Print this Article


සම්බුදු දහමේ හරය....

සම්බුදු දහමේ හරය....

මනුෂ්‍ය වර්ගයා කාලයත් සමඟ වෙනස් වන බවත්, ඒ අනුව ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර, අදහස් උදහස් සහ සිතුම් පැතුම් මෙන්ම ආගමික සංකල්ප ද වෙනස් වන බවත් මානව ඉතිහාසය දෙස බලන ඕනෑම කෙනකුට පහසුවෙන් සිතාගත හැකි ය. බුද්ධ ධර්මය මෙන්ම බෞද්ධ අදහස් උදහස් පිළිබඳ ව ද කිව යුත්තේ මෙය ම ය.

ගෞතම බුදුරදුන් විසින් ඉන්දියාවේ මධ්‍ය දේශයේ ඇති කළ මේ ශාන්ත ධර්මය වරින් වර ඇති වූ බලවත් විපර්යාසවලට මුහුණ පෑමෙන් මේ පස්විසි සියවස තුළ වෙනස් වී ගිය බව ඉඳුරාම පළ කළ හැකි ය. බුදුරදුන් දවස ම බුද්ධ ධර්මය මූලික බුදු දහම හා ආරාමීය බුද්ධාගම වශයෙන් දෙආකාරව පැවති බවට සාධක තිබේ. මූලික බුද්ධාගම පැවතියේ බුද්ධත්වයෙන් අවුරුදු 20ක් පමණ ගතවනතුරු ය. ඒ කාලය තුළ වැඩි වශයෙන් භික්ෂුන් පැවිදි වූයේ “එහිභික්ඛු පබ්බජ්ජා” ක්‍රමයෙනි. භික්ෂුව පැවිදි බිමට ඇතුළු වීමෙන් පසුව නිවන්සුව අත්පත් කර ගැනීම සඳහා විදර්ශනා ධුරයෙහි යෙදුණු සැටිත්, එයට පසු “චරථ භික්ඛවෙ චාරිකං” යන නියමය අනුව ධර්ම ප්‍රචාරය සඳහා දනවු සැරිසරා ගිය සැටිත් බුද්ධ චරිතයෙන් පැහැදිලි වේ.

බුදුරදුන් උදෙසා කෙරුණු වේළුවනාරාම, ජේතවනාරාම වැනි විශාල විහාරාරාම එකල පැවතිය ද බුදුරදුන් මෙන්ම භික්ෂුන් ද ඒවායෙහි ස්ථිර ලෙස වැඩ වාසය කළේ වැසි කාලවල පමණි. වෙන වචනවලින් කිවහොත් බුදුරජාණන් වහන්සේත්, උන් වහන්සේගේ සව්වනුත් මූලික බුද්ධාගම පැවති කාලයේ ක්‍රියා කළේ දහම් දෙසමින් තැනින් තැන ඇවිදින තවුස් පිරිසක් ලෙසිනි.

බුද්ධත්වයෙන් විසි වැනි වස පසු වනවාත් සමඟ ම මේ තත්ත්වය වෙනස් වී ගියේ ය. බුදුරජාණන් වහන්සේ ද, භික්ෂු සංඝයා ද ඉන්දියාවේ මහා නගරවල පැවති විශාල විහාරාරාම ස්ථිර වාසස්ථාන කර ගත්හ. භික්ෂුන් සඳහා වෙන ම විනය නීතිරීති මාලාවක් සකස් වූයේ ය. විදර්ශනා ධුරයට අමතර වශයෙන් ග්‍රන්ථ ධුරය ද එකතු විය. ඒ නිසා ම පැවිදි වූ විගස තරුණ භික්ෂුවට සිදු වූයේ විවේකී ව විදසුන් වැඩීමට වඩා බුදුරදුන් දෙසූ බණ දහම් ඉගෙනීමට ය. ධර්ම ප්‍රචාරයට වඩා බණදහම් පිරිමැසීමට ය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුද්ධ ධර්මයේ ආරක්ෂකයා වූයේ බෞද්ධ භික්ෂුව යි. ඒ නිසා ම විදර්ශනා ධුරයෙහි වටිනාකම අඩුවීමත් සමඟ ම ග්‍රන්ථ ධුරයෙහි අගය වැඩි විය. මුල් කාලයේ දී කිනම් වයසක කෙනකු වුවත් පැවිදි කළ නමුත් කල් යත් යත් වඩා අභිරුචියක් දැක්වූයේ බාල වයසේ අය මහණ කිරීමට ය. මෙසේ වීමට හේතුව අනෙකක් නොව වාචෝද්ගත කිරීමෙන් ආරක්ෂා කර ගෙන ආ ධර්මය තවදුරටත් පවත්වාගෙන යෑම ය. භික්ෂුව පමණ ඉක්මවා දහම් පිරිමැසීමෙහි නියැළුණු හෙයින් සාමාන්‍ය මහජනයාට ඔබ නිකමකු මෙන් පෙනුණු හෙයින් ඔවුන්ගේ නොසැලකිල්ල වැඩි විය. ඒ නිසා ම ඇතැම් යුගවල දී බෞද්ධ භික්ෂුව සිවුපස නොලැබීමෙන් ඉතා දුෂ්කර අවස්ථාවලට ද මුහුණ පෑ බව සත්‍යයකි.

බුදුරදුන් සිය ධර්මයෙන් එක්තරා කොටසක් සමාජ ශෝධනය සඳහාත් දේශනා කර ඇත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් භික්ෂුව නොදැනුවත්ව ම සමාජ කටයුතුවලට පෙළඹුණේ ය. මේ සඳහා මහායාන ආභාසය ද උපයෝගී වූ බව කිවයුතු නොවේ. අශෝක රජු තීර්ථකයන් පලවා බුදුසසුන ශුද්ධ කළ බව කියවෙතත් එකල පැවති අටළොස් භික්ෂු නිකායන් සමඟි කළ බවක් සඳහන් නොවේ. එසේ නම් ඒ විවිධ භික්ෂු නිකායවලට කුමක් වී ද? ඔහු ප්‍රතිපත්තියක් වශයෙන් බුද්ධාගමට විශේෂ සැලකිල්ලක් දැක්වූ අතර, අනික් ඉන්දියානු ආගම්වලට ද සාමාන්‍ය වශයෙන් සැලකූ බව ඔහුගේ ම ශිලා ලිපිවලින් එළිදරව් වේ. අශෝක වනයට හෝ ආරාමයට පමණක් සීමා වී තිබුූ බුද්ධාගම සාමාන්‍ය මහජනයාටත් ප්‍රයෝජනවත් සේ සකස් කොට විහාර යාත්‍රාව ධර්ම යාත්‍රාවට පරිවර්තනය කොට බෞද්ධ භික්ෂුව ජන සමාජයේ අනුශාසකයකු කළේ ය. මෙසේ බුදු සමය සාමාන්‍ය මහජනයාටත් ප්‍රයෝජන ගත හැකි ආගමක් කිරීමේ ගෞරවය හිමි වන්නේ අශෝකට ය.

බුද්ධ ධර්මය ආගමක් වශයෙන් ද, දර්ශනයක් වශයෙන් ද, සදාචාර ධර්මයක් වශයෙන් ද සැලකිය හැකි බවට විවිධ දේශනා එහි ඇතුළත් වී තිබේ. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණ නුවණින් සලකමින් ජීවිතය පිළිබඳ හරි අවබෝධයක් ලබාගත හැකි අයටත්, නොහැකි අයටත් ප්‍රාණඝාතාදී අකුසලින් මිදී දානාදී දස පුණ්‍ය ක්‍රියා කිරීම හා පුද පූජා පිළිබඳ දේශනා කළ කර්ම මාර්ගය ආගම වශයෙනුත්, වර්තමාන ජීවිතය ශීලාචාර සම්පන්නව ගත කිරීමටත් දේශනා කළ ගිහි පැවිදි විනය සදාචාර ධර්ම වශයෙනුත් සැලකිය හැකි ය.

ලංකාවට බුද්ධාගම ගෙන ආවේ තෙවැනි ධර්ම සංගායනාවෙන් පසු අශෝක රජුගේ ඉල්ලීම මත මොග්ගලීපුත්තතිස්ස තෙරුන් විසින් යවන ලද ධර්ම දූත පිරිස්වලට අයත් මිහිඳු හිමියන් ඇතුළු පිරිස විසිනි. උන් වහන්සේ මෙරටට වැඩ, පවත්වන ලද මුල් ධර්ම දේශනාවලින් පෙනී යන්නේ මේ රටේ ව්‍යාප්ත වූ බුදුදහම දර්ශනයක් වශයෙන් නොව ආගමක් වශයෙන් ප්‍රචලිත වූ බව යි.

බුද්ධඝෝෂ හිමියන් විසින් පාලියෙන් ලියන ලද විසුද්ධිමග්ගය සහ තවත් ඒ අනුව ලියවුණු පොත් දෙක තුනක් හැරුණු විට දර්ශනයක් වශයෙන් බුද්ධාගමෙහි ඇති වටිනාකම විස්තර කරදීම සඳහා මේ රටේ එකදු සිංහල පොතක්වත් ඇති නොවීය.

ජාතක කථා හෝ චරිත කථා හෝ කියමින් ඒ මඟින් මහජනයාගේ ආවේග අවුස්සා නිවන් දැක්වීමේ මාර්ගයක් සෙවූ සමහර ගත්කරුවෝ නිවන සඳහා ජීවිතයේ කලකිරීමක් අවශ්‍ය බව සම්පූර්ණයෙන් ම අමතක කළහ. පුද පූජා මාර්ගයෙන් නිවන් ලැබිය හැකි බවත්, බුදුරදුන්ගේ හෝ උන්වහන්සේගේ ශාරීරික ධාතුවල හෝ පාරිභෝගික වස්තුවල හෝ ප්‍රාතිහාර්ය දැක ලක්ෂ ගණන් නිවන් දුටු හැටි විස්තර කිරීමට ඔවුහු පසුබට නොවූහ. පූජාවලිය, ථූපවංශය, දාඨාවංශය ආදී පොත්වල ඇති විස්තර මෙයට නිදසුන් වශයෙන් දැක්විය හැකි ය.

බුද්ධ ධර්මය සාංදෘෂ්ටික ය. අකාලික ය. බුද්ධ ධර්මයෙන් ලැබෙන ප්‍රයෝජනය මෙලොව දී ම ලැබේ. කල් නොයවා ලැබේ. අනිත්‍යාදි ත්‍රිවිධ ලක්ෂණ ගැන සලකමින් විදසුන් නුවණ වඩන්නහුට පහළවන ලෝකෝත්තර මාර්ග ඥාන සහ ඒ මාර්ග ඥාන සිත්වලට අරමුණු වන නිර්වාණය ද මෙලොව දී ම ලැබෙන හෙයිනි. බුද්ධ ධර්මය සාංදෘෂ්ටික වන්නේ, මාර්ග ඥාන සිතට අනතුරුව ම ඵල සිත ලැබෙන හෙයිනි. ධර්මය අකාලික වන්නේ, මේ කාරණය එළිදරව් කරමින් මෙලොව දී ම ජීවිතය ගැන කලකිරී නිවන් දැකීමේ මාර්ගයක් බුදු දහමෙහි ඇති බව ප්‍රකට කරමින් පොත්පත් ලියූ ගත් කතුවරයන් මෙරට බිහිවූයේ ඉතා ටික දෙනෙකි. කල් යත්ම බුද්ධ ධර්මය පුද පූජාවලට සහ ශාන්තිකර්මවලට පමණක් සීමා විය. බුද්ධ ධර්මයේ ආරක්ෂකයා වශයෙන් භික්ෂුව ගෙන ගිය ව්‍යාපාරය නොනැවතුණ ද, මහජනයාට ජනපි‍්‍රය ධර්මයක් දේශනා කිරීමේ අදහසින් මේ බුදුසසුනේ දී කරගත් පිනෙන් මෙතේ බුදුන් සමයෙහි නිවන් දැකීමට දෙසූ ධර්මය කාගේත් සිත් ගත්තේ ය. මේ අතර ජීවිතයෙහි අනිත්‍යාදි ලක්ෂණ පෙන්වනු වෙනුවට කෙසේ හෝ එකසිය විස්සට දෙසිය විස්සක් ජීවත් කරවීමේ මාර්ගයක් වශයෙන් පිරිත් පින්කම් ක්‍රමයක් ද ඇති විය. භික්ෂුවට ඇති විවේකය අසීමිත ය. ඒ නිසා ම බුද්ධ ධර්මය පිරිමැසීමට අමතර වශයෙන් භික්ෂුව ගම්වැසි දරුවන්ගේ ආචාර්යවරයා වශයෙන් ද, මෝක්ෂ මාර්ගයට වඩා ස්වර්ග මාර්ගය දෙසීමේ අනුශාසකයා වශයෙන් ද, සමාජයේ තිබෙන විවිධ දුශ්චරිත මැඬලීමේ සමාජ ශෝධකයා වශයෙන් ද විවිධ සේවා ඇරඹී ය. ධර්ම විනයානුකූල ව මෙවැනි ක්‍රියාවල යෙදිය හැකි වුවත් මෙයට අමතර වශයෙන් මහජනයාගේ යහපත සඳහා විනය විරෝධි ව්‍යාපාරවල ද යෙදෙන්නට කටයුතු සැලසිණි.

බුද්ධ ධර්මය සාංදෘෂ්ටික නම්, එය අකාලික නම්, වර්තමාන බෞද්ධයා මේ ධර්මයේ පිහිටෙන් අනාගත බුදුරදුන් වහන්සේ නමක් ළඟ නිවන් දැකීමට පැතීමෙන් පෙනෙන්නේ ඔහු තුළ වර්තමාන බුද්ධාගමෙන් ලැබෙන සාංදෘෂ්ටික විපාක පිළිබඳ බලාපොරොත්තුවක් නැති බව යි. මෛත්‍රීය බුදුරදුන්ගේ කාලයෙහි මිනිසකුගේ පරමායුෂ අවුරුදු අසූදාහකි. ඔවුන්ට ජරා විළිපිලී නැත. කැසි කිඹිසිලි ආදී සුළු රෝගයකුදු නැත. සියලු දෙය ම කල්ප වෘක්ෂයෙන් ලැබෙන හෙයින් කෘෂි, වණික් ආදී කර්මාන්තයකුදු නැත. මෙබඳු ධර්මයක් අසා සිටින, දුක් ගැහැටවලින් පිරි, වර්තමාන ජීවිතය පිළිබඳ බලාපොරොත්තු කඩ කරගත් බෞද්ධයා පතන්නේ එබඳු වූ ශ්‍රී සෞභාග්‍යයෙන් යුත් දීප්තිමත් අනාගත කාලයක උත්පත්තිය ලබා සැප විඳීමට යි. නියම බෞද්ධ ධර්මය අනුව එබඳු යුගයක පහළ වන මිනිසුන්ට චතුරාර්ය සත්‍යයක් අවබෝධ කළ හැකි වේ ද? එසේම ශාස්වත උච්ඡෙද වාදවලින් තොරව විස්තර කොට ඇති පුනරුත්පත්තියක් ඇති බුද්ධ ධර්මය අනුව, අපට එබඳු යුගයක ඉපිද සැප සම්පත් ලැබීමට අවස්ථාවක් ලැබේ ද? වර්තමාන බුද්ධාගමෙහි ඉතා ජනපි‍්‍රය ඇදහීම් ක්‍රම බවට පත්ව තිබෙන්නෙ මේවා ය.

බුදුරදුන් චතුරාර්ය සත්‍ය, කර්මය සහ පුනරුත්පත්තිය වැනි දේ මැනවින් විස්තර කර ඇතත් ගතානුගතික බලපෑම්වලට සහ මහායාන ධර්ම ක්‍රමවලට ගැති වීම නිසා ඒවා අද පැහැදිලි කෙරෙන්නේ නියම බුද්ධ ධර්මය අනුව නොවේ. එසේ නම් ජීවිතය මිස අනිත්‍යාදී දොළොස් දුක්ඛ ලක්ෂණ දුක්ඛ සත්‍ය වශයෙන් හඳුන්වනු ලැබේ ද? චේතනාව කර්මය යැයි පෙන්වා ඇතත් අද බොහෝ දෙනා විස්තර කරන්නේ ප්‍රාණඝාතාදී පාප ක්‍රියා සහ දානාදී දස පුණ්‍ය ක්‍රියා කර්ම වශයෙනි. බුද්ධාගමෙහි පුනරුත්පත්තිය පිළිගෙන ඇතත්, එය වැඩි වශයෙන් ආත්ම සංක්‍රමණයක් වශයෙන් පෙන්වන්නේ, නොඑසේ නම් මරණින් මතු පින් ගැනීමට සිටිතැයි කියන ප්‍රාණකාරයා කවුද? මේ ආදී බෞද්ධ විශ්වාස දෙස බලන කල පෙනී යන්නේ හින්දු මහායාන අදහස් උදහස්වලට අනුව ලාංකිකයාගේ වර්තමාන බෞද්ධ සිතිවිලි හැඩගැසුණුු බවකි.

බුද්ධ ධර්මය ඉතා ගැඹුරු ය. ඒ සඳහා උසස් චින්තන ශක්තියක් අවශ්‍ය ය. චින්තනය දෙආකාර ය. වස්තු චින්තනය ඉන් එකකි. එය ඇස්, කන්, නාසාදී ඉන්ද්‍රියවලට හමුවන රූපාදී වස්තු ගැන සිතීම යි. කුඩා ළමයකුට වුව ද මෙබඳු වූ චින්තනයක් ඇත. අනික නම් භාව චින්තනය යි. ද්‍රව්‍යත්වයෙන් තොර චිත්ත චෛතසික නිර්වාණ ආදි භාවාත්මක වස්තු පිළිබඳ සිතීම යි. අඩු ගණනේ වයස අවුරුදු එකොළොසවත් පසු කළ ළමයකුට ය මෙබඳු චින්තනයක් ඇති වන්නේ. බුද්ධ ධර්මය ඉගෙනීම සඳහාත්, එහි කරුණු පරිශීලනය සඳහාත්, එය අවබෝධ කිරීම සඳහාත් වැඩි වශයෙන් අවශ්‍ය වන්නේ මේ භාවාත්මක චින්තනය ම ය. එහෙත් වර්තමාන ගිහි පැවිදි දෙපක්ෂයට ම වැඩි වශයෙන් අවශ්‍ය වන්නේ මේ භාවාත්මක චින්තනය ම ය. එහෙත් වර්තමාන ගිහි පැවිදි දෙපක්ෂය ම වැඩි වශයෙන් මෙබඳු වූ චින්තනයක් දියුණුූ කළ අය නොවෙති. නිවන, සෝවාන් ආදි මඟඵල සිත්වලට අරමුණු වන ශාන්ත ධර්මයකි. එය තෘෂ්ණාව ඇතුළු කෙලෙස් නැති කළ සිතට අරමුණු වන හෙයින් ඉතා සියුම් ධර්මයකි. වෙන වචනවලින් කිවහොත් එය භාවාත්මක වස්තුවකි. එබඳු වූ නිවනක් අවබෝධ කර ගැනීම සඳහා උපයෝගි වන්නේ භාවාත්මක චින්තනය යි.