Print this Article


තථාගත දහම් පද සුගැයුණ නිකිණි පුන් පොහෝ දා

තථාගත දහම් පද සුගැයුණ නිකිණි පුන් පොහෝ දා

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අංග සම්පූර්ණ ව සිංහ තෙල් රන් බඳුනක බහා තබන්නා සේ, ගෞරවයෙන් මතකයේ දරා සිටි ආනන්දයන් වහන්සේත් ධර්ම සංගායනාවට තෝරා ගන්නා ලෙස රහතන් වහන්සේ ඉල්ලා සිටි හෙයින් උන්වහන්සේ ද තෝරා ගැනුණි.

කුසිනාරා නුවර දී තථාගත පරිනිර්වාණය වෙනුවෙන් සත් දවසක් ඉතා යහපත් පුණ්‍ය උත්සව ද තවත් සත් දිනක් ධාතු පූජා මහෝත්සවයක් ද පැවැත්විණි. ඒ අඩ මස ඇවෑමෙන්, ලෝ වැසියන් කෙරෙහි මහත් අනුකම්පා ඇති ඒ මහා කස්සප තෙරුන් ප්‍රධාන මහ රහත් මුනිවරුන් ධර්ම සංගායනාව පිණිස රජගහ නුවරට වැඩමවීමට සූදානම් ව සියලු සඟ පිරිසට මෙසේ දැනුම් දුන්හ.

“අපි රජගහ නුවර වස් සමාදන් වීමට වැඩම කළ යුතුයි. එහි දී භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සංගායනා කරන්නෙමු. එම නිසා ඒ කාලය තුළ සංගීතිකාරක රහතුන්ගේ පහසුව පිණිස සංගායනාවට සහභාගි නො වන අනෙකුත් භික්ෂූන් රජගහ නුවර වස් වැසීමෙන් වැළකී සිටිය යුතුයි. “ඉන්පසු ඒ උතුම් රහතන් වහන්සේ රජගහ නුවර බලා චාරිකා කළේ හමුවන ශෝකාකූල ජනයාට අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මය දේශනා කරමින් ඔවුන් අස්වසවමින් ය. දෙව් මිනිසුන්ගේ යහපත පිණිස, උත්තම ගෞතම බුදු සසුන චිරස්ථායි කිරීම පිණිස, පන්සියයක් වූ ඒ අරහත් මුනිවරුන් රජගහ නුවර වස් සමාදන් වූ සේක.

මගධේෂ්වර අජාසත් මහරජුන් මුණගැසුණු ඒ මහ රහතන් වහන්සේ ධර්ම සංගායනාවෙහි වැදගත්කම ගැන කරුණු පැවසූහ. වස් වැසූ මුල් මාසයේ රජගහ නුවර පිහිටි දහඅටක් වූ මහා විහාරවල කැඩී බිඳී තිබූ තැන් රාජානුග්‍රහයෙන් අලුත්වැඩියා කරවූ සේක. ඉන්පසු අජාසත් රජු අමතා “මහරජතුමනි, අපි දැන් භාග්‍යවතුන් වහන්සේ විසින් ශාස්තෘත්වයෙහි පිහිටුවා වදාළ ධර්ම - විනය සංගායනා කරන්නෙමු” කියා පැවසූ සේක. අජාසත් රජතුමා සංගායනාව පිණිස රහතුන්ගේ අනුදැනුම පරිදි වේහාර පර්වත පාමුල සප්තපර්ණී ගුහාව ඉදිරිපිට දිව්‍ය සභාවක් බඳු අතිශයින් අලංකාර වූ වැඩහිඳින මණ්ඩපයක් වහා කරවූ සේක.

සුන්දර ලෙස සැරසූ එම මණ්ඩපයෙහි පන්සියයක් වූ අරහත් මුනිවරුන්ට සුව සේ වැඩ හිඳිය හැකි ලෙස අනර්ඝ ඇතිරිලි ඇතිරවූවේ ය. ඒ රමණීය මණ්ඩපයෙහි උතුරු දිශාවට මුහුණලා දකුණු පසට වන්නට මහානීය වූ ථේරාසනයක් මහා කස්සපයන් වහන්සේ වෙනුවෙන් ඉතා යහපත් ලෙස පනවා තිබුණි. ඒ අලංකාර මණ්ඩපය මැද නැඟෙනහිර පැත්තට මුහුණලා අපගේ සුගත වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වැඩ සිටින්නට යෝග්‍ය පරිදි ශාස්තෘන් වහන්සේගේ නාමයෙන් ධර්මාසනයක් ඉතා යහපත් ලෙස පනවා තිබුණි.

අජාසත් රජතුමා විසින්, “ස්වාමීනි, මා විසින් කළ යුතු දෙය සම්පූර්ණ කරන ලද්දේ ය.” කියා මහ රහතන් වහන්සේට සතුටු සිතින් දැනුම් දුන්නේ ය.

රහතන් වහන්සේ විසින් නිකෙලෙස් වීම පිණිස උත්සාහවත් කෙරූ ආනන්දයන් වහන්සේ වීරිය සම කොට නිවන් මඟ වැඩූහ. හිඳින, සැතපෙන, සිටගෙන සිටින, සක්මන් කරන මේ සතර ඉරියව්වෙන් ම තොරව සයනයෙහි සැතපෙන්නට වාඩි වී, දෙපා එසවූ කල්හි, හාන්සි නො වී සිටිය දී ම සියලු කෙලෙසුන් නසා උතුම් අරහත්වයට පත්වී වදාළ සේක.

දෙවැනි වස්සාන මාසය වන නිකිණි මාසයෙහි පුන් පොහෝ දින පසුවී දෙවැනි දවසෙහි තනවන ලද ඒ ඉතා රම්‍ය වූ මණ්ඩපයෙහි උතුම් රහතන් වහන්සේ, ආනන්ද තෙරුන්ට අසුන තබා පැවිදි උපසම්පදාවෙන් වැඩිමහලු පිළිවෙළට වැඩ සිටියහ. ආනන්දයන් වහන්සේ තමන් උතුම් අරහත්වය සාක්ෂාත් කළ බව අන් තෙරවරුන්ට හඟවනු පිණිස පොළොවෙහි කිමිදී සංගායනා මණ්ඩපයෙන් මතු වී තම ආසනයෙහි වැඩ සිටියහ.

විනයධර භික්ෂූන් අතරින් අගතනතුරුලාභී උපාලි මහ රහතන් වහන්සේ විනය උදෙසා ද, ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහ රහතන් වහන්සේ අනෙකුත් සියලු ධර්මයන් උදෙසා ද, ප්‍රධානත්වයට පත් කර ගන්නා ලදී. සංගීතිය ආරම්භයේ දී මහා කස්සප මුනිඳුන් භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලද විනය ශික්ෂා පදයනුත්, ඒවායේ නිධාන කතාව ආදියත් විමසනු පිණිස, ප්‍රශ්න විමසන භික්ෂුවගේ තනතුරට තමන් ම පත්කර ගත් සේක. උපාලි මහ රහතන් වහන්සේ එසේ අසන ලද විනය කරුණු සියල්ල ම පිළිබඳ පහදා දුන් සේක. මහා කස්සපයන් වහන්සේ පනවන ලද ථේරාසනයේ වැඩහිඳිමින් විනය පිළිබඳ විමසද්දී, උපාලි මහ රහතන් වහන්සේ පිළිතුරු දී වදාළේ භාග්‍යවතුන් වහන්සේ නාමයෙන් පනවා තිබූ ධර්මාසනයේ වැඩ හිඳිමින් ය.

තථාගත බුදුරදුන් විසින් පනවන ලද විනය පිළිබඳ දන්නා භික්ෂූන් අතරින් අග්‍ර වූ උපාලි මහ රහතන් වහන්සේ ඒ සියලු විනය කරුණු විසඳූ පසු, විනය කරුණු පිළිබඳ න්‍යායෙහි අතිශයින් දක්ෂ වූ සියලු දෙනා වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ පනවා වදාළ විනය ඒ අයුරින් ම සාමූහික ව සජ්ඣායනා කළ සේක.

භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ බහුශ්‍රැත වූ භික්ෂූන් අතරත්, වේගවත් නුවණ ඇති භික්ෂූන් අතරත්, ධාරණ ශක්තියෙන් යුක්ත භික්ෂූන් අතරත්, සිහිනුවණ ඇති භික්ෂූන් අතරත්, උපස්ථායක භික්ෂූන් අතරත් අග්‍ර යැයි අග තනතුරු ලැබුවේ මහා පින් ඇති ආනන්දයන් වහන්සේ ය. මහා කස්සප මහ රහතන් වහන්සේ විසින් විචාරන ලදුව, වේදේහමුනි වූ ආනන්ද මහ රහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ නාමයෙන් පනවන ලද ධර්මාසනයෙහි වැඩ හිඳිමින් ඒ සියලු ධර්මයන් ගැන විස්තර වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය පිළිබඳ ධර්මයත්, නිදාන කතාත් ආනන්ද මුනිඳුන් හෙළිදරවු කළ පසු, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙහි අර්ථයන් පිළිබඳ අතිශයින් ම දක්ෂ වූ සංගීතිකාරක මහ රහතුන් ඒ ශ්‍රී සද්ධර්මය ඒ ආකාරයෙන් ම, සාමූහික ව සජ්ඣායනා කළ සේක.

ඒ අයුරින් ම සියලු සත්ත්වයන්ගේ හිත සුව කැමති ඒ අරහත් මුනිවරුන්, සියලු ලෝකයාගේ යහපත පිණිස වූ ප්‍රථම ධර්ම සංගායනාව සත් මසකින් නිමාවට පත් කළ සේක. සසුන් බර දැරූ මහා කස්සප මහ රහතන් වහන්සේ විසින් එම සංගායනාව කරනු ලැබුවේ මේ ශ්‍රී සුගත සම්බුද්ධ ශාසනය පන්දහසක් අවුරුදු පවත්වන්නට සමත් වන අයුරිනි. එසේ ප්‍රථම දහම් සංගීතිය අවසන් වෙද්දී මහත් පී‍්‍රතියක් හටගත්තාක් මෙන් සාගරය සීමා කොට ඇති මේ මහ පොළොව සය වරක් ම කම්පාවට පත් විය.

ඒ මොහොතෙහි ලෝකයෙහි නොයෙක් ආකාරයෙන්, නොයෙකුත් ආශ්චර්යවත් දේ සිදුවිය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ පන්සියයක් ස්ථවිර මහ රහතන් වහන්සේ මේ සංගායනාව සිදු කොට වදාළ නිසා, මේ සංගායනාව ස්ථවිර පරම්පරාව කියාත් හඳුන්වයි. මොහඳුර නසන අරහත් ඵලය නමැති ප්‍රඥා ප්‍රදීපය දල්වා ගෙන වැඩ සිටි ඒ මහෝත්තම රහතන් වහන්සේ මෙසේ ප්‍රථම සංගායනාව පවත්වා, ලෝ සතහට බොහෝ හිත සුව සලසා, තම තමන්ගේ ආයු ඇති පරිදි වැඩ සිට පිරිනිවන් පා වදාළහ.

තෘතීය ශ්‍රාවක අග්‍ර ධුතාංගධාරී, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ඒ උතුම් මහ රහතන් වහන්සේ මහත් කරුණාවෙන් දායාද කළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය සැදැහැ සිතින් අසමින්, මතකයේ දරාගෙන, වචනයෙන් පුරුදු කොට, නුවණින් විමසා බලමින්, පැහැදිලි අවබෝධයක් ඇති කර ගෙන සසර දුකින් නිදහස්වීමට අපිත් මේ උතුම් නිකිණි පෝ දින අදිටන් කර ගනිමු.