Print this Article


අවබෝධ කළ යුතු දහම දෙසූ සම්බුද්ධ ශ්‍රේෂ්ඨයාණෝ...

අවබෝධ කළ යුතු දහම දෙසූ සම්බුද්ධ ශ්‍රේෂ්ඨයාණෝ...

තිලොවට සරණ වූ අපගේ ශාස්තෘන් වහන්සේ දිනක් තම ශ්‍රාවකයන් අමතා මෙසේ වදාළ සේක.

“පින්වත් මහණෙනි, එක ම පුද්ගලයකුගේ පහළ වීම වනාහි මහා ඇසක පහළ වීම ය. මහා ආලෝකයක පහළ වීම ය. මහා එළියක පහළ වීම ය. සය වැදෑරුම් අනුත්තරීය ධර්මයන්ගේ පහළ වීම ය. සිව්පිළිසිඹියා ධර්මයන්ගේ සාක්ෂාත් කිරීම ය. අනේක ධාතු අවබෝධ කිරීම ය. නා නා ධාතු අවබෝධ කිරීම ය. විද්‍යා විමුක්තිඵල සාක්ෂාත් කිරීම ය. එනම් ඒ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පහළ වීම ය.”

ඒ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ මින් වසර 2650කට පෙර මේ මිනිස් ලොව පහළ වී වදාළ සේක. විමුක්ති සුව විඳිමින් නිග්‍රෝධ රුක් සෙවණේ වැඩ සිටි අප මුනිරජුන්ට ධර්ම දේශනා කිරීම අරබයා මෙබඳු සිතක් පහළ විය.

‘ගොඩක් මහන්සිවෙලයි මම මේ ධර්මය අවබෝධ කළේ. මේ ධර්මය අනුන්ට කීමෙන් ප්‍රයෝජනයක් වෙන එකක් නෑ. රාග, ද්වේෂවලින් පෙළෙන ජනතාව මේ ධර්මය අවබෝධ කරනවා කියන එක ලේසි දෙයක් නොවෙයි. මේ ධර්මය උඩුගම් බලා යන එකක්. ඉතා සියුම් එකක්. ගැඹුරු එකක්. දැකීමට දුෂ්කර එකක්. අවිද්‍යා අන්ධකාරයෙන් වැසුණු, රාගයෙන් ඇලුණු මේ සත්ත්වයෝ මේ ධර්මය අවබෝධ කරන්නේ නෑ’ කියලා.

නමුත්, හිරු කිරණින් විකසිත වන කුසුම් අන් ආලෝකයකට විකසිත කළ නොහැකි ය. එය හිරුගේ ම කෘත්‍යයක් වන බැවිනි. ඒ වනවිට මනුලොව උපත ලබා ගෞතම බුදු සසුනේ දහම දකින්නට පින් පිරූ පුණ්‍යවන්තයන්ගේ ප්‍රඥා කුසුම් විකසිත කිරීමට අන් කවරකුටවත් නො හැකි ය. ඒ බුද්ධ කෘත්‍ය අප මුනිරජුන්ගේ ම වන නිසා ය.

ඒ බව දුටු සහම්පතී බ්‍රහ්ම රාජයාණන් එදා භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිට පහළ වී ආදරයෙන් වන්දනා කොට උතුම් බුද්ධ කෘත්‍යයට මෙසේ ආරාධනා කර සිටියේ ය.

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, දහම් දෙසන සේක්වා! ස්වාමීනි සුගතයන් වහන්ස, දහම් දෙසන සේක්වා! මේ ලෝකේ කෙලෙස් අඩු සත්ත්වයන් ඉන්නවා. ධර්මය අසන්න නො ලැබුණොත් ඔවුන් පිරිහිලා යාවි. ධර්මය අසන්න ලැබුණොත් අවබෝධ කරාවි.

ඉස්සර මගධ ජනපදයේ කෙලෙස් සහිත උදවිය විසින් සිතපු අපිරිසිදු ධර්මයක් පහළ වෙලා තිබුණේ. දැන් මේ අමා නිවන් දොරටුව විවෘත කරන සේක්වා! නිමල ප්‍රඥා ඇති සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මය නුවණැත්තෝ අසත්වා!

ගල් පර්වතයක් මුදුනට නැඟගත්ත කෙනෙක් හාත්පස සිටින ජනතාව දෙස බලනවා වගේ මහා ප්‍රාඥ වූ හාත්පස දකින නුවණ ඇති බුදුරජාණන් වහන්ස, සද්ධර්මයෙන් කරන ලද ප්‍රාසාදයට නැඟලා ශෝක රහිත සිතින් ඉපදීමෙන්, ජරාවෙන් පෙළෙන ශෝකයෙහි ගිලුණු ජනතාව දෙස බලන සේක්වා!

මාර යුද්ධය ජයගත් මහා වීරයන් වහන්ස, නැඟී සිටින සේක්වා! උත්තම ගැල්කරුවාණන් වහන්ස, ණය නැති උතුමාණන් වහන්ස, ලොව පුරා සැරිසරන සේක්වා! භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන සේක්වා! අවබෝධ කරන අය පහළ වෙනවා ම යි.”

ඒ ඇරයුමින් බුදු නෙතින් ලොව දැක වදාළ අප මහා කාරුණිකයාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ දී අවිද්‍යාවෙන් අන්ධ වූ ලෝකය තුළ අමා බෙර වයමින් උතුම් බුද්ධ කෘත්‍ය ආරම්භ කොට වදාළ සේක. ඉසිපතන මිගදායෙන් ප්‍රවර්තනය වී ගිය දම් රජුන්ගේ අසිරිමත් දම්සක දෙව් මිනිස් චිත්ත සන්තානයේ මැනවින් කරකැවෙමින් මනුලොව කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් වන විට අපමණ දෙව් බඹ පිරිසක් සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් මාර්ගඵල පසක් කර ගන්නට විය.

එතැන් පටන් අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ හැම බණ පදයක් ම බුද්ධිමත් දෙව් මිනිසුන්ගේ අවිද්‍යා අන්ධකාරය බිඳ හෙළන්නට සමත් විය. අප බුදුරදුන් මේ චතුරාර්ය සත්‍ය ලෝසත හට පහදා දීමේ දී පැවසූ අකුරු අප්‍රමාණ ය. ව්‍යඤ්ජන අප්‍රමාණ ය. විස්තර අප්‍රමාණ ය.

ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ නො කොට සසරගත ව සිටින සත්ත්වයා උරුම කරගෙන සිටින බිහිසුණු දුක් කන්දරාව අප මුනිරජුන් මැනවින් දුටු සේක. දුකින් මිදී ගත් භාග්‍යවතුන් වහන්සේ තම සරණ පතාගෙන සසුන්ගත වූ ශ්‍රාවක පිරිසේ වීර්යය බලවත් කරවන්නට චතුරාර්ය සත්‍ය පහදා දුන් එක් අවස්ථාවක් මෙසේ ය.

“පින්වත් මහණෙනි, සිය වසක් ආයුෂ ඇති, සිය වසක් ජීවත් වෙන පුරුෂයෙක් වෙයි. ඔහුට මෙසේ කියයි නම්,

‘එම්බා පුරුෂය එව, උදේ වරුවෙහි ඔබට ආයුධ සියයකින් පහර දෙන්නේ ය. දවල් වරුවේදීිත් ආයුධ සියයකින් පහර ලැබෙන්නේ ය. සවස් වරුවටත් ආයුධ සියයකින් පහර දෙන්නේ ය. එම්බා පුරුෂය, මෙසේ ඒ නුඹ වනාහි දවසක් දවසක් පාසා ආයුෂ සියය බැගින් තුන් වතාවක් පහර දෙනු ලබන්නේ ය. සිය වසක් ආයුෂ ඇතිව, සිය වසක් ජීවත් වී වසර සියයක් ඇවෑමෙන් අවබෝධ නො කළ චතුරාර්ය සත්‍යයන් අවබෝධ කරන්නෙහි ය’ යනුවෙනි.

මහණෙනි, සත්‍යාවබෝධයෙහි යහපත දකින කුල පුත්‍රයකු විසින් සසුන්ගත වන්නට සුදුසු ම ය. ඒ මක් නිසා ද යත්, මහණෙනි, මේ සසර කෙළවරක් දැක්ක නො හැක්කේ ය. ආයුධවලින් පහර කෑ වාර කොතෙක් ද කියා, කඩු පහර කෑ වාර කොතෙක් ද කියා ආරම්භක කෙළවරක් නොපෙනෙයි.”

මේ අයුරින් අප තථාගතයන් වහන්සේ දුටු සසරේ බිහිසුණු බව ඒ අයුරින් ම පහදා දෙන විට නුවණැති දෙව් මිනිසුන් වහා වහා වෙර වඩා සසර දුකින් අත්මිදෙන්නට වූහ.

ලොව සියලු තතු සියලු ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළ ද ශ්‍රාවකයාට අවශ්‍ය දේ පමණක් ලබා දීමට තරම් භාග්‍යවතුන් වහන්සේගේ බුදු නුවණ අසිරිමත් විය. දිනක් ඇට්ටේරියා වනයක වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ බිම වැටී තිබූ ඇට්ටේරියා කොළ මිටක් ශ්‍රී හස්තයට ගෙන දක්වා වදාළේ.

“මහණෙනි, මා විසින් විශිෂ්ට නුවණින් අවබෝධ කොට ඔබලාට නොපවසන යමක් ඇද්්ද එය ම ඉතා බොහෝ ය. පවසන ලද්දේ ස්වල්පයකි. මහණෙනි, කුමන කරුණක් නිසාවෙන් මා විසින් එය නො පවසන ලද්දේ ද? මහණෙනි, එය අර්ථයෙන් යුක්ත නොවෙයි. නිවන් මඟට මුල් නොවෙයි. අවබෝධයෙන් කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සන් සිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස නො පවතියි. එහෙයින් මා විසින් එය නො කියන ලද්දේ ය.”

මේ අයුරින් මහා කාරුණිකයාණන් වහන්සේ හැම විට ම සසරගත ලෝ සතුන්ට පිහිට පිළිසරණ ම සැලසූ සේක. ඇතැම් විට දහම දකින්නට පින මේරූ ශ්‍රාවකයා ඒ වන විට මිසදිටුව වැලඳගෙන ය. තම විමුක්තිදායකයාණන් හමුවට පැමිණෙන්නේ වාද කිරීමට ය. ඇතැම් විට දොස් පැවරීමට ය. ඇතැම් විට ඒ කිසිවක් නොදැන කාමයෙන් මත් ව කල් ගෙවන්නේ ය. නමුත් කුමන අයුරින්, කුමන සමාජ තලයක සිටිය ද ඔවුන් මේරූ නෙලුම් මල් බඳු ය. මහා කරුණා සමවතින් ලොව දෙස නෙත් හෙළන අප මුනිරජුන් වසර 45ක් පුරාවට දෙව් මිනිස් ලෝකයේ එවකට ඉපිද සිටි මේරූ පින් ඇති ඒ සියලු දෙනාට ධර්මාවබෝධය කරවූ සේක් ම ය.

ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ කෘත්‍ය තුළ මැනවින් ඵල නෙළූ විමුක්ති සිත් ඇති රහතන් වහන්සේ ශාස්තෘන් වහන්සේට ගෞරව බුහුමන් පූජා පැවැත්වූයේ මෙසේ ය.

භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළ සේක. අන් අයට අවබෝධ කිරීම පිණිස දහම් දෙසන සේක.

භාග්‍යවතුන් වහන්සේ දමනය වූ සේක. අන් අයට දමනය වීම පිණිස දහම් දෙසන සේක.

භාග්‍යවතුන් වහන්සේ සන්සිඳුන සේක. අන් අයට සංසිඳීම පිණිස දහම් දෙසන සේක.

භාග්‍යවතුන් වහන්සේ සසරින් එතෙරට වැඩි සේක. අන් අයට ද සසරින් එතෙර වීම පිණිස දහම් දෙසන සේක.

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවුණ සේක. අන් අයට පිරිනිවීම පිණිස දහම් දෙසන සේක.

මෙසේ අප මුනිරජුන් වදාළ චතුරාර්ය සත්‍ය අවබෝධ කොට, ඉඳුරන් දමනය කොට සංසිඳී ගිය සිතින් යුක්ත ව, සසරින් එතෙරට වැඩ පිරිනිවී සැනසුණ ශ්‍රාවක පිරිස අපමණ ය.

අන්‍යයන්ට සත්‍යාවබෝධය පිණිස දහම් දෙසද්දී අප මුනිරජුන් සතු වූ විශේෂිත ධර්ම දේශනා කෞශල්‍යයක් විය. එනම් මුලින් ම සිත පහදවා ගත් ශ්‍රාවකයාට දානය ගැන, සීලය ගැන, සුගතිය ගැන, කාමයන්ගේ ආදීනව ගැන, කෙලෙසුන්ගේ ළාමක බව ගැන, නෛෂ්ක්‍රම්‍යයේ අනුසස් ගැන අනුපිළිවෙළ කතාව වදරණ සේක. යම් විටෙක ශ්‍රාවකයාගේ සිත එයින් ප්‍රබෝධයට පත් වූයේ ද, මෘදු වූයේ ද නීවරණ රහිත වූයේ ද, ඔද වැඩී ගියේ ද, පහන් වූ බව දකින සේක් ද එකල්හි බුදුවරුන්ගේ සාමුක්කංසික ධර්ම දේශනාව වදාරන සේක. එනම් දුකත්, දුකෙහි හට ගැනීමත්, නිරෝධයත්, මාර්ගයත් ය. එවිට පිරිසිදු වස්ත්‍රයකට සායම් මැනවින් උරා ගන්නේ යම් සේ ද එසෙයින් ම ශ්‍රාවකයාට දහම් ඇස පහළ වන්නේ ය. මේ අසිරිය බුද්ධ ගුණයෙන් යුතු බුදුරදුන් සතු ව පමණක් ම පවතින්නේ ය.

දෙව්ලොව දෙවියෙක් වුව ද, බඹලොව බ්‍රහ්මයෙක් වුව ද, මනුලොව මිනිසෙක් වුව ද සසර දුකින් අත්මිදීමට කැමැති නම් පිහිට පැතිය යුත්තේ බුද්ධ ගුණධාරී අප සරණ ගිය බුදුරදුන්ගෙන් ම ය. අන් සරණක් නැත්තේ ම ය.

එදා දීපංකර සම්බුදුරදුන් සෙවණේ විඳින්නට තිබූ විමුක්ති සුවය පසෙකලා යම් මහා කරුණාවකින් අසංඛෙය්‍ය කල්ප ලක්ෂ හතරක් පුරාවට පෙරුම් දම් පුරා පැමිණි ගමන ගෞතම සම්මා සම්බුදු රදුන් ලෙස තිලොව ජයගෙන ගෞතම බුදු සසුන් පිහිටුවා වදාළ සේක් ද, අප මුනිරජුන්ගේ ඒ බුද්ධ කෘත්‍යය අතිශය විස්මිත ලෙස වසර 45ක් තුළ සම්පූර්ණ කොට වදාළ සේක. අද පවා යමෙක් පින පව හඳුනන්නේ ද, කුසල් අකුසල් වෙන් කොට දකින්නේ ද, සිල් ගුණ දම් වඩන්නේ ද, ඉඳුරන් දමනය කරන්නේ ද, සමථ විදර්ශනා වඩන්නේ ද, ඒ අප මුනිරජුන් සතු ව තිබූ බුද්ධ නම් වූ බුදු ගුණයේ බල මහිමයෙන් ම මිස අනෙකක් නිසා නො වන්නේ ම ය.