|
පේතවත්ථු පාලිය අසුරිනි:
මළගිය ඥාතීන්ට
පින් දිය යුතු ඇයි?
කල්ලංචියේ රතනසිරි හිමි
බුදු දහමට අනුව මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම යනු හුදෙක් චාරිත්‍රයක් පමණක්
නොව, ලෞකික සහ ලෝකෝත්තර අර්ථයක් සහිත ඉතා ගැඹුරු ක්‍රියාවලියකි. මෙය “පත්තානුමෝදනා”
ලෙස බුදු දහමේ හඳුන්වයි. මිහිඳු මා හිමිපාණන් වහන්සේ ලංකා දීපයට වැඩීමට පෙර සිට ම
ප්‍රාග් ලාංකේය මානවයා මළගිය ඥාතීන් උදෙසා විවිධ පුද පූජා පවත්වා ඇති බව ලාංකේය
ඉතිහාසය හැදෑරීමෙන් මනාව පැහැදිලි වේ. මේ අනුව මිහිඳු මා හිමිපාණන් වහන්සේ ද ලංකා
දීපයට වැඩමවා ප්‍රථමයෙන් චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් ධර්මය දේශනා කළහ. පසුව ලාංකේය
ජනතාවගේ සිරිත්විරිත්වලට අනුගත දේශනා බුදු දහම තුළ ද අන්තර්ගත ව පවතින බව ජනතාවට
අවබෝධ කිරීමේ ක්‍රමවේදයක් ලෙස, ද්විතීය හා තෘතීය ධර්ම දේශනා පොදු ජනතා අභිප්‍රායයන්
වෙනුවෙන් දේශනා කිරීමට පෙළඹී ඇත. එලෙස දේශනා කරන ලද සූත්‍ර එකතුවකි, පේතවත්ථු පාලි
හා විමානවත්ථු පාලි.
පේතවත්ථු පාලි යනු බුද්ධ ධර්මයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් ඉතා වැදගත්
ග්‍රන්ථයකි. එය මූලික වශයෙන් කර්ම විපාකය පිළිබඳ සහ පරලොව ගිය ඥාතීන්ට පින්
අනුමෝදන් කිරීමේ වැදගත්කම පිළිබඳ කරුණු ඉදිරිපත් කරනු ලබන ග්‍රන්ථයකි.
“ පේතවත්ථු පාලි ” යන පාලි නාමයේ අර්ථය ”පේතයන් (ප්‍රේතයන්) පිළිබඳ කතා” යන්නයි.
බුදු දහමට අනුව, මියගිය අයගේ අකුසල කර්මයන්ගේ විපාක වශයෙන් ඔවුන් ප්‍රේත ලෝකයේ උපත
ලැබීම සහ බුදුරජාණන් වහන්සේ හෝ ශ්‍රාවකයන් වහන්සේ හමුවී තම දුක්ඛිත තත්ත්වය
පැවසීමත්, ඉන් පසු පින් ලබා ගෙන ඔවුන් එම තත්ත්වයෙන් මිදීමත් මෙම කතාවෙන් නිරූපණය
වේ.
ප්‍රේත වස්තුවේ ඇති ප්‍රධාන අරමුණු වනුයේ තමන් කළ පාප කර්මයන්ගේ (අකුසල කර්ම)
ප්‍රති විපාක ලෙස මෙලොව වුව ද, පරලොව වුව ද කෙතරම් දුක් වි¼දීමට සිදුවේ ද යන්න කතා
මඟින් විස්තර කිරීමයි. එසේම මියගිය අය වෙනුවෙන් දානමාන පූජා කර පින් අනුමෝදන්
කිරීමෙන් ප්‍රේත ලෝකයෙන් මිදීමට හෝ සැපවත් තලවලට යාමට හෝ හැකි බව පෙන්වා දීමේ
හැකියාව ඉතා වැදගත් සමාජීය අංගයකි. (උදාහරණ වශයෙන් තිරෝකුඩ්ඩ සූත්‍රය දැක්විය හැකි
ය.) මීට අමතරව පාපකර්මවල බිහිසුණු බව වටහාගෙන පුද්ගලයා පින් දහම් කෙරෙහි යොමු කිරීම
ද මෙමඟින් සිදු වේ.
ප්‍රේත වස්තුවේ ව්‍යුහය සලකා බැලීමේ දී එය ප්‍රධාන වශයෙන් කොටස් (වග්ග) හතරකට බෙදා
දක්වා ඇත.
උරග වග්ගය, උබ්බිරි වග්ගය, චුල්ල වග්ගය, මහා වග්ගය යනුවෙනි.
මෙම වග්ග තුළ කතා 51ක් පමණ ඇත. හැම කතාවක් ම ආරම්භ වන්නේ අදාළ ප්‍රේතයා දුක් විඳීන
ආකාරය සහ ඔහු හෝ ඇය මනුෂ්‍ය ලෝකයේ දී කුමන ක්‍රියාවක් නිසා මෙම තත්ත්වයට පත් වූවා ද
යන්න පැහැදිලි කරමිනි.
මියගිය අයට පින් අනුමෝදන් කරන ආකාරයත්, ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින ආකාරයත්
තිරෝකුඩ්ඩ සූත්‍රය විස්තර කරයි. එසේම මහා මෝගල්ලාන මහ රහතන් වහන්සේ සිය සෘද්ධි
බලයෙන් ප්‍රේත ලෝකයට වැඩම කර ඔවුන්ගේ තත්ත්වය විමසා බලා බුදුරජාණන් වහන්සේ වෙත ගොස්
දහම් දෙසූ අවස්ථා බොහොමයක් ද මෙහි අන්තර්ගත වේ.
බුදු දහමට අනුව ”පේත” හෙවත් ප්‍රේත යන සංකල්පය පිළිබඳ ගැඹුරු සහ විස්තරාත්මක
හැඳීන්වීමක් කළොත් එයින් හැඟවෙනුයේ පේත (ප්‍රේත) යනු පාලි භාෂාවෙන් “පේත” යන වචනයේ
අර්ථය පරලොව ගිය තැනැත්තා යන්නයි. බුදු දහමේ පිළිගැනීමට අනුව, සත්ත්වයා සංසාරයේ
සැරිසරන ප්‍රධාන උපදින ස්ථාන හෙවත් ”සතර අපාය” (නිරය, තිරිසන්, ප්‍රේත, අසුර)
අතරින් එකකි, ප්‍රේත ලෝකය.
මෙම ජීවී විශේෂය පිළිබඳ මූලික කරුණු කිහිපයක් පහත පරිදි දැක්විය හැකි ය. එනම්
ප්‍රේත ලෝකයේ ස්වභාවය සාකච්ඡා කිරීමේ දී ප්‍රේතයන් ජීවත් වන්නේ වෙනම ලෝකයක නොවේ.
ඔවුන් බොහෝ විට අප වෙසෙන මිනිස් ලොව ආශ්‍රිත ව හෝ මිනිසුන්ට නොපෙනෙන තලවල හෝ
දුක්ඛිත ජීවිත ගත කරමිනුයි සිටින්නේ. ඔවුන්ගේ ජීවිතය බොහෝ දුරට බඩගින්න, පිපාසය, සහ
කායික හා මානසික පීඩාව මත පදනම් වී ඇත.
ප්‍රේත ලෝකයේ උපත ලැබීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ලෝභය (තණ්හාව) සහ මසුරුකම යි.
මෙහිදී බුදු දහමට අනුව මසුරුකම යනු අනුන්ට නොදී තමන් සතු දේ රක්ෂා කිරීමයි, දානමාන
නොදීම සහ අන් අයගේ දේ අසාධාරණ ලෙස ලබා ගැනීමයි. එසේම බුදුදහමට අනුව අකුසල කර්ම යනු
මවුපියන්ට සැලකීම පැහැර හැරීම, ගුණවතුන්ට අපහාස කිරීම, සොරකම සහ පවට බියක්
නොදැක්වීම වැනි ක්‍රියා ය. ඒවා ප්‍රේත බවට පත්වීමට හේතු වේ.
මීළඟට ප්‍රේතයන්ගේ වර්ගීකරණය දෙස සලකා බැලීමේ දී බෞද්ධ සාහිත්‍යයෙහි ප්‍රේතයන්
විවිධ කොටස්වලට බෙදා දක්වා ඇත. සමහර ප්‍රේතයන් ඉතා අතෘප්තිමත් ජීවිත ගත කරන අතර,
සමහර ප්‍රේතයන්ට යම් තරමක සැපතක් වුව ද ලැබිය හැකි ය. එලෙස බුදු දහමට අනුව දක්නට
ලැබෙන ප්‍රේත වර්ග කිහිපයක් දක්නට පුළුවන්. එනම් ඛුප්පිපාසිත ප්‍රේත (සැමවිටම
බඩගින්න සහ පිපාසය සහිත ව පෙළෙන්නන්).නිජ්ඣාම තණ්හික ප්‍රේත: (තමන්ගේම කර්ම
ශක්තියෙන් ඇතිවන ගින්නෙන් ශරීරය දැවෙමින් පෙළෙන්නන්). පරදත්තුපජීවී ප්‍රේත යනු
තමන්ට ම ආහාර සොයා ගැනීමට නොහැකි ව, අනුන් දෙන පින් (අනුමෝදන් කරන පින්) මත
යැපෙන්නන්. (මියගිය ඥාතීන් සඳහා පින් පමුණුවන්නේ මොවුන් උදෙසා ය).
ප්‍රේත ලෝකය යනු නිත්‍ය ස්ථානයක් නොවේ. ප්‍රේත වස්තුවෙහි සඳහන් වන පරිදි,
ප්‍රේතයන්ට එම තත්ත්වයෙන් මිදීමට මාර්ග කිහිපයක් පවතී.
එනම් ඥාතීන් පින් අනුමෝදන් කිරීමයි. බෞද්ධ සංස්කෘතියේ පවතින ”පින් දීම” යන
ක්‍රියාවලිය මඟින් පරලොව ගිය ඥාතීන්ට අනුමෝදන් වන කුසල් මඟින් ඔවුන්ට එම තත්ත්වයෙන්
මිදී සුගතියට යා හැකි ය. තමන්ගේ කර්ම ශක්තිය ක්ෂය වීම කරන ලද අකුසලයේ විපාක අවසන්
වූ පසු ඔවුන්ට වෙනත් ආත්මභාවයක උපත ලැබිය හැකි ය.
බුදු දහමට අනුව මරණය අවසානයක් ලෙස නොසලකයි. එය එක් භවයකින් තවත් භයකට මාරුවීමකි.
කර්ම නියාමයට අනුව, යම් අයකු ප්‍රේත ලෝකයේ (විශේෂයෙන් ‘පරදත්තුපජීවී‘ ප්‍රේතයන්
ලෙස) උපත ලැබුවොත්, ඔවුන්ට ස්වාධීන ව ආහාර හෝ සම්පත් හෝ ලබා ගැනීමට නොහැකි ය. එවැනි
අසරණ තත්ත්වයක පසුවන ඥාතීන්ට උපකාර කිරීමට ඇති එකම ක්‍රමය වන්නේ පින් අනුමෝදන්
කිරීමයි.
පරදත්තුපජීවී ප්‍රේත යනු බුද්ධ ධර්මයේ සඳහන් ප්‍රේත කාණ්ඩ අතරින් ඉතා වැදගත් සහ
අපගේ දෛනික සමාජ ජීවිතයට ඍජුව ම සම්බන්ධ වන ප්‍රේත කොටසකි. ”පරදත්තුපජීවී” යන වචනය
පාලි භාෂාවෙන් සැදී ඇත්තේ ”පර” යනු අන් අය විසින් ”දත්ත” දීමෙන් + ”උපජීවී”
යැපෙන්නා යන වචනවල එකතුවකි.
පින් අනුමෝදන් කිරීමේ දී සිදුකරනු ලබන ක්‍රියාවලිය පියවර කිහිපයකින් යුක්ත වේ.
එනම් ප්‍රථමයෙන් ජීවත්ව සිටින ඥාතීන් පිරිසිදු චේතනාවෙන් දානයක් දීම, සිල් රැකීම,
බෝධි පූජා පැවැත්වීම හෝ භාවනා කිරීම වැනි කුසලයක් සිදු කළ යුතු ය.
පින්කම අවසානයේ දී, ”මේ පින්කමින් රැස්වූ කුසල් පරලොව ගිය මගේ ඥාතීන්ට අත්වේවා’යි”
යනුවෙන් ප්‍රාර්ථනා කරමින් පින් පැමිණවීම සිදු කළ යුතු ය. මෙය මනසින් සිදුකරන ශක්ති
සම්ප්‍රේෂණයකි.
පින් ලැබීම සඳහා මියගිය ඥාතියා ද එම කුසලය ගැන දැනගෙන ”සාධු! සාධු!” කියා සතුටු විය
යුතු ය. (සහජීවනය). එම සතුටුවීම හෙවත් ‘අනුමෝදන් වීම‘ තුළින් එම ප්‍රේතයාගේ අකුසල
ශක්තිය අඩුවී, ඔහුගේ පින් ශක්තිය වර්ධනය වේ.
බුද්ධ දේශනාවට අනුව සෑම මියගිය අයකුට ම පින් අනුමෝදන් විය නොහැකි ය. පරදත්තුපජීවී
නම් ප්‍රේත ලෝකයේ සිටින අය පමණක් අන් අය දෙන පින් අනුමෝදන් වේ. දැනටමත් දෙව්ලොවක හෝ
බ්‍රහ්ම ලෝකයක හෝ උපත ලබා ඇති අයට අමතර පින් අවශ්‍ය නොවේ. නිරයේ උපත ලබා ඇති අයට
කර්මයේ බරපතළකම නිසා බොහෝ විට මෙම පින් අනුමෝදන් වීමේ හැකියාව අවම වේ.
පින් අනුමෝදන් කිරීමේ සමාජීය සහ පෞද්ගලික වැදගත්කම සැලකීමේ දී ජීවත්ව සිටින අයට තම
මියගිය මව්පියන් හෝ ඥාතීන් හෝ සිහිපත් කර පින්කම් කිරීමෙන් තමන්ගේ සිතේ පවතින ශෝකය
සමනය කර ගැනීමටත්, මියගිය අයට කෘතගුණ සැලකීමටත් හැකි වේ. මෙය “කතඤ්ඤුතා” (කෘතවේදී
බව) ගුණය වර්ධනය කිරීමකි.
එසේම මියගිය අය සිහි කිරීමෙන් තමන්ටත් මරණය නියත බවත්, ජීවිතයේ ඇති අනිත්‍ය බවත්
අවබෝධ වේ. එය පුද්ගලයා සංවේගයට පත් කර, පවින් මිදී, කුසල් දහම් දෙසට යොමු කිරීමට
උපකාර වේ.
දානයක් දීමේ දී හා පින් අනුමෝදන් කිරීමේ දී පහත සඳහන් ගුණාංගවලින් යුක්ත වීම වැදගත්
ය. එනම් පිරිසිදු බව, දෙන දේ, දෙන විදිහ සහ දායකයාගේ චේතනාව පිරිසිදු විය යුතු ය.
එසේම ගුණවතුන් වෙත දීම, දානය පිළිගන්නා භික්ෂූන් වහන්සේ සිල්වත්වීම පින් බලය වැඩි
කිරීමට හේතු වේ. ඒ අනුව පින් අනුමෝදන් කිරීම යනු මෛත්‍රියෙන් පිරුණු ශක්ති
ප්‍රවාහයක් මියගිය ඥාතීන් වෙත යැවීමකි. බුදු දහමේ උගන්වන පරිදි, අනුකම්පාවෙන් දෙන
පින්කම් මඟින් මියගිය අය අසරණ තත්ත්වයෙන් මිදී සුගතියකට යාමට මඟ පෑදෙන බව විශ්වාස
කෙරේ.
බුදු දහමේ ප්‍රේත සංකල්පය හුදෙක් බිය උපදවන කතාවක් නොව, එය මනුෂ්‍යයාට ලබා දෙන
දාර්ශනික පාඩමකි. එසේම මසුරුකම සහ තෘෂ්ණාව මිනිසා පිරිහීමට ලක් කරන අතර, දානය සහ
සිල්වත් බව මිනිසා ඉහළට ඔසවා තබයි. එසේ ම මෙම ඉගැන්වීමෙන් උත්සාහ කරන්නේ පුද්ගලයා
තුළ ඇති මසුරුකම දුරු කර පරිත්‍යාගශීලී ගුණය වර්ධනය කර ගැනීමටත්, මියගිය ඥාතීන්
කෙරෙහි කරුණාව දැක්වීමටත් පෙළඹවීමයි.
පරදත්තුපජීවී ප්‍රේතයන්ගේ මූලික ස්වභාවය වනුයේ ඔවුන්ට තමන්ගේ ම ශක්තියකින් හෝ
උත්සාහයකින හෝ ආහාර පාන ලබාගත නොහැකි වීමයි. මොවුන් ජීවත් වන්නේ තම ඥාතීන් හෝ
හිතවතුන් විසින් හෝ කරනු ලබන පින්කම්වලින් (පුණ්‍ය කර්මවලින්) ලැබෙන ප්‍රතිඵල මත
පමණි. එසේ ම මොවුන්ගේ අසරණ බව නිසා බොහෝ විට බලාපොරොත්තු සහගත ව තම පවුලේ අය අවට
රැ¼දී සිටිති. තම ඥාතීන් තමන් වෙනුවෙන් කුසල් සිදුකරන තෙක් ඔවුන්ට බඩගින්නෙන් සහ
පිපාසයෙන් පෙළීමට සිදුවේ.
ඥාතීන් විසින් සිදු කරනු ලබන සිල් ගැනීම, දානය දීම, බෝධි පූජා පැවැත්වීම, පිරිත්
සජ්ඣායනා කිරීම වැනි පින්කම් සිදුකර, එම පින් ”පරලොව ගිය ඥාතීන්ට අනුමෝදන් වේවා!”
යනුවෙන් ප්‍රාර්ථනා කළ විට පමණක්, එම පින් ශක්තිය මෙම ප්‍රේතයන්ට අදාළ ආහාර පාන සහ
සැප සම්පත් බවට පත්වේ.
මෙහිදී පේතවත්ථුවේ සඳහන් පසුබිම පිළිබඳ සලකා බැලීමේ දී එහි එන බොහෝ කතා පුවත්වලින්
පෙන්නුම් කරන්නේ පරදත්තුපජීවී ප්‍රේතයන් තම ඥාතීන් සමඟ සන්නිවේදනය කරන ආකාරයයි. ඒ
අනුව ඔවුන් බොහෝ විට සිහිනවලින් හෝ ශබ්ද කිරීම් වැනි දේ මඟින් හෝ තම ඥාතීන්ට තමන්ගේ
පැවැත්ම ගැන දැනුම් දෙයි. ”මම මෙවැනි දුකකින් පෙළෙමි, මට පින් අවශ්‍යය” යනුවෙන්
ඉල්ලා සිටීම ඔවුන්ගේ ප්‍රධාන ක්‍රියාකාරකම වේ.
”පින් දීම” යන සංකල්පය බුදු දහම තුළ පින් දීම (පත්තානුමෝදනා) යන්න ඉතා ම ගැඹුරු
සමාජීය සහ ආධ්‍යාත්මික ක්‍රියාවලියකි. මියගිය අයකු සහ ජීවතුන් අතර සිටින අයකු අතර
පවතින කර්ම සම්බන්ධතාව මෙහිදී තහවුරු වේ. එසේම අසරණ වූ ප්‍රේතයා කෙරෙහි ජීවත්ව
සිටින ඥාතීන් දක්වන කරුණාව සහ මෛත්‍රිය මෙයින් මනාව පෙන්නුම් කරයි. ඒ අනුව පින්
දීමේ විධිමත් ක්‍රමය වනුයේ පින් ලැබීම සඳහා ප්‍රේතයා ද අනුමෝදන් විය යුතු ය. (සතුටු
විය යුතු ය.) පින් දෙන්නා කරන දේ අනුමෝදන් නොවන්නාට පින් නොලැබේ. එම නිසා මෙය දෙන
තැනැත්තාගේ සහ ලබන්නාගේ දෙපැත්තේ ම අන්‍යෝන්‍ය එකඟතාව මත සිදුවන්නකි. මෙම
ප්‍රේතයන්ට පින්කම් කිරීම යනු තාවකාලික සහනයක් පමණක් නොවේ. පින් අනුමෝදන් වීමෙන්
ඔවුන්ගේ ක්ලේශයන් පහව ගොස්, එම ප්‍රේත ආත්මයෙන් චුත වී (මියගොස්) දෙව්ලොව හෝ
මනුෂ්‍ය ලෝකයේ හෝ යහපත් ස්ථානයක උත්පත්තිය ලබා ගැනීමට හැකි බව ශාස්ත්‍රීය මතයයි.
ඒ අනුව පරදත්තුපජීවී ප්‍රේත සංකල්පය අපට උගන්වනුයේ මරණින් මතු ජීවිතය සහ අපගේ
ක්‍රියාවන්ගේ සම්බන්ධතාව, අප සිදු කරන කුසලයි. කර්ම අපට පමණක් නොව, අප ආදරය කරන
පරලොව ගිය අයටත් අත්වැඩක් විය හැකි බව පසක් කරමින්, දානය සහ පින් දීම වැනි
ක්‍රියාකාරකම්වල ඇති උත්තරීතර බව මෙයින් විග්‍රහ කරයි.
පේතවත්ථු පාලියේ දක්නට ලැබෙන තිරෝකුඩ්ඩ සූත්‍රය යනු බුදු දහමේ එන, පරලොව ගිය ඥාතීන්
වෙනුවෙන් කුසල් අනුමෝදන් කිරීම පිළිබඳ දේශනා කර ඇති අතිශය වැදගත් සහ ප්‍රචලිත
සූත්‍රයකි. සූත්‍රයේ නාම අර්ථයෙන් ම කියවෙනුයේ “තිරො” යනු එපිට, පසුපස, අතරින් යන
අර්ථය හා “කුඩ්ඩ” යන්නෙන් බිත්තිය යන අර්ථය ලබා දේ ඒ අනුව “තිරෝකුඩ්ඩ” යනු
බිත්තියෙන් එපිට” හෝ ”බිත්ති පසුපස සිටින” යන්නයි. තමන්ගේ පැරණි නිවෙස් කරා පැමිණෙන
ප්‍රේතයන් නිවෙසට පිවිසීමට නොහැකි ව බිත්ති පිටුපස සිටින බැවින් මෙම නාමය යෙදී ඇත.
ඒ බව තිරොකුඩ්ඪ සූත්‍රයේ සඳහන් කර ඇත්තේ මෙසේ ය.
තිරොකුඩ්ඪෙසු තිට්ඨන්ති -
සන්ධි සිංඝාටකේ සුච
ද්වාර බාහාසු තිට්ඨන්ති -
ආගන්ත්වාන සකං ඝරං
මෙමඟින් පවසනුයේ පරලොව සැපත් ඥාති මිත්‍රාදීන් මිය ගියාට පසුව බිත්තියෙන් පිටත,
දොරෙන් පිටත, ගේට්ටුවෙන් පිටත, තුංමන් හංදියේ, හතරමං හන්දියේ ආදියෙහි රැඳී සිටිමින්
අපගේ ඥාතීන් අපට පින් අනුමෝදන් කරාවි යනුවෙන් බලාපොරොත්තුවෙන් සිටින බව ය.
මෙම සූත්‍රය දේශනා කර ඇත්තේ බිම්බිසාර රජුගේ මියගිය ඥාතීන් පිරිසක් වෙනුවෙනි. අතීත
කල්පයක දී, බිම්බිසාර රජුගේ එම ඥාතීන් පිරිසක් බුදුන් වහන්සේට දානයක් දීමට තිබූ
අවස්ථාවක, මසුරුකම නිසා එම දානය වැළැක්වූ අතර, තමන් ම එම ආහාර අනුභව කළහ. එහි විපාක
ලෙස ඔවුහු ප්‍රේත ලෝකයේ උපත ලැබූහ. බුදුරජාණන් වහන්සේ එම ප්‍රේතයන්ගේ ඉතිහාසය රජුට
පහදා දී, රජු ලවා දානයක් පූජා කරවා, එම පින් ඔවුන්ට අනුමෝදන් කළහ. ඉන්පසු එම
ප්‍රේතයන් ප්‍රේත ලෝකයෙන් මිදී සුගතියක උපන් බව කියැවේ.
මෙම සූත්‍රයේ අන්තර්ගත ප්‍රධාන කරුණු පිළිබඳ සලකා බලන විට ප්‍රේතයන්ගේ ස්වභාවය
වනුයේ මියගිය අය ප්‍රේත ලෝකයේ ඉපදුණොත් ඔවුන් තමන්ගේ පැරණි නිවෙස්වල දොරටු, බිත්ති
සහ මංසන්ධිවල බලාපොරොත්තු සහගත ව රැ¼දී සිටින බව විස්තර කිරීමයි. ප්‍රේතයන්ට
ස්වාධීන ව ආහාර හෝ සම්පත් හෝ ලබාගත නොහැකි බැවින්, ජීවත් ව සිටින ඥාතීන් විසින් ඉතා
පිරිසිදු ලෙස දන් දී, පින් අනුමෝදන් කිරීම කළ යුතු බව ය. ඒ අනුව ”ඉදං වෝ ඥාතීනං
හෝතු - සුඛිතා හොන්තු ඥාතයෝ” යනුවෙන් මේ පින් අපගේ ඥාතීන්ට අත්වේවා!
ඔවුහු සුවපත් වෙත්වා! යනුවෙන් පින් අනුමෝදන් කළ යුතු ය. එසේම පින් අනුමෝදන් වූ
ප්‍රේතයන්, පින් දුන් ඥාතීන්ට ආශීර්වාද කරමින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන බව ද සඳහන්
වේ.
මියගිය අය සිහිපත් කර හඬා වැලපීමෙන් හෝ ශෝක කිරීමෙන් හෝ පලක් නැති බවත්, ඒ වෙනුවට
දානමය කුසල් සිදු කිරීම ඔවුන්ට ලැබෙන එකම සහනය බවත් මෙමඟින් අවධාරණය කරනු ලැබේ.
එසේම මෙම සූත්‍රයෙන් බෞද්ධයාට පරලොව පිළිබඳ ඉතා පැහැදිලි දර්ශනයක් ලබා දෙයි. මරණය
අවසානයක් නොවන බවත්, මියගිය අය සහ ජීවත්ව සිටින අය අතර පවතින කර්ම සම්බන්ධතාව දානය
සහ පින්කම් හරහා ගොඩනැඟිය හැකි බවත් මෙ මඟින් පෙන්වා දෙයි. |