Print this Article


පුරපෑලවිය සඳ - 30 කොටස:

සාමණේරයන් වහන්සේ නමකගේ ජීවිතය අලලා ලියැවුණු නවකතාව:

පුරපෑලවිය සඳ - 30 කොටස:

දානයට මාළු ඇඹුල් තියල් ගෙනැවිත් තිබුණේ ය. ඒවාට දමිත සාමණේරයෝ කවදත් මනාප ය. පැවිද්දේ දී මනාප දෙයක් ලැබෙන්නේ කලාතුරකිනි. එදාට ආසාවෙන් බඩ පිරෙන්නට දන් ටිකක් වැළඳීය හැකි ය. නන්ද හාමුදුරුවෝ නම් කියන්නේ කිසිම ආහාරයක් විශේෂ කොට නො ගතයුතු බවකි. එහෙත් සාමණේරයන්ට එපමණ පුහුණුවක් තවමත් ජීවිතේ තුළ  නොමැත. වැඩිපුර වැඩ කරන නිසාදෝ කුසගින්නත් බෙහෙවින් වැඩි ය. රෑටත් මොකුත් කුසට නොවැටෙනා නිසා උදෑසනට කොහොමත් බඩගිනි ය. අමදිද්දීත් අද මාළු ඇඹුල් තියල් ඇති බව සිහි වී කටටත් කෙළ ඉනුවේ ය.

 නමුත් දැන් භාජනයේ ඇත්තේ කටුත්, හොදි ඩිංගකුත් පමණි. පරිප්පු ව්‍යංජනය ද ඉතිරිව ඇත්තේ  යාන්තමිනි. අඩුවක් නැති ව ඉතිරිව ඇත්තේ පොල් සම්බෝලය පමණකි. 

තමා වැළඳුවෝතින් සිරිමල් මාමාට කන්න දෙන්නට දෙයක් නැති විය හැකි ය.

එසේ සිතූ සාමණේරයන් වහන්සේ පාත්‍රය පැත්තකින් තබා පිඟානකට දන් බෙදන්නට වූහ. 

බතුත්, සම්බෝලත්, ඉතිරිව තිබූ පරිප්පු සහ මාළු හොදිත් එයට දැමූ සාමණේරයෝ ඒ වසා පසෙකින් තබා පාත්‍රයේ බතට සම්බෝල පමණක් බෙදා ගෙන දානය වැළ¼දීය.

සිරිමල් මාමා උදේට කන්නේ තරමක් දවල් වූ පසු ය. එනිසා කෑම එක ගෙනියන්නට පෙර දාන ශාලාව අස්පස් කළ යුතු ය. 

පාත්‍රයේ වූ ඉඳුල්, ඉඳුල් දමන භාජනයට දැමූ සාමණේරයන් වහන්සේ පාත්‍රය සෝදා තැන්පත් කොට දාන ශාලාව පිරිසිදු කිරීම ආරම්භ කළහ.

පිරිසිදු කිරීම් සියල්ල අවසන් වී දාන ශාලාව දෙස හැරී බැලූ සාමණේරයන්ට ඇතිවූයේ ඉතාමත් ප්‍රසන්න හැඟීමකි. අවට පිරිසිදු වූ කල තම සිත ද අමුතුවෙන් ම පිරිසිදු වූවා සේ උන්වහන්සේට හැඟුණි.

සිරිමල් මාමාට කෑම එක රැගෙන ගොස් දී ඉන් අනතුරුව සාමණේරයන් වැඩියේ නන්ද තෙරුන් වහන්සේගේ කුටියට ය. ඒ අමතක වීමේ ප්‍රශ්නයට විසඳුම් ලබා ගැනීමට ය.

ගැටලුව ඇසූ නන්ද හාමුදුරුවෝ සාමණේරයන් ද කැටිව වැඩම කළේ බෝමළුව වෙතයි.

මතක යනු දියුණු කළ යුතු ශක්තියකි. එය දියුණු කිරීමේ ක්‍රමවේදය අන්තර්ගත වන්නේ භාවනා අභ්‍යාස තුළ ය.

මනස හා නුවණ දියුණු කළ හැකි භාවනා ක්‍රම බොහෝමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබේ. 

ඒ අතර සක්මන් භාවනාව ද එක් ක්‍රමයකි. එය සාමණේරයන්ට ගැළපේ යැයි නන්ද හිමියන් සිතයි. කුඩා මනසට එය යහපත් ප්‍රායෝගික ක්‍රියාකාරකමක් ද වේ.

නමුත් පන්සලේ වෙනම ම සකස් කළ සක්මන් මළුවක් නම් නැත. සක්මන් කිරීමට සක්මන් මළුවක් ම අවශ්‍ය ද නැත. එහි දී අවශ්‍ය වන්නේ සක්මන් කිරීම පිළිබඳ සිත පිහිටුවා ගත හැකි සොඳුරු නිසල පසුබිමකි. ඒ සඳහා නන්ද හිමියන් තෝරා ගත්තේ බෝ මළුවේ ම පැත්තකි.

මේ මළුව ද මොහොතකට කලින් සාමණේරයන් ම ඇමදූ මළුවකි. දකිද්දී අමුතු සතුටක් දැනෙන්නේ ඒ නිසා ය.

“ දමිත, අපේ මතකයේ හොඳීන් රැඳෙන්නෙ පූර්ණ අවධානයෙන් කරපු කාර්යයක් විතරයි... 

ඒ කියන්නේ හිතේ එකඟ කමකින් අහන් ඉන්න දේ, තේරුම් ගන්න දේ තමයි අපේ හිතට තදින් කාවදින්නේ...

උගන්වන වෙලාවට ඒ උගන්වන අරමුණේ ම හිත තියාගන්න ඕනේ. එහෙම හොඳීන් අවධානයෙන් අහන් ඉන්න අපහසුයි නම් ඒ දේවල් අපිට මතක හිටින්නේ අඩුවෙන්. 

එතකොට මතක තියාගන්න නම් අපි මුලින් ම හුරු වෙන්න ඕනේ දමිත අවධානය යමකට හොඳීන් තියාගෙන ඉන්න....