Print this Article


චිත්තාලංකාරය පිණිස දානය පුරුදු කරමු

චිත්තාලංකාරය පිණිස දානය පුරුදු කරමු

දානය යනු පරිත්‍යාගයකි. පරිත්‍යාග කුසල කර්මයකි. දන් දෙන හැම දෙනාටම සසර සුඛ සේ ම ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ලබා දෙන උතුම් නිවන් සුවය ලබා ගැනීමට උපකාර වන ඉතා වටිනා පුණ්‍ය කර්මයකි. දානය දීමට පෙරත්, දන් දෙන අවස්ථාවේදී ත්, දානය පූජා කිරීමෙන් පසුවත් තමාගේ තුන් සිත පහදා ගෙන දානය මහත්ඵල මහානිශංස කර ගැනීමට ශ්‍රාවකයාට හැකියාව ඇත. දානය පාරමිතාවක් ලෙස දියුණු කර ගත යුත්තේ කෙසේද? නා උයනේ අරියධම්ම මාහිමියන් විසින් රචිත මහත්ඵල ලැබීමට නම් මෙසේ දන් පින්කම් කළ යුතු ය, යන ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ පළ වේ.

යම් කෙනෙක් ආහාර අනුභව කර අත සෝදා ඉඳුල් වතුර ටික ඉවත දාන කොට මෙසේ හිතනවා නම්, මේ ඉඳුල් වතුරේ තිබෙන ආහාර රසය, පොළොවේ ඉන්න කුඩා කෘමීන්ට ආහාරයක් වේවා, ඔවුන්ට සැප පිණිස වේවා, කියලා හිතාගෙන ඉඳුල් වතුර ටික ඉවත දමනවා නම් ඒ සෑම දෙනාට ම ආත්ම සියයක් ආනිශංස ගෙනදෙන දානමය පින්කමක් වෙනවා.

පෞද්ගලික දාන

පළමු දානය

බලු කපුටු ආදී සතුන්ට හෝ කෑම වේලක් දුන්නා නම් ආනිශංස සියයක් අනුසස් ගෙන දෙන පිනක් වෙනවා. මේ දානය තිරිසන්ගත සතකුට දෙන පළමු වැන්න යි.

දෙවැනි දානය

තිසරණයවත් සමාදන් නොවූ, පංච ශීලයවත් ආරක්ෂා නො කරන, දුශ්සීල මනුෂ්‍යයකුට ආහාර වේලක් පරිත්‍යාග කරනවා නම්, ආත්ම දහසක දී එහි විපාක වශයෙන් අනුසස් ගෙන දෙනවා.

තුන්වැනි දානය

පංච ශීලය මනාව රකින අබෞද්ධ කෙනකුට යම් කෙනෙක් විසින් ආහාර වේලක් දෙනවා නම්, ආත්ම ලක්ෂයක් එහි විපාක වශයෙන් ආනිශංස ගෙන දෙනවා.

හතරවැනි දානය

ධ්‍යානලාභී බාහිර තාපස කෙනකුට ආහාර වේලක් පිරිනමනවා නම් ආත්ම කෝටි ලක්ෂයක් දීම ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ලබන්නට උපකාර වෙනවා. මේ මුලින් සඳහන් කළ දාන හතර ම ශාසනයෙන් බැහැර තිබෙන දාන. එම හතර ම බුද්ධ ශාසනයෙන් බාහිර යි.

පස්වැනි දානය

බෞද්ධයකුට දෙන දානය යි. යම් කෙනෙක් තිසරණ ගත ව බෞද්ධයෙක් වශයෙන් ජීවත් වෙනවා නම්, එතුමා ජීවත් වෙන්නේ සෝවාන් මාර්ගය සඳහා යි. ඒවාගේ සෝවාන් මාර්ගයට පිළිපන් උතුමකුට යම්කිසි කෙනෙක් එක ආහාර වේලක් පරිත්‍යාග කළා නම්, ආත්ම අසංඛෙය්‍යක දී ආයු, වර්ණ, සැප, බල, ඥාන, ලබන්නට උපකාර වෙනවා.

හයවැනි දානය

සෝවාන් උතුමාට දෙන දානය යි.

හත්වැනි දානය

සකෘදාගාමී මාර්ගයට පිළිපන් උතුමන්ට දෙන දානය යි.

අටවැනි දානය

සකෘදාගාමී උතුමන්ට දෙන දානය යි.

නවවැනි දානය

අනාගාමී මාර්ගයට පිළිපන් උතුමන්ට දෙන දානය යි.

දහවැනි දානය

අනාගාමී මාර්ගයට පිළිපන් උතුමන්ට දෙන දානය යි.

එකොළොස්වැනි දානය

රහත් මාර්ගයට පිළිපන් උතුමන්ට දෙන දානය යි.

දොළොස්වැනි දානය

රහතන් වහන්සේට දෙනු ලබන දානය යි.

දහතුන්වැනි දානය

පසේබුදුරජාණන් වහන්සේට දෙන දානය යි.

දාහතරවැනි දානය

මුළු මහත් ජම්බුද්වීප තලය ම බෙර ඇසක් මෙන් සමතලා කර ආසනයෙන්, ආසනයට සමීප ව අසුන් පනවා, පසේ බුදුරජාණන් වහන්සේ එක පේළියයි, රහතන් වහන්සේ පේළි දෙකක්, අනාගාමීන් වහන්සේ පේළි තුනක්, සකෘදාගාමීන් වහන්සේ පේළි හතරක්, සෝවාන්, ආර්යයන් වහන්සේ පේළි පහක් වශයෙන් වඩා හිඳුවා උන්වහන්සේට ප්‍රණීත චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය ආදියෙන් යම් කෙනෙක් පූජා කරනවා නම්, එම පිනට වඩා එක ම එක ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකට යම් කෙනෙක් දානයක් පිරිනමනවා නම්, එම පින මහත් ඵලයි, මහත් ආනිශංස යි.

මේ වාගේ පෞද්ගලික දාන දාහතර ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඒ අතරින් ශාසනික වශයෙන් දාන දහයයි. ශාසනයෙන් බාහිර ව හතරයි. සියල්ල දාහතරයි. මෙම පෞද්ගලික දාන එසේ පහදා වදාළ සර්වඥයන් වහන්සේ සාංඝික දාන හතක් දේශනා කොට වදාළා.

සාංඝික දාන

පළමුවැනි දානය

බුද්ධ ප්‍රමුඛ උභය සංඝයාට (භික්ෂු, භික්ෂුණී) දෙනු ලබන දානය යි.

දෙවැනි සාංඝික දානය

බුදුරජාණන් වහන්සේ නැති කාලයේ දී භික්ෂු, භික්ෂුණී උභය සංඝයාට පිරිනමනු ලබන දානයයි.

තුන්වැනි සාංඝික දානය

භික්ෂු සංඝයාට පමණක් දෙනු ලබන සාංඝික දානය යි.

හතරවැනි සාංඝික දානය

භික්ෂුණී සංඝයාට පමණක් දෙනු ලබන සාංඝික දානය යි.

පස්වැනි දානය

භික්ෂුන් වහන්සේගෙන් මෙ පමණයි. භික්ෂුණීන් වහන්සේගෙන් මෙ පමණයි කියලා, සංඛ්‍යාවක්, ප්‍රමාණයක් කරලා උභය සංඝයාට පිරිනමනු ලබන දානය පස්වැනි සාංඝික දානය යි.

හයවැනි සාංඝික දානය

භික්ෂූන් වහන්සේ යම් ප්‍රමාණයක් වශයෙන් පවරලා දෙනු ලබන දානය යි.

හත්වැනි සාංඝික දානය

භික්ෂුණීන් වහන්සේ මෙ පමණයි කියලා ප්‍රමාණයක් කර භික්ෂුණීන් වහන්සේට දෙන සාංඝික දානය යි.

අද කාලයේ දී බුදුරජාණන් වහන්සේ නැති බැවින් සහ භික්ෂුණීන් වහන්සේ ලෝකයේ නැති බැවින් භික්ෂූන් වහන්සේ පමණක් ම ලොව වැඩ සිටින බැවින්, එම සාංඝික දාන හත අතරින් භික්ෂු සංඝයා වෙත දෙනු ලබන තුන්වැනි දානය සහ හයවැනි සාංඝික දානය, යන දාන දෙක පමණක් අද කාලයේ දී පිරිනැමිය හැකි වෙනවා. සෙසු දාන පහ ම මේ කාලයේ දී දිය නොහැකි වෙනවා.

මතු සම්බන්ධයි