|

ගැඹුරු දහම
සරලව දකිමු
ආචාර්ය
මිරිස්සේ ධම්මික නා හිමි
දැනුම, ආකල්ප, කුසලතා ඤාත, තීරණ, පහාන ආසව නම් කෙලෙස් ය. ආශ්‍රැතවත් පෘථග්ජන
පුද්ගලයාගේ සිතෙහි මෙම කෙලෙස් පැසවමින් පවතී. මද්‍යසාරයක් මෙන් පල්වෙමින් වැගිරේ.
කෙලෙසුන් නිසා ද මුලාව සහ ප්‍රමාදය ඇති වේ. මුළාව නම් වූ මෝහය නිසාම රාගාදි
අකුසලයන්ට මූලෝත්පත්ති සැකසීමත් කුසලයන්ට යොමුනොවීම නම් වූ ප්‍රමාදයත් සිදු වෙයි.
දුක්ඛ දෝමනස්සයන්ගෙන් පිරුණු සසර මඟ කෙටි කර ගැනීමට නම්, විදර්ශනා ඥාන, ශක්තියෙන්
යුතු නුවණ දියුණු කළ යුතු ය. මේ සඳහා දාන, සීල, භාවනා මඟ උපකාර කර ගත යුතු ය.
එනමුත් තම සිතෙහි පැසවන රාගාදී කෙලෙස්වල දුරුවීම අවශ්‍යම ය. මේ සඳහා උපකාරී වන ධර්ම
පරියායක් භාග්‍යවතුන් වහන්සේ විසින් මජ්ක්‍ධිම නිකායේ සබ්බාසව සූත්‍ර දේශනාවේ දී
පැහැදිලි කොට පෙන්වා ඇත. එහිදී මෙසේ දේශනා කොට තිබේ. එනම් මේ සඳහන් කරුණු ධර්ම
මාර්ගය ගැළපෙන්නේ යෝනිසෝ මකසිකාරයත්, අයෝනිසෝමනසිකාරයත් යන දෙක දැන ගන්නා වූ ද,
නුවණැසින්, දැකගන්නා වූ ද පුද්ගලයාට බවයි. ඔහුට හෝ ඇයට හෝ සසර දිගු කරන ආශ්‍රව
හෙවත් කෙලෙස් නැති කර ගන්නට පුළුවනි.
මෙහි යෝනිසෝ මනසිකාරය නම් පරමාර්ථ ධර්ම නුවණින් මෙනෙහි කිරීමයි. එනම් සවිඤ්ඤාණක හෝ
අවිඤ්ඤාණක හෝ ඕනෑම වස්තුවක පවතින හේතුව, ඵලය, භංගය පිළිබඳ අනිච්ච, දුක්ඛ, අනත්ත,
නම් වූ ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට දැන ගැනීමේ සහ දැක ගැනීමේ හැකියාවයි. මෙම අදහස ම
යම් තැනක ‘එළඹ සිටි සිහියෙන් යුතුවීම යනුවෙන් ද දක්වා තිබේ. ‘අයෝනිසෝ මනසිකාරය’ නම්
එසේ නුවණින් මෙනෙහි නොකිරීමයි. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන දහම් කරුණ නුවණින්
මෙනෙහි කරන්න. එය මෙසේයි. හටනොගත් ආශ්‍රවයන් පවා අයෝනිසෝ මනසිකාරය නිසා හටගනී.
හටගෙන තිබෙන ආශ්‍රවයන් පවා වර්ධනය වෙයි. එනමුත් යෝනිසෝමනසිකාරය නිසා නූපන් ආශ්‍රව
හටගන්නේ නැත. හටගත් ආශ්‍රව පවා ප්‍රහීණ වෙයි. යෝනිසෝමනසිකාරයෙන් යුතු පුද්ගලයාට
ඕනෑම රූප, ශබ්දාදී අරමුණක ඉෂ්ට, අනිෂ්ට හෙවත් හොඳ නරක බව තතු සේ දැක ගන්නට, දැන
ගන්නට පුළුවනි. මේ නිසා හෙතෙම කැමති අරමුණෙහි සිතින් දැඩි ව ගන්නා වු උපාදානයකටවත්,
අකමැති හෙවත් අනිෂ්ඨ අරමුණෙහි ගැටෙන්නා වූ පටිඝයකටවත් සිතින් සකස් වෙන්නේ නැත.
අයෝනිසෝමනසිකාරයෙන් යුතු තැනැත්තා රාගාදි අරමුණෙහි ඉක්මනින් හෙවත් වහා බැඳයි. තදින්
ඇලෙයි. පැණි රසයට කූඹියකු මෙනි. අකැමැති අරමුණෙහි වහා ගැටෙයි. දණ්ඩකින් පහර කෑ
සර්පයකු මෙනි.
මෙම ආශ්‍රව හෙවත් කෙලෙස් ප්‍රහාණය කරන ආකාරය සත් ආකාරයකින් මෙහිදී දක්වා තිබේ. මේ
ආකාරයෙනුයි.
දර්ශනයෙන් හෙවත් සෝවාන් මාර්ග නුවණින් පහ කළ යුතු ආශ්‍රව පවතී. සංවරයෙන් පහකළ යුතු
ආශ්‍රව පවතී. නුවණින් මෙනෙහි කොට බලමින් පහ කළ යුතු ආශ්‍රව පවතී. වීර්යයෙන් යුක්ත ව
ඉවසීමෙන් පහ කළ යුතු ආශ්‍රව පවතී. දුරු කිරීමෙන් පහකළ යුතු ආශ්‍රව පවතී. බැහැර
කිරීමෙන් නැති කළ යුතු ආශ්‍රව පවතී. විවේකය, විරාගය, නිරෝධය, ඇසුරු කළ සහ බෝධි
අංගයන්ගෙන් සමන්නාගත ව භාවනාවෙන් පහ කළ යුතු ආශ්‍රව පවතී.
මෙහිදී අතුරු කතාවක් පැනනැඟේ. එනම්,කෙලෙස් ප්‍රහාණයේ දී ආමිස පූජා හෙවත් වැඳුම්
පිදුම්වලට ලැබෙන්නේ ළදරු අවධියේ ස්ථානයක් පමණක් බව ය. සීලයෙහි පිහිටා තුනුරුවන්
කෙරේ. ශ්‍රද්ධාව උපදවාගෙන රාගාදී කෙලෙසුන්ගේ ප්‍රහාණයට මූලික පසුබිමක් සකස්
කිරීමකි. එම නිසා තම ජීවිත කාලය ම හෝ ජීවිත කාලයේ වැඩි කාලපරිච්ඡේදයක් හෝ වැඳුම්
පිදුම්වලට හා සිරිත් විරිත් ලෙස සිදුකරන දානාදී පින්කම්වලින් පමණක් සසර කෙටි කර
ගැනීමක් හෝ කෙලෙස් ප්‍රහාණයක් හෝ සිදුකළ නොහැකි වන්නේ ය.
සිරිත් විරිත් මුල්කොට ගත් පින්කම් ලෙස අදහස් කරනු ලැබුවේ කෙනෙක් මියගිය පසු
සිදුකරනු ලබන සත් දිනයේ තුන් මාසයේ හෝ වාර්ෂික පින්කම් ද වරු පිරිත්, සර්ව රාත්‍රික
පිරිත්, පෙරහර, පහන්පූජා අන් අයට උදවු උපකාර කරන, ආහාර, ඇඳුම් පැලඳුම්, නිවාස,
බේත්හේත් ආදි පරිත්‍යාග කිරීම් ලෙසිනි. මේවා සිදුකිරීමෙන් සිතෙහි පින සකස් වෙයි.
සුගතිය උරුම වෙයි. පින අවසන් වීමෙන් සුගතිය ද අවසන් වෙයි. සත්වයා නැවතත් දුකට
පත්වෙයි. මේ නිසා බුදුරජාණන් වහන්සේ කෙලෙසුන්ගේ ප්‍රහාණය පිණිස හේතුවන සීල, සමාධි,
ප්‍රඥා ගුණ මාර්ගය ම ප්‍රශංසා කොට දේශනා කරති. එයට ප්‍රධාන වශයෙන් ම ආර්ය අෂ්ටාංගික
මාර්ගය සහ චතුරාර්ය සත්‍ය අන්තර්ගත වන්නේ ය. මෙහිදී අප විසින් සිහිපත් කළ යුත්තේ
කුමක්ද? ආමිස පූජාවෙන් පසුබිම සකස් කොට ගෙන, ශ්‍රද්ධාව උපදවා පුණ්‍යවන්ත ව දස පාරමි
ධර්මයන් ද දියුණුූ කරමින් සමථ විදර්ශනා භාවනා මාර්ගයට යොමුවීමයි.
දර්ශනයෙන් හෙවත් සෝවාන් මාර්ග නුවණින් පහ කළ යුතු ආශ්‍රව කවරේදැයි ඉතාමත් සරල ලෙස
විමසා බලන්න. එනමුත් ගැඹුරින් සිතට ගන්නා මේ දහම් පරියාය ආරම්භ වෙන්නේ මේ ආකාරයටයි.
අශ්‍රැතවත් පෘථග්ජන පුද්ගලයා ආර්යයන් වහන්සේ නුවණින් හඳුනන්නේ නැහැ. ආර්ය ධර්මයෙහි
අදක්ෂයි. එනම් අවබෝධ කොට ගන්නට නොහැකියි. ආර්ය ධර්මයෙහි නොහික්මෙයි. සත්පුරුෂයන්
වහන්සේ නුවණින් හඳුනන්නේ නැහැ. සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂයි. සත්පුරුෂ ධර්මයෙහි
හික්මෙන්නේ නොවෙයි. මේ නිසා අශ්‍රැතවත් පෘථග්ජනයන් මෙනෙහි කළ යුතු ධර්මයන් නොදනී.
මෙනෙහි නොකළ යුතු ධර්මයන් නොදනී. මෙනෙහි කළ යුතු ධර්මයන් නොදන්නා නො මෙනෙහි කළ යුතු
ධර්මයන් නොදන්නා මේ පුද්ගලයා විසින් යම් ධර්මයක්, සිතුවිල්ලක් නොමනෙහි කළ යුතු නම්
එම ධර්මයන් මෙනෙහි කරනු ලැබේ.
මෙහිදී අප විසින් අපගේ ම සිත සිතුවිලි පිළිබඳ මනා සිහියෙන් හෙවත් ආරම්භයේ සඳහන් කළ
යෝනිසෝ මනසිකාරයෙන් යුතු විය යුතු ය. එවිට සිත අවදිවෙයි. මාර්ගයෙහි ප්‍රමුදිත වෙයි.
යෝනිසෝමනසිකාරයෙන් යුතු ව යමක් මෙනෙහි කෙරේ නම්, මෙනෙහි නොකළ යුතු ධර්ම හෙවත්
ආරම්මණ මේවායි. යම් දෙයක් සිහිකරන විට නැති හෝ නූපන් කාමාශ්‍රව උපදී ද, සිතේ තිබෙන
කාමාශ්‍රව වැඩේද, නූපන් භවාශ්‍රව උපදී ද, සිතේ තිබෙන භවාශ්‍රව වැඩේ ද, නූපන්
අවිද්‍යා ආශ්‍රව උපදී ද සිතේ තිබෙන අවිද්‍යා ආශ්‍රව වැඩේ ද, එවැනි දේවල් මෙනෙහි
නොකළ යුතුයි.
මීළඟට දැන ගත යුත්තේ කුමක්ද? යමක් මෙනෙහි කරනවා නම් මේවා මෙනෙහි කළ යුතු ය. ඒ
මොනවාද? යමක් මෙනෙහි කරන විට නූපන් කාමාශ්‍රව නූපදී ද, උපන් කාමාශ්‍රව නැති වෙනවා
ද, නූපන් භවාශ්‍රව නූපදී ද උපන් භවාශ්‍රව නැති වෙනවා ද නූපන් අවිද්‍යා ආශ්‍රව නූපදී
ද, උපන් අවිද්‍යා ආශ්‍රව නැතිවෙනවා ද ඒවා මෙනෙහි කළ යුතු ධර්මයෝ යි. සිතුවිලියි.
අරමුණුයි.
මෙනෙහි නොකළ යුතු ධර්ම මෙනෙහි කිරීමෙන් සහ මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි
නොකිරීමෙන් අශ්‍රැතවත් පෘථග්ජනයාට නැති ආශ්‍රව උපදියි. තිබෙන ආශ්‍රව තවත්
වැඩිදියුණු වෙයි. |