Print this Article


නිහඬබව ලොව බලවත් ම ශක්තිය

නිහඬබව ලොව බලවත් ම ශක්තිය

ආදී මිනිසාගේ සිට අද මේ වර්තමාන මොහොත දක්වා ගෙවුණු කාලය සලකන විට, අපේ පරිසරයේ ඇති වූ වෙනස්කම් අතරින් කලබලකාරී බව, ශබ්ද දූෂණය, ක්‍රියාකාරකම්වල වැඩි වීම, ඈත ඉතිහාසයට වඩා මෑත ඉතිහාසයේ ශීඝ්‍රයෙන් වැඩි වුණා. එහි බලපෑම ලෝකය පුරා වෙසෙන මානවයාට හොඳ වගේ ම නරක විදිහට විඳීන්න සිදු වී ඇති අතර, අනිසි විපාක ගෙන දෙන ප්‍රධාන කාරණා අතරින් මෙම කරුණ ඉදිරියෙන් තියෙනවා. මේ නිසා ම නවීන යුගයේ වෙනස්කම් කුමන ආකාරයට මානවයාගේ ශක්තිය අඩු කරන ආතතිය, අසහනය, ලෙඩ රෝග වැඩි කරන දෙයක් වෙලා ද කියන කරුණ වර්තමානයේ ලෝකයේ හැම කෙනෙක් වගේ ම සලකා බලන දෙයක්. අද අපේ මාතෘකාව වෙන්නේ මේ වෙනස්කම්වලට මුහුණදීමට යොදා ගත හැකි පිළියම් ගැන සොයා බැලීමයි.

ඒ සඳහා සතිය පුරුදු කිරීමෙන් ලබා ගත හැකි පිළිතුරු මොනවා ද කියා අපි සොයා බලමු.

නිහඬ පරිසරයක ජීවත් වෙන්න පුළුවන්කම සුඛෝපභෝගී ජීවිතයක් විදිහට බොහෝ අය දකිනවා. ඉතින් ඒ සඳහා අපි ශබ්ද ආරක්ෂිත (soundproof) ස්ථාන හදනවා. එහෙම කෘත්‍රිම ස්ථානවලට වඩා ලොකු වෙනසක් ස්වභාවික වනාන්තරයක දී අත් විඳීන්න පුළුවන්. නමුත් සමහර අයට ඒ නිහඬතාව දරා ගන්න බැරි තරම් පාළුවක් ඇති කරනවා. ඒ මොකද අර ශබ්ද තරංග ගොඩක් තියෙන තැනක ජීවත් වූ කෙනාට ඒ නිහඬතාව කොන්වීමක් වගේ, තනිවීමක් වගේ දැනෙන නිසා. සමහර අයට ඒ තනි වීම බිය උපදවන සුළු වෙනවා. ඒ වගේ කලබල තැනක ඉන්න වෙලාවේ දී තමන්ගේ හැසිරීම නිරීක්ෂණය කළොත් ඝෝෂා සහිත පරිසරයක දී තමන්ට වැඩියෙන් තරහ යන බව වැටහේවි. නමුත් කරන රැකියා අනුව, ඉගෙන ගන්න අයට, ඒ ඒ ආයතන පිහිටන පරිසරය වැනි බාහිර සාධක අනුව තමන් ජීවත් වෙන පරිසරය තෝරා ගැනීමට සිදුවෙන නිසා මේවා වළක්වන්න අපහසුයි.

ඒ නිසා මේ පණිවිඩයෙන් අපි දෙන්න උත්සාහ කරන්නේ පරිසරය කොතරම් ශබ්ද සහිත, නො සන්සුන් පරිසරයක් වුණත් තමන්ට ඇතුළතින් නිශ්ශබ්දතාවකට යන්න පුළුවන් ද, කියල බලන්න කියන පණිවිඩය යි.

තමන් නිශ්ශබ්ද වුණොත් තමන්ට තේරෙනවා ඒ හා සාපේක්ෂ ව තමන්ගේ හිත තැන්පත් වෙන ගතියක්. තරහ යන ස්වභාවයේ අඩු බවක්. ඒ නිසා තමන් තුළ ඇති කර ගන්න නිශ්ශබ්දතාව වැදගත් වෙනවා. මොකද ඒ අනුව තමන් කුමන පරිසරයක සිටියත් එය බාධාවක් කර නො ගෙන සිටීමට මෙම නිශ්ශබ්දතාව උපකාර වෙන නිසා. අද සමාජයේ විවිධ ඉගැන්වීම් ක්‍රම, විවිධ මාධ්‍ය පහසුකම් භාවිත කිරීමේ හැකියාව තිබුණත් අදහස් එකිනෙකාට සන්නිවේදනය වීම අතින් නම් පිරිහීමක් ඇති බව පැහැදිලි ව දකින්න පුළුවන්. සන්නිවේදනයේ දී භාවිත කරන විට වැඩි වචන ප්‍රමාණය සන්නිවේදනයට බාධාවක් වෙන්න පුළුවන්.

අපි සතිමත් බව පුහුණු කරනවා නම්, එහෙම නැත්නම් විවේක පරිසරය අගය කරමින් අප්‍රමාදී ව එළැඹ සිටි සිහියෙන් ගත කරනවා නම් ටික කාලයක් ගත වෙන විට කියන දේ සාර්ථක ව, සුළු වචන ප්‍රමාණයකින්, ප්‍රියමනාප වෙන විදිහට කියන්න පුළුවන් බව අපට වැටහෙනවා. ඒ අනුව ගොඩක් වචන නැති, උච්ච ස්වර නැති නමුත් ඒ වෙනුවට කියන දේ සාර්ථක ව, සාරාර්ථය ඇතුව, කෙටි වචන ප්‍රමාණයකින් කතා කරන්න හැකි වෙනවා. ඒ ක්‍රමය තුළ සන්නිවේදනය ඉතා සාර්ථක ව සිදුවෙන බව අපට වැටහෙනවා. මොකද ගොඩක් වචන පාවිච්චි කරන විට අසන්නාගේ සිත අවුල් වීමක් සිදු විය හැකි නිසාත්, කිව යුතු දේට අමතරව විවිධ දේ ඈඳා කීම කාරණය නියමාකාරයෙන් වටහා ගැනීමට බාධාවක් කරන නිසාත්.

ඉතින් මේ විදියට කියන දේ කෙටියෙන්, මිහිරි විදිහට කියන්න ගත්තොත් එහි අවසාන කෙළවර ලෙසට අපි නිහඬ ව හිටියත් ඒ පණිවිඩය අවශ්‍ය කෙනාට නියමාකාරයෙන් සම්ප්‍රේෂණය වෙනවා.

බුද්ධ ප්‍රතිමාවක් වඩා හිඳුවා ඇති තැනක ඒ පිළිම වහන්සේ ධර්මය දේශනා නො කළාට ඒ අසලින් ගමන් කරන කෙනාගේ හිත තැන්පත් වෙනවා. ඒ පිළිම වහන්සේ කිසිදු ශබ්දයක් නො කර මොකක්දෝ පණිවිඩයක් නිකුත් කරනවා වගේ යන කෙනාගේ හිතේ කරදර අමතක කර හිත සැහැල්ලුවට පත් වෙනවා. අනෙකුත් ආගමික සිද්ධස්ථානවලත් මේ විදිහමයි. ඒවායේත් හැම තැන ම දේව ප්‍රතිමා තැන්පත් කර තියෙනවා. ඒ දේව ප්‍රතිමාවක් ළඟ ඉඳ ගත්තත්, හිට ගත්තත් මිනිසුන්ට මොකක්දෝ පණිවිඩයක්, සාමකාමී පණිවිඩයක් නිකුත් කරනවා. ඒ එකම පිළිමයක්වත් කිසිම දෙයක් කියන්නේ නැහැ. නමුත් නිශ්ශබ්දතාව හරහා සාමයට, සැනසීමට, නිවීමට පණිවිඩයක් නිකුත් කරනවා. ඒ නිසා මේ ඇත්තනුත් යම් යම් අවස්ථාවල දී එකිනෙකාට දෝෂාරෝපණය කරනවා වෙනුවට නිශ්ශබ්ද ව සිටීම වඩා උචිත වේ ද කියා විමසා බලන්න.

එලෙස නිහඬ බවකින් මේ ලෝකය දැනට වඩා නිහඬ වෙන බව අත්දකින්න හැකි වේවි. මෙය පොදුවේ සමාජයේ නැති නමුත් වයසක ඇත්තන් අසල, සදාචාරයට ගරු කරන අය ළඟ ඇති බව අපි දැක තිබෙනවා. මේ අය තව පිරිසක් වෙනුවෙන් කියා හෝ අනවශ්‍ය ශබ්ද ඇති නො කර කිව යුත්තක් කෙටියෙන් කියා දක්වමින් පරිසරයට ඉතා ළැදි ව, පරිසරය හැකි පමණින් ආරක්ෂා කරනවා.

තවත් උදාහරණයක් ගත්තොත් ගරු කටයුතු පූජනීය කෙනෙක් ඉදිරියට යන විට ඔහු කෙරෙහි අපි ඇවතුම් පැවතුම් පවත්වනවා. ඒ ඇවතුම් පැවතුම්වලින් ප්‍රධාන වෙන්නේ නිශ්ශබ්දතාව යි. ඒ නිශ්ශබ්දතාව හරහා අපි අපිට ම නිහඬ බණක් කියා දෙනවා.

මෙලෙස හැසිරීමෙන් තමන් තුළ යම් ප්‍රමාණයක පෞරුෂත්ව වර්ධනයක් සිදු වෙන විට මේ නිහඬතාව පුරුදු කරපු, නිහඬ බව අත්විඳීන, එයින් වැඩ ගත් අය සමග සිටීම පවා තමන්ට විශාල පණිවිඩයක් නිකුත් කරන බව තමන්ට වැටහෙනවා.

ඒ අනුව බලන විට ස්වභාවික පරිසරය, ගහකොළ පවා අපට මොනවද කියා දෙනවා. එක ගහක් වැවෙන විට තව ගස් ඒ අසල වැවෙන්නේ සහයෝගයෙන් එකිනෙකාට ඉඩ දෙමින් අතු සකස් කර ගනිමින්. ගලන ගඟ ගල් උඩින්, උස් බිම් මතින් ගලා හැලෙන්නේ කිසිම චෝදනාවක් නැති ව. කවදාවත් මට ගලා ගෙන යන්න සමතල බිමක් හදලා දෙන්න කියා ඉල්ලීමක් නැහැ. එකම අහසේ වලාකුළු පාවෙන්නේ සංයෝජනය වෙන්න ඕන තැන සංයෝජනය වෙමින්, වෙන් වෙන්න ඕන තැන වෙන් වෙමින්. ඒවා සහයෝගයෙන් පාවෙනවා. ඉර නඟින්නේ, හඳ බැස යන්නේ ඒත් එක්ක තරු අපට දෘශ්‍යමාන වෙන්නේ මොකක්දෝ නිහඬ පණිවිඩයක් පරිසරයට එකතු කරමින්.

මානවයා විසින් සකස් කරන ලද ඝෝෂාකාරී පරිසරයට මානවයා පුරුදු වූ නිසා ලෝකයේ පවතින ස්වභාවික ශක්ති ගලනය අත්විඳීන්න හෝ ස්වභාව සෞන්දර්ය විඳීන්න මානවයාට ඇති ඉඩකඩ ක්‍රමයෙන් ඇහිරෙමින් පවතිනවා. මේ තත්ත්වය ආපසු හැරවීමට පරිසරය නිශ්ශබ්ද කිරීම කළ නොහැක්කක් නිසා, ඒ වෙනුවට තමන් නිශ්ශබ්ද වීම වඩා උචිත සහ කළ හැකි දෙයක් වෙනවා.

ඒ සඳහා සාමාන්‍යයෙන් සතිය පුරුදු කරන අය නිශ්ශබ්ද පරිසරයකට ගොස් ඇස් වසා ගෙන ඉබේ වැටෙන හුස්ම ඇතුල් වෙන පිටවෙන හැටි අවධානයට ගෙන ඉන්නවා. එහෙම නැත්නම් මහ පොළොවේ නිශ්ශබ්ද ව එහාට මෙහාට ඇවිදිනවා. මේ විදිහට නිශ්ශබ්ද ව එක තැන ඉඳගෙන සිටීම හෝ ඇවිදීම හෝ නිසා අපිට ලැබෙන වාසිය තමයි අපි තුළ යම් ශක්තියක් ගොඩනැඟීම. ඒ ශක්තිය අපේ හිතේ සහ කයේ සමථාවයක් පවත්වාගෙන යන්න උදව් කරනවා. ඒ නිසා පරිසරය දූෂණය වෙලා තිබුණත් තමන් නිශ්ශබ්ද ව කටයුතු කිරීමෙන් හොඳ යහකම්පනයක් ලෝකයට සලසා දෙන්න අද ම අධිෂ්ඨානයක් ගෙන උත්සාහ කර බලන්න.