Print this Article


උපසම්පදා ලබති

උපසම්පදා ලබති

කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙහි අධ්‍යාපනය හදාරන මාරපන සිරි සුජාතවංස පොඩි හාමුදුරුවන් වහන්සේ අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටුවීමේ පුණ්‍ය මහෝත්සවය පසුගියදා ඓතිහාසික කළුතර බෝධි පරිශ්‍රයේ උදකුක්ඛේප සීමා මාලකයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සිරි සද්ධම්මවංස පාර්ශ්වයේ මහානායක, සද්ධම්මවංසපාල ඝණාචරිය මහා මහෝපාධ්‍යාය, අහුන්ගල්ලේ සිරි සීල විසුද්ධි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් සහ එම පාර්ශ්වයේ ම ජ්‍යෙෂ්ඨ අනුනායක, රාජකීය පණ්ඩිත, ආචාර්ය දිමියාවේ අමරවංසාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් ය.

උන්වහන්සේ ලබන 18 වැනි දා සවස 2.00ට මාලබේ මංසන්ධියේ සිට හේවිසි නාද මධ්‍යයේ අලංකාර පෙරහරකින් මාලඹේ සුසිතපුර අසෝකාරාමයට වැඩමවීමට නියමිත ය. එදින රාත්‍රී 7.00ට මංගල ධර්ම දේශනාව සිදු කෙරේ.

සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ, නවදුන් කෝරළයේ මැදපත්තුවේ සුන්දර මාරපන ග්‍රාමයෙහි වසර 2006 දෙසැම්බර් මස 28 වැනි දින පින්වත් මවුපියන්ගේ දෙවැනි දරුවා ලෙස ගුරුබැවිල කුලකුමරු මෙලොව එළිය දුටුවේ ය. දොන් නන්දන පරාක්‍රම ගුරුබැවිල උපාසක මහතා සහ රාජපක්ෂ ආරච්චිලාගේ විරාජිනී පුෂ්ප ශි‍්‍රයා රණසිංහ උපාසිකා මාතාව එම පින්වත් මවුපියෝ වූහ.

ගිහි කල රත්නපුර ශාන්ත ඇලෝසියස් ජාතික පාසලෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ චදීෂාන් කුලකුමරු, සිය දහම් අධ්‍යාපනය සඳහා මාරපන ගංගාතිලක ශ්‍රී ශාස්ත්‍රෝදය පුරාණ විහාරස්ථ දහම් පාසල තෝරා ගත්තේ ය. කුඩා කල සිට ම දහමට ලැදිව හැදී වැඩුණු මොහුගේ සිත නිරතුරුව ම යොමු වූයේ සසර දුකින් එතෙරවීමේ උතුම් මඟ වෙත ය.

2021 අප්‍රේල් මස 17 වැනි දින මාලඹේ සුසිතපුර අසෝකාරාම විහාරස්ථාන පින් බිමට සපැමිණි මෙම කුලකුමරු, 2021 ජූලි මස 31 වැනි දින උතුම් වූ ප්‍රවුජ්‍යා භූමියට පත්විය. ඒ අනුව අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ ආචාර්ය දිමියාවේ අමරවංස අනුනායක මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් සහ ත්‍රිපිටකාචාර්ය විචිත්‍ර ධර්ම කථික බොරැල්ලේ අතුල අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් ‘මාරපන සිරි සුජාතවංස’ නමින් උතුම් පැවිදි දිවියට ඇතුළත් විය.

පැවිදි දිවියට පත්වීමෙන් පසු වර්තමානය දක්වා කොළඹ මාලිගාකන්දේ ඓතිහාසික විද්‍යෝදය පිරිවෙනෙහි ධර්ම ශාස්තී‍්‍රය අධ්‍යාපනය හදාරන මාරපන සිරි සුජාතවංස හිමියෝ, සසුන් මඟ සාර්ථක කර ගැනීමට මහත් උනන්දුවෙන් කටයුතු කරති.

සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා මෙවන් ගුණගරුක, විනයගරුක යතිවරයාණන් වහන්සේ බිහිවීම බෞද්ධ ජනතාවගේ ඉමහත් පී‍්‍රතියට හා ගෞරවයට හේතුවකි. මාරපන සිරි සුජාතවංස හිමියන්ට සසුන් මඟ සාර්ථක කර ගැනීමට ශක්තිය හා ධෛර්යය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.