Print this Article


දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩමවා කෞතුක වස්තු වූ ඇත්තු

දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩමවා කෞතුක වස්තු වූ ඇත්තු

“කෞතුකාගාරය” යන නාමය ඇසූ සැණින් බොහෝ දෙනෙකුට එකවර සිහියට නැඟෙන්නේ පැරැණි නෂ්ඨාවශේෂවලින් පිරි ගොඩනැඟිල්ලකි. “කටුගේ” ලෙස ද ජනවහරේ ප්‍රචලිත මෙහි තැන්පත් කර ඇති සියලුම දෑ ඉතා ඈත අතීතයෙන් ශේෂ වූ නිර්මාණයෝ වෙති. මෙරට කෞතුකාගාරයන් හි ඉතිහාසය විමසා බලනවිට මෙරට බිහිවූ ප්‍රථම කෞතුකාගාරය ලෙස හඳුනාගත හැක්කේ 1877 වර්ෂයේ බිහිවූ කොළඹ ජාතික කෞතුකාගාරයයි. එතැන් පටන් මෙරට බිහිවී ඇති කෞතුකාගාර ප්‍රමාණය අති විශාල ය. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල යන මුඛ්‍ය ආයතන මඟින් මෙන් ම, රාජ්‍ය හා පෞද්ගලික ආයතන ද, පෞද්ගලික වශයෙන් ද බිහි කරන ලද එම කෞතුකාගාරයන් හි ප්‍රදර්ශනය කරනු ලබන්නේ අතීත මුතුන් මිත්තන්ගෙන් නූතනයට දායාද වූ පුරාවිද්‍යා ගවේෂණ, කැණීම් මඟින් අනාවරණය කරගත් හා අහඹු ලෙස මතුවූ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් උරුමයන් ය. මෙසේ පැරැණි කෘති සඳහා වෙන් වූ කෞතුකාගාරය යන ගොඩනැඟිල්ල තුළ පැරැණි නොවූ දෑ ද ප්‍රදර්ශනය කරනු ලබන බව ප්‍රකාශ කළහොත් එය ඇතැමුන්ට කුතුහලය දනවනු ඇත. නමුත් එය සත්‍යයකි. කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහරේ සධාතුක කරඬුව තම කර මතින් වැඩම කර දිවියෙන් සමුගත් දළදා මාලිගාවේ රාජා, හෙයියන්තුඩුවේ රාජා හා මිල්ලන්ගොඩ රාජා යන ඇත් රජුන් තිදෙනාගේ සිරුරු සංරක්ෂණය කර කෞතුකාගාර ත්‍රිත්වයක කෞතුක වස්තු ලෙස ප්‍රදර්ශනයට තබා තිබේ. ඒ එම ඇතුන් තිදෙනා මෙරට ජාතික උරුමයන් ලෙස හඳුනාගන්නා නිසාවෙනි.

මහනුවර ඇසළ පෙරහර යනු ශ්‍රී ලාංකේය සංස්කෘතියේ අපූර්වත්වය ලොවට කියාපාන සංස්කෘතික දැක්මක් ලෙස හැඳින්වීම නිවැරැදි ය. දළදා පෙරහර පැවැත්වීම උත්තම පූජාවක් ලෙස බෞද්ධයෝ පිළිගනිති. දළදා සම්ප්‍රදායන්ට අනුකූල ව වාර්ෂික ව ඇසළ මාසයේ එළැඹෙන නැකැත් අනුව සිදුකරන හෙයින් ‘ඇසළ පෙරහර’ ලෙස ද එය ප්‍රකට ය. මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය හා අලි ඇතුන් අතර ඇත්තේ නොබිඳිය හැකි සම්බන්ධයකි. ඉතා මනරම් ලෙස සරසන ලද අලි ඇතුන් වැඩිම ප්‍රමාණයක් සහභාගි වන පෙරහර ලෙස දළදා පෙරහර හැඳින්වීම වටී. අලි, ඇතුන් හිමිකරුවන් දළදා පෙරහරට අලි ඇතුන් එකතු කරන්නේ එය මහත් ඵල උදාවන පිනක් ලෙස සලකමිනි. එහිදී දළදා පෙරහරේ අති පූජනීය වස්තුව ලෙස සලකන සධාතුක කරඬුව වැඩම කරවීමේ භාග්‍ය හිමිවන්නේ මංගල ලක්ෂණ සහිත හස්තියකුට පමණි. මංගල හස්ති රාජයකුට භූමි ස්පර්ශ ස්ථාන හතක් හෙවත් හත්පොළ වැඳුම් පිහිටා තිබීම අනිවාර්ය වේ. එම ස්ථාන වන්නේ සතර පා, ඇත් හොඬය, ලිංගය හා වලිගයයි. ඊට අමතරව මඟුල් ඇතකු සතුව තවත් ගුණාංග රාශියක් පැවතිය යුතු වේ. ඒවා නම් පුළුල් පිට, පුළුල් කුඹුතල, උදාර ලීලාව, තේජාන්විත දළ යුගල හා මනා කීකරුකම ය. සධාතුක කරඬුව වැඩම කරවීමේ සුදුසුකම් ලත් මංගල ඇතු තෝරාගැනීමේ දී දළදා මාළිගාවේ ගජනායක නිලමේ, කාරියකෝරාල සහ ඇතුන් පිළිබඳ කටයුතු කරන සියලු දෙනා සමඟ සාකච්ඡා කර තීරණයකට එළැඹීම සම්ප්‍රදායයි. මෙම සියලු ගුණාංග සැපිරූ නිසාවෙන් සධාතුක කරඬුව තම පිට මස්තකයේ තබාගෙන පාවඩ මතින් උඩු වියන් යටින් ජනතා පූජෝපහාර මැද ගමන් කිරීමේ වාසනා මහිමය හිමිවූ ඇතුන් අතරින් දළදා මාළිගාවේ රාජා, මිල්ලන්ගොඩ රාජා හා හෙයියන්තුඩුවේ රාජා යන ඇතුන් තිදෙනාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. දළදා පුදට කැපවූ මෙම ඇත් රජුන් තිදෙනා මියයෑමෙන් පසුව ද නැවත දැකගත හැකි වීම එම සුවිශේෂත්වය යි. දිවියෙන් සමුගත් රාජා ඇතුගේ සිරුර සංරක්ෂණය කර දළදා මාළිගාව අසල එම ඇතු වෙනුවෙන් ම තැනූ කෞතුකාගාරයක ද, දිවියෙන් සමුගත් හෙයියන්තුඩුවේ රාජා ඇතුගේ සංරක්ෂිත අස්ථි සැකිල්ල කොළඹ ජාතික කෞතුකාගාරයේ ද හා මිල්ලන්ගොඩ රාජා ඇතුගේ දළ යුගල ද ඇතුළත් හිස්කබල සහිත ආකෘතික සිරුර කෑගල්ලේ මොළගොඩ ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති කෞතුකාගාරයක ද මහජන ප්‍රදර්ශනයට තැන්පත් කර ඇත.

මාලිගාවේ රාජා ඇතු

එදා දළදා පුදට කැපව මෙදා කෞතුක වස්තුවක් වී ඇති රාජා ලෙස ජනාදරයට පත්වූ මෙම ඇත් පැටවා අල්ලාගෙන ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ තිබූ ගන කැලෑවකිනි. එකල අලි ඇතුන් ඇල්ලූ පුද්ගලයන් මට්ටයන් ලෙස හඳුන්වා ඇති අතර, ඒ අනුව උමේරු ලෙබ්බේ නමැති පුද්ගලයා අලි ඇතුන් ඇල්ලීම සඳහා රජයෙන් ලබා දෙන බලපත්‍ර අංක 1318 යටතේ 1925 වසරේ ජනවාරි මස 05 වැනි දින මෙම ඇත් පැටවා අල්ලාගෙන ඇත. ඒ වන විට ඇත් පැටවාගේ වයස අවුරුදු 10ක් පමණ වූ අතර උස අඩි 4යි අඟල් 5කි. මෙම ඇත් පැටවා දුටු මහනුවර, ගිරාගම වලව්වේ ටිකිරි බණ්ඩාර මාම්පිටිය දිසාව ඇත් පැටවා අල්ලාගත් ලෙබ්බේවරයාට 1925 වසරේ දෙසැම්බර් 11 වැනි දින රුපියල් 3300ක මුදලක් ගෙවා මිලට ගෙන ඇත. එසේ මිලට ගත් ඇත් පැටවා දෙසැම්බර් 30 වැනි දින මඩකලපු දිසාපති වෙනුවට වැඩ බැලූ නිලධාරියකු වූ විශ්වලිංගම් මහතා විසින් මඩකලපුවේ සිට වාලච්චේනේ, තෝපාවැව, මාතලේ හරහා මහනුවරට ප්‍රවාහනය කිරීමට ලබා දුන් බලපත්‍රය හරහා ප්‍රවාහනය කර තිබේ.

මෙසේ මාම්පිටිය දිසාවගේ ගිරාගම වලව්වේ වසර 12ක කාලයක් හැදී වැඩුණු රාජා ඇතා දළදා මාලිගාවට පූජා කිරීමට හෙතෙම අදහස් කර ඇත. ඒ අනුව 1937 ජූලි මස 31 වැනි දින ඇතු දළදා මාලිගයට භාරදී ඇත. මෙසේ දළදා මාලිගාවේ සේවයට බැඳුණු රාජා ඇතු එම වසරේ දළදා පෙරහරට එකතු කරගැනීමට එකල දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා ලෙස කටයුතු කළ ටිකිරි බණ්ඩාර රත්වත්තේ මහතා කටයුතු කර ඇත. එතැන් පටන් 1987 වර්ෂය වනතෙක් අඛණ්ඩව අඩ සියවසක කාලයක් අති පූජනීය සධාතුක කරඬුව වැඩම කරවීමේ භාග්‍ය හිමිවූයේ රාජා හස්තියාට ය.

රාජා ඇතු සමඟ බැඳි අපූරු පුවත් රාශියක් වේ. 1955 වසරේ මහනුවර ඇසළ පෙරහරේ රන්දෝලි පෙරහර ගමන් කරන අවස්ථාවේ දී සධාතුක කරඬුව වැඩම කරවමින් සිටි රාජා ඇතු එකවරම මහනුවර රැජිණ හෝටලය ඉදිරිපිට දී නැවතී ඇත. රාජාගේ මෙම හැසිරීමත් සමඟම පෙරහර ඉදිරියට ගමන් කිරීම අඩාළවී ඇති අතර, කොතරම් උත්සාහ ගත්තද රාජා ඇතු ඉදිරියට යෑමට මැළවී ඇත. පසුව එම ස්ථානයට පැමිණි නුගවෙල නිලමේතුමන් ඇත්ගොව්වන් ලවා කරඬුව තැන්පත් කර තිබූ රන්සිවි ගෙය පරීක්ෂා කිරීමේ දී පෙනීගොස් ඇත්තේ රන්සිවිගෙය ඇතුගේ පිටට බැඳ තිබූ රැහැන් පට සියල්ල කැඩී ඇති බව ය. රාජා ඇතු නැවතී ඇත්තේ තව එකදු පියවරක් හෝ ඉදිරියට ගියේ නම් ඉන් සධාතුක කරඬුවට හානියක් වන බැවිනි. 1959 වසරේ ඇසළ පෙරහරේ දී මහා අලි කුලප්පුවක් සිදුවූ අතර, පෙරහරේ ගමන්ගත් ශිල්පීන් මෙන්ම පෙරහර නැරඹීමට පැමිණි පිරිස් හිස් ලූ ලූ අත දිවයන්නට විය. නමුත් මේ සියල්ල සිදුවෙද්දී සධාතුක කරඬුව පිට මත තබාගත් රාජා ඇතු කිසිදු කලබලයක් නොමැති ව නිසොල්මනේ සිට ඇත. ඒ සධාතුක කරඬුව කෙරෙහි ඇති අති මහත් ගෞරවය නිසාවෙනි. පාවඩ මතින් කරඬුව වඩමවන රාජා ඇතු පාවඩ එළා නොමැති කිසිදු විටක පියවරක් හෝ ඉදිරියට යෑම ප්‍රතික්ෂේප කර ඇත. ඒ වනාහි පෙරහර චාරිත්‍ර පිළිබඳ එම ඇතුට තිබූ අවබෝධයයි. ඉතා කීකරු හස්තියකු වූ රාජා දිනක් මහනුවර දී ලොරි රථයකට පහරදී අලාභ හානි කර තිබූ අතර පසුව කළ සොයා බැලීමේ දී අනාවරණය වී ඇත්තේ එය රා ප්‍රවාහනය කළ ලොරියක් බවයි. තවත් දිනක හෙතෙම කටුගස්තොට ප්‍රදේශයේ දී මහා මාර්ගයේ දිවයන්නට වූ අතර මෙයින් තැතිගත් මිනිසුන් පාර පුරා දිවයන්නට විය.

මේ අතර මාර්ගයේ සිටි එක් අන්ධ පුද්ගලයකු කිසිවක් කරකියාගත නොහැකි ව මහමඟ සිටිනු දුටු රාජා ඇතු ඔහු වෙත දිවගොස් තම හොඬයෙන් ඔහුව ඔසවා මාර්ගයේ පැත්තකින් තබා ගොස් තිබේ. එසේම 1986 වසරේ දී රාජා ඇතුගේ ඇත් ගොව්වා දැඩි ලෙස රෝගාතුර වී රෝහල්ගත කර ඇති අතර, එයින් තම වගකීම මනාව වටහාගත් ඇතු තම ඇත්තොව්වා නොමැති ව තනිව ම සධාතුක කරඬුව වැඩම කරවා ඇත. 1987 වසරේ ජනවාරි මස 01 වැනිදා උත්සව අවස්ථාවක් සඳහා පේරාදෙණිය පාරේ සිට කටුකැලේ දෙසින් දළදා මාළිගයට පැමිණෙමින් සිටි රාජා ඇතු බීමත් හමුදා නිලධාරියකු පැදවූ රථයක හැපී තිබේ. එහිදී ඇත්තොව්වා එම ස්ථානයේ දී ම මියගොස් ඇති අතර, තුවාල ලැබූ රාජා කිසිදු කලබලයක් නොකර කොර ගසමින් ම දළදා මාලිගාවට පැමිණ ඇත.

රාජා ඇතු තම සේවය දියවඩන නිලමේවරු සය දෙනකු යටතේ ලබාදීමට කටයුතු කර ඇති අතර ඔවුන් වන්නේ ටී.බී. රත්වත්තේ (1937 - 1947) සී.බී.නුගවෙල (1947 - 1961) හැරිස් රත්වත්තේ (1961 - 1964) එච්.බී. උඩුරාවන (1965 - 1975 ) නිශ්ශංක විජේරත්න (1975 - 1985) සහ නිරන්ජන් විජේරත්න (1985 - 1988) යන නිලමේවරුන්ය. 1987 වසරේ සිදුවූ රිය අනතුරෙන් පසුව රාජා ඇතු දිගින් දිගටම රෝගාතුර වී ඇති අතර, වසර 75ක් ආයු වළඳා 1988 වසරේ ජූලි මස 16 වැනි දින උදෑසන දහයයි දහ තුනට දියවඩන නිලමේවරයාගේ නිල නිවෙසට අයත් භූමියේ දී මියගොස් ඇත.

අඩ සියවසක් තුළ කළ අනුපමේය සේවය හේතුවෙන් 1986 වසරේ අගෝස්තු මස 20 වැනි දින එවකට ජනාධිපතිව සිටි ජේ.ආර්.ජයවර්ධන මහතා විසින් රාජා ඇතු ජාතික වස්තුවක් ලෙස නම් කර ඇත. එසේම මියගිය ඇතු වියළා සංරක්ෂණය කර 1989 වසරේ දෙසැම්බර් මස 12 වැනි දින දළදා මාලිගාවත් පැරැණි රජ මාලිගයක් අතර ඇති ගොඩනැඟිල්ලක තැන්පත් කර මහජනයා සඳහා විවෘත කර ඇත. එදිනම ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය විසින් නිවේදන අංක 182 යටතේ රාජා ඇතුගේ රුව ඇතුළත් මිලිමීටර් 29 36 ප්‍රමාණයේ ශත හැත්තෑපහක වටිනාකමින් යුත් මුද්දරයක් නිකුත්කර ඇත. මේ අනුව ජාතික වස්තුවක් ලෙස නම් කෙරුණු ලොව පළමු හීලෑ ඇතාට හිමි ගෞරවය මෙන්ම මියගිය පසු සංරක්ෂණය කර ප්‍රදර්ශනයට එක්කළ මෙරට පළමු හස්තියා මෙන් ම ලොව දෙවැනි හස්තියාගේ ගෞරවයට ද හිමිකම් පාන්නේ රාජා ඇතුය.

හෙයියන්තුඩුවේ රාජා ඇතා

එදා දළදා පුදට කැපව මෙදා කෞතුක වස්තුවක් වී ඇති හෙයියන්තුඩුවේ රාජා ඇතු දළදා මාලිගාවේ රාජා ඇතු මියයෑමෙන් පසුව වසර 11ක කාලයක් සධාතුක කරඬුව වැඩමකරවීමේ කාර්යය ඉටුකර ඇත. මෙම ඇත් පැටවා 1945 වර්ෂයේ මාර්තු මස 08 වැනි දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ කට්ටකඩුවන කැලයෙන් අල්ලාගෙන ඇති අතර, ඉන්පසුව ඉංගී‍්‍රසි ආණ්ඩුව මඟින් ඇත් පැටවා හම්බන්තොට කච්චේරියේ දී වෙන්දේසි කර තිබේ. මෙම වෙන්දේසියට පැමිණි බියගම හෙයියන්තුඩුවේ විසූ විලියම් ගුණසේකර මහතා (හෙයියන්තුඩුවේ රාලහාමි) රුපියල් 10500ක මුදලක් ගෙවා ඇත් පැටවා මිලට ගෙන ඇත. එතැන් පටන් ඇත් පැටවා හෙයියන්තුඩුවේ රාජා යන නාමයෙන් ප්‍රචලිත විය. ධනවත් ඉඩම් හිමියකු වූ විලියම් ගුණසේකර මහතා එකල ඇතුන් 14 දෙනකුගේ හිමිකරුවකු වූ අතර ඔහුගෙන් පසුව හෙයියන්තුඩුවේ රාජා ඇතුගේ හිමිකාරිත්වය ඔහුගේ පුත් හෙන්රි ගුණසේකර මහතාට හිමි වී ඇත. මාලිගාවේ රාජා ඇතුගේ මරණින් පසු දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවීමේ කාර්ය භාර වූ මෙම ඇතු 1989 වසරේ සිට 2000 වසර දක්වා වසර 11ක් එම උතුම් කාර්යයේ නිරත වී තිබේ. ඊට අමතරව මෙම ඇතු කැලණිය දුරුතු පෙරහර, බෙල්ලන්විල පෙරහර හා ගංගාරාමයේ නවම් පෙරහර යන පෙරහරවල දී කරඬුව වැඩම කරවීමේ කාර්යය සිදුකර ඇත. එකල මෙරට ජීවත් වූ දිගම දළ යුගල හිමි ඇතුට හිමි ගෞරවය ලැබූ හෙයියන්තුඩුවේ ඇතුළේ දළ යුගලේ දිග අඩි 7යි අඟල් 6ක් විය.

මහනුවර ඇසළ පෙරහරේ සධාතුක කරඬුව වැඩම වූ ඇතු 2002 වසරේ නොවැම්බර් 06 වැනි දින දිවියෙන් සමුගත් අතර, ඒ වන විට ඇතුගේ වයස අවුරුදු 78කි. ඇතු මියයෑමෙන් පසු ශේෂ වූ අස්ථි සැකිල්ල අමෙරිකානු ඩොලර් 160000ක් ගෙවා මිලදී ගැනීමට ජපන් සමාගමක් ඉදිරිපත් වුවද ජාතික උරුමයක් ලෙස සැලකූ එම අස්ථි සැකිල්ල කිසිදු මුදලක් අය නොකරම කොළඹ ජාතික කෞතුකාගාරයට භාරදීමට හෙන්රි ගුණසේකර මහතා කටයුතු කර ඇත. ඒ අනුව එකලස් කරන ලද අස්ථි සැකිල්ල 2013 වසරේ ජනවාරි 29 දින කොළඹ ජාතික කෞතුකාගාරයේ දී කෞතුක වස්තුවක් ලෙස ප්‍රදර්ශනය සඳහා විවෘත විය.

මිල්ලන්ගොඩ රාජා ඇතා

එදා දළදා පුදට කැපවී මෙදා කෞතුක වස්තුවක් වී ඇති මිල්ලන්ගොඩ රාජා ඇතු එකල ප්‍රචලිත වූයේ ආසියාවේ දිගම දළ යුගල හිමි හීලෑ ඇතු ලෙස ය. පුත්තලම දිස්ත්‍රික්කයේ ආනමඬුව ප්‍රදේශයේ වූ නවගත්තේගම වනයෙන් අල්ලාගන්නා ලද මෙම ඇත් පැටවා මිලට ගෙන ඇත්තේ එම්.ආර්.ඒ. මිල්ලන්ගොඩ අප්පුහාමි මහතා ය. මෙම මහතා වයස අවුරුදු 22ක් පමණ වූ තරුණ වයසේ දී ඇතුන් ඇල්ලීමේ රුසියෙක් වූ අතර, ඔහු තම දිවියේ පළමු ඇත් පැටවා අල්ලාගෙන ඇත්තේ 1943 වසරේ හම්බන්තොටදී ය. එසේම ඔහු අඟුණකොළපැලැස්ස, හුන්ගම, පල්ලේමලල, බෝලාන, බුන්දල හා කොග්ගල යන ප්‍රදේශවල ද ඇතුන් ඇල්ලීමේ කටයුතුවල නිරත වී ඇත. මෙකල හොඳ හස්තියකු රුපියල් 3000ක් වැනි මිලකට අලෙවි වී ඇති අතර, සාමාන්‍ය ඇතකු රුපියල් 2000 - 2500ත් අතර මිලකට අලෙවි වී ඇත. මිල්ලන්ගොඩ අප්පුහාමි මහතා ආනමඩුව වැව් පිටියේ දී පසු කාලයේ මිල්ලන්ගොඩ රාජා ලෙස ප්‍රචලිත වූ ඇත් පැටවා මිලට ගෙන තිබේ. එකල ඇත් පැටවාගේ වයස අවුරුදු 8ක් පමණ වූ අතර, උසින් අඩි 5 - 6ත් අතර විය. ආසියාවේ දිගම දළ යුගල හිමි ඇතා ලෙස විරුදාවලිය ලත් මෙම ඇතු කෑගල්ලේ, මොළගොඩ පිහිටි මිල්ලන්ගොඩ වලව්වේ ඇති දැඩි වී ඇත. 1945 වසරේ මිනිස් ඇසුරට පැමිණි ඇතු තම වසර 70ක ජීවිතයෙන් වසර 40කට ආසන්න කාලයක් මහනුවර ඇසළ පෙරහරේ කටයුතු වෙනුවෙන් දායක වී තිබේ.

මිල්ලන්ගොඩ රාජා අවසන් වරට ඇසළ පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවා ඇත්තේ 2008 වසරේ දී ය. 2011 වසරේ ජූලි මස 30 වැනි දින දහවල් 12.25ට පිරිත් සජ්ඣායනා මැද්දේ ඇතු අවසන් හුස්ම හෙළා ඇති අතර පශු වෛද්‍යවරුන්ගේ මතය වූයේ ඇතු ස්වාභාවික හේතූන් මත මියගිය බව ය. ඇතුගේ අභාවයෙන් පසු අතිවිශාල ජනකායකගේ සෝ සුසුම් මැද ඇතුගේ අවසන් කටයුතු සිදුවූයේ හෙතෙම කුඩා කල සිට ඇති දැඩි වූ මිල්ලන්ගොඩ වලව් භූමියේ දී ම ය. මෙම අවමඟුල් උලෙළට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සහභාගි වූ අතර, ඇතුගේ අභාවය පිළිබඳ දෙස්, විදෙස් ජනමාධ්‍ය ඉතා සංවේගයෙන් පුවත් වාර්තා කර තිබුණි. එහිදී බී.බී.සී නාළිකාව මඟින් ද එම පුවත ප්‍රචාරය කර තිබීම විශේෂත්වයකි. මෙසේ දිවියෙන් සමුගත් මිල්ලන්ගොඩ ඇතුගේ සිරුර නැවත දැකබලා ගැනීම වෙනුවෙන් සංරක්ෂණය කිරීමට මිල්ලන්ගොඩ පවුලේ සාමාජිකයන් උත්සුක වූ අතර, ඒ අනුව ඇතුගේ දළ යුගල සමඟ ඇති හිස්කබල එකතු කර ඇතුගේ ආකෘතියක් නිර්මාණය කර කෑගල්ලේ, මොළගොඩ ප්‍රදේශයේ කෞතුකාගාරයක් පිහිටුවා එහි තැන්පත් කර ඇත.

ශ්‍රී ලාංකේය බෞද්ධයන්ගේ මහා මංගල්‍ය ලෙස සැලකෙන මහනුවර දළදා පෙරහර පිළිබඳ අවධානය යොමුකිරීමේ දී සධාතුක කරඬුව වැඩමකරවූ හා කරවන ඇතුන්ට හිමිවන්නේ විශේෂ තැනකි.