Print this Article


ලක්දිව එකලු කළ අනුබුදු මිහිඳු හිමි

ලක්දිව එකලු කළ අනුබුදු මිහිඳු හිමි

සීමැඳුරු කවුළුව අසල සිටි නිරිඳුන්ගේ තියුණු දෑස් යොමුව තිබුණේ තමා විසින් සැටදහසක් බමුණන්ට දන් වළඳවන දන්හල වෙත ය. සන්සුන් බවින් තොරව, අවිනීත ලෙස බොජුන් අනුභව කරන පිරිස දුටු රජ තෙමේ ඒ කරුණින් ම ඔවුන් තුළ හරයක් නොමැති බව පසක් කර ගති. සිත් පහදවන අන්දමේ දක්ෂිණාර්භයන්ගේ දර්ශනය පතමින් සිටි නිරිඳුන් සීමැඳුරු කවුළුව අතරින් රාජාංගණය දෙස විඩාබර දෙනෙතින් බලා සිටින්නට විය.

සකල ජම්බුද්වීපය ම තනි රාජ්‍යයක් බවට පත් කොට අහසේත්, පොළොවේත් යොදුනක ප්‍රදේශය පුරා නිරන්තරයෙන් තම ආඥාව පිහිටන රාජ ඍද්ධිය සහිත ව සිටින මෙතෙම පාටලීපුත්‍ර නගරයේ දී රාජාභිෂේකය ලැබූ අශෝක නිරිඳුන් ය.

රාජ්‍යත්වය හේතුවෙන් බොහෝ පව් කළ බැවින් ‘චණ්ඩාශෝක’ නමින් පතළව සිටි අශෝක නිරිඳුන්ගේ දිවි ගමනේ දිශානතිය වෙනතකට යොමු කරවමින් දැමුණු ඉඳුරන් ඇති ව සන්සුන් පියොවින් රාජාංගණය හරහා වඩින සත් හැවිරිදි නිග්‍රෝධ නම් වූ රහත් සාමණේරයන්ගේ දසුන නිරිඳුන්ගේ විඩාබර දෙනෙතට රසඳුනක් විය. නරපතිඳුන්ගේ ඇරයුමෙන් රාජමාලිගයට වැඩම කොට සිංහාසනය මත වැඩ හුන් නිග්‍රෝධ රහතන් වහන්සේට රජු සියතින් ම දන් පැන් වැළඳවූයේ දක්ෂිණාවට සුදුසු උත්තමයකු මුණගැසීමේ පී‍්‍රතිය භුක්ති විඳිමිනි.

දහම් අසනු කැමැති වූ නිරිඳුන්ට නිග්‍රෝධ මහරහතන් වහන්සේ සිඟිති මුවින්, ගම්භීර සරින් උතුම් ධම්මපදයේ අප්පමාද වර්ගයට අයත් සියලු දෙසුම් මැනවින් දෙසූ සේක. පිරිස සහිත රජු තිසරණ සහිත පංච ශීලයේ පිහිටවූ සේක. තෙරුවන් සරණේ මනාව පිහිටීමෙන් පසු අනේක පින්කම් කිරීම හේතුවෙන් හේ ධර්මාශෝක නමින් සුපතළ ව ගියේ ය. රජුගේ මෙම පරිවර්තනය ගෞතම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සනිටුහන් කළ හැරවුම් ලක්ෂ්‍යය විය.

නිරන්තරයෙන් සැට දහසක් භික්ෂූන්ට රජ ගෙයි දන් වැළඳවූ රජ තෙමේ සියලු සංඝෝපස්ථානයන්හි නිරතුරුව ම අප්‍රමාදී විය. හිරු මඬලක් සෙයින්, සඳ මඬලක් සෙයින් සුපතළ මිහිමත එකල වැඩ සිටි සංඝඍෂීන් වහන්සේ වන සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා ම මනුලොව වැඩි මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ උතුම් දහම් ඇසුර ද රජුට නිබඳව ම ලැබුණි. අප භාග්‍යවතුන් වහන්සේ අසූහාරදහසක ධර්මස්කන්ධයක් වදහළ බව තෙරුන් වහන්සේ වෙතින් දැනගත් නිරිඳාණෝ දඹදිව් තලය පුරා අසූහාරදහසක් වෙහෙර විහාර තැනවූහ. එකම දවසේ සියලු විහාර පූජා කිරීමට කැමති වූ රජ කෙරෙහි අනුකම්පා ඇති අරහත් මුනිවරුන් විසින් සිදුකරන ලද ‘ලෝක විවරණ පූජා’ නම් ප්‍රාතිහාර්යයෙන් දඹදිව් තලය පුරා සිදු වුණ සියලු විහාරවල සොඳුරු පූජා සියැසින් ම දැකගත් නිරිඳාණෝ අතිශයින් ම සුපහන් සිත් උපදවා ගති.

බලවත් සතුටට පත්වූ දම්සෝ නිරිඳාණෝ ‘ස්වාමීනි, මේ මහා සුගත ශාසනයේ පරිත්‍යාග කළ අය අතර අග්‍ර කවුරුද?” යැයි සංඝයා වෙතින් විමසූහ. මහා නුවණැති මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ රජු සතුටට පත් කරවමින් මෙසේ වදාළ සේක. “මහ රජුනි, අප සුගත තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේදීවත් ඔබට සමාන ත්‍යාගවන්තයෙක් බුද්ධ ශාසනයේ නොසිටියේ ය.” “එසේ වී නම් ස්වාමීනි, මා වැනි කෙනෙක් බුද්ධ ශාසන දායාදය ලැබුවෙක් නේද?”

ධර්මාශෝක නරේන්ද්‍රයාගේ පුත්‍ර මහින්ද කුමාරයාගේත්, රාජ දියණිය වන සංඝමිත්තා කුමරියගේත් නිවන් අවබෝධයට සුදුසු වූ පුණ්‍ය වාසනා සම්පත් අඳුරු ගුහාවක දිලෙන පහන් එළියක් සෙයින් දැක වදාළ අප තෙරුන් වහන්සේ ඔවුන් විසින් අනාගතයේ ගෞතම බුද්ධ ශාසනය බබුළුවන බව ද නුවණින් දුටු සේක.

සුගත තථාගත සසුනේ සුරක්ෂාව සහ චිරස්ථිතියට කැපවී සිටි මහ තෙරුන් වහන්සේ මේ සියලු කරුණු සලකා බලා දුන් පිළිතුර අතිශයින් ම තීරණාත්මක විය.

“මහ රජුනි, ඔබ ඉතා ත්‍යාගවන්තයෙක් වුණත් බුද්ධ ශාසනයෙහි දායාද ලැබූවෙක් නොවේ. ඔබ සිව්පසය පුදන දායකයෙක් පමණි. මහ රජුනි, යමෙක් තමන්ගේ පුත්‍රයකු හෝ දියණියක හෝ බුදු සසුනෙහි පැවිදි කරවනවා නම් ශාසන දායාදය ලැබූවෙක් වන්නේ ඔහු ය.”

බබළන නුවණින් යුතු ව තෙරුන් වහන්සේ වදාළ මේ වදන් පෙළ.....මතු දිනෙක ලංකා ධරණිතලයේ සම්බුද්ධ ශාසනය බබුළුවන මූල බීජය විය.

මෙවදන සවනත වැකි සැණින් දහම්සෝ නිරිඳුන් හද, ශාසන දායාදය ලබනු වස් නිම්හිම් නැති ආසාවක් ඇති විය.

නිරිඳුන් තම නෙතු සඟළවන් මහින්ද රාජ කුමාරයා දෙසත්, සංඝමිත්තා රාජ කුªමරිය දෙසත් ආදරයෙන් බලා පවසා සිටියේ “කිම මාගේ දරුවනි, තෙපි පැවිදි වන්නාහුද? බුදු සසුනේ පැවිද්ද වනාහි ඉතා උතුම් දෙයක් නොවැ.” පිය රජුන් ඉදිරියේ පවසාගත නොහැකිව බොහෝ කලක් තම හදවත්හි තෙරපෙමින් තිබූ උතුම් පැවිදි බව පිළිබඳ පැතුම ඉටුවන කල කුමකට නම් තවත් පමා වන්නද? ඔවුන් පවසා සිටියේ “දේවයන් වහන්ස, ඔබ වහන්සේ කැමැති වන සේක් නම් අපි අද ම පැවිදි වන්නෙමු.” යනුවෙනි.

පිය සෙනෙහස හදේ දරාගත් ධර්මාශෝක නිරිඳුන් විසින් ශාසන දායාදය පතා බුද්ධ බලයෙනුත්, රූප බලයෙනුත් බබළන මිහිඳු නමැති පි‍්‍රය පුත්‍රයාත්, සංඝමිත්තා නැමැති රාජ දියණියත් මහත් ගරු සත්කාර සහිත ව ගෞතම බුද්ධ ශාසනයෙහි පැවිදි කරවීය. පිය රජුගේ මනදොළ සපුරා දුන් මිහිඳු කුමරු ඒ වන විට විසි වැනි වියේ පසු වූ අතර, සංඝමිත්තා රාජ දියණිය දහ අට වැනි වියේ පසු වූවා ය.

අපගේ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ මිහිඳු කුමරුගේ උපාධ්‍යායන් වහන්සේ වූ අතර, මහාදේව තෙරුන් වහන්සේ කුමාරයා පැවිදි කරවූ සේක. උපසම්පදාවේ දී කර්ම වාක්‍ය පැවසුවේ මජ්්ඣත්තික තෙරුන් වහන්සේ විසිනි. පැවිදි වූ දින ම උපසම්පදාව ලද අප මුනිඳුන් උපසම්පදා මාලකයේ දී ම සතර පටිසම්භිදා සහිත ව උතුම් අරහත් ඵලයට පත් වී වදාළහ.

මිහිඳු මහරහතන් වහන්සේ පැවිදි උපසම්පදා ලබා තුන් අවුුරුද්දක් ඇතුළත දී සිය උපාධ්‍යායන් වහන්සේ වූ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ වෙතින් තුන්පිටකය ම මැනවින් ඉගෙන, සිය නිකෙලෙස් හද මඬල නැමැති සොඳුරු රන් බඳුනෙහි තථාගත ශ්‍රී සද්ධර්මය නැමැති විස්මිත සිංහ තෙල බහා ගත් සේක. ශ්‍රී සම්බුද්ධ ශාසන ගගන තලය ශෝභමාන කළ හිරුමඬල සේ මිහිඳු මහරහතන් වහන්සේ සුපතළ ව ගිය සේක.

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යන්නට විය. ගෞතම සම්බුද්ධ ශාසනය ගලා ආ අපමණ ලාභ සත්කාරවලට ගිජු වූ අන්‍ය තීර්ථකයෝ තමන් ම සිවුරු පොරවාගෙන සුපේශල භික්ෂුන් අතරට වැදී ශාසන පරිහානියට මං විවර කරන්නට විය. මේ බරපතළ ශාසනික අර්බුදය දුටු මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ශාසන උන්නතියට සුදුසු කල් බලමින් විවේකී ව හුන් සේක.

ශාසනය යළි නඟාසිටුවීමේ අවශ්‍යතාව දුටු ධර්මාශෝක නරේන්ද්‍රයාණන් මහත් ගෞරවයෙන් උත්තම සංඝ පීතෘන් වහන්සේ වැඩම කරවාගෙන මිථ්‍යා දෘෂ්ටික වූ සැට දහසක් පමණ දෙනා සිවුරු හරවා සංඝයා වහන්සේ පිරිසිදු බවට පත් කරවීය. ධර්මාශෝක රජු විසින් සලසන ලද ආරක්ෂාව ඇතිව උතුම් රහතන් වහන්සේ දහස් නමකගේ සහභාගිත්වයෙන් නව මාසයක් පුරාවට තුන් වැනි ධර්ම සංගායනාව සිදු කොට වදාළ මොග්ගලීපුත්තතිස්ස නැමැති අපගේ සංඝපීතෘන් වහන්සේ ගෞතම සම්බුද්ධ ශාසන චිරස්ථිතිය සිදු කොට වදාළ මොහොතේ සාධුකාර දෙන්නියක සෙයින් මහ පොළොව කම්පාවට පත් වූවා ය.

සුගත තථාගත ශාසනය බබුළුවා ලූ අපගේ ශ්‍රීමත් මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ තුන් වැනි ධර්ම සංගායනාව සමාප්ත කොට අනාගතයෙහි සම්බුදු සසුන පිහිටන ප්‍රදේශ පිළිබඳ නුවණින් බලා වදාළ සේක. තෝරාගත් ඒ ඒ ප්‍රදේශවලට රහතන් වහන්සේ පිටත් කොට යවා මහා මහින්ද මහරහතන් වහන්සේ ඇතුළු තම ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ වන ඉත්ථිය, උත්තිය, සම්බල, භද්දසාල නැමැති රහතන් වහන්සේට

“ඔබ වහන්සේ ඉතා රම්‍ය වූ ලංකාදීපයට වැඩම කොට ඉතා සොඳුරු වූ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය පිහිටුවව්” යැයි පැවසූ සේක.

අප තථාගතයාණෝ දිවමන් කල ලංකාදීපය වනාහි යක්ෂාවාසයකි. අප්‍රමාණ වූ අවබෝධ ඤාණයෙන් යුක්ත වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලංකාදීපයේ අනාගත යහපත සලසනු පිණිස සසුනට විරුද්ධ ගති ඇති පිරිස් නැමැති කටු කොහොල් හරවනු පිණිස, අසුර නාග ආදී පිරිසට සෙත සලසනු පිණිස අනාගත ඤාණයෙන් බලා වදාළෝ තෙවරක් ම ලංකාදීපයට වැඩම කොට වදාළ සේක. අතිශයින් දයා කරුණා ඇති මහා කාරුණික වූ, ලොව ම එළිය කරන පහනක් බඳු වූ බුදුරජාණන් වහන්සේ ඉතා සුන්දර වූ ලක්දිවට තුන් වරක් වැඩමවා වදාළ කාරණයෙන් ලංකාදීපය පාරිශුද්ධත්වයට පත් විය.

බුද්ධ කෘත්‍ය සම්පූර්ණ කොට පිරිනිවන් පෑම පිණිස උපවත්තන සල් වනයේ සල් රුක් අතරේ පනවන ලද සයනයෙහි සැතපී වදාළ අප තථාගත භාග්‍යවතුන් වහන්සේ සක් දෙවිඳුන් අමතා මෙසේ වදාළ සේක.

“සිංහබාහු නැමැති රජුගේ පුත්‍රයා වන විජය කුමාරයා පන්සියයක් පිරිවර සහිත ව ලාට රටින් පිටත්ව අද ලංකා දිවයිනට ගොඩ බැස්සේ ය. දේවේන්ද්‍රය, මාගේ සම්බුද්ධ ශාසනය පිහිටන්නේ ලංකාදීපයේ ය. එනිසා පිරිවර සහිත ඔහුවත්, ලංකාදීපයත් හොඳින් ආරක්ෂා කරව.”

නිසැක බස් ඇති අප මුනි රජුන් වදාළ අයුරින් ම සම්බුද්ධ පරිනිර්වාණය වූ දිනයේ දී ම ලක්දිවට ගොඩබට විජය රජුගෙන් ඇරඹි රාජ පරම්පරාව ක්‍රමයෙන් විකාශනය විය.

තුන් වැනි ධර්ම සංගායනාවෙන් පසු ධර්මදූත රහතන් වහන්සේ ඈත රටවලට වැඩම කරන කාලය වන විට අපගේ මහා නුවණැති මහා මහින්ද මහරහතන් වහන්සේ උපසම්පදාව ලබා දොළොස් වසරක් ගත වී තිබුණි.

උන්වහන්සේ ගෞතම සම්මා සම්බුදු සසුන කෙරෙහි ලංකාදීපවාසීන් පහදවනු පිණිස ඊට සුදුසු කාලය බලාපොරොත්තුවෙන් වැඩ සිටි සේක. එවකට ලක්දිව රජ කළ මුටසීව රජු ඉතා මහලු බැවින් ඔහුගේ පුත් දේවානම්පියතිස්ස කුමරු රජ බවට පත් වූ පසු ලංකාදීපයට වැඩම කිරීමට අදිටන් කරගත් අප මහරහතන් වහන්සේ ලංකා රාජ්‍යයේ අලුත් රජෙක් බිහි වන කාලය අතරතුර තමන් වහන්සේගේ ඥාතීන්ට අනුග්‍රහ පිණිස දක්ෂිණා ගිරි ජනපදයට වැඩි සේක.

සුදුසු කල් දන්නා අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මෙසේ අධිෂ්ඨාන කොට වදාළ සේක.

“මාගේ පිය රජුගේ මෙහෙයවීමෙන් සිදු කෙරෙන දෙවැනි අභිෂේකෝත්සවය දේවානම්පියතිස්ස මහ රජු අනුභව කරත්වා!

පිය රජු විසින් යවනු ලබන දූතයන්ගෙන් තුනුරුවන් ගුණ අසා දැන ගනිත්වා!

ඒ දෙවනපෑතිස් රජු ලබන පොසොන් පොහෝ දිනයේ දී මිස්සක නැමැති පර්වතයට නගීවා! ඒ දවසෙ ම අපි උත්තම ලංකාදීපෙට යන්නෙමු.”

උතුම් පොසොන් පොහෝ දිනය උදා විය. ඒ අප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා දෙසිය තිස්හය වැනි වර්ෂය යි. ලංකාදීප ප්‍රසාදක ගුණයෙන් යුතු, ලංකාවට ශාස්තෘන් වහන්සේ බඳු අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ලක්වැසි දෙවියන්ගෙන් පිදුම් ලබමින් ලංකාවේ යහපත උදෙසා ගුවන් ගැබෙන් වැඩම කොට වදාළ සේක. ඉත්ථිය, උත්තිය, සම්බල, භද්දසාල රහතන් වහන්සේත්, සුමන සාමණේර රහතන් වහන්සේත්, භණ්ඩුක නැමැති අනාගාමී උපාසකතුමා සමඟින් රම්‍ය වූ මිස්සක පර්වතයේ ඉතා සිත්කලු වූ උතුම් අම්බස්තල ගල්කුල මත වැඩ සිටියහ.

හතළිස් දහසක් පිරිස පිරිවරා ගත් අපගේ දේවානම්පියතිස්ස රජු පොසොන් පුන් පොහෝ දිනයේ ම මුව දඩයම පිණිස මිස්සක පර්වතය දෙසට දිවයන්නට විය.

ගෝන වෙස් ගත් පර්වතවාසී දේවතාවකුගේ මෙහෙයවීමෙන් දේවානම්පියතිස්ස රජු දහම් දායාදය දරා වැඩ සිටි මිහිඳු මහරහතන් වහන්සේ අබියසට ම පැමිණියේ ය.

දුටු දසුනෙන් රජු තැති ගත් බව දැනගත් රහතන් වහන්සේ “මහ රජුනි, අපි ධර්මරාජයාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ශ්‍රමණයෝ වෙමු. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ම දඹදිව සිට මෙහි ආවෙමු”. යැයි වදාළහ.

මහා නුවණැති තෙරුන් වහන්සේ අඹ පැන විමසා රජු නුවණැතියකු බව වටහාගෙන අප මුනි රජුන් වදාළ චුල්ලහත්ථිපදෝපම සූත්‍රය මුල් කොට රජුට දහම් දෙසූ සේක. පුණ්‍ය ඍද්ධි ඇති අප මහ රජ්ජුරුවන් වහන්සේ, සතළිස් දහසක් වූ පිරිවර මිනිසුන් සමඟින් තෙරුවන් සරණෙහි පිහිටියාහු ය. දහම් මෙහෙවරෙහි බර දරා ගත් අප මහරහතන් වහන්සේ පසුදින රජමාලිගයට වැඩම කොට පේ‍්‍රත වත්ථු, විමාන වත්ථු ඇසුරෙන් දහම් දෙසද්දී අනුලා දේවිය ප්‍රධාන පරිවාර ස්ත්‍රීහු සෝතාපන්න ඵලයට පත් වූහ. එදින රැස්වූ නුවර වැසියන්ට දේවදූත සූත්‍රය මුල් කොට දහම් දෙසද්දී ඔවුන් අතරින් දහසක් දෙනා දහම් ඇස උපදවා ගත්තාහු ය.

මෙසේ ඇරඹි අනුබුදු මිහිඳු මුනිඳුන්ගේ සදහම් ආලෝකයෙන් මුළු දඹදිව ම ඒකාලෝක වන්නට විය. අනුබුදු මිහිඳු මුනිඳුන් මුවගින් ගලාගිය දහම් ගඟුල ලක්වැසි දනන් සිත් සුවපත් කරමින් ගලා බසින්නට විය. අධර්මයෙන් මුදා ධර්මයට සත්ත්වයන් පමුණුවාලීමේ දී අපගේ ශාස්තෘන් වහන්සේ හා සමාන මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ සම්බුදු සසුන පිහිටුවීමේ ඒකායන අදහසින් යුක්ත වූහ. ෂඩ්අභිඥාලාභී, චතුපටිසම්භිදාලාභී අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවාසීන් කතා කරන දීප භාෂාවෙන් ම ධර්මය වදාළ සේක.

සුළු කලක දී ම ලංකාදීපය ද දඹදිව් තලය සේ කසාවතින් බැබළී ගියේ ය. මගඵලලාභී උතුමන්ගේ ගුණ තේජසින් ලක්දිවයින ශෝභමාන විය. සුදුවත් දරන ගිහි උපාසක උපාසිකාවන්ගෙන් ගැවැසී ගත්තක් විය. අනුකම්පා ඇති ලංකාදීපප්ප්‍රසාදක මහරහතන් වහන්සේ අතීත බුද්ධශාසන ලක්දිව පිහිටි ආකාරයත්, ගෞතම සම්බුදු රජාණන් වහන්සේ තෙවරක් මෙහි වැඩම කොට බුදු පහසින් පාරිශුද්ධත්වයට පත් කළ පූජනීය ස්ථානත්, දඹදිව මුදුන් මල්කඩ බඳු වූ ද්‍රෝණයක් මුනිධාතුන් වහන්සේ වඩා හිඳුවමින් ඉදිවන ස්වර්ණමාලි මහා සෑ රජුන් පිහිටන ස්ථානයත් ඇතුළු සියලු තොරතුරු මැනවින් පෙන්වා දුන් සේක.

අපගේ ආදි ගුරුදේවෝත්තමයාණන් වහන්සේ ලෝකනාථ අප මුනි රජුන්ගේ දකුණු අකු ධාතූන් වහන්සේත්, බොහෝ සර්වඥ ධාතූන් වහන්සේත් ලබාදීමේ ලංකාදීපය දිවමන් මුනි රජුන් වැඩ සිටින සුගන්ධ කුටියක් බවට පත් කරවූ සේක. රන්කොත්වලින් පැන නඟින රන් රැසින් අහස්කුස බබුළුවන, කිරි සුදෙන් බබළන සෑ රජාණන් වහන්සේගෙන් ශෝභමාන පින්බිමක් බවට හෙළදිව පත් කරවූ සේක.

අපට ශාස්තෘන් වහන්සේ නමක් බඳු වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සිංහල මහරහතන් වහන්සේ බිහි කොට, ඒ උතුමන් මුව මුව අමා දම් පද රැඳවූ සේක. ඒ දහම් සරින් දෙව් මිනිස් ලොව ඒක නින්නාද කරවූ සේක. සිල් රකින, ගුණ පුරන, දන් පුදන උවසු උවැසියන් බිහි කළ සේක. ලක්වැසි දනන් හට ධර්ම විනය මැනවින් පහදා දුන් සේක.

පිරිනිවන් මංචකයේ වැඩ හිඳිමින් ලෝකනාථයන් වහන්සේ සිදු කළ අධිෂ්ඨාන ගැන මැනවින් දන්නා අපගේ මිහිඳු මහරහතන් වහන්සේ උත්තම ශ්‍රී මහා බෝධි දක්ඛිණ ශාඛාව ලංකාදීපයට වැඩම කරවා දුන් සේක. සිරිමා බෝ සමිඳුන්ගේ ආශීර්වාදය ලක්වැසි දනන් හට සලසා දුන් සේක. මහා අනුකම්පා ඇති මිහිඳු මහරහතන් වහන්සේ තම සොයුරිය ව සිටි සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ ලංකාදීපයට වැඩම කරවා ලක්වැසි කතුන්ට ගෞතම බුදු සසුනේ පැවිදි උපසම්පදාවට මං විවර කර දුන් සේක. දහස් ගණනින් සිංහල භික්ෂුණීන් වහන්සේ අර්හත්වයට පත් වූහ. සිංහල මවුවරුන්ගේ කුසින් බිහිවූ, සිංහල පොළොවේ හැදී වැඩුණු සිහලුන්ගේ හද පියුම් දම් රසින් පුබුදුවාලූ හිරුමඬල වූයේ මිහිඳු මහරහතන් වහන්සේ ය.

යුග යුග පුරා පැතිර ගිය මෝහාන්ධකාරය දුරු කොට අමා මිණි පහන දැරූ පැනවතාණෝ මිහිඳු මහරහතන් වහන්සේ ය. නැණ පහන දැරූ ගුරු දෙවි වෙතින් ලක් දනන් නැණ මඩුලු දැල්විණි. දරා සිටි මිසදිටු වැරහැලි ඉරා ලක් දනන් සම්දිටු සළු පිළියෙන් සැරසවූ කාරුණිකයාණෝ මිහිඳු මහරහතන් වහන්සේ ය.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ පර්යාප්ති, ප්‍රතිපත්ති ප්‍රතිවේධ යන උතුම් සම්බුද්ධ ශාසනය මෙහි පිහිටුවා ඉතා යහපත් ලෙස ති‍්‍රපිටක ධර්මය කටපාඩම් කරවීම් ආදියෙන් භාණක පරම්පරා බිහිකොට ලංකාදීපය බැබළවූහ. ලංකාවට මහත් පිහිටක් ලබා දුන්හ. මහා සංඝ පිරිවරකින් යුක්ත වූහ. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට ශාස්තෘන් වහන්සේ හා සමාන ව සත්වගට සෙත සදමින් නිවන් පුරට මං දෙසූ සේක.

තිස් දෙහැවිරිදි වියේ දී ලංකාදීපයට වැඩම කොට වදාළ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අසූ වැනි විය තෙක් කෙදිනකවත් නැවත දඹදිව් තලයට නොවැඩි සේක. අප කෙරෙහි අනුකම්පාවෙන් අපට සෙත සලසමින් මෙහි ම වැඩහුන් සේක. උපසම්පදාවෙන් සැට වසරක් ගත වූ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලා සෑ ගිරි විහාරයෙහි වැඩ වාසය කළහ. ලොව එළිය කළ හිරුමඬල බැස යන සෙයින් වප් මස පුර අටවක දිනෙහි අපගේ මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක.

පිරිනිවන් පා වදාළ, ලංකාදීපප්‍රසාදක, අපට ශාස්තෘන් වහන්සේ බඳු අපගේ පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

අපගේ සිත, කය, වචනය යන තිදොරින් දැන හෝ නොදැන හෝ සිදුවී තිබෙන සියලු වරදට අපගේ ආදි ගුරුදේවෝත්තම මිහිඳු මහරහතන් වහන්සේගෙන් අපට සමාව ලැබේවා!