Print this Article


ධම්මවිචය සම්බොජ්ඣංගය

ධම්මවිචය සම්බොජ්ඣංගය

ධම්මවිචය සම්බොජ්ඣංගය නම් වූ ප්‍රඥාව විදර්ශනාව වැඩීමේ දී, නාම රූප ධර්මයන් එකක් එකක් පාසා පෞද්ගලික ලක්ෂණත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නම් වූ පොදු ලක්ෂණත්, විදර්ශනා අලෝකයෙන් බැලීම සඳහා උපකාර වෙයි.

මහණෙනි, කුසලාකුසල ධර්මයෝ සාවද්‍ය අනවද්‍ය ධර්මයෝ, හීන ප්‍රණීත ධර්මයෝ, කලු සුදු කර්මවලට ප්‍රතිවිරුද්ධ ධර්මයෝ ඇත්තාහ. එහි නුවණින් මෙනෙහි කිරීමක් වේ ද, (යෝනිසෝමනසිකාරය), නුපන් ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ ඉපදීමටත්, උපන්

ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ වැඩීමටත් හේතු වේ.

තවද ධර්මයෝ සත් දෙනෙක් ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිස පවති.

පරිපුච්ඡකතා

නොදත් දේ අසා දැන ගැනීම පරිපුච්ඡකතාවය යි. පංචස්කන්ධය, දොළොස් ආයතන, අටළොස් ධාතු, පඤ්ච ඉන්ද්‍රිය, පඤ්ච බල , මාර්ගාංග අට, පටිච්ච සමුප්පාද පිළිබඳ ව අර්ථ කෙසේදැයි නැවත නැවත විචාරා දැන ගැනීම ද, දේශනා කිරීම, ලිවීම, කියවීම, සාකච්ඡා කිරීම පරිපුච්ඡකතාවය යි.

වත්ථුවිසදකිරියතා

බාහිර අභ්‍යන්තර පිරිසිදුකම. යම් කලෙක කෙස්, නියපොතු, රැවුල් පමණට වඩා වර්ධනය වී ඇති ද, තම ශරීරයේ වා, පිත්, සෙම් උත්සන්න වී ඇති විට ද, මෙන් ම කුණු දහදිය තැවරී ඇති ද, එකල තම ආධ්‍යාත්මික වස්තු අපිරිසිදු වෙයි. යම් කලෙක තම ඇඳුම් පැළදුම් කිළිටි ව දුර්ගන්ධ වේ ද, තමන් ජීවත්වන කාමරය, නිවෙස, සේනාසනය ද ඇඳ, කොට්ට, මෙට්ට, පොරෝනා, පුටු ඇතිරිලි කුණු කසළින් ගැවසී අපිරිසිදු වේ ද, එකල්හි බාහිර වස්තු අපිරිසිදු වෙයි. මෙසේ ආධ්‍යාත්මික බාහිර වස්තු අපිරිසිදු වී ඇති විට උපදනා චිත්ත චෛතසිකයන්හි යෙදෙන ප්‍රඥාව ද අපිරිසිදු වේ. කුසලය ද අපිරිසිදු වේ. අපිරිසිදු පහන් තැටිල්ලක අපිරිසිදු තෙල් යොදා අපිරිසිදු පහන් තිරයක් දමා දැල් වූ විට ලැබෙන පහන් සිළුවෙහි ආලෝකය අපිරිසිදු වන්නාක් මෙනි.

එබැවින් දික් වූ හිස කෙස්, රැවුල්, නිය, පොතු කපා හැර, විරේක ආදිය කොට සිරුර සැහැල්ලු කොට ශරීරයේ කුණු දහදිය උලා ස්නානය කොට කය පිරිසිදු කොට තබාගත යුතුයි. එවිට ආධ්‍යාත්මික වස්තු පිරිසිදු වෙයි.

එසේම තමන්ගේ අපිරිසිදු වස්ත්‍ර සෝදා ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට අව්වේ දමා වියලා, තම කාමරය නිවාසස්ථානයන්හි කැලි කසල ඉවත් කොට මකුළුදැල් කඩා පිරිසිදු ව තබා ගත යුතුයි. එවිට පිරිසිදු පහන් තැටිල්ලක පිරිසිදු තෙල් දමා පිරිසිදු පහන් තිරයක් දමා දල්වන විට ලැබෙන පහන් සිළුවෙහි ආලෝකය පිරිසිදු දීප්තිමත් වන්නාක් මෙන් කුසලය ද පිරිසිදු වේ. පිරිසිදු ශරීර ඇතිව පිරිසිදු වටපිටාව ඇති විට උපදනා චිත්ත චෛතසිකයන්හි යෙදෙන ප්‍රඥාව ද පිරිසිදු වෙයි.

ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා

ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන පංච ඉන්ද්‍රියයන් සම බවට පත්කර ගැනීම. එක් ඉන්ද්‍රියක් අධික වූ විට අනෙක් ඉන්ද්‍රියයන්ට ඔවුන්ගේ කෘත්‍යයන් කළ නොහැක. විශේෂයෙන් මෙහි ශ්‍රද්ධා හා ප්‍රඥා දෙදෙනා ද, වීරිය හා සමාධි දෙදෙනා ද සම බවට පත්කර ගැනීම. ශ්‍රද්ධාව බලවත් වී, ප්‍රඥාව මද වූ විට අඥානයන් කෙරෙහි පහදිති. නොපැහැදිය යුතු තැන පහදියි.

ශ්‍රද්ධාව මද වී, ප්‍රඥාව බලවත් වූ විට කෛරාටිකයෙක් වෙයි. මොවුන් ධර්මය අධර්මය කොට කියයි, අධර්මය ධර්මය කොට කියයි. මෙබඳු කෛරාටික පුද්ගලයා බෙහෙතෙන් හටගත් රෝගයක් මෙන් පිළියම් කළ නොහැකි ය. ශ්‍රද්ධා, ප්‍රඥා දෙක සම කල්හි පැහැදිය යුතු තැන පහදියි. ප්‍රශංසනීය වෙයි.

සමාධිය බලවත් ව වීරිය මද කල්හි සමාධිය කුසීත පක්ෂයේ ධර්මයක් ද බැවින් කුසීත බවින් මැඩීම් නිසා සමාධියට නො පැමිණේ. සමාධිය මද ව වීරිය බලවත් කල්හි විර්යය උද්ධච්ඡ පක්ෂයේ බැවින් සිත විසිරීමෙන් උද්ධච්ඡයට පත් වේ. වීරිය හා සමාධිය සම කළ යුතුයි.

දෙදෙනාගේ ම සම බව ඇති කල්හි ධ්‍යාන සමාධියට පැමිණේ.

සතින්ද්‍රිය, සතිය හෙවත් ස්මෘතිය වනාහි අතිශයින් බලවත් වීම වටනේ ය. සතින්ද්‍රිය සියලු සුප ව්‍යංජනයන්ට අවශ්‍ය ලුණු හා කුළු බඩු මෙන් සෑම තැන්හි ම අවශ්‍ය වේ. එවිට නො පැමිණි ධ්‍යාන, විපස්සනා ඥාන මාර්ග ඵලයන්ට පමුණුවන්නේය‘යි ද සතිය නොමැතිව කවර කලෙකවත් විශේෂාධිගම ලැබිය නොහැකි බව ද, සර්වඥයන් වහන්සේ වදාළ සේක.

දුප්පඤ්ඤ පුග්ගල පරිවජ්ජනතා

අඥාන පුද්ගලයන් හෙවත් ධර්මානුධර්ම ප්‍රතිපත්ති නොපුරන අර්ථකතා සහිත ත්‍රිපිටක ධර්මය නො විමසන, පරියත්ති බහුශ්‍රැත නොවූ අන්ධ බාල පෘතග්ජනයෝ දුස්ප්‍රාඥයෝ වෙති. එහෙයින් සැම දෙනා ම මොවුන්ගේ අදහස්, දර්ශන දෙලොව පිරිහීමට, ගුණධර්ම පිරිහීමට හේතුවන හෙයින්, කුණු මස් පිඩක් මෙන් ද, විෂඝෝර සර්පයකු මෙන් ද, ඇවිදින අශුචි පිඩක් මෙන් ද සලකා මෝහ පටලයෙන් වැසී ගිය අඥානයන් දුරින් ම දුරු කළ යුතුයි.

පඤ්ඤවන්ත පුග්ගල සෙවනතා

ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරන, අර්ථකතා සහිත ත්‍රිපිටක ධර්මය විමසන, පරියත්ති බහුශ්‍රැත වූ උතුමන් ද, උදයව්‍යය ඥානය ලැබූ උතුමන් ද සේවනය කිරීම ධම්මවිචය සම්බොජ්ඣංගය ඉපදීමට හේතු වේ.

ගම්භීර ඤාණචරිය පච්චවෙක්ඛනතා

පංචස්කන්ධ, දොළොස් ආයතන, ධාතු අටළොස, ආර්ය සත්‍ය සතර පටිච්චසමුප්පාදාංග දොළොස, මග්ගංග අට, ආහාර සතර බොජ්ඣංග ධර්ම සත ආදී ගැඹුරු දහම් ප්‍රභේද ප්‍රත්‍යවේක්ෂා කිරීම ද සර්වඥයන් වහන්සේ තුළ විද්‍යමාන වූ චතුර් වෛශාරද්‍ය ඥාන, චතුපටිසම්භිදා ඥාන, අෂ්ඨ විද්‍යා ඥාන, දසබල ඥාන, දස මහා විදර්ශනා ඥාන, චුද්දස බුද්ධ ඥාන. සෝළස මහා ඥාන, අටලොස් ආවේනික බුද්ධ ඥාන, එකුන් වී සති ප්‍රත්‍යවේක්ෂා ඥාන, සූවිසි පච්චය ඥාන, සමතිංස පාරමිතා ඥාන, සත්තිස් බෝධි පාක්ෂික ධර්ම ඥාන, සත්තිස් සමධර්ම ඥාන, අටතිස් මංගල්‍ය ධර්ම ඥාන, අටතිස් ආරම්මණ විභක්ති ඥාන. සම සතළිස් කර්මස්ථාන ඥාන, චත්තාළිසාකාර මහා විපස්සනා ඥාන, සමපනස් උදයව්‍යය ඥාන, පරෝපණ්ණාස කුසල ධර්ම පරිච්ඡේදක ඥාන, දෙසැටක් මිථ්‍යා දෘෂ්ඨි පරිච්ජේදක ඥාන, තෙසැත්තෑ ඥාන, සත් සැත්තෑ ඥාන, දෙසිය සතළිහක් වූ චතුරාර්ය සත්‍ය ඥාන ආදී ප්‍රඥා ප්‍රභේද සොයා බැලීම, කියැවීම, සාකච්ඡා කිරීම, දේශනා කිරීම, කරුණු ඉගෙන ගැනීම ද, තවද, මෝහකරන ධර්ම වූ කුසලයට නොඇලීම, කම්මැලිකම, ඇඟමැලි කැඩීම, අලස බව, බොහෝ දෙනා සමඟ එක්ව විසීමෙහි ඇලීම, බොහෝ නිදන සුළු බව, යම් යම් දේ විනිශ්චය කර නොගැනීම, නුවණ වැඩීමේ කාරණා පිළිබඳ සොයා නොබැලීම, වරදවා මැන ගැනීම, නොදත් දැ නුවණැත්තන්ගෙන් අසා නොගැනීම, කය පිරිසිදුව තබා නොගැනීම, නොසන්සුන් සිත් ඇති බව, නුවණ නැති අය සේවනය කිරීම, නුවණ ඇති අය වෙත නොයාම, තමාට තමා අවමන් කර ගැනීම, වරදවා කල්පනා කිරීම, යම් යම් කරුණු වරදවා විනිශ්චය කරගෙන සිටීම, දඩබ්බරකම, නුවණින් කල්පනා නොකිරීම, කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන සුවිසි කාරණා සේවනය නොකර අත්හැර දුරුකර බහුශ්‍රැත භාවයෙහි යෙදීමෙන් නූපන් ධම්මවිචය සම්බොජ්ඣංගය ඉපදීමටත් උපන් ධම්මවිචය සම්බොජ්ඣංගය වර්ධනයටත් හේතු වේ.

තදධිමුත්තතා

ඉඳීම් සිටීම් - ගමන් කිරීම් - සයනය ආදී සතර ඉරියව්වෙහි ම ධම්මවිචය සම්බොජ්ඣංගය උපදවා ගන්නෙමි‘ යි අදහස ඇති ව එයට ම නැමී හැරී බරව පවත්නා සිත, අධිෂ්ඨානය කුසලච්ඡන්දය තදධිමුත්තතා නම් වේ. එය ද නුවණ දියුණු වීමට උපකාර වෙයි.

කෙලෙස් සතුරන් සිදීමට ඇති එකම ආයුධය ධම්මවිචය බොජ්ඣංගය නම් වූ ප්‍රඥා චෛතසිකයේ ඡේද්‍ය ලක්ෂණය යි. සෙසු බොජ්ඣංගයන් ධම්මවිචය සම්බොජ්ඣංගය අනුව පවතී. චක්‍රවර්තී රජතුමාගේ චක්‍ර රත්නය මෙනි. එ බැවින් බොජ්ඣංගයන් ඉතා අගනා මිණි රුවනින් කළ මාලාවක් වැනි යැයි වදාළ සේක.

ලොව්තුරා බුද්ධත්වය ද, පසේබුද්ධත්වය ද රහත්බව ද, මෙම ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ අග්‍ර ඵලයයි.

එබැවින් අප සෑම සියලු දෙනා ම ධම්මවිචය සම්බොජ්ඣංගය උපදවා ගෙන පතන බොධි යානයකින් අවේදයිත පරම ශාන්ත සුඛ ස්වභාව ඇත්තා වූ පරම ගම්භීර අමෘත මහා නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කළ යුතුයි.