අකීකරු
සිත
හීලෑ කරමු
ශාස්ත්‍රපති
බොරලුගොඩ ඉන්දරතන හිමි
මනස හෙවත් සිත අපූරු ශක්තියකි. කාම, රූප, අරූප භවයේ සැරිසරන මේ සිත සියල්ල අබිබවා
පෙරමුණට එයි. කය ක්‍රියා කරන්නේ සිත කියන ආකාරයට ම ය. සිතට ඈත දුර ගමන් කිරීමේ
බලයක් ඇත. මිනිසා තිරිසන් සතකු බවට පත් කරන්නේත්, නැති නම් දෙවියකු, බ්‍රහ්මයකු බවට
පත් කරන්නේත් මේ සිත විසිනි.
මනස සියලු ධර්මයන්ට මුල්වෙයි. මනස ම ශ්‍රේෂ්ඨ වෙයි. මනසින් ම සැදුණේ වෙයි. දූෂිත වූ
සිතින් යමක් කියයි ද, කරයි ද එහි විපාක දුකක් ලෙස ඒ පුද්ගලයා පසුපස එයි. ගැල බැඳී
ගොනුන් පසුපස ගැල් රෝදය එන්නාක් මෙනි.
කෙලෙස්වලින් දූෂිත වූ සිත අභිධ්‍යා හෙවත් දැඩි ලෝභයෙන් ද, ව්‍යාපාද හෙවත් දැඩි
ක්‍රෝධයෙන් ද, මිථ්‍යා දෘෂ්ටි හෙවත් වැරැදි මතවාදවලින් ද පිරී ඇත. එවැනි පුද්ගලයන්
එදත්, අදත් කවදත් මේ සමාජය තුළ දක්නට ලැබේ. ඔවුහු දහමට, යහපතට, සදාචාරයට එරෙහි වූවෝ
වෙති.
එවන් පුද්ගලයන් තම දූෂිත වූ සිතින් කරන කතාව බොරුවෙන්, පරුෂ වචනයෙන්, කේලමෙන්, හිස්
වදනින් යුක්ත ය. එමෙන්ම සොරකම, ප්‍රාණඝාතය, කාම මිථ්‍යාචාරය වැනි අසත් ක්‍රියාවලින්
දූෂිත වේ. ඔවුන් විසින් සිදු කරන්නා වූ එම කර්ම, විපාක බවට පත් වී සසර පුරා ම
ඔවුන්ගේ ජීවිත දුගතිවලට ගෙන යයි.
කරන කලට පව් මිහිරිය මී සේ
විඳීන කලට දුක් දැඩි වෙයි ගිනි සේ
යනුවෙන් ලෝවැඩ සඟරාව ලියූ වීදාගම හිමියෝ ප්‍රකාශ කරන්නේ පව් කරන විට සතුටෙන්,
විනෝදයෙන් කළත් විපාක විඳීන විට ගිනි ගොඩක දැවෙන, පිච්චෙන දුකක් විඳීන්නට සිදුවන බව
ය.
කෙසේ වුව ද සසර ගමනේ දී මිථ්‍යා දෘෂ්ටිගත ව සිදුකළ පාප කර්මවලින් නිදහස් වීම ඉතා
අසීරු ය. රහත් මඟඵල ලැබූවත් පාප කර්මවල දරුණු විපාකයෙන් ගැලවීමට නොහැකි බවට සාධක
ධර්මයේ බොහෝ සෙයින් සඳහන් ව තිබේ. ඒ සඳහා හොඳ ම නිදසුනකි, චක්ඛුපාල රහතන් වහන්සේගේ
කතා ප්‍රවෘත්තිය.
චක්ඛුපාල හාමුදුරුවෝ පැවිදි වූයේ මැදි වියේ දී ය. බුදුරදුන්ගෙන් බණ අසා, ජීවිතය ගැන
කලකිරී පැවිදි වූ උන්වහන්සේ තමා ග්‍රන්ථ ධුරය පිරීමට අපහසු බව පවසා, විදර්ශනා ධුරය
පිරීම සඳහා ශාස්තෘන් වහන්සේගෙන් කමටහන් ගෙන සැවැත් නුවරින් ඈත දුර බැහැර ගමක්
ආශ්‍රිත ආරණ්‍ය සේනාසනයකට ගියහ. උන්වහන්සේ සමඟ තවත් භික්ෂු පිරිසක් ද වැඩම කළහ.
ගම්වැසි පිරිස මෙම භික්ෂූන් වහන්සේට සේනාසන සපයා දී ගමට වැඩිය විට දානය, ගිලන්පස
ආදිය පූජා කළහ. වස් කාලයක් වූ බැවින් මේ භික්ෂු පිරිස තම ආධ්‍යාත්මික දියුණුව
අපේක්ෂාවෙන් වීරියෙන් සම්පූර්ණ කාලය ම භාවනාවෙහි යෙදෙන්නට තීරණය කළහ.
චක්ඛුපාල තෙරුන් වහන්සේ ද නිදි නොලබා භාවනා කළහ. උන්වහන්සේට මාසයක් පමණ ගතවන විට
ඉතා දරුණු ඇස් රෝගයක් වැළඳුණේ ය. මේ බව දැන ගත් ගම්වැසි දක්ෂ වෛද්‍යවරයෙක්
උන්වහන්සේට ඉතා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලබා දුන්නේ ය. එම බෙහෙත නියම ආකාරයෙන් භාවිත කරන
ලෙස ද උපදෙස් දුන්නේ ය.
නමුත් චක්ඛුපාල තෙරුන් වහන්සේ වෛද්‍ය උපදෙස් පරිදි ඖෂධ භාවිත නොකළ බැවින් වස් කාලය
අවසානය වෙද්දී උන්වහන්සේගේ ඇස් දෙක අන්ධ විය. කෙසේ වුව ද ඒ හා සමඟ ම ශුෂ්ක විදර්ශක
රහත් භාවයට ද පත් විය. අනෙක් භික්ෂූන් වහන්සේ සිව් පිළිසිඹියා පත් රහතන් වහන්සේ බවට
පත් වූහ. පසුව මේ පිරිස සැවැත් නුවරට වැඩම කොට බුදුරජාණන් වහන්සේ හමුව තමන් ලැබූ
ආධ්‍යාත්මික දියුණුව ගැන බුදුරජාණන් වහන්සේ දැනුවත් කළහ. එමෙන් ම චක්ඛුපාල තෙරුන්ගේ
ඇස් අන්ධවීමේ පුවත ද සඳහන් කළහ. ඊට හේතු විමසා සිටි කල්හි බුදුරජාණන් වහන්සේ
චක්ඛුපාල තෙරුන්ගේ පෙර ආත්මභාවයක සිදු වූ සිදුවීමක් ගෙනහැර දක්වා උන්වහන්සේ මේ ආත්ම
භාවයේ දී රහත් ඵලයට පත් වූවත්, එම අතීතභවයේ සිදුකළ පාප කර්මය විපාක දීමෙන් ඇස් අන්ධ
වූ බව වදාළහ.
එම පුවත මෙසේ ය.
චක්ඛුපාල තෙරුන් වහන්සේ පෙර ආත්ම භවයක දක්ෂ අක්ෂි වෛද්‍යවරයෙකි. එක්තරා කාන්තාවක්
ප්‍රතිකාර ලබා තම ඇස් දෙක සුව වූ නමුත් වෛද්‍යවරයාට ගෙවන්නට සිදු වේ යැයි ලෝභ උපදවා
ගෙන තම ඇස් සුව නොවූ බව ප්‍රකාශ කළා ය. කෙසේ වුව ද තම බෙහෙත පිළිබඳ දැඩි
විශ්වාසයෙන් සිටි වෛද්‍යවරයා කාන්තාව කියන්නේ බොරු බව දැන ඇයට පාඩමක් ඉගැන්වීමට
සිතා විෂ ඖෂධයක් සකස් කොට ඇස් දෙකට දමන්නට කියා දුන්නේ ය. එම බෙහෙත ලද කාන්තාව සුව
වී ඇති ඇස් දෙක තවත් සුවපත් වේ යැයි සිතා එම විෂ බෙහෙත ඇස්වලට දැමුවා ය. සිදු වූයේ
ඇගේ ඇස් දෙක අන්ධවීම ය.
වෛද්‍යවරයා ද්වේශ සහගත සිතින් පළිගැනීම සඳහා සිදුකළ මෙම පාපී ක්‍රියාව ඔහුගේ මුළු
සසර ගමන ම දුකට පත් කළේ ය. රහත් භාවයට පත් වූ මෙම ආත්ම භාවයේදීත් එම කර්ම විපාකය
ඔහුට ලැබුණු අතර, ඒ අනුව ඇස් දෙක ම අන්ධ විය. භවයෙන් වැසී තිබුණු මෙම ප්‍රවෘත්තිය
භික්ෂූන් වහන්සේ අබියස ගෙනහැර දැක්වූ බුදුරජාණන් වහන්සේ “මනෝ පුබ්බංගමා” යන
ගාථාවෙන් දහම් දෙසූ සේක. බණ ඇසූ බොහෝ දෙනා මඟඵල ලැබූ බව සඳහන් වේ.
මනස හෙවත් සිත අපූරු ශක්තියකි. කාම, රූප, අරූප භවයේ සැරිසරන මේ සිත සියල්ල අබිබවා
පෙරමුණට එයි. කය ක්‍රියා කරන්නේ සිත කියන ආකාරයට ම ය. සිතට ඈත දුර ගමන් කිරීමේ
බලයක් ඇත. මිනිසා තිරිසන් සතකු බවට පත් කරන්නේත්, නැති නම් දෙවියකු, බ්‍රහ්මයකු බවට
පත් කරන්නේත් මේ සිත විසිනි. සිත එතරම් ම බලසම්පන්න ය.
සිත එක අරමුණක රඳවා තබා ගැනීම අතිශය දුෂ්කර ය. සිත එතරම් ම අකීකරු වස්තුවකි.
අරමුණෙන් අරමුණට ක්ෂණයකින් මාරු වෙයි. බුදුන් වහන්සේ අපගේ සිත කුළු හරකකුට උපමා
කළහ. සිත නිතර ම විසිර යන ගතියෙන් යුක්ත ය. අළු ගොඩකට ලීයකින් පහර දුන් විට අළු
විසිරෙන්නේ යම් සේ ද, සිත නිතර විසිර යන ස්වභාවයෙන් යුක්ත ය. සිත වරෙක පිනට නැඹුරු
වෙයි. නැවත වරෙක පවට නැඹුරු වෙයි. වඩාත් ම නැඹුරු වන්නේ පවට ය. ඒ සසර පුරුද්ද නිසා
ය.
සාමාන්‍යයෙන් සිත කුසලයට යොමු කර ගැනීම අපහසු ය.
ඒ සඳහා ද සසර යහ පුරුද්ද අවශ්‍ය ය. එසේ වුව ද මේ අකීකරු සිත කීකරු කර ගත්විට ඊට වඩා
බලවත් ශක්තියක් නොමැති තරම් ය. එසේ සිත හීලෑ කර ගත යුතු ආකාරය දහමේ දේශිත ය. ඒ
භාවනාව යි. මේ නො සන්සුන් සිත සමථ භාවනාවෙන් හෝ විදර්ශනා භාවනාවෙන් හෝ අරමුණුගත කොට
අරමුණෙහි එක්තැන් වූ සිත වැඩීමෙන් සිත තුළ අනාදිමත් සසර ගමනක ඇලී බැ¼දී තිබූ කෙලෙස්
ධර්මයන් සහමුලින් ගලවා දමා සියලු ඇලීම් බැඳීම්වලින් නිදහස් කර ගත් විට නිවන
සාක්ෂාත් කර ගත හැකි ය. එය අපගේ පරම අපේක්ෂාව යි. |