මහින්දාගමනයයි
අපේ උරුමයයි
රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී,
කෝන්වැවේ සිරිසුමන හිමි
මහින්දාගමනය සිංහල බෞද්ධ සංස්කෘතියේ ආරම්භය යි. මිහිඳු ආගමනයට පෙර බුදුරජාණන්
වහන්සේ තෙවරක් ම ලංකාවට වැඩමවා තිබීම නිසා ලංකාවේ තැනින් තැන බෞද්ධයෝ ජීවත් වූහ.
ඊටත් පෙර තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන්ගේ සම්ප්‍රාප්තිය නිසා තිරියායේ කේශ ධාතූන්
වහන්සේ නිදන් කළ ගිරිහඬු චෛත්‍ය ඉදිවී තිබුණි.
බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ ස්ථාන වශයෙන් සඳහන් වන මහියංගණය, නාගදීපය,
කැලණිය යන ස්ථානවලත් චෛත්‍ය ඉදිවී තිබුණි. සමිද්ධිසුමන ඇතුළු යක්ෂ ගෝත්‍රිකයන්
බුදුන් සරණ ගිය නිසා ඔවුන්ගේ පවුල්වල බොහෝ දෙනෙක් බෞද්ධයෝ වූහ. චූලෝදර මහෝදර
බුදුරජාණන් වහන්සේ් සරණ ගිය නිසා ඔවුන්ගේ පවුලේ අය ද බෞද්ධයෝ වූහ. මණිඅක්ඛිත නා
රජතුමාගේ පවුලේ අය ද බෞද්ධයෝ වූහ. මේ නිසා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩින විට
ලංකාවේ තැනින් තැන බුදුදහම වැළඳ ගත් අය ජීවත් වූ බව මහා වංශයේ එන තොරතුරුවලින්
පැහැදිලි වේ.
එසේ වුවත් සිංහල බෞද්ධ සංස්කෘතියක් ඒ වන විටත් ලංකාවේ නිර්මාණය වී තිබුණේ නැත. ඒ
සඳහා මූලික අඩිතාලම සකස් වූයේ මිහිඳු සංස්කෘතිය තුළින් ම ය.
මිහිඳු මා හිමියන්ට දේවානම්පියතිස්ස රජතුමා මුණ ගැසුණේ මිහින්තලාවේ දී ය. ඒ මොහොතේ
රජතුමා සිටියේ දඩයක්කාරයකු විදියට ය. මිහිඳු මහ රහතන් වහන්සේගේ උපදේශනයෙන් පසු දුනු
ඊතල බිම දැමූ රජතුමා තෙරුවන් සරණ ගියේ ය. මිහිඳු මහ රහතන් වහන්සේ දෙවනපෑතිස් රජතුමා
සමඟ දීර්ඝ සංවාදයක යෙදී ඔහු බුද්ධිමතකු බව තේරුම්ගෙන රජතුමාට මෙසේ අවවාද කළහ.
“රජතුමනි, ඔබ මේ රටේ පාලකයා මිස අයිතිකරු නොවේ. රටවැසියන් මෙන් ම සියලු සතුන්
ආරක්ෂා කිරීම ඔබේ පූර්ණ වගකීමයි. මේ පොළොවේ වාසය කරන සියලු ම තිරිසන් සතුන්ටත්
නිදහසේ ජීවත්වීමට ඉඩ තිබිය යුතු ය. ආකාසේ පියාසර කරන කුරුල්ලන්ට හා සමනලයන්ටත්
අනෙක් සෑම අපා, දෙපා, බහුපා, සිව්පා ආදී සතකුටමත් නිදහසේ සැරිසරන්නට නිදහස තිබිය
යුතු ය. එය ඔබ විසින් තහවුරු කළ යුතු ය.”
මිහිඳු මහ රහතන් වහන්සේගේ මෙම ධර්ම දේශනාවෙන් බෙහෙවින් ම ප්‍රසාදයට පත් වූ
දේවානම්පියතිස්ස රජතුමා ලංකා රාජ්‍ය බෞද්ධ රාජ්‍යයක් බවට පත් කිරීමටත්, රටේ වෙසෙන
මිනිස් තිරිසන් ආදී සියලු ම කොටස් සුරක්ෂිත කිරීමටත්, අධිෂ්ඨාන කර ගත්තේ ය. මේ නිසා
ශ්‍රී ලංකාව ධර්ම ද්වීපයක් බවට පත් වූයේ මහින්දාගමනය නිසා ම ය. මෙය මිහිඳු
සංස්කෘතියෙන් ලද උතුම්ම දායාදයකි. බුදු දහම ලෝකයේ බොහෝ රටවලට ලැබුණේ
මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේගේ සහ ධර්මාශෝක රජතුමාගේ ධර්මදූත සේවාව නිසා ය.
අශෝක රජතුමා සහ ලංකාවේ එවකට පාලකයා වූ දේවානම්පියතිස්ස රජතුමා අතර පැවතුණි.
මිත්‍රත්වය නිසා මිහිඳු මා හිමියනුත්, සංඝමිත්තා රහත් මෙහෙණියන් යන ස්වකීය පුතණුවන්
හා දියණියන් ලක්දිවට බුදුදහම රැගෙන එන ලදී. මහින්දාගමනයෙන් බුදුදහමත්, සංඝමිත්තා
ගමනයෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේත් ලංකාවට දායාද වූයේ මේ නිසා ය. ඊට අමතරව භික්ෂුණී
ශාසනය ද, සොළොස් කලාවන් ද මෙරටට ගෙන එන ලදී. මේ සියලු ම දේ ලංකාවට ලැබුණේ
මහින්දාගමනය හේතුවෙනි. මේ නිසා මහින්ද සංස්කෘතියෙන් උරුම වූ සංස්කෘතියක් හා
සභ්‍යත්වයක් අප සතුව ඇත.
මහින්දාගමනයට පෙර ලාංකිකයන් භාවිත කළ අක්ෂර හා සංකේත කෙබඳු දැයි නිගමනය කළ නොහැකි
වුවත් ඉපැරැණි ගල් ගුහා ආශි‍්‍රත ව හමුවන රේඛා චිත්‍රවලින් කුමන හෝ සංකේත ඒ සඳහා
යොදා ගන්නට ඇතැයි සිතිය හැකි ය. එහෙත් මහින්දාගමනයෙන් පසු ලංකාවේ ස්ථිර අක්ෂර
කලාවක් හා ලේඛන කලාවක් නිර්මාණය වූ බවට තොරතුරු හමු වී තිබේ. ඉන්දියාවේ පැවති
බ්‍රාහ්මී අක්ෂර ලංකාවේ මුල් ශිලා ලේඛනවල දක්නට ලැබීමෙන් මේ බව තහවුරු වේ. මේ නිසා
ලාංකික ගිහි පැවිදි උගතුන් රාශියක් ම බිහි වූ අතර, ඉතා වැදගත් ශාස්ත්‍රීය පොත්පත් ද
ලියැවී තිබේ. අමාවතුර, බුත්සරණ, කව්සිළුමිණ, ධර්මප්‍රදීපිකාව, පූජාවලිය,
සද්ධර්මරත්නාවලිය, ජාතක පොත් වහන්සේ වැනි සාරගර්භ සාහිත්‍ය කෘති අපට ලැබුණේ මිහිඳු
සංස්කෘතියෙන් ඔපවත් වූ ශිල්පීය ඥානය නිසා ය. රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ගී
සංකල්පනාවක සඳහන් වන
කලාවැවේ ජල තරඟ බලන්නට
සීගිරි බිතු සිතුවම් නරඹන්නට
කැටපත් පවුරේ ගීත ලියන්නට
නොලැබේ කිසිදා හිමි නො වඩින්නට
යන නිර්මාණයෙන් පැහැදිලි වන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීමෙන් අපට මොන තරම්
විධිමත් තාක්ෂණයක්, සෞන්දර්ය ආශ්වාදයක් ලැබී තිබේ ද යන්න යි. මහින්ද සංස්කෘතියෙන්
අපට උරුම වූ දායාද පිළිබඳ ව දිගින් දිගට ම කතා කරන රඹුකන සිද්ධාර්ථ හිමියන් අවංකව ම
හදපත්ලෙන් නැඟෙන පී‍්‍රති ප්‍රමෝදයෙන් ස්වකීය අදහස කාව්‍යමය සිතිවිල්ලකට ගොනු කරයි.
එයින් උන්වහන්සේ කියන්නට උත්සාහ කළේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට නොවැඩියේ නම් අපේ
උරුමය කියා කතා කරන්නට, පෙන්වන්නට, අගේ කරන්නට, කිසිවක් ඇති නොවන බවයි.
අවුකන මහ බුදු පිළිම නෙළන්නට
සඳකඩ පහනේ රූ සරසන්නට
අමාවතුර බුත්සරණ ලියන්නට
නොලැබේ කිසිදා හිමි නො වඩින්නට
අවුකන, මාළිගාවිල, පොළොන්නරු ගල් විහාරය, අනුරාධපුර මහමෙවුනා උයන ආදී ඓතිහාසික
ස්ථානවල ඉදිවී ඇති ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ ගල්වඩුවන් අතින් නිමවුණේ ඔවුන්ට ඒ
සඳහා බුදුදහමින් ලැබුණ ශික්ෂණය හා කලා රසිකත්වය නිසා ය.
රුවන්වැලිමහසෑය, අභයගිරිය, ජේතවනය වැනි අහස සිඹින දාගැබ් මේ ලක් පොළොවේ ඉදිවුණේ
මිහිඳු මා හිමියන්ගේ තාක්ෂණය නිසා ය. කලාවැව, තෝපාවැව, මින්නේරිය වැව, පරාක්‍රම
සමුද්‍රය වැනි මුහුදු පරයන මහ වැව් නිර්මාණය වූයේත් උන්වහන්සේගෙන් ලැබුණ ශක්තිය
නිසා ය. අමාවතුර, බුත්සරණ වැනි ජන විඤ්ඤාණයට සමීප වූ සාහිත්‍ය කෘති රචනා වූයේත්
සඳකඩපහන, කොරවක්ගල, මුරගල, බිතුසිතුවම් ආදිය නිර්මාණය වූයේත් මේ නිසා ම ය.
එපමණක් ද නොව කළගුණ සැලකීම, ආගන්තුක සත්කාරය වැනි මහානීය ගුණධර්ම සිංහල බෞද්ධයන්
අතර කැපී පෙනෙන ලක්ෂණයෝ ය. ලෝකයේ වෙනත් ජාතීන් අතර නොමැති එහෙත් සිංහලයන් අතර
විශේෂයෙන් දක්නට ලැබෙන මෙම උදාර ගුණධර්ම මහින්දාගමනයෙන් අපට ලැබුණ දායාදයෝ ය.
මනුෂ්‍යත්වය ලාංකික සමාජය පුරාම ඉතා හොඳින් ව්‍යාප්ත වූ තවත් ගුණ ධර්මයකි. “ගමන්
පන්සලයි වැවයි දාගැබයි” යන සංකල්පය පදනම් කරගෙන විහාරස්ථානය ගමේ කේන්ද්‍රස්ථානය බවට
පත් වූ අනුරාධපුර අවධියේ දී පටන් විදේශික ආක්‍රමණවලට හසු වී විනාශ වී ගිය කෝට්ටේ
අවධිය වනතුරු ම මිහිඳු හිමියන් මෙහි ගෙන ආ මිනිස්කම අපේ ඇත්තන් ළඟ ප්‍රවේශම් සහිත ව
අරපරෙස්සමින් ආරක්ෂා වී තිබුණි. එහෙත් ඉංගී‍්‍රසීන්, පෘතුගීසීන්, ලන්දේසීන් මේ රට
ආක්‍රමණය කිරීමත් සමඟ ම අපේකම අපි ළඟින් දුරස් විය. මනුස්සකම පෑලදොරින් පලා ගියේ ය.
මවුපියන්ට සලකන, ගුණවතුන් පුදන, වැඩිහිටියන්ට අවනත, සුසික්ෂිත සමාජය දෙදරා ගියේ ය.
ගුරු ශිෂ්‍ය සම්බන්ධය, මවුපිය දූ දරු සම්බන්ධය, ස්වාමී භාර්යා සම්බන්ධය, ස්වාමී
සේවක සම්බන්ධය, ගිහි පැවිදි සම්බන්ධය අද බොහෝ දුරට පලුදු වී ගොස් ය.
මිහිඳු මා හිමියන් අපට දායාද කළ උතුම් ගුණාංග නැවත අපේ දරුවන් තුළ, අපේ තරුණ පරපුර
තුළ රෝපණය කරන්නට කාලය උදා වී ඇත. අද ජීවත්වන වැඩිහිටියන්ගේ කාර්යභාරය විය යුත්තේ
එයයි. සාරධර්ම ප්‍රතිපෝෂණය කිරීමට පාසල් මට්ටමින් ක්‍රියාකාරී වැඩපිළිවෙළක් ආරම්භ
කිරීම සුදුසු වේ. |