
මිහින්තලාවේ
වෙහෙර විසිතුර
දිමුතු පුන්සර කොළඹගේ
අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ මිහින්තලාව, අනුරාධපුර නගරයේ සිට
ඊසාන දිසාවෙන් කිලෝමීටර 11ක් පමණ දුර ප්‍රමාණයක් ගිය කල මුහුදු මට්ටමින් මීටර්
309.27ක් උසින් යුක්ත වේ. ඓතිහාසික ශේෂ කන්ද ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් පැවති
ඉතිහාසයක් පවතින්නා වූ පූජනීය ස්ථානයකි. වංශ කතාවලට අනුව සම්බුද්ධ පාදස්පර්ශයෙන්
සුපූජිත පුදබිමක් සේ සැලකෙන මිස්සකපව්ව හා බැඳුණු නටබුන් අක්කර 450ක පමණ භූමි
ප්‍රදේශයක ව්‍යාප්ත ව පවතින බව හඳුනාගත හැකි ය.
|

මහා සෑය සහ මිහිඳු සෑය |
වංශ කතා සාහිත්‍ය සාධකවලට අනුව කියැවෙන සේල චෛත්‍ය, සිංහ පොකුණ, නාග පොකුණ, කණ්ඨක
චේතිය, මිහිඳු සෑය, අම්බස්තල දාගැබ, ආරාධනා ගල, ඉදිකටු සෑය, කළුදිය පොකුණ, දාන
ශාලාව, මහා සෑය, සන්නිපාත ශාලාව, ඇත් වෙහෙර මෙන් ම ඒ හා තදාසන්න ව පිහිටි ආරාමික
නටබුන් විශාල ප්‍රමාණයක් ද, සංඝයා වහන්සේ සඳහා දේවානම්පියතිස්ස රජතුමා විසින් පූජා
කරන ලද ලෙන් 68ක නටබුන් වර්තමානයේ වුව ද දැකගත හැකිවීම විශේෂයකි. මෙම පුදබිමේ සෑම
කඳු මුදුනක ම පාහේ දාගැබ් වහන්සේ ඉදි කිරීම නිසා චේතියගිරිය යන නම් ලැබීය.
මිහින්තලා පුදබිමෙහි විසිරී ඇති නටබුන් අතර දාගැබ් 360ක පමණ නටබුන් හමු වෙයි.

සේල චෛත්‍යය |

කණ්ඨක චේතිය |

ඉදිකටුසෑය |
මිහින්තලා පුදබිමෙහි පිහිටි දාගැබ් අතරින් සැදැහැවතුන් අතර වඩාත් සම්භාවනාවට පත්
වන්නේ සේල චෛත්‍යය යි. අනාගත කාලයේ සේල චෛත්‍ය පිහිටන බිම බුදුරජාණන් වහන්සේ තුන්
වන ලංකාගමනයේ දී මද වේලාවක් සමවත් සුවයෙන් වැඩ සිටි බව මහා වංශය, පූජාවලිය,
සද්ධර්මාලංකාරය වැනි කෘතිවල සඳහන් වෙයි.
එමතු නොව මේ මහා භද්‍ර කල්පයේ ලොව පහළ වූ කකුසඳ, කෝනාගමන, කාශ්‍යප, ගෞතම යන සිව්
බුදුරජාණන් වහන්සේ ම මෙම ස්ථානයේ සමවත් සුවයෙන් වැඩ සිටි බැව් සැලකේ. එසේම මිහිඳු
මහ රහතන් වහන්සේ සහ දේවානම්පියතිස්ස රජතුමා සම්මුඛ වී සුප්‍රකට අඹ ප්‍රශ්නය හා ඥාති
ප්‍රශ්නය විමසා ඉනික්බිති අනුබුදු මිහිඳු හිමියන් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා
කරන ලද ස්ථානය ද මෙම ස්ථානය වශයෙන් හඳුනා ගනී.
කූටකණ්ණතිස්ස රජතුමා සෑගිරියෙහි තමා විසින් ම කරවන ලද මහා උපෝසථාගාරයක් ඉදිරිපිට
බෝධීන් වහන්සේ නමක් රෝපණය කරවා අසලින් ශෛලමය දාගැබක් කරවූ පුවත මහා වංශයේ දැක්වෙයි.
ශෛලමය ස්තූපය සිලාචේතිය හෙවත් සේල චෛත්‍ය වී යැයි නිගමනය කළ හැකි ය. සේල චේතිය වටා
වටදාගෙයක නටබුන් හමුවෙයි. එසේම සෑ මළුවෙහි චන්ද්‍රකාන්ති පාෂාණ කොටසක් ශේෂ වී පවතී.
මිහින්තලා පුදබිමේ වඩාත් උස් වූ බිමක පිහිටි, විශාලත්වයෙන් වැඩි ම දාගැබ් වහන්සේ
මිහින්තලා මහා සෑය වශයෙන් හඳුන්වනු ලබයි. අෂ්ටවංක මාණික්‍ය රත්නයක තැන්පත් කළ
බුදුරජාණන් වහන්සේගේ ඌර්ණරෝම ධාතූන් වහන්සේ තැන්පත් කොට දේවානම්පියතිස්ස රජතුමා
ප්‍රථමයෙන් මෙම දාගැබ නිර්මාණය කරන ලද බවත්, ඉන්පසු මහාදාඨික මහානාග රජතුමා විශාල
කොට තැන වූ බවත් පිළිගත් මතය යි. සතර දිග්භාගයට ම, මැනවින් දර්ශනය වන මිහින්තලා
පුදබිමේ මනස්කාන්ත බිමක මේ මහා සෑය පිහිටා තිබේ.
මිහිඳු මහරහතන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කොට තැනූ මිහිඳු සෑය මිහින්තලා මහා සෑය
අසලින් ම පිහිටා තිබේ. දේවානම්පියතිස්ස මහ රජතුමාගේ සහෝදර උත්තිය රජුගේ අට වන
රාජ්‍ය වර්ෂයේ වප් මස අව අටවක පොහෝ දා උපතින් අසූ වයසක් ද, උපසම්පදාවෙන් හැට වසක් ද
ආයු වින්දනය කොට පිරිනිවන් පා වදාළ බැවින් මහා පුදපූජා පවත්වා, ආදාහන පූජෝත්සවය
පවත්වා ධාතූන් වහන්සේ තැන්පත් කොට විවිධ ස්ථානවල දාගැබ් ඉදි කර තිබේ. ඒ අතරින්
සෑගිරියේ පිහිටි දාගැබ මෙය වශයෙන් සැලකේ.
1950 දශකයේ පුරාවිද්‍යාඥයන් විසින් හඳුනාගෙන සංරක්ෂණය කිරීම ආරම්භ කළ සෑගිරියේ
මිහිඳු සෑය ක්‍රිස්තු පූර්ව යුගයට අයත් දාගැබක් වශයෙන් හඳුනාගෙන තිබේ. එහි වූ
ස්වර්ණමය කරඬුවක තිබී මිහිඳු මහ රහතන් වහන්සේගේ භෂ්මාවශේෂ හමු වී ඇත. මෑත භාගයේ මෙම
සෑ රදුන් පිළිසකර කරවා සැදැහැවතුන්ගේ වන්දනාවට සුදුසු පරිදි සකස් කොට තිබේ.
ලක්දිව වෙහෙර විසිතුරෙහි හමුවන වාහල්කඩ සඳහා හොඳ ම නිදර්ශනය සපයන කණ්ඨක චේතිය
පිහිටා ඇත්තේ ද මිහින්තලයේ ය. ස්තූපය අසල වූ ක්‍රිස්තු වර්ෂ පළමු සියවසට අයත් සෙල්
ලිපියකට අනුව එම දාගැබ කණ්ඨක චේතිය වශයෙන් හඳුනාගෙන ඇත. මහා සංඝයා වහන්සේ සඳහා වැඩ
සිටීමට සකස් කළ අටසැටලෙන් පිහිටා ඇත්තේ ද කණ්ඨක චේතිය ආශ්‍රිතව ය. සද්ධාතිස්ස රජුගේ
පුත් වූ ලජ්ජිතිස්ස රජතුමා මෙම දාගැබට කංචුකයක් තැන වූ බව සඳහන් වීමෙන් කණ්ඨක චේතිය
ඊටත් පෙර යුගයක තැන වූ දාගැබක් වශයෙන් හඳුනාගත හැකි ය. කණ්ඨක චේතියේ වාහල්කඩ කැටයම්
මෙරට පැරණිතම බෞද්ධ මූර්ති කැටයම් වශයෙන් හඳුනාගෙන තිබේ.
සෙල්ලිපිවල කියැවෙන ‘කතු මහ සෑය’ වර්තමානයේ කටු සෑය ලෙස ව්‍යවහාර කෙරෙන බව
පිළිගැනීමයි. මහායාන ධර්ම ග්‍රන්ථ රචනා කළ තඹ තහඩු මෙම දාගැබ කැණීමෙන් හමු වී තිබේ.
මිහින්තලේ පුදබිම ගොඩනැංවීමට යොදා ගත් ආයුධ මෙහි තැන්පත් කොට ඇතැයි ඇතැමුන් අනුමාන
කළත් ඊට නිශ්චිත සාධක හමු වී නැත.
කැණීම්වල දී ඉදිකටු හමු වූ හෙයින් ඉදිකටු සෑය වශයෙන් හඳුන්වනු ලබන ඉදිකටු සෑය
මිහින්තලේ පිහිටි තවත් දාගැබකි. සිවුරු මැසීමට යොදාගත් ඉදිකටු මෙසේ නිධන් කොට ඇතැයි
මතයක් පළ වී තිබේ.
මිහින්තලේ වඩාත් ම උසින් පිහිටි ඇත් වෙහෙර කන්දේ පිහිටි දාගැබ අතීතයේ කිරි බණ්ඩ පව්
දාගැබ වශයෙන් හඳුන්වා තිබූ බව මිහින්තලා පුවරු ලිපිවල දැක්වෙයි. |