වස්සානයේ
පින් පුරමු
උදම්මිට ධම්මානන්ද හිමි
මුවන් ගැවසුණු ඉසිපතන වන ලැහැබේ ඇසළ සඳකිරණ හාත්පස පැතිරුණු නිසසල රැයක තපස්වරුන්
පස් දෙනකු අරබයා සම්බුදු පියාණෝ පළමු ධර්ම දේශනාව, ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව
පැවැත් වූ සේක.
අනතුරුව බුදුරදුහු ඉසිපතන මුව අරණෙහි ම පස්වග මහණුන් සමඟ ම වැසි සමය ගත කළහ. ඒ එදා
පැවැති ආවේණික ධර්මතාවක් අනුව මිස බුද්ධ ආඥාවක්, පැනවීමක් අනුව නොවෙයි.
දඹදිව වස්සාන සෘතුව ඇසළ අව පෑළවිය දිනෙන් ඇරඹි ඉල්මස පුන් පොහෝ දිනෙන් අවසන් වෙයි.
තදින් වැසි වසින මේ වැසි සෘතුවේ දී තුරලිය මොනවට ප්‍රාණවත් ව, දලු ලා වැඩෙයි. මේ
වැසි සමයේ දඹදිව එදා විසූ බොහෝ තපස්වරු එක් තැනක වැඩ හිඳ ස්වකීය ආධ්‍යාත්මික
අභිවෘද්ධිය උදෙසා වැඩ වැඩූහ. ගුවනේ සරන සියොත් කැල පවා වැසි සමයේ කැදලිවල කල්ගත
කළහ. ඒ එසේ තිබියදී නිල් තණකොළ මඬිමින් බුදුන් වහන්සේගේ අනුගාමිකයන් වැසි සමයේ ඔබ
මොබ සැරි සැරීම ජනතා කනස්සල්ලට හේතු විය. ඔවුහු මේ නුසුදුසු ක්‍රියාව ගැන බෞද්ධ
භික්ෂූන්ට දොස් නැගූහ. මේ ඇසූ බුදුපියාණෝ මහජන මතයට, සමාජ අදහසට ගරු කරමින්
“අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සනං උපගන්තු” යනුවෙන් “වස් කාලයේ වස් එළැඹීමට නියම
කරමි”යි ශික්ෂා පද පැනවූ සේක.
එදා පටන් අද දක්වා ම මේ උතුම් චාරිත්‍ර ධර්මය අවිච්ඡින්න උපසපන් භික්ෂූන් වහන්සේ
ආරක්ෂා කරති. වස් එළැඹි මේ වස්සානයේ උත්තුංග ආධ්‍යාත්මික ශාක්‍යතා අවදිකර ගැනීමෙහි
ලා උන්වහන්සේ ව්‍යාවෘත වෙති. බුදුන් වහන්සේගේ උත්තම මඟ පෙන්වීමෙන් කමටහන් ලබා ගත්
භික්ෂූන් වහන්සේ වැසි සාර මාසයේ දී තෘෂ්ණාව හැරීම පිණිස ද, කෙලෙස් තැවීම පිණිස ද
බලවත් වීර්යයෙන් බවුන් වඩා කෙලෙස් මල නසා උතුම් රහත් බෝධි ප්‍රතිලාභය අත්පත් කර
ගනිති.
එදා දේවානම්පියතිස්ස රාජ සමයේ දී බු. ව. 236 දී අනුබුදු මිහිඳු මහරහත් වහන්සේ
ලංකාදීප සම්ප්‍රාප්තියෙන් පසු ලංකේශ්වර දෙවනපෑතිස් නිරිඳුන් පිදූ කණ්ඨක චෛත්‍ය
ස්ථානයෙහි කරවූ අටසැටලෙන්හි මිහිඳු මා හිමි ද ධර්මදූත කණ්ඩායමේ රහත් පිරිස ද අරිට්ඨ
කුමරුන් සමඟ පැවිදි වූ උපසපන් භික්ෂූන් වහන්සේ ද වස් විසූහ. මෙය ලක්දිව සිදු වූ
පළමු වස් විසුමයි.
එදා මෙදා තුර හෙළදිව හෙළයෝ මේ උත්තුංග වස්සාන පුණ්‍ය කර්මය උදෙසා බොහෝ සෙයින් ඇප
කැප වූහ. බුද්ධාවවාදය අනුව උතුම් අභිමතාර්ථ සාධනයට කැපවූ මහ සඟරුවන්ට ප්‍රත්‍ය
පහසුකම්, සිව්පස දානයෙන් උපස්ථාන කොට අපේ දායක දායිකාවෝ අපමණ සැදැහැයෙන් අපමණ කුසල
ශක්තීන් ජනිත කර ගනිති.
මේ කාලය තුළ වෙනදාටත් වඩා විශේෂ අවධානයක් යොමු කොට මේ අපේ වස් සමාදන් වූ
හාමුදුරුවරු ය යන හැඟීමෙන් සඟරුවන පුදති. අර්ථයෙන්, ධර්මයෙන් ගිහි අපට මඟ පෙන්වන
උතුමන් ය යන හැඟීම ගිහියන් තුළ පවතියි.
මෙබඳු ආකාරයෙන් පැවිදි පිරිස නිර්වාණ මාර්ගය උදෙසා ව්‍යාවෘත සේ ම ගිහි පැවිදි
දෙපිරිසට ම පින් වැඩෙන මෙම පුණ්‍ය කාලය තුළ ගිහියෝ වඩ වඩා ධර්මානුධර්ම
ප්‍රතිපත්තිවල නිරත වෙති. ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, නිවන් මඟ හෙළි පෙහෙලි කරන සමථ
විදර්ශනා භාවනා, බෝධි පූජා, බුද්ධ පූජා, ගිලන්පස දාන, බෙහෙත් ඖෂධ පූජා ආදියෙහි යෙදී
ගමේ දායකයෝ ගමත්, පන්සලත් අතර පවත්නා සබඳතාව තර කර ගනිති. සැබෑ ලෙස ම දායක
දායිකාවන්ගේ දෙලොව අභිවෘද්ධිය උදෙසා ගමත්, පන්සලත් යා කරන අභේදනීය රන්දම වස්
පින්කම් සමය බැව් පැවසීම වඩාත් නිවැරැදි ය.
වස්සාන සමයේ ගමේ ආධ්‍යාත්මික කේන්ද්‍රස්ථානය වෙත රැස්වන උවසු උවැසියෝ සතර පේරුවේ
දායක දායිකාවෝ ඉමහත් සැදැහැ සිතින් තම තමන්ට ඇති හැකි ආකාරයෙන් ඉදිකටුවක්, නූල්
බෝලයක්, සබන් කැටයක් හෝ පුදා වසරකට වරක් සිදු කර ගත හැකි මෙම පුණ්‍ය මංගල්‍යයේ
කොටස්කරුවෝ වෙති. තරුණ පිරිස පන්සලේ දාගැබ, පිළිමගෙය, ආවාස ගෙය පිළිසකර කිරීම්
හුනුපිරියම් කිරීම් ආදියේ යුහුසුලු වෙති.
මෙලෙස ගිහි පැවිදි දෙපාර්ශ්වයට ම පින් වැඩෙන මේ පුණ්‍ය සමය හෙවත් වස් කාලයේ මහාර්ඝ
පුණ්‍ය කර්මය බුදුන් වහන්සේගේ උතුම් ඉගැන්වීම් සමුදාය කුළුගැන්වෙන අයුරින් ම ඉෂ්ට
සිද්ධ කර ගැනීමට සිව්වනක් පිරිසේ වගවීම, ගිහි පැවිදි උභය පාර්ශ්වයේ ම ලෞකික
ලෝකෝත්තර ඉෂ්ටාර්ථ සඵල සමෘද්ධ කිරීමට මැනවින් පිහිටාධාර වෙයි. |