Print this Article


රාහුල මාතා - 08

“නැහැ ඒක බන්ධනයක් නොවෙයි. සියලු බන්ධනවලින් මිදීමේ ශක්තිය සිතට තිබිය යුතුයි. ඔබ අප ඊයේත් කතා කළානේ සත්‍යයට ළඟා වීමට සියලු බන්ධන කපා දැමිය යුතු බව.”

මවක වශයෙන් පැවැරෙන වගකීමේ බර ඇයට සිහිවිය.

“මම ඒ සියල්ල සතුටින් ඉටු කරනවා. සියල්ල සැහැල්ලුවෙන් සිදු කරනවා. සිද්ධාර්ථට බාධාවක් නොවන සේ වැඩ කරනවා.

මට ඔහු සමඟ යන්නට ලැබෙන්නේ නැහැ. මා දරුවා හදා වඩාගෙන ඉන්නවා.”

ඇය සිත හදා ගත්තා ය.

ප්‍රජාපතී පැමිණියා ය. යශෝධරාගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසුවා ය.

ඇගේ මුහුණ පුරා පී‍්‍රතිය උතුරා ගියේ ය.

“මගේ දුව“ ඇය යශෝධරාගේ මුහුණ සිප ගත්තා ය. සිද්ධාර්ථගේ මුහුණ ද සිප සුබ පැතුවා ය.

“මෙය ඉක්මනින් පියරජතුමාට දන්වමු. දුව අශ්වයා පිට යෑම නතර කරන්න වෙනවා.”

ප්‍රජාපතී යළි යශෝධරා සිප ගනිමින් කීවා ය.

සුද්ධෝදන රජු වහා පැමිණියේ ය.

ප්‍රජාපතී ඔහුට පුවත හෙළි කළා ය.

ඔහුගේ දෑස කඳුළින් පිරිණි.

“මගේ දුව ඔබ මගේත්, රටේත්, ප්‍ර‍්‍රාර්ථනාව ඉටු කළා.” ඔහු යශෝධරාගේ නළල සිප ගනිමින් කීය. සිද්ධාර්ථගේ මුහුණ සිපගත් ඔහු “දුවට සහ පුතුටත්, අනාගතයේ එන පුතුටත් මා සුබ පතනවා” යි කීය.

සිද්ධාර්ථගේ අබිනික්මනින් පසු සුද්ධෝදන රජු රාජපුරුෂයන් තිදෙනකු කැඳවීය.

“සිද්ධාර්ථට නොදැනෙන පරිදි ඔහු පසුපස ගොස් සිදුවන දේ රජවාසලට වාර්තා කරනු.”

රජු ඔවුන්ට නියෝග කළේ ය.

ඒ අනුව දිනපතා ම සිද්ධාර්ථ පිළිබඳ තොරතුරු රජවාසලට ලැබිණි.

අනෝමා ගංතෙර දී ඔහු දිගු කෙස් වැටිය කපා රාජාභරණ ගලවා, කහ සිවුරු අඳින්නට පටන්ගත් බව, මැටි බඳුනේ අහර වළඳන බව, මිරිවැඬි නැති ව පයින් ම ගමන් කරන බව, තුරු සෙවණක, රළු පොළොවක සැතපෙන බව, දිනකට එක් වරක් ආහාර වළඳන බව රජ වාසලෙන් යශෝධරාට ද අසන්නට ලැබිණි.

“මා ඔහුගේ දයාබර බිරිය. මාත් ඔහු අනුව ම යා යුතුයි” ඇය සිතුවා ය.

විළුඹ තෙක් එල්ලෙමින් තිබුූ පියකරු කෙස් කළඹ ඇය කපා දැමුවා ය. කහ පැහැති දළ රෙදි අඳින්නට, රන් බඳුන් ඉවතලා මැටි බඳුනේ දිනකට එක් වරක් ආහාර ගන්නට, සුව යහන් අත්හැර බීම නිදන්නට පටන් ගත්තාය, රන් මිරිවැඬි ඉවත් කොට දෙපතුලට පොළොව සිඹින්නට ඉඩ දුන්නා ය. රජ මැඳුරෙක වෙසෙන තවුසියක මෙන් ඇය පෙනිණි. මේ වෙනස සුද්ධෝදනගේ, ප්‍රජාපතීගේ සහ සුප්‍රබුද්ධගේ දැඩි සංවේගයට හේතු විය.

ඔවුහු යශෝධරාට විවාහ යෝජනා ඉදිරිපත් කළහ.

සුරූපී රජකුමරුවෝ ඇගේ අත ගැනීමට පැමිණියහ.

“කදිම තරුණයෙක් ඔහු. රූමත්, බලවත්. ඔබට, ඔබේ රුවට ගැළපෙනවා. සිද්ධාර්ථට වඩා පියකරුයි”.

දිනක් අමිතා දේවි සිය දුවට කීවා ය.

“ඒ රූමත් බව තාවකාලිකයි. ඔහු ද ජරාවට පත්වෙනවා. මෑණියනි, සිද්ධාර්ථ මිස මා අන් කිසිවකු පතා නැත. මතු ද මට සිද්ධාර්ථ පමණයි.”

යශෝධරා පිළිතුරු දුන්නා ය.

“නමුත් සිද්ධාර්ථ ඔබ හැර ගොසින්”

“නැහැ. ඔහු ගියේ ආපසු එන්න. එන්නේ අප සියලු දෙනා ම දුකෙන් මුදවන මාර්ගය සොයාගෙන. මට තවත් විවාහ යෝජනා ගෙනෙන්න එපා.”

යශෝධරාගේ දැඩි මතය නොවෙනස් ව පවතින බව ඇගේ වැඩිහිටියන්ට පෙනිණි.

දිනක් රාහුල කෙළිබිමේ සිට හඬාගෙන මව සොයා ආවේ ය.

“මාගේ පියා මා හැර ගියේ මා උපන් දවසේලු. මා මහා අවාසනාවන්තයෙක් ලු. මට මගේ යහළුවන් කියනවා. මා මොනවා ද ඔවුන්ට කියන්නේ?”

යශෝධරා සිය පුතු තුරුලු කර ගත්තා ය.

“ඒ ළමයින්ට අවබෝධයක් නැහැ. පුතුගේ පියාණන් අප අත්හැර ගියේ නැහැ. පුතාත්, මාත්, මේ ලෝකයේ සියලු දෙනාත් දුකෙන් තොර ලෝකයකට ගෙන යන මාර්ගය සොයා ගන්නටයි පියා ගියේ. ඒ මාර්ගය සොයා ගත් පසු ඔහු ආපසු එනවා. ඔබේ යහළුවන්ට එය කියන්න. එහෙත් ඔවුන්ට එය අවබෝධ වෙන එකක් නැහැ.” ඇය කීවා ය. රාහුලට ද එය වැටහුණේ නැත. මෙබඳු අවස්ථා රැසකට රාහුල මුහුණ දුන්නේ ය.

පියා පිළිබඳ ආදරය, ගෞරවය ඇතිවන අයුරින් ම ඇය රාහුලට ඒ හැම විටම පිළිතුරු දුන්නා ය.

“දේවදත්ත මාමණ්ඩි හරි නපුරුයි මෑණියනි” දිනක් රාහුල කීය. “

“ඇයි එහෙම කියන්නේ?” මව ඇසීය.

මතු සම්බන්ධයි