Print this Article


අභියෝග අතික්‍රමණයට..

අභියෝග අතික්‍රමණයට..

මවුපියන්ට තම ජීවන ගමන පවත්වා ගෙන යෑම අපහසු කටයුත්තක් වන්නේ අගහිඟකම්, දුක්කම්කටොළු, හිරිහැර, බාධක ආදී අනේකවිධ දුක් කරදර ජීවිතයට එක් වීම හේතුවෙනි. මේ නිසා ඇති වන දුක, වේදනාව, අසහනය, අසරණකම,කෝපය, තරහව, ක්‍රෝධය, වෛරය

ආදියට අයහපත් ප්‍රතිචාර දැක්වීම තුළ සිදු වන්නේ ම අයහපතකි. මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ ගුණ ගිලිහී ගොස් සොඳුරු පවුල විනාශ වීම මෙයින් වැළැක්විය නොහැකි ය.

මේ ආකාරයට සොඳුරු පවුල විනාශ නොවී සුන්දර ආලෝකයක් පැය විසිහතර පුරාම පවුල තුළ පවත්වාගෙන යෑමට නම් එම පවුලේ චරිතවලට බුදුදහම සම්බන්ධ කර ගත යුතුමයි. බුදුදහමින් එවැනි බලයක් ලැබෙන්නේ මේ දහම හේතුඵලවාදී නිසයි. සිඟාලෝවාද සූත්‍රය වැනි බුද්ධ දේශනා ගණනාවක් මේ සඳහා අපට මඟ පෙන්වයි. මේ මඟ පෙන්වීම මත පදනම් ව තම ජීවිතය හැඩගස්වා ගත් පමණින් ම ප්‍රශ්න ගැටලු ඇති වීම අවසන් වන්නේ ද නැත. නමුත් එවැනි

පවුලකට මුහුණදීමට සිදු වන සෑම ප්‍රශ්නයක් ම, ගැටලුවක් ම ඔවුන් හේතුඵලවාදී ව තේරුම් ගෙන අභියෝගයක් ලෙස භාර ගනී.

උපේක්ෂාව ජීවිතයට පුරුදු පුහුණු කිරීමෙන් ප්‍රශ්නවලට නොසැලී මුහුණදීමට හැකියාව ලැබේ. උපේක්ෂාව ජීවිතයට පුරුදු පුහුණු කළ තැනැත්තා සෑම විට ම පිළිතුරු සොයන්නේ පලයට නොව හේතුවටයි. හේතුව හඳුනා ගැනීමට අවශ්‍ය ඉවසීම, සංවරය, දැනුම සහ අවබෝධය

ලැබෙන්නේ මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ඛා ජීවිතය තුළ තිබෙන ප්‍රමාණයේ සීමා මායිම් අනුවයි. ජීවිතයට මේ ගුණ ධර්ම ඇති කර ගැනීමේ සුදුසුම මඟ නම් දැරිය හැකි ජීවන රටාවකට හුරුපුරුදු වීමයි. දැරිය හැකි ජීවන රටාවක් ලෙස හඳුන්වන්නේ තම හැකියාවලට

අනුව තම කාර්යයන් සැලසුම් කර ගැනීමයි. මේ හැකියාව ඇති කර ගැනීමට හැකි වන්නේ තණ්හාව, ආශාව, කාමය, රාගය පාලනය කර ගන්නා ප්‍රමාණය අනුවයි. තණ්හාව, ආශාව, කාමය, රාගය පාලනය කර ගැනීමට ඇති හැකියාව තීරණය වන්නේ තමන් තුළ ගොඩනැඟෙන හැඟීම්, දැනීම් සහ සිතිවිලිවල සීමා මායිම් අනුවයි. මේ සිතිවිලිවල සීමා මායිම් තීරණය වන්නේ අප සතු ආකල්ප අනුවයි. අප සතු ආකල්පය සතුට සහ ප්‍රීතිය උදෙසා තණ්හාව, ආශාව, කාමය සහ රාගය උපරිම මට්ටමින් සන්තර්පණය කිරීම නම්, ප්‍රීතිමත්, අර්ථවත් පවුලක ආලෝකය ඇතුළුවීමේ දොරටු මුළුමනින් ම වැසී යයි. හේතුව ඒ මුළු ගමන් මාර්ගයේ ම පළමු අඩිය වන්නේ අපගේ ආකල්ප නිසයි.

ජීවිතය සමබර කර ගත යුතුයි කියන ආකල්පය ඇති කර ගැනීමට හැකි වන්නේ හොඳ නරක හඳුනාගනිමින්, හරි වැරැද්ද නිශ්චය කර, මොලොව වගේ ම පරලොව ගැනත් සිතා ජීවත් විය යුතුයි කියන ආකල්පයක් තිබෙන පවුලකට පමණි. එම ආකල්පය නිසා සිතන ආකාරය, හැඟීම්, වැඩ කරන ආකාරය වෙනස් වේ. මෙම වෙනස්වීම් දිගින් දිගට ම පවත්වා ගෙන යාම නිසා ඒවා ජීවිතයේ පුරුදු බවට ද පත් වේ. ඒ පුරුදු ප්‍රතිපදා සහ ප්‍රතිපත්ති බවට පත් වේ.

ස්වාමි පුරුෂයාත්, භාර්යාවත් යන දෙදෙනා ම ඔවුනොවුන්ගේ ප්‍රතිපත්ති ගැන හොඳටම දනී. මේ ප්‍රතිපත්ති නිසා ම ඒ දෙදෙනා ඒ දෙදෙනාට මුළුමනින්ම විවෘත වේ. දරුවන් ගැනත් එසේමයි. මේ

අවබෝධය නිසා මුළු පවුල තුළ ම නොකැඩෙන, නොබිඳෙන විශ්වාසය ඇති වේ. මේ බලගතු විශ්වාසය නිසා ම පොඩි පොඩි වැරැදි අඩුපාඩු කොතෙක් තිබුණත් ඒවා පවුලේ සාමයට සහ සමඟියට බාධාවක් නොවේ. එවැනි පවුලක් තුළ සංහිඳීයාව, ගෞරවය, භක්තිවන්තබව

වැඩිදියුණු වේ. මෙය සිඟාලෝවාද සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි ව පෙන්වාදී තිබේ. මේ කරුණු ගැන උනන්දුවක් නොදැක්වීම තුළින් අද අපේ සමාජයේ සොඳුරු පවුල අතුරුදන්වී තිබේ.

පවතින ජීවන රටාව තුළ පවුලක් වෙත එන අනපේක්ෂිත දුක්, වේදනා, නින්දා, අපහාස, බරපතළ ආර්ථික දුෂ්කරතා ආදී සෑම දෙයක දී ම යහපත් ආකල්පයන්ගෙන් පොහොසත් පවුල එකා මෙන් එකට සිට ගනී. ඔවුන් නිවැරැදි සුහද කතාබහකින් අනතුරව තීරණවලට එළැඹේ. හිත් අමනාපකම්, අඬදබර ඇති කර ගන්නේ නැත. මේ හේතු නිසා ම මේ පවුලට කොතරම් අපහසුතා මැද වුව ද සුරක්ෂිතභාවයක් ඇතිවේ. ඔවුනොවුන් තුළ යහපත් හැඟීම් නිසා ඇති වන යෝධ බැම්ම තුළින් නව නිර්මාණාත්මක අදහස් සමඟ බැඳුණු නිශ්චිත ඉලක්ක, කැපකිරීම් සහ ක්‍රියාකාරකම් නිර්මාණය වෙයි. එම නිශ්චිත ඉලක්ක වෙත පහසුවෙන් ගමන් කරයි. අවසානයේ අභියෝග අතික්‍රමණය කරයි.