 ගුණදහම් පිරිහීමේ ඛේදනීය ඉරණම
ශාස්ත්‍රපති
ඕමාරේ පුඤ්ඤසිරි හිමි
පාසලේ දී ගුරුවරයකු රචනාවක් ලියා ගෙන එන්න යැයි දරුවන්ට කී විට බොහෝ දරුවන් අන්තර්
ජාලය හරහා ඒ අයි තාක්ෂණය යොදාගෙන රචනාව පිටපත් කරගෙන එන බව බොහෝ ගුරුවරුන් අපට පවසා
තිබෙනවා. මෙයින් සිදුවන්නේ සිතා මතා වැඩ කරන නිර්මාණශීලී මිනිසුන් අපේ රටට අහිමි
වීමයි. බුද්ධිමත් මෙන් ම, විනය ගරුක, නීති ගරුක දරුවන් රටට සම්පතක්.
අපේ බුදුරජාණන් වහන්සේ මව්පියන් පුබ්බිචාරීන් ලෙස පෙන්වා දී තිබෙනවා. සාරධර්ම, හොඳ
නරක මුලින්ම කියා දෙන්නේ මව්පියන්. ක්‍රමයෙන් වර්ධනය වන දරුවා ආච්ච්, සීයා, සහෝදර
සහෝදරියන්ගෙන්, පාසලෙන්, පන්සලෙන්, සමාජයෙන් ගුණ ධර්ම ඉගෙන ගැනීම අතීතයේ දී ඉතා
හොඳීන් සිදු වූ බව හැමෝම දන්නා කරුණක්. ඕනෑම සමාජයක වටිනා සම්පත වන්නේ දරුවන් ය.
“පුත්ථා වත්ථු මනුස්සානං”..... කියල අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. “දරුවන් අයත්
වන්නේ ස්වර්ග රාජ්‍යයටයි” කියලා ක්‍රිස්තුස් වහන්සේ දේශනා කළා. නෙත් පිනවන දරුවන්
ලබා දෙන ලෙස ඉල්ලා අල්ලා දෙවිඳුන් යදින්න කියලා අල් කුරානයේ සඳහන් වෙනවා. තමන්ගේ
දරුවන් ප්‍රභූන් අතර වාඩිවෙලා සිටින කොට මොන තරම් සතුටක් මව්පියන්ට දැනෙනවා දැයි
තිරුක්කුරල් උපදේශ කාව්‍යයේ සඳහන් වෙනවා. සුරතල් සිනා පාමින් කෙළි දෙලෙන් යුතු
දරුවන් පියවරුන්ගේ ඇකයෙහි සිටින විට ඇඟේ දූවිලි ගෑවෙන එක පියවරුන්ගේ පින් පල දීමක්
විදියටයි කාලිදාස කියන කවියා විස්තර කරන්නේ.
එසේ වුවත් අද සංකීර්ණ තාක්ෂණික සමාජය තුළ දරුවන් තාක්ෂණික මෙවලම්වල වහල් බවට පත්වී
ඇති බව පෙනී යනවා. එමඟින් ආධ්‍යාත්මික සංවර්ධනය, පෞරුෂ වර්ධනය, බුද්ධි වර්ධනය අඩාල
වෙනවා.
වැඩිහිටියන්ගෙන් අපි ඇහුවොත් ඔබ බුදු හාමුදුරුවෝ මව්පියන් බ්‍රහ්මයාට සමාන කළේ
මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණය මව්පියන් සතු ව පවතින නිසයි.
අපේ අම්මලා, තාත්තලා මොන තරම් දරුවන්ට ආදරේ ද කියනවා නම් දරුවන් ළදරු කාලයෙත්
හුරතල් කරනවා. ළමා කාලයෙත් හුරතල් කරනවා. ඇතැම් මව්වරු දරුවන් වැඩිහිටියන් වුණාට
පසුවත් හුරතල් කරනවා. එය එතරම් හොඳ දෙයක් නොවේ.
ළදරු කාලයේ හුරතල් කරන්න. ළමා කාලයේ ආදරය කරන්න. වැඩිහිටියන් වුණාම අවබෝධයෙන් ජීවත්
වෙන්න ඉඩ හරින්න.
මව්පියන් දරුවන්ට ආදරය දක්වන ආකාරයේ බොහෝ අඩුපාඩු තිබෙනවා. සමහර මව්පියන් හිතන්නෙ
ඇඳුම් පැළඳුම් සපයාදීම, පාසල් යැවීම, ආහාර පාන සැපයීම ආදිය පමණක් ප්‍රමාණවත් කියලා.
අතීතයේ දරුවන් සමඟ මව්පියන් පිළිසඳරේ යෙදීම අනිවාර්ය අංගයක් වුණා. අද මව්පියන්ට
එහෙම කතා කරමින් ඉන්න වෙලාවක් නෑ. කාලය කළමනාකරණය කරගෙන මව්පිය දූ දරු සබඳතාව
තහවුරු කරගත යුතු ම වෙනවා. ඒ වගේම නිවෙසට ප්‍රීතිය, සතුට ගෙන එන සුහද පිළිසඳර මඟින්
ආදරය බෙදා ගත යුතු වෙනවා.
ජංගම දුරකතනය යහපත් දේ සඳහා යොදා ගන්නා ආකාරය මව්පියන් දරුවන්ට ආදර්ශයෙන් පෙන්වා
දිය යුතුයි. ළමයි සම්බන්ධ කටයුතුවල දී මව්පියන් කැප කිරීමක් කළ යුතු ම වෙනවා.
අප මුනි තිලෝනා
හැර බස් කියන මෙ දනා
ඇතැර කිරි පිරි තනා
වැන්න අඟ රැගෙන කිරි දෝනා
මේ වීදාගම මෛත්‍රී හිමියන් රචිත කාව්‍යයක්. ඇත්ත වශයෙන් ම අද සිදු වී තිබෙන්නේ
දරුවාට මව් කිරිවල අයිතිය පවා නැතිවීම නොවෙයි ද?
සෝපාක, සුනීත වැනි අයටත්, රාහුල කුමරුන්ටත් එක වගේම සැලකූ ශාස්තෘවරයකුගේ දහමක්
පිළිගත් ජනතාවකගේ දරු පරපුරක් නොමඟට පිවිසෙන්නේ නම්, එය මොන තරම් ඛේදජනක ද? සමහරු
තමන්ට ළඟා වෙන්න අවස්ථාව නොලැබුණ ඉලක්කවලට දරුවන් පිම්මේ දුවන්න පොළඹවනවා. තමන්ට
ලබා ගන්න බැරි වූ තනතුරු, ගරුනම්බු දරුවන් මඟින් ලබා ගන්න උත්සාහ ගන්නවා. මෙය එතරම්
හොඳ දෙයක් නොවේ. දරුවාගේ සක්‍යතාව, විභවතාව අප අවබෝධ කර ගත යුතු යි. ළමා පරපුර අබල
දුබල වුවහොත් මුළු ජාතිය ම අබල දුබල වෙන බව අප මතක තබා ගන්න ඕනෑ. දරුවන්ගේ වැදගත්කම
ගැන රජ දවස පාලකයන් පවා හිටියේ හොඳ අවබෝධයකින්. ඇතැම් රජවරුන් දරුවන්ට දඬුවම් කරන්න
එපා කියලා නියෝග පවා දැම්මා. වෝහාරිකතිස්ස වැනි රජවරුන් කායික දඬුවම් සම්පූර්ණයෙන්
ම ඉවත් කළේ දරුවන් ගැන හිතලයි. |