Print this Article


​මනස නිරෝගි කරන ජීවන කලාව

​මනස නිරෝගි කරන ජීවන කලාව

වර්තමාන තරුණ පරපුර පෙර නොවූ විරූ තරම් දරුණු මානසික බිඳවැටීම්වලට ලක්ව සිටිති. තනිකම, මානසික ආතතිය, අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාව, ආදර සබඳතා බිඳවැටීම සහ සමාජ මාධ්‍ය ඔස්සේ ඇති කර ගන්නා අනවශ්‍ය තරගකාරීත්වය එහිලා ප්‍රධාන වේ. මානසික ව්‍යාකූලතාවලින් මිදී ජීවිතය සාර්ථක හා සැනසිලිදායක කර ගැනීමට සම්බුදු දහමේ ප්‍රායෝගික මනෝ විද්‍යාත්මක උපදෙස් මාලාව වර්තමානයට බෙහෙවින්ම ගැලපේ.

​ගැටීම

​තරුණ වියේ දී බොහෝ දෙනෙක් දැඩි ලෙස දේවල් වැළඳ ගැනීමට (උපාදානය) හෝ යම් දේකට වෛර කිරීමට (පටිඝය) පෙළඹෙති. තමන් බලාපොරොත්තු වූ ආදරය නොලැබීම, විභාග අසමත්වීම හෝ රැකියාවක් අහිමිවීම වැනි අවස්ථාවල දී තරුණ මනස දැඩි ලෙස කඩා වැටේ. බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දී මේ බව

“යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං”

තමන් කැමති දේ නොලැබීම දුකකි යනුවෙන් පෙන්වා දුන්හ.

​මෙම යථාර්ථය වටහා නොගැනීම නිසා බොහෝ තරුණ පිරිස් සියදිවි නසාගැනීම් වැනි අදූරදර්ශී තීරණවලට පෙළඹෙති. ලෝකය අනිත්‍ය බවත්, තමන් කැමති පරිදි කිසිවක් පවත්වා ගත නොහැකි බවත් තේරුම් ගැනීම (අනිච්ච සංඥාව) මඟින් ඕනෑම බිඳවැටීමක දී නොසැලී සිටීමේ මානසික ශක්තිය තරුණ මනසට ලබාගත හැකි ය.

සැනසීම නැති වන හැටි

තවත් ප්‍රබල ගැටලුවක් වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ තමන් අන් අය සමඟ සසඳා බලා ඇති කර ගන්නා හීනමානයයි. අන් අයගේ සංස්කරණය කරන ලද “ලස්සන ජීවිත” දෙස බලා තරුණයෝ තමන් සතු දෙයින් සතුටු නොවෙති. සංයුක්ත නිකායේ අරණ සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අන් අය දෙස බලමින්, තමන් සතු දේ අවතක්සේරු කරන්නාට කිසිදා සැනසීමක් නොලැබෙන බවයි.

​ලැබූ දෙයින් සතුටු වීම හෙවත් “සන්තුට්ඨි පරමං ධනං” (සතුට උතුම්ම ධනයයි) යන සංකල්පය තරුණ පිරිස තම ජීවිතයට බද්ධ කර ගත යුතු ය. සැබෑ සතුට පවතින්නේ බාහිර ආටෝප සාටෝප මත නොව, තම අභ්‍යන්තර මනසේ සන්සුන් බව මත බව තේරුම් ගත යුතු ය.

​ජීවත්වීමේ කලාව

​කාර්යබහුල බව සහ අධික තරගකාරීත්වය නිසා නූතන තරුණයා නිරන්තරයෙන් මානසික ආතතියෙන් පෙළෙයි. මීට ඇති හොඳ ම මනෝ විද්‍යාත්මක විසඳුම බුදු දහමේ දැක්වෙන භාවනාවයි. විශේෂයෙන් මහා සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන ආනාපානසති භාවනාව එනම්, හුස්ම රැල්ල කෙරෙහි සිත පිහිටුවීම මඟින් මොළයේ ක්‍රියාකාරීත්වය ක්‍රමවත් වන බව නූතන විද්‍යාව පවා පිළිගෙන ඇත.

​දවසට විනාඩි 10ක් හෝ නිහඬ ව තමන්ගේ ආශ්වාස ප්‍රශ්වාසය දෙස බලා සිටීමට පුරුදුවීමෙන්, ක්ෂණිකව කෝපවීම, කලබලකාරී බව සහ අනාගතය පිළිබඳ අනියත බිය දුරු කරගෙන වර්තමාන මොහොතේ ජීවත්වීමේ කලාව ප්‍රගුණ කළ හැකි ය.

සවන් දෙන කෙනෙක්

​තරුණ වියේ දී වැරැදි ඇබ්බැහිවීම්වලට (මත්ද්‍රව්‍ය, සූදුව) ලක්වීමට ප්‍රධාන හේතු නොගැලපෙන මිතුරන් ඇසුරු කිරීමයි. සිඟාලෝවාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ මිත්‍ර ප්‍රතිරූපකයන් හෙවත් මිතුරන් වගේ සිටින සතුරන් සහ කල්‍යාණ මිතුරන් පැහැදිලි ව වෙන්කර හඳුන්වා දුන්හ.

​විෂාදයෙන් හෝ මානසික පීඩනයකින් හෝ පෙළෙන විට, තමන්ට නිවැරැදි මඟ පෙන්වන, සවන් දෙන කල්‍යාණ මිතුරකු හෝ වැඩිහිටියකු ඇසුරු කිරීම මානසික සහනයට අත්‍යවශ්‍ය වේ.

විසඳුම්

​නූතන තරුණ පරපුර මුහුණ දෙන මානසික ගැටලුවලට විසඳුම පෙති සහ කරල් තුළ නැත. පංච ඉන්ද්‍රියයන් පිනවීමෙන් පමණක් සතුට සෙවිය නොහැකි ය. ලෝක ස්වභාවය වන අටලෝ දහම වටහාගෙන මධ්‍යස්ථ ව ජීවිතයට මුහුණදීමට තරුණ පිරිස හුරුවිය යුතු ය. බුදු දහම යනු හුදෙක් ආගමක් නොව, මනස නිරෝගී කරන ජීවන කලාවකි. එය නිවැරැදිව වටහා ගැනීමෙන් ඕනෑම ප්‍රබල මානසික ගැටලුවක් ජයගෙන ශක්තිමත් පෞරුෂයක් ගොඩනඟා ගැනීමට තරුණ ඔබට හැකියාව ලැබෙනු ඇත.