Print this Article


බුදු දහමෙහි ඉගැන්වෙන නිදහස් චින්තනය

බුදු දහමෙහි ඉගැන්වෙන නිදහස් චින්තනය

නිදහස යන වදනට අරුමෝසම් අරුත් ඇති සමයක නිදහසෙහි නියම අර්ථය නිශ්චිතව ම ප්‍රකාශයට ඇති හොඳම මාර්ගය බෞද්ධ දර්ශනය බව නොරහසකි. බුදු දහම නිදහස අතර ඇත්තේ ගසට පොත්ත මෙන් වූ සබැඳියාවකි. නමුත් මෙහි අරුත නොවිමසන්නවුන්, මිසදිටුවන් බුදු සමයෙහි නිදහස වගකීම් විරහිත වූවක් බව පවසයි. නමුදු බෞද්ධ ප්‍රතිපදාවේ අවසාන ඵලය සියලු සසර බැමිවලින් නිදහස් වීම බව සමාජයට ම අමතක වී ඇති කරුණකි.

එකල දඹදිව එක්සැට වාදයන් අතර වූ ඊශ්වර නිර්මාණවාදය, නියතිවාදය, පුබ්බේකත හේතුවාදය වැනි සංකල්ප මඟින් ඉදිරිපත් කොට තිබූ පාරභෞතික බලවේගයන්ට යටත් නොවී නිදහසේ ස්වාධීන ව සිතා විමසා කටයුතු කිරීමට බුදු සමය ඉඩ ප්‍රස්ථාව සපයා දුන් බවට උදාහරණ නම් කොතෙක් වී ද? කිසිදු අයුරකින් අන්‍ය සමයවාදීන් හෙළා නොදැක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ‘සත්‍ය කුමක් ද’ යන්න අවබෝධය පුද්ගලයා සතු වන බවත්, පුද්ගලයාගේ ස්වාමියා තමා ම බවත් පවසමින් ප්‍රඥාව හා අධිෂ්ඨානය ආධාරයෙන් සියලු කෙලෙස් බන්ධනයන්ගෙන් නිදහස් විය යුතු බවත් වදාළ සේක. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ අන්තගාමී නොවු මධ්‍යම ප්‍රතිපදාව, ආර්ය අෂ්ඨාංගික මාර්ගය වදාළ සේක.

කේසපුත්ත වැසි කාලාම වැසියන් උදෙසා බුදුරදුන් දේශිත කාලාම සූත්‍රයේ දී යමකුට සත්‍ය මෙයම දැයි ඇති වන සැකයේ දී නිදහස් ව විමසා බලා ආරංචි, පරම්පරාගත පිළිගැනීම්, කටකතා, ආගමික ග්‍රන්ථවල කරුණුූ, තර්කය, නීතිය වශයෙන් රාමුගත නොවී තම තම නැණ මඟින් විමසා තීරණයකට එළඹිය යුතු බව වදාළහ.

එපමණක් නොව බුදුරදුන් සෑමවිට ම තම ශ්‍රාවකයාට බුදු දහම විෂයයෙහි ඇති වන සියලු ම ගැටලුවල දී ප්‍රශ්න අසා විමංසනයට ඉඩකඩ සලසා දුන් සේක. පුද්ගලයා තුළ වූ නිදහස් චින්තන ආකල්පවල සීමා මෙහි ය. මෙතැන යැයි සීමා මායිම් ලඝු නොකොට නිදහස නම් මේ යැයි තේරුම් ගැනීමට බෞද්ධ දර්ශනය අවස්ථාව සලසා දී තිබේ. නමුත් මිසදිටු ලෙස යමකු තම නිදහස වගකිම් රහිත ව භාවිත කරන්නේ නම්, එහි වරද තමා අත ම බව අප වටහා ගත යුත්තකි.

එසේම තවද, “ආරම්භකධාතු, නික්කමධාතු, පරක්කමධාතු, පුරිසපරක්කම, පුරිසථාම, පුරිසබල, පුරිසවීරිය” ආදි වශයෙන් පුද්ගලයා තුළ ඇති පුද්ගල ශක්තිය, ස්වාධීනත්වය තහවුරු වන පරිදි තම නිදහස් චින්තනය වගකීමෙන් ද භුක්තිවිඳිය යුතු බව පෙන්වා දුන් සේක.

වර්තමානය වන විට බුදු දහමේ ඇති නිදහස නිවැරැදි ව නොදැක තමාගේ මෙන් ම අන්‍යයන්ගේ ද ලෞකික, ලෝකෝත්තර අභිවෘද්ධිය වනසාලන්නේ ද බෞද්ධ යෝ ම ය. කනගාටුවට කරුණත් මෙයම ය. වර්තමාන පිරිස් තමාගේ ගෘහ ජීවිතය, පැවිදි ජීවිතය තුළ දකින අසීමිත නිදහස හේතුවෙන් සමාජ සංස්ථා බොහෝ අර්බුදකාරි තත්ත්වයන්ට මුහුණ දෙයි. තමා කළ යුත්ත, නො කළයුත්ත තේරුම් ගැනීම විෂයයෙහි තමාට අයිතියක් ඇති සේ ම එමඟින් තමන්ට මෙන් ම අන්‍යයන්ට වන දෙය අවබෝධ කර ගැනුමට පුද්ගලයා බුද්ධිමත් විය යුත්තේ ම ය. බුදුරදුන් වදාළ නිදහස් චින්තනය අප තව තවත් විවෘත කොටගත යුත්තේ එනිසා ය.

කුඩා කල සිට ම දරුවා සහ මවුපියන් අතර ඇති බැඳීම් දුරකතනයට, රූපවාහිනියට මායිම් නොකර සංවාද විසංවාද තුළින් විමසා බලා නිදහස් චින්තනයෙන් කටයුතු කිරීමට පෙළඹෙන පුද්ගලයා තුළින් දූෂකයකු, මිනීමරුවකු, මංකොල්ලකරුවකු බිහි නොවීම ඒකාන්ත ය. ඒ කෙසේ ද යත් කුඩා කල පටන් විමසා බලා නිදහසේ කටයුතු කරන දරුවා කුසල්, අකුසල් හා ආදිනවයන් හඳුනා කටයුතු කිරීමෙනි.

එලෙස බලන කල බුදුදහම උගන්වන නිවැරැදි නිදහස් චින්තනය වගකීම් සහගත පෞරුෂත්වයකින් හෙබි පුද්ගලයකු මෙලොවට දායාද කරනු ඇත.