Print this Article


බුබ්බුලාකාර හැඩැති පොලොන්නරුවේ රන්කොත් වෙහෙර වහන්සේ

බුබ්බුලාකාර හැඩැති පොලොන්නරුවේ රන්කොත් වෙහෙර වහන්සේ

පොලොන්නරුවේ පිහිටි විශාලතම ස්තූපය වන රන්කොත් වෙහෙර පුරාතන ස්තූපයකි. මෙම ස්තූපය මහා පරාක්‍රමබාහු රජුගේ බිසවක් වූ රූපවතී බිසව විසින් ඉදිකිරීම ආරම්භ කළ බවත්, පසුව එය ක්‍රිස්තු වර්ෂ 1187 සිට 1196 දක්වා රජකම් කළ නිශ්ශංකමල්ල රජු විසින් සම්පූර්ණ කරන්නට ඇති බවටත් වන මතය ශිලා ලේඛන, පූජාවලිය සහ චූල වංශය සනාථ කරයි. අනුරාධපුර මහා විහාර ස්තූප සම්ප්‍රදායට අනුකූල ව රන්කොත් වෙහෙර ඉදි කොට තිබේ. එය අනුරාධපුර රුවන්වැලි සෑයට බොහෝ සමීප ලක්ෂණ පෙන්නුම් කරයි.

නිශ්ශංකමල්ල රජු විසින් රනින් කරවන ලද ස්වර්ණමය කොතක් සවි කළ නිසා මෙම ස්තූපය රන්කොත් වෙහෙර යන නමින් ප්‍රසිද්ධ වූ බව පූජාවලියේ සහ චූල වංශයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑය සිහිකැඳවීමට පොලොන්නරු රාජධානියේ ද එවැනි ම විශාල වෙහෙර වහන්සේ නමක් තැනීම සිදු කළ බව රන්කොත් වෙහෙර ටැම් ලිපියෙහි සඳහන් වේ.

බුබ්බුලාකාර හැඩයෙන් යුතු මෙම ස්තූපයේ පාදමේ වට ප්‍රමාණය අඩි 186ක් සහ උස අඩි 180ක් පමණ වේ. මෙම ස්තූපය ඉදිකිරීමේ දී ගර්භයේ බාහිර බිත්තියත්, මධ්‍ය හරයත් ගඩොලින් නිම කර ඇති අතර, ඒ දෙක අතර අවකාශය පස්වලින් පුරවා තිබේ. මෙහි මුල් හැඩය සහ ඉහළ කොටස පසුකාලීන ව කරන ලද ප්‍රතිසංස්කරණ හේතුවෙන් වෙනස් වී තිබේ. ස්තූපයේ මුල් උස අඩි 200ක් පමණ වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

මෙහි මළුව මාලක දෙකකින් යුක්ත වන අතර, ඇතුළුවීමේ දොරටු සතරක් සහිත පහළ මාලකය හෙවත් වැලි මළුව ප්‍රදක්ෂිණා පථයක් ලෙස ද භාවිත කර තිබේ. ඉහළ සලපතළ සළුව මත ස්තූපය ඉදි කර ඇති අතර, ඉහළ සලපතළ මළුවට ගොඩවීමට සිව් උප දිසාවලින් දොරටු සතරක් ද ඉදිකර තිබේ. එහි සම්පූර්ණයෙන් ම ගඩොලින් කරන ලද වාහල්කඩ සතරකි. වාහල්කඩ පිටුපස කොටසෙහි ස්තූපයට නමස්කාර කරන සතර වරම් දේව රූපයක් බැගින් දක්නට ලැබේ. එම වාහල්කඩ විනාශ වී ඇති අතර, දැනට ඉතිරි ව ඇත්තේ අඩි 18ක් දිග අඩි 22ක් උස වාහල්කඩෙහි කොටසක් පමණි.

මෙහි ප්‍රතිමාඝර ඉදිකර ඇති අතර, එහි ඇති කුඩා පිළිම ගෙවල් ගෙඩිගේ ක්‍රමය අනුව ඉදිකර තිබීම ද විශේෂත්වයකි. ස්තූපය වටා විහාර ගෙවල් 16ක් ද ඉදිකර ඇත. ස්තූපයේ හතරැස් කොටුවේ නෙළුම් මලක් ද දක්නට ලැබේ.

මෙම වෙහෙර පිළිබඳ නිශ්ශංකමල්ල රජුගේ ගල්පොත ශිලා ලේඛනයෙහි සඳහන් වන්නේ දළදාගෙය, වටදාගෙය, නිශ්ශංකලතා මණ්ඩපය බැලූ බැලූවන් සිත් සතුටු වන ස්වර්ග මෝක්ෂ වන නියායෙන් කරවා මහ වෙහෙර දාගැබ සා කොට උපකාර චෛත්‍ය කරවා රජගෙට උතුරු දිග අසූ හත් රුවන් මැලි දාගැබ් වහන්සේ කරවා සිසාරා දොරටු පවුරු සංඝාරාම කරවා ලෝක ශාසනය බොහෝ කල් පවත්නා සේ කොටැ..... යනුවෙනි.

පොලොන්නරුව රාජධානිය විනාශ වීමෙන් පසුව ගරා වැටුණු මෙම ස්තූපය ඉංග්‍රීසී පාලන සමයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිසංස්කරණය කර තිබේ. 1981දී ආරම්භ වූ සංස්කෘතික ත්‍රිකෝණ යෝජනා ක්‍රමයෙන් රන්කොත් වෙහෙර සම්පූර්ණයෙන් ම ප්‍රතිසංස්කරණය කර තිබේ.