක්කළ ඉතා වැදගත් වූත්, ශාස්ත්‍රීය වශයෙන් වටිනාකමකින් යුතු වූත් දක්ෂ වාදන කණ්ඩායමකි. තම්මැට්ටම් වාදනය සඳහා උඩුනුවර, ඇරව්වාවල, හේවාවිස්ස, යකාවෙල, රිදීගම යන පරපුර නම් දරා සිටියහ.

රබන් රංගන

පන්තේරු නැටුම

පතුරු නැටුම්

ලී පතුරක් අතැති ව නටන ගැමි නැටුමකි. නැටුමට ආවේණික කවි ගායනා සහ වාදන යොදාගෙන ඇත. ගැමි නැටුමක් වශයෙන් ප්‍රචලිත වූ පතුරු නැටුම විචිත්‍ර වූ රංග රටා හා චලන යොදා ගනිමින් තාලයට අනුව අත් හා පාද සමඟ ඝට්ඨනය කරමින් නර්තනයේ යෙදෙන නිර්මාණාත්මක නර්තන අංගයකි.

උඩැක්කි නැටුම

වෙස් කණ්ඩායම

උඩරට නැටුමේ මුදුන්මල්කඩ වූ වෙස් නැටුම ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශයන්හි ද ප්‍රචලිත නැටුම් විශේෂයකි. ප්‍රවීණ ශිල්පීන් විසින් මෙම නැටුම ඉදිරිපත් කෙරේ. උඩරට නැටුමට අදාළ කවි ගායනා කරමින් ප්‍රවීණ වාදන ශිල්පීන්ගේ බෙර වාදනයට අනුව ඉදිරිපත් කරන මෙම වෙස් නැටුම ශ්‍රී දළදා කරඬුව සහ දියවඩන නිලමේතුමා ඉදිරියේ කණ්ඩායම් දෙකක් වශයෙන් රංගනයේ යෙදේ. මහනුවර ඇසළ පෙරහරේ සුවිශේෂම වූ මෙන් ම ගෞරවාදරයට පාත්‍රවූ නර්තනය වන්නේ ද උඩරට වෙස් නැටුමයි. මෙම නර්තන අංගය මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට එක්වී ඇත්තේ ක්‍රි.ව. 1919 සිට බව කියැවේ.

කාරිය කරවන කෝරාළ

ඔහුට අයත් කාර්යය අතර වැඩමවන පෙරහර කරඬුුව භාරව ගමන් කිරීම වැදගත් රාජකාරියක් වශයෙන් සැලකේ. සුදු තුප්පොට්ටිය, සුදු හැට්ටය හා හිස් වැසුම ඔහුගේ නිල ඇඳුමයි.

නාගසිංහම්

නානුමුර මංගල්‍ය හා විශේෂ උත්සව මංගල්‍යයන්හි දී ශ්‍රී දළදා මාළිගාවේ සිදු කෙරෙන වාදන අතර මෙය ද වැදගත් තැනක් ගනී. නාගසිංහම්, තබ්බෝරුව, උඩැක්කිය, කයිතාලම ඔවුන්ගේ වාද්‍ය භාණ්ඩයි. මෙය හින්දු බලපෑම තුළින් සකස් වූවක් ලෙස කල්පනා කරති.

උඩු වියන් සහිත පාවඩ මතින් කරඬුුව වඩමවන මංගල හස්ති රාජයා සමඟ දෑලේ ඇතුන් දෙදෙනා පෙරහර කරඬුුව වැඩමවන හස්ති රාජයා වශයෙන් වසර පනහක් පමණ තිස්සේ අද ජාතික උරුමයක් බවට පත්ව ඇති රාජා ඇතා යොදා ගන්නා ලදී. ඉන්පසු බොහෝ විට වසරින් වසරට වෙනත් ඇතුන් මේ සඳහා යොදා ගෙන ඇත.

බෞද්ධ කොඩි 02 රැගෙන යාම

කවිකාර මඩුව

ශ්‍රී දළදා මාළිගාවේ කවිකාර මඩුව මෙයට සහභාගි වේ.

මල් පහන් ගෙනයන්නෝ

මෙය ද පැරැණියේ පවතින චාරිත්‍රයකි. මෑත අතීතයේ දී නැවත ඇති විය.

වෙස් නැටුම්

දියවඩන නිලමේතුමා

ක්‍රි. ව. 1814 සිට ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේවරු 19 දෙනකු නිල කාර්යයෙහි යෙදී ඇති අතර, 19 වැනි දියවඩන නිලමේවරයා වශයෙන් ප්‍රදීප් නිලංග දෑල මෙවර පෙරහරට ද සහභාගි වේ.

දෙපස මුරායුධකරුවන් හා මුතුකුඩය බුරුම කොඩි 02ක්

ගම් දහයේ විදානේවරු

අතීතයේ දී විදානේවරු 09 දෙනකු සහභාගි වූ අතර, වර්තමානයේ දී 13 දෙනකු සහභාගි වෙති. මොවුහු නිල ඇඳුමින් සැරසී දියවඩන නිලමේතුමාට පසු පසින් ගමන් කරති.

මෙතැන් සිට දළදා මාළිගාව පෙරහරට පසු නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි සව්මහා දේවාලවල පෙරහර අනුපිළිවෙළට ගමන් කෙරෙනු ඇත.

සිව්මහා දේවාල පෙරහර

නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිව් මහා දේවාලයන්ගෙන් නාථ, විෂ්ණු, පත්තිනි දේවාල තුන ශ්‍රී දළදා මාළිගාව ආසන්නයේ පිහිටා ඇති අතර, මහනුවර ශ්‍රී කතරගම දේවාලය කොටුගොඩැල්ල වීදියේ නගරය මධ්‍යයේ පිහිටා ඇත. මෙයින් නාථ හා පත්තිනි දේවාල දෙක දළදා මාළිගා චතුරශ්‍රය තුළ ප්‍රාකාරයකින් වටවී තිබෙනු දැකිය හැකි ය. ශ්‍රී දළදා මාළිගාවේ සතර මංගල්‍යයන්හි දී මෙම සිව් මහා දේවාලය ද වැදගත් වේ. විශේෂයෙන් 1753 වර්ෂයෙන් පසු කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස සිට වර්තමානය දක්වා ශ්‍රී දළදා මාළිගාව පෙරටු කොට මෙම දේවාල හතර නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන අනුපිළිවෙළට පෙරහරේ ගමන් කරනු දක්නට ලැබේ.

ශ්‍රී නාථ දේවාලය

ඇසළ පෙරහර මංගල්‍යයේ පෙළගැස්ම අනුව ශ්‍රී දළදා මාළිගාවේ පෙරහරට පසුපසින් ගමන් කෙරෙන පළමු දේවාල පෙරහර නාථ දේවාලයේ පෙරහරයි. නාථ දේවාලය කැපවී ඇත්තේ මතු බුදුවන නාථ දෙවියන් වෙනුවෙනි. මෙම දේවාලයේ පෙරහර පෙළගැසෙනුයේ ද දළදා මාළිගාවේ පෙළගැස්මට බොහෝ සෙයින් සමානව ය.

විෂ්ණු දේවාලය

ඇසළ පෙරහරෙහි ගමන් ගන්නා දේවාල පෙරහර අතර දෙවනුවට ගමන් කරනුයේ විෂ්ණු දේවාලයේ පෙරහරයි. ගුරුළු වාහනාරුඪ ව, දස අවතාරයෙන් පෙනී සිටිමින් සියලු ලෝ සතුන්ට සෙත් ශාන්තිය සලසන, මතු බුදු බව පතන, බුද්ධ ශාසන භාරධාරී ආරක්ෂාව සලසන විෂ්ණු දෙවියන් වෙනුවෙන් මෙම දේවාලය කැප කොට ඇත.

කතරගම දේවාලය

14 වැනි සියවසේ දී පමණ ආරම්භ වූ බව සැලකෙන මහනුවර කතරගම දේවාලය 16 වැනි සියවසේ දී වඩාත් ජනප්‍රිය විය. මෙම දේවාලය ස්කන්ධකුමාර හෙවත් කතරගම දෙවි නමින් කැපවී ඇත.

පත්තිනි දේවාලය

ශ්‍රී දළදා මාළිගා චතුරස්‍රයේ පිහිටුවා ඇති පැරණි ගොඩනැඟිලිවලින් එක් ගොඩනැඟිල්ලක් වශයෙන් පත්තිනි දේවාලය ද සැලකේ. පති භක්තිය රැකි උත්තම කාන්තාවක් ලෙස පුජෝපහාරයට පත්වන පත්තිනි දේව මැණියන් සත් වාරයක් ඉපදී ඇතැයි, ජනප්‍රවාදයන්හි දැක්වේ.

පත්තිනි දේවාලයේ පෙරහර ඇසළ පෙරහරේ අවසානයට ගමන් ගන්නා දේවාල පෙරහරයි. මෙම දේවාල පෙරහරේ වැඩමවන ඇතා පිට බැඳී රන්සිවිගෙය තුළ තැම්පත් කර තිබෙනුයේ පත්තිනි දේව මෑණියන්ගේ රනින් නිමවු කුඩා ප්‍රතිමා වහන්සේ නමකි.