දිග්විජයෙන්
ධර්ම විජයට
ඌරුගමුවේ අස්සජී හිමි
මිහිඳු මහරහතන් වහන්සේ දඹදිව ධර්මාශෝක අධිරාජ්‍යයාගේත්, වේදිසා දේවියගේත් පුතණුවන්
ය. මෞර්ය රාජ්‍ය වංශයේ ආරම්භකයා වූ චන්ද්‍රගුප්ත රජුගේ මුනුපුරකු වන අශෝක බින්දුසාර
රජුගේ පුත්‍රයා ය. අශෝක රාජ්‍යත්වයට පත්වන්නේ බින්දුසාර රජුගේ ඇවෑමෙන් පසු ය. මෙම
මෞර්ය රාජ්‍ය වංශයේ රාජ්‍ය ප්‍රතිපත්තිය වූයේ දිග්විජය රට තුළ ක්‍රියාත්මක කරවීම
යි. එනම් මිනිසුන් තළා පෙළා රාජ්‍ය සීමාවෙන් පිටස්තර දේශයන් ද ස්වකීය අණසකට ගැනීම
යි. තරුණ අශෝක අනුගමනය කළේ ද එම ප්‍රතිපත්තිය ම ය. අශෝක ක්‍රියාත්මක කළ දිග්විජය
ව්‍යාපාරයේ බිහිසුණු ම අවස්ථාව කාලිංග දේශය යටත් කර ගැනීම සඳහා කළ කාලිංග යුද්ධය
යි. එයින් ජයගත් හෙතෙම මුළු මහත් දඹදිවට ම අධිරාජ්‍යයා බවට පත් විය. ජනතාවට දැඩි
විපත් ගෙන දෙමින් සිදු කළ එම පීඩාකාරි පාලන රටාව හමුවේ අශෝක රජුට චණ්ඩාශෝක යන නමක්
ද පටබැඳුණේ ය.
ලෝක ඉතිහාසයෙහි බොහෝ පාලකයෝ තමන් ලැබූ යුදමය ජයග්‍රහණ මත උදම් වනු මිස සිදු කළ
අපරාධවල බිහිසුණු බවක් නො දකිති. එහෙත් එයට වඩා හාත්පසින් ම වෙනස් ස්වරූපයක් අශෝක
චරිතය තුළින් පිළිබිඹු කෙරිණි. යුදමය ජයග්‍රහණයත් සමඟ ම බලවත් මානසික පීඩාවෙන්
යුතුව කල් ගෙවූ අශෝක අධිරාජ්‍යයා එය සමනය කර ගැනීමට විවිධ ආගම්වල පිළිසරණ පැතීය.
එහෙත් ඒ එකදු ඉගැන්වීමකින්වත් පලක් නොවීය. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ දැක පැහැදී
කෙටි ධර්මාවවාදයක් ලැබීමෙන් පසුව රජුගේ මානසික පීඩාව දුරුව ගියේ ය. මෙහිදී අශෝක යුද
සේනාව අතින් අශෝක රජුගේ සොහොයුරන් ද ඝාතනයට ලක් වුණි. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ
යනු එසේ ඝාතනයට පත් එක් සොහොයුරකුගේ පුත්‍ර රත්නයකි.
මෙහිදී නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ දේශනා කළේ ධම්මපදයේ අප්පමාද වග්ගයේ එන මෙම ගාථාව
ය.
අප්පමාදො අමතපදං
පමාදො මච්චුනො පදං
අප්පමත්තා න මීයන්ති
යෙ පමත්තා යථා මතා
නො පමා බව නිවනට මඟ යි. පමාව මරණයට මඟ යි. නො පමා වූවෝ නොමියෙත්. පමා වූවෝ මළවුන්
වැනි ය.
එදා තෙරුවන් සරණ ගොස් සැදැහැති බෞද්ධ මහෝපාසකයකු වූ එතුමා එතැන් පටන් සියලු සත්ත්ව
වර්ගයා කෙරෙහි කරුණාව, දයාව, මෛත්‍රිය පැතිර වීය. සත්ත්ව ඝාතනය සපුරා තහනම් කළ
එතුමා මිනිසුන් සුව කිරීම පිණිස පමණක් නොව, සතුන් සුවපත් කිරීම පිණිස ද ආරෝග්‍ය
ශාලා කරවීය. මංමාවත් තැනීය. පුෂ්පාරාම ඵලාරාම කර වීය. ගිමන් හල් තැනවීය. ධර්ම
යාත්‍රාවෙහි යෙදුණේ ය. බුදු දහමේ එන ඉගැන්වීම් සෙල් ලිපි මඟින් ඉතා සරල බසින් ලියා
රට පුරා ප්‍රචලිත කරවීය. ධර්ම මහාමාත්‍යවරුන් පත් කළේ ය. අසූහාර දහසක් වෙහෙර විහාර
ද ඉදිකළ එතුමා තමා නමින් ම පාඨලී පුත්‍රයෙහි අශෝකාරාමය ද කරවීය. මේ අනුව දිග්විජය
සපුරාම අත්හළ එතුමා ඒ වෙනුවට ධර්මවිජය ස්වකීය රාජ්‍යපාලන ක්‍රමවේදය බවට පත්කර ගත්තේ
ය. බුදුරදුන් වදාළ සක්විති වත එලෙසින් ම අනුගමනය කළ අශෝක රජු මෙසේ ධර්මාශෝක
අධිරාජ්‍යයා බවට පත්විය. එතුමා තම නොදුටු මිත්‍ර දේවානම්පියතිස්ස රජුට එවූ පණිවිඩයේ
ද මෙසේ සඳහන් වෙයි.
අහං බුද්ධංච ධම්මං ච
සංඝං ච සරණං ගතො
උපාසකත්තං වෙදෙසිං
සක්‍ය පුත්තස්ස සාසනෙ
මම බුදුන් සරණ ගියෙමි. සදහම් සරණ ගියෙමි. සඟුන් සරණ ගියෙමි. ශාක්‍ය පුත්‍ර වූ
බුදුරදුන්ගේ සසුනෙහි උපාසක බැව් ගිවිස ගත්තෙමි.
එවකට සම්බුද්ධ ශාසනයෙහි ප්‍රධානත්වය දැරුවේ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ය.
උන්වහන්සේ හමුවට ගිය ධර්මාශෝක අධිරාජ්‍යයා තමා දැන් ශාසනයෙහි උරුමකරුවකු දැයි
විමසීය. එයට උන්වහන්සේ දුන් පිළිතුර වූයේ ශාසනයෙහි ඥාතිත්වය ලැබීමට නම් තම දරුවකු
සසුන්ගත කළ යුතු බව ය. මෙම අදහස මහරජු සිය වැඩිමහල් දරු දෙදෙනාට ඉදිරිපත් කළේ ය. එය
ක්‍රියාත්මක කිරීමට ඔවුහු නොපැකිළි ව ඉදිරිපත් වූහ.
ධර්මාශෝක අධිරාජ්‍යයාගේ රාජ්‍යත්වයෙන් හය වැනි වසරේ දී මහින්ද හා සංඝමිත්තා යන දරු
දෙදෙනා පැවිදි වූහ. මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ මිහිඳු මාහිමිගේ උපාධ්‍යායන්
වහන්සේ වූ අතර, මහාදේව මහරහතන් වහන්සේ ආචාර්යවරයාණන් වහන්සේ වූහ. උපතින් විසි වැනි
වියේ දී ප්‍රව්‍රජ්‍යා භාවයට පත් මිහිඳු මාහිමියෝ නොබෝ කලෙකින් ම සිව්පිළිසිඹියාපත්
රහතන් වහන්සේ නමක් බවට පත් වූහ.
තෙවැනි ධර්ම සංගායනාව
ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 218කට පසුව පැලලුප් නුවර අශෝකාරාමයේ දී තෙවැනි
ධර්ම සංගායනාව පැවැත්විණි. මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ මෙහි ප්‍රධානත්වය දැරූ
අතර, මහරහතන් වහන්සේ දහස් නමක් සහභාගි වූහ. ධර්මාශෝක අධිරාජ්‍යයා ප්‍රධාන දායකත්වය
දැරීය.
ධර්මාශෝක අධිරාජ්‍යයා සැදැහැවත් බෞද්ධයකු බවට පත්ව බුදු දහමටත්, භික්ෂූන් වහන්සේටත්
මහත් සේ අනුග්‍රහය දැක්වීම නිසා මිථ්‍යා දෘෂ්ටික අන්‍ය ලබ්ධිකයන්ගේ තත්ත්වය දිනෙන්
දිනම පිරිහීමට පත් විය. එබැවින් ඔවුහු බුදුදහමට එරෙහිව දැඩි විරෝධතා ගෙන ගියහ. ඒ
සමඟ ම ඔවුන් අතර කොටසක් ජීවිකාව සඳහා සසුන්ගත වූහ. ඔවුන්ගේ නොමනා හැසිරීම් රටාව
නිසා බුදු සසුන ද අනුක්‍රමයෙන් කිලිටි ව ගියේ ය. ශ්‍රමණ වේශධාරි මෙවන් මිථ්‍යා
දෘෂ්ටිකයන්ගෙන් සසුන බේරා ගැනීමට මහතෙරවරුන් වහන්සේ නොපැකිළි ව උත්සාහ ගත්හ. එහෙත්
මිථ්‍යා දෘෂ්ටිකයන් පිරිස අතින් විශාල වෙත්ම ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ විය.
තෙවැනි ධර්ම සංගායනාව පවත්වා ධර්මය මතු අනාගතය සඳහා සුරක්ෂිත කිරීමත් සමඟ ම සියලු
මිථ්‍යා දෘෂ්ටික බලවේග අනුක්‍රමයෙන් හීන වී ගියේ ය. එසේම එතෙක් දඹදිව සීමිත
ප්‍රදේශයක පමණක් පැවති බුදුදහම එවකට දැන සිටි රටවල් නවයකට ධර්ම දූතයන් මාර්ගයෙන්
ප්‍රචාරය කොට හැරීමට මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ හා ධර්මාශෝක අධිරාජ්‍යයා
ගත් දූරදර්ශී තීරණය නිසා බුදුදහම ජගත් ව්‍යාප්ත තත්ත්වයකට පත් වුණි. තෙවනි ධර්ම
සංගායනාවේ ප්‍රමුඛතම ප්‍රතිඵලය එය යි.
මෙම ධර්ම දූත සේවාව හරහා ස්වකීය පුත්‍ර වූ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ රාජකීය
දූත පිරිසක් ම සිරිලකට පිටත්කොට හැරීමෙන් පැහැදිලි වනුයේ ධර්මාශෝක අධිරාජ්‍යයා අප
රට කෙරෙහි සුවිශේෂි අවධානයක් යොමු කළ බව යි. මහින්දාගමනයෙන් පසුව සංඝමිත්තා මහරහත්
තෙරණිය විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවත් සමඟ සිරිලකට
වැඩමවීම නිසා ද අපට උරුම වූ සංස්කෘතික දායාද රැසකි. මහින්දාගමනයත් සමඟ වැවයි,
දාගැබයි, ගමයි, පන්සලයි යන සංස්කෘතික සබැඳියාවත් ථෙරවාදී බුදු සමයේ කේන්ද්‍රස්ථානය
ලංකාව බවට පත්වීමත් අපගේ අනන්‍යතා ලක්ෂණ මනාව මූර්තිමත් වන අවස්ථා ලෙස නම් කළ හැකි
ය. |