Print this Article


තුන්ලොවට ම යහපත දෙන ඒකාන්ත සැපය

තුන්ලොවට ම යහපත දෙන ඒකාන්ත සැපය

මේ ලෝකයේ බොහෝ මිනිස්සු උපදිනවා. මේ උපදින හැම දෙනා ම වයසින් මෝරලා ගියා, රැකියාවක් කළා, විවාහ වුණා, දරුමල්ලෝ හැදුවා, වයසට ගියා, අවසානයේ මැරිලා ගියා. සමහර අය ඉපදුණු ගමන් ම මැරිලා යනවා. තරුණ වියේ දී මැරෙනවා. කොහොම වුණත් මෙතෙක් ලොව ඉපදුණු අයට ඔය දේමයි සිදු වුණේ.

අනාගතයේ උපදින අය එයින් මිදේවි ද? නෑ. හැම දෙනාට ම එකම විදිහට මෙලොව හැර දාලා යන්න වෙනවා. ඒ අතර ම අපට අහන්න ලැබෙනවා පින්වන්ත අයත් මේ ලෝකයේ උපදිනවා කියලා. සක්විති රජවරු උපදිනවා. ධාර්මික ව සතර මහා දිවයින ම ජය ගෙන ඉතා හොඳින් පාලනය කරනවා. අවසානයේ ඔවුනුත් මියයනවා. ඒ සියලු දෙනා මියයන්නේ ජීවිතයේ සැබෑ අර්ථය වටහා ගෙන ද? එසේ නොවෙයි. අන්න ඒකයි වෙනස.

මේ මිනිසුන් අතර ම ඉපදිලා, හැදිලා වැඩිලා, මේ ජීවිතයේ සැබෑ අරුත වටාගෙන යමෙක් සදාතනික අනිත්‍ය ධර්මයට මුහුණ දෙනවා ද? අප මේ විඳින දුකෙන් එතෙර වුණා ද? සසර සැඩ පහර තරණය කළා ද? පෙර කී අයගේ මරණය යි, මේ උත්තමයාගේ මරණය යි අතර වෙනසක් තියෙනවා ද? ඔව්.... සැබෑ වෙනසක් තියෙනවා. ඒ කාගේ උපතක් ද? කාගේ ජීවිත පැවැත්ම ද? කාගේ මරණය ද? ඒ තමයි තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උපත, ජීවන පැවැත් ම, පිරිනිවීම. ඒ උත්තමයාගේ උපත හරිම අසිරිමත්, බොහෝ දෙනාට යහපත උදාකරන්නක්.

“පින්වත් මහණෙනි, මේ ලෝකයේ උපදින එකම එක පුද්ගලයෙක් ඉන්නවා, බොහෝ ජනයාට හිතසුව පිණිස, බොහෝ ජනයාගේ සැපය පිණිස, ලෝකයට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත පිණිස, හිතසුව පිණිස, සැපය පිණිස ම යි උපදින්නේ. ඒ එකම එක පුද්ගලයා වනාහි කවරහුද? තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ය, පින්වත් මහණෙනි, මොහු වනාහි බොහෝ ජනයා හට හිතසුව පිණිස, බොහෝ ජනයාගේ සැපය පිණිස, ලෝකයට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත පිණිස ම, හිතසුව පිණිස ම උපදින එක ම පුද්ගලයා ය.”

එසේ නම් මේ ලෝකයේ දෙව් මිනිසුන්ට හිතසුව පිණිසයි, සැපය පිණිසයි තථාගතයන් වහන්සේ මේ ලෝකයට පහළ වන්නේ. එය ඒකාන්ත සත්‍යයක්. ඒ ඇයි? බුදුරජාණන් වහන්සේ සරණ ගිය අය සුගති සැප සලසා ගත්තා. සසරින් එතෙර වන මාර්ගය අවබෝධ කළා. සසරෙන් නිදහස් වුණා. අතීතයේ සිටි බුද්ධිමත් දෙව් මිනිසුන් තථාගතයන් වහන්සේ නිසා එතරම් රැකවරණයක් සලසා ගත්තා. වර්තමානයේ ජීවත් වන අපටත් ඒ රැකවරණය සලසා ගන්න බැරි ද? අපටත් ඒ සඳහා උපරිම අවස්ථාව තියෙනවා. කොහොමද අප රැකවරණය සලසා ගන්නේ? එයට වුවමනා කරන්නේ තෙරුවන් කෙරෙහි පැහැදීම ඇති කරගෙන සරණ යෑමයි. ශ්‍රද්ධාව උපදවා ගැනීම යි.

ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමට. එසේ පැහැදීම ඇතිකර ගන්න නම්, අපි උතුම් සූත්‍ර දේශනා ආදිය නිතර නිතර ශ්‍රවණය කරලා භාග්‍යවතුන් වහන්සේ ලෝකයාට දේශනා කොට වදාළේ කුමක් ද කියලා හොඳින් අසා දැන ගන්නට වෙනවා. ඒ වගේ ම ඒ උතුමන් වහන්සේගේ ජීවිත පැවැත්ම ගැන හොඳ හැටි දැනගෙන අපට පැහැදීම ඇති කර ගන්න පුළුවන්.

අපගේ ශාස්තෘන් වහන්සේගේ ජීවිතය හරිම සුන්දරයි. අන් අයට වඩා විශේෂයි. ශ්‍රේෂ්ඨයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ සීලය, සමාධිය, ප්‍රඥාව, ඉවසීම, කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව, ජීවන පැවැත්ම කාටවත් සමාන කරන්න බෑ. ඒ නිසයි ‘අසම කියලා හඳුන්වන්නේ. එසේ වුවත් ඒ ගුණකඳ තවත් එවැනි බුදු කෙනකුට ම සමාන වෙනවා. ‘අසමසම’ කියන්නේ ඒ නිසයි.

‘මොග්ගල්ලානයෙනි, මම වනාහි පිරිසිදු සිල් ඇති වූයේ ම පිරිසිදු සිල් ඇති බවට ප්‍රතිඥා දෙමි. මාගේ සීලය පිරිසිදු ය. බබළයි. නොකිලිටිය කියාය. ශ්‍රාවකයෝ සීලයෙන් මාව ආරක්ෂා නොකරති. මම ද ශ්‍රාවකයන්ගෙන් සීලයෙහි ලා රැකවරණ නො පතමි.

“මොග්ගල්ලානයෙනි, ම වනාහි පිරිසිදු ජීවිකාව ඇති වූයේ ම පිරිසිදු ජීවිකාව ඇති බවට ප්‍රතිඥා දෙමි. මාගේ ජීවිකාව පිරිසිදු ය. බබළයි. නොකිලිටි ය කියා ය. ශ්‍රාවකයෝ ජීවිකාවෙන් මා ආරක්ෂා නොකරති. මම ද ශ්‍රාවකයන්ගෙන් ජීවිකාවෙහිලා රැකවරණ නො පතමි.

මොග්ගල්ලානයෙනි, මම වනාහි පිරිසිදු ධර්ම දේශනාව ඇති වූයේ ම පිරිසිදු ධර්ම දේශනාව ඇති බවට ප්‍රතිඥා දෙමි. මාගේ ධර්ම දේශනාව පිරිසිදු ය. බබළයි. නොකිලිටි ය කියා ය. ශ්‍රාවකයෝ ධර්ම දේශනාවෙන් මා ආරක්ෂා නො කරති. මම ද ශ්‍රාවකයන්ගෙන් ධර්ම දේශනාවෙහිලා රැකවරණ නො පතමි.

මොග්ගල්ලානයෙනි, මම වනාහි පිරිසිදු කතා ව්‍යවහාරය ඇති වූයේ ම පිරිසිදු කතා ව්‍යවහාරය ඇති බවට ප්‍රතිඥා දෙමි. මාගේ කතා ව්‍යවහාරය පිරිසිදු ය. බබළයි. නොකිලිටි ය කියා ය. ශ්‍රාවකයෝ කතා ව්‍යවහාරයෙන් මා ආරක්ෂා නො කරති. මම ද ශ්‍රාවකයන්ගෙන් කතා ව්‍යවහාරයෙහිලා රැකවරණ නො පතමි.

මොග්ගල්ලානයෙනි, මම වනාහි පිරිසිදු ඥාන දර්ශනය ඇති වූයේ ම පිරිසිදු ඥාන දර්ශනය ඇති බවට ප්‍රතිඥා දෙමි. මාගේ ඥාන දර්ශනය පිරිසිදු ය. බබළයි. නොකිලිටි ය කියා ය. ශ්‍රාවකයෝ ඥාන දර්ශනයෙන් මා ආරක්ෂා නො කරති. මම ද ශ්‍රාවකයන්ගෙන් ඥාන දර්ශනයෙහිලා රැකවරණ නො පතමි.”

මේ බුදු වදන තුළින් අපට ඒ ගැන හොඳට පැහැදිලි වෙනවා. ඒ විතරක් නොවෙයි, බුදුරජාණන් වහන්සේගේ ජීවිත පැවැත්ම තුළ අන් අයට සඟවන දෙයක් නෑ. හොර, බොරු, වංචා නෑ. උන් වහන්සේ පරම පිවිතුරු ජීවිකාවකින් යුක්ත යි.

පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේගේ නොරැක්ක යුතු කරුණු හතර මොනවා ද?

1.මහණෙනි, තථාගතයාණෝ පාරිශුද්ධ වූ කාය සමාචාර ඇත්තාහු ය. ‘මාගේ මේ කාය දුෂ්්චරිතය අන්‍යයකු නො දනීවා’ යි යම් කාය දුෂ්චරිතයක් තථාගතයෝ රකිත් නම්, තථාගතයන්ගේ එබඳු වූ කාය දුෂ්චරිතයක් නැත්තේ ය.

2. මහණෙනි, තථාගතයාණෝ පාරිශුද්ධ වූ වචී සමාචාර ඇත්තාහු ය. ‘මාගේ මේ වචී දුෂ්චරිත ය. අන්‍යයකු නො දනීවා’ යි යම් වචී දුෂ්්චරිතයක් තථාගතයෝ රකිත් නම්, තථාගතයන්ගේ එබඳු වූ වචී දුෂ්්චරිතයක් නැත්තේ ය.

3.මහණෙනි, තථාගතයාණෝ පාරිශුද්ධ වූ මනෝ සමාචාර ඇත්තාහු ය. ‘මාගේ මේ මනෝ දුෂ්චරිතය අන්‍යයකු නො දනීවා’ යි යම් මනෝ දුෂ්චරිතයක් තථාගතයෝ රකිත් නම්, තථාගතයන්ගේ එබඳු වූ මනෝ දුෂ්්චරිතයක් නැත්තේ ය.

4. මහණෙනි, තථාගතයාණෝ පාරිශුද්ධ වූ ජීවිකාව ඇත්තාහු ය.

‘මාගේ මේ මිථ්‍යා ජීවිකාව අන්‍යයකු නො දනීවා’ යි යම් මිථ්‍යා ජීවිකාවක් තථාගතයෝ රකිත් නම්, තථාගතයන්ගේ එබඳු වූ මිථ්‍යා ජීවිකාවක් නැත්තේ ය.”

මේ විදිහටත් අපගේ භාග්‍යවතුන් වහන්සේ තාරකා මැද පුරසඳ මෙන් බබළන සේක. ඒ විතරකුත් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයේ දොස් ලබන්නේ ද නොවෙයි. චෝදනා ලබන්නේ ද නොවෙයි.

“මහණෙනි, තථාගතයන් දොස් නො ලබන කරුණුූ තුන මොනවා ද?

1.මහණෙනි, තථාගතයාණෝ ස්වාක්ඛාත ධර්මය ඇත්තාහු ය. එහිලා ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා ලෝකයෙහි කිසිවෙක් වේවා ඒකාන්ත කොට කරුණු සහිත ව මට චෝදනා කරන්නේ නම්, ‘මෙසේත් ඔබ ස්වාක්ඛාත ධර්මය ඇත්තාහු නොවෙති’ යි. මහණෙනි, එබඳු නිමිත්තක්වත් මම නො දකිමි. මහණෙනි, මම එබඳු නිමිත්තක්වත් නො දකින්නෙමි, ක්ෂේමයට පැමිණියෙම්, නිර්භයට පැමිණියෙම්, විශාරද භාවයට පැමිණියෙම් වාසය කරමි.

2. මහණෙනි, යම් අයුරකින් මාගේ ශ්‍රාවකයෝ ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත්, මෙලොව දී ම තම විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරත් නම්, මා විසින් ශ්‍රාවකයන් හට එබඳු නිර්වාණගාමීි ප්‍රතිපදාව යහපත් ලෙස පනවන ලද්දේ ය. එහිලා ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා ලෝකයෙහි කිසිවෙක් වේවා ඒකාන්ත කොට කරුණු සහිත ව මට චෝදනා කරන්නේ නම්, ‘මෙසේත් යම් අයුරකින් තථාගත ශ්‍රාවකයෝ ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මෙලොව දී ම තම විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරත් නම්, ඔබ විසින් ශ්‍රාවකයන් හට එබඳු නිර්වාණගාමී ප්‍රතිපදාව යහපත් ලෙස නො පනවන ලද්දේ’යි. මහණෙනි, එබඳු නිමිත්තක්වත් මම නො දකිමි. මහණෙනි, මම එබඳු නිමිත්තක් වත් නො දකින්නෙම්, ක්ෂේමයට පැමිණියෙම්, නිර්භයට පැමිණියෙම්, විශාරද භාවයට පැමිණියෙම් වාසය කරමි.

3.මහණෙනි, නොයෙක් සිය ගණන් මාගේ ශ්‍රාවකයෝ ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥාව විමුක්තියත් මෙලොව දී ම තම විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරති. එහිලා ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා ලෝකයෙහි කිසිවෙක් වේවා ඒකාන්ත කොට කරුණු සහිත ව මට චෝදනා කරන්නේ නම්, ‘මෙසේත් නොයෙක් සිය ගණන් ඔබගේ ශ්‍රාවකයෝ ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මෙලොව දී ම තම විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය නොකරති’ යි. මහණෙනි, එබඳු නිමිත්තක් වත් මම නොදකිමි. මහණෙනි, මම එබඳු නිමිත්තක් වත් නොදකින්නෙම්, ක්ෂේමයට පැමිණියෙම්, නිර්භයට පැමිණියෙම්. විශාරද භාවයට පැමිණියෙම්. වාසය කරමි.

මේ කරුණු තුනෙන් තථාගතයෝ දොස් නො ලබති.

ඉහත කරුණු දෙස අපි හොඳට බලන කොට පැහැදිලි වන්නේ අපගේ ශාස්තෘන් වහන්සේගේ අපිරිමිත ගුණස්කන්ධය යි. මෙවැනි කරුණු අසමින් මතකයේ තබා ගන්න ඕනෑ. ඉන් පසුව ඒ ඒ අවස්ථාවල දී මෙනෙහි කරමින් අපගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය ගැන හිත පහදවා ගන්නත් ඕනෑ. ‘අපි උත්තරීතර ශාස්තෘන් වහන්සේ නමක් සරණ යන්න තරම් වාසනාවන්ත වුණා’ කියා නිතර සිහිපත් කරන්නත් ඕනෑ.

එපමණක් නොවේ, මේ ලෝකයේ අපි හරි කැමැතියි ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසාවලට. අපට තැනක්, හොඳ නමක්, වැදගත්කමක ලබන්න අපි නිතර කැමැති වෙනවා. හැබැයි අප සරණ ගිය, තිලොව ම අගරජු වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ සියල්ල අත්හැරියා. හරියට අලුයම හෙළූ කෙළ පිඬක් සේ බැහැර කළා. ලාභ සත්කාරවලට වසඟ වුණේ නෑ. ඇලුනේ නෑ. හුදෙකලාව දිවි ගෙව්වා. හරියට මහ ඇත් රජෙක් වගේ. කේසර සිංහ රජෙක් වගේ. හුදෙකලාව ම වර්ණනා කළා.

බෝසතාණන් වහන්සේ සම්බුදු නොවී සිටිය දී, සම්බුද්ධත්වයට ප්‍රථම සිහින පහක් දුටුවා. එයින් එකක් වන්නේ බෝසතාණන් වහන්සේ විශාල අසූචි කන්දක් මත සක්මන් කරනවා, හැබැයි ඒ අසූචි මහ බෝසතාණන්ගේ පාදයන්හි ගැටෙන්නෙ නෑ. ඒ හීනය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේ විස්තර කළා.

“මහණෙනි, තථාගතයන් වහන්සේට සිව්පස පහසුව ඉතා හොඳින් ලැබුණා. ඒ වුණත් ඒ කිසි ලාභයකට සිතේ ඇල්මක් හටගත්තේ නෑ. සිත බැස ගත්තෙත් නෑ. එයින් නිදහස් වූ සිතින් තමා වාසය කරන්නේ.

”බලන්න කොතරම් අසිරිමත් ද? භාග්‍යවතුන් වහන්සේට ජේතවන අසපුවේ අනේපිඬු සිටුතුමා සුවඳ සඳුන්වලින් ඉතා ලස්සන කුටියක් සාදා දුන්නා. එහි භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කළා. ඒ වගේ ම තමයි මහ වනයක ගස් සෙවණේත් උන් වහන්සේ වැඩ හිටියා. පිදුරු කුටි, මැටි කුටි සියල්ලේ ම වැඩ හිටියා. ඒ සියලු තන්හි ශාස්තෘන් වහන්සේ සම සිතිනුයි වැඩ සිටියේ. හුදෙකලාව ම යි අගය කළේ.

අත්හැරීමෙන් ලැබෙන, හුදෙකලාවෙන් ලැබෙන, සම්බෝධි සුවයෙන් ලැබෙන උතුම් සැපය බුදුරජාණන් වහන්සේ අගය කළා.

“නාගිතයෙනි, පිරිවර හා සමඟ මම එක් නොවෙම්වා. පිරිවර ද මා සමඟ එක් නොවේවා. නාගිතයෙනි, මම යම් නෙක්ඛම්ම සැපයක්, හුදෙකලා විවේකයෙන් ලබන සැපයක්, සන්සිඳීමෙන් ලබන සැපයක්, සම්බෝධි සැපයක් කැමැති සේ ලබන්නෙම් ද, බොහෝ සෙයින් ලබන්නෙම් ද එසේ මා ලබන නෙක්ඛම්ම සුවය, පව්වේක සුවය, උපසම සුවය, සම්බෝධි සුවය යම් කෙනකුට සුව සේ නො ලැබෙන්නේ නම්, නිදුකින් නො ලැබෙන්නේ නම් ,බොහෝ සෙයින් නො ලැබෙන්නේ නම් ඔහු, ඒ අසූචි සැපය, නින්දා සැපය, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් ලැබෙන සැපය පිළිගන්නේ ය”.

මෙන්න මේ ආකාර වූ ජීවන පැවැත්මක් තමයි අප සරණ ගිය අපගේ ශාස්තෘන් වහන්සේට තිබුණේ. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි යම්කිසි කෙනෙක් පැහැදුණොත් ඔහු අග්‍ර උතුමන්ට පැහැදුණා වෙනවා.

“මහණෙනි, යමෙක් බුදුරදුන් කෙරෙහි සිත පහදවා ගත්තාහු ද, ඔවුන් පැහැදුණේ අග්‍ර වූ ස්ථානයෙහි ය. අග්‍ර ස්ථානයෙහි පැහැදුනවුන්ගේ විපාක ද අග්‍ර වන්නේ ය.”

අන්න ඒ නිසයි අග්‍ර සැප ලබා දෙන, අග්‍ර පිනක් රැස්වෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවට එන්න කියන්නේ.

‘අචල’ කියන්නේ කාටවත් සොලවන්න බැරි දෙයක් කියන එක. දෙවියකුට, බ්‍රහ්මයකුට, ලොව කිසිවකුට ඒ ශ්‍රද්ධා සිතට හානි කරන්න බෑ. කොයි ආකාරයට ඇති කර ගන්නා වූ ශ්‍රද්ධාව ද? බුදුරජාණන් වහන්සේගේ ගුණ අවබෝධයෙන් යුතු ව හඳුනාගෙන ඇතිකර ගන්නා පැහැදීම.

අපිට මේ ලැබිල තියෙන්නේ අතිශය දුර්ලභ අවස්ථාවක්. ඒ තමා, අපට දුර්ලභ මිනිසත් බව ලැබිලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ සරණ යන්නත්, උන්වහන්සේ ලෝ සතුන් කෙරෙහි අනුකම්පාවෙන් වදාළ ධර්මය පුරදු කරන්නත් අවස්ථාව තිබෙනවා. මේක ඉතා දුර්ලභ මොහොතක්. ඒ නිසා කලණ මිතුරු ඇසුරේ හිඳිමින් ඉතා හොඳින් ධර්මය අසමින්, අප සරණ ගිය තුන් ලොවට අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකර ගනිමු. ඒ ශ්‍රේෂ්ඨ දම් රදුන් ගැන සිත පහදවා ගනිමු. දිවි පුදා සරණ යමු. මේ සරණට පුළුවන් අප සසර දුකින් නිදහස් කරවන්නට. එය කළ හැකි අන් සරණක් මේ තුන් ලෝකයේ ම ඇත්තේ නෑ.

“ඔය තිසරණය තමයි එකම ආරක්ෂාව. ඔය තිසරණය ම තමයි උතුම් ම සරණ. ඔය තිසරණයට පැමිණුනාම යි සියලු දුකෙන් නිදහස් වෙන්නේ.”