Print this Article


දිවි මඟ සරු කරන ශික්ෂණය

දිවි මඟ සරු කරන ශික්ෂණය

මේ අතරේ වැද්දා ඇවිත් බලලා හිතනවා ‘මේ මුවා නම් ඉතා ම අගෙයි.

හොඳට මස් තියෙන මුවෙක් අද අහුවෙලා තියෙන්නේ. ටිකක් උදෙන් ම වගේ අහුවෙලා. නරක්වීගෙනත් එන්නේ. නිලමැස්සොත් වහනවා. ඉක්මනට මෙතැන දී ම මස් කරගෙන ගෙනියන්න ඕනෑයි හිතලා උගුල තැනූ රැහැන් කපා ඉවත් කරලා මස් තියන්න අසල තිබුණු ගස්වලින් කොළ අතු ටිකක් කඩන්න පටන් ගත්තා.

දඹදිව රජගහ නුවර පාලනය කළා එක් මගධ රජ කෙනෙක්. මේ රාජ්‍යයේ තිබුණා විශාල වනාන්තරයක්. එහි ජීවත් වුණා මුව රංචුවක්. රංචුවේ නායක මුවාටත්, නායක මුව බිසවටත් දාව අපගේ මහ බෝසතාණන් වහන්සේ එක් ආත්මයක මුවෙක් වෙලා උපත ලැබුවා.

ඔහුට හිටියා මුව සහෝදරියක්. කලක් යන කොට මුව ධේනු සහෝදරියට මුව පැටියෙක් උපන්නා. ටිකෙන් ටික ලොකු වුණා. යමක් කමක් තේරුම් ගන්න පුළුවන් වයසටත් ආවා. මේ කාලයේ දී සහෝදරිය හිතනවා

‘මගේ මල්ලිට හොඳට පුළුවන් මෘග මායම්. මගේ දරුවටත් ටිකක් උගන්වන්න කියන්න ඕනෑ. නැති නම් දුකක්, කරදරයක් ආපු වෙලාවට නිකරුණේ මැරෙන්න තමයි වෙන්නේ හිතලා

‘මල්ලියේ මගේ දරුවටත් මෘග මායම් කියල දෙන්න බැරිද? කියලා දවසක් ඇහුවා.

කොහොමටත් ලේ ඥාතීත්වයක් තියෙන සහෝදර සහෝදරියන් අතරේ උදව් කර ගැනීම් තියෙනවා. ඒත් මේ කාර්යය නම් ගුරුවරයාගෙන් ශිල්ප ඉගෙන ගැනීමක්. ඒ කටයුත්ත ආවාට ගියාට, ඥාතීත්වයට කරන්න පුළුවන්කමක් නෑ.

සහෝදර වූ මුවාත් ඒ බව හොඳීන් ම දන්නවා. ඒ නිසා නැඟණියට කියනවා ‘නංගියේ, මට දරුවට මෘග මායම් උගන්වන්න නම් පුළුවන්. හැබැයි මම කියන විදිහට කටයුතු කරන්න ඕනෑයි කිව්වා. මොනවද කරන්න ඕනෑ. කොහොමද හැසිරෙන්න ඕනෑ. කීයටද ඉගෙනීමට එන්න ඕනෑ. කීය වෙනකම් ඉගෙන ගන්න ඕනෑද? ආදී වශයෙන් ඇතිවන හැම ප්‍රශ්නයකට ම පිළිතුරු වශයෙන් අවවාද හා අනුශාසනා දීලා හෙට උදේ අසවල් වේලාවට මගේ ළඟට එවන්න යැයි කියා සිටියා.

මව් මුව ධේනුවත් දරුවා ළඟට ගිහින් කිව්වා ‘පුතේ, හෙට ඉඳලා නුඹ මාමාගෙන් මෘග මායම් ඉගෙන ගන්න ඕනෑ. වේලාවට ඉගෙනීමට යන්න ඕනෑ. කියන දේවලට හොඳීන් ඇහුන්කන් දීලා ඉගෙන ගන්න ඕනෑ. පුහුණුවලට යන්න ඕනෑ ආදී වශයෙන් උපදෙස් මාලාවක් ම ලබා දුන්නා. මුව පැටියාත් කියපු විදිහට ම වේලාවට ම ගුරුවරයා වූ මාමා ළඟට ගියා. ගුරුවරයා බොහොම සතුටට පත් වෙලා අලුත් ගෝලයා පිළිගත්තා. පළමු දවසේ ශිල්පය ලබා දුන්නා. දෙවැනි දෙවසෙත් වේලාවට ආවා. දෙවැනි දවසේත් ශිල්පය ලබා දුන්නා. මේ විදිහට මාස ගණනාවක් ශිල්පය ලබා ගන්න වේලාවට ගුරුවරයා සමීපයට ආවා. වේලාසනින් ඉගෙනීම අත්හැර සෙල්ලමට හෝ වෙනත් කටයුත්තකට හෝ පිටත්ව ගියේ නෑ. මවුපියන් ගෙන්නාගෙන ඇවිත් විවිධ හේතු දක්වලා පන්තියෙන් යන්න හිතුවේත් නෑ. කීකරු ව ශිල්පය ඉගෙන ගත්තා.

ගුරුවරයා බොහෝම පැහැදීමට පත් වෙලා තමන් ඉගෙන ගත් මෘග මායම් සියල්ල ම තමන්ගේ ශිෂ්‍යයාට ඉගැන්නුවා. ගුරුවරයාට ගෞරව සත්කාර කරලා ඉගෙනීම අවසන් කළා. ශිල්ප ඉගෙන ගත්තා. මේ තරුණ මුව පැටියා දවසක් තමන්ගේ යහළු මුව කණ්ඩාමක් එක්ක සෙල්ලම් කරමින් කෑම ගනිමින් කැලෑවේ ඇවිදින්න පටන් ගත්තා. මේ මහා වනයේ වැද්දෙක් හිටියා. ඔහුට හැමදාම ගමට මුව මස් ගෙනියන්න ඕනෑ. ඒවා විකුණලා තමයි තමන්ගේ අඹුදරුවන් පෝෂණය කරන්නේ. ඉතින් හැමදාම උගුලක් අටවලා තියෙනවා. මේ තරුණ මුවා යහළු කණ්ඩායමේ පෙරටුවෙන් ම ගමන් කරන නිසා දවසක් මේ උගුලට අහුවුණා. ඒත් එක්කම යහළුකම් නොදත් යහළුවෝ එතැනින් පලා ගිහින් ‘අර මුව තරුණයාගේ අම්මාට කිව්වා තමන්ගේ පුතා උගුලකට අහුවුණා කියලා. මව් මුව මව ඒ වෙලාවෙ ම දුවගෙන ගිහින් තමන්ගේ මල්ලී මුණගැහිලා ඇහුවා ‘මල්ලියේ, මගේ දරුවාට මුව මායම් ඔක්කොම ඉගැන්නුවද? මගේ දරුවා උගුලකට අහුවෙලා ආයෙත් එන එකක් නෑ යි කියමින් විලාප දෙමින් අඬන්න පටන් ගත්තා.

සහෝදරයා ඈ සනසමින් කිව්වා. ‘අක්කේ, මම දරුවාට සියලු ම ශිල්පය දීලා තියෙන්නේ. රෑ වෙන කොට නොවරදවා ම එනවා. බය වෙන්න එපා. දුක් වෙන්න එපා යැයි කිව්වා.

ඉතින් උගුලට අහුවුණු තරුණ මුවා කල්පනා කරනවා ‘මට මගේ මාමා මෘග මායම් සියල්ල ම කියලා දුන්නා. ඒවා තැනට උචිත සුදුසු ම විදිහට පාවිච්චි කරන්න ඕනෑ. ශිල්පය තියෙන්නේ මේ වගේ අවස්ථාවලට ගන්න තමයි යැයි හිතලා කුස හුළංවලින් පුරවා ගත්තා. ඉලඇට පෙනෙන විදිහට පුම්බා ගත්තා. කටින් සෙම හා කෙළ වැගුරුවා. ඒ විතරක් නෙවෙයි. මූත්‍රා කළා. මළ වැගිරුවා. අත් දෙකත් කකුල් දෙකත් දික් කොට ගත්තා. දර කැබලි වගේ සවි කර ගත්තා. පොළොව මතට හැරුණු නාසා සිදුරෙන් ටිකෙන් ටික හුස්ම ගත්තා. මේ ටික කරන කොට ඇග උඩ නිලමැස්සෝ වහන්න පටන් ගත්තා. ඒ වගේම අහල පහල ගස්වලට කපුටු රංචු එන්න ගත්තා.

මේ අතරේ වැද්දා ඇවිත් බලලා හිතනවා ‘මේ මුවා නම් ඉතා ම අගෙයි.

හොඳට මස් තියෙන මුවෙක් අද අහුවෙලා තියෙන්නේ. ටිකක් උදෙන් ම වගේ අහුවෙලා. නරක්වීගෙනත් එන්නේ. නිලමැස්සොත් වහනවා. ඉක්මනට මෙතැන දී ම මස් කරගෙන ගෙනියන්න ඕනෑයි හිතලා උගුල තැනූ රැහැන් කපා ඉවත් කරලා මස් තියන්න අසල තිබුණු ගස්වලින් කොළ අතු ටිකක් කඩන්න පටන් ගත්තා. මේ වේලාව එනකං ඉවසාගෙන බලාගෙන හිටිය තරුණ මුවා වහා ම නැඟිටලා මහා සුළඟකින් හමා යන වලාකුළක් වගේ ඉතා ම වේගයෙන් එතැනින් දුවන්න පටන් ගත්තා.

ජීවිතය බේරා ගෙන මවුතුරුලට ම වැදුණා. තමන් ඉගෙන ගත්ත ශිල්පයේ වටිනාකම අම්මාට කියා සිටියා. ඒකට හේතු වුණේ කම්මැලි නැති ව මවුපියන්ට අවනත ව ශිල්ප ඉගෙන ගත් නිසා බවත්, ගුරුවරයාගේ හිත දිනාගෙන උනන්දුවෙන්, නිසි වේලාවට කටයුතුවල යෙදුණ නිසා බවත් මව තමන්ගේ මුව පුතාට කියා සිටියා.

ඉගෙන ගන්න කාලයේ මවුපියන්ට වගේ ම ගුරුවරුන්ට කීකරු වන්න. එය ප්‍රඥාව වැඩීමටත්, ශිල්පය හොඳීන් ලැබීමටත් හේතු වෙනවා. මේ ලස්සන කතාව සඳහන් වෙන්නේ ජාතක පොතේ දහසය වැනි ජාතකය වන තිපල්ලත්ථ මිග ජාතකයේ. ඒ වගේම රාහුල තෙරුන් වහන්සේ අරභයා තමයි මේ ජාතක දේශනාව සිදු කරලා තියෙන්නේ. ගුරුවරුන්ටත්, මවුපියන්ටත් කීකරු වන

තරමට ජීවිතය සාර්ථක වන බව මේ ජාතක කථාවෙන් අපට කියා දෙනවා.