Print this Article


ධර්මාලෝකයෙන් හෙළදිව ඒකාලෝක වූ දා

ධර්මාලෝකයෙන් හෙළදිව ඒකාලෝක වූ දා

ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය තිස්හය වැන්නේ දී දඹදිව ධර්මාශෝක මහා ධිරාජයාගේ පුත්‍ර මහින්ද මහරහතන් වහන්සේ ශ්‍රී ලංකා ද්වීපයේ අනුරපුර මිහින්තලාවේ මිස්සක පව්වට වැඩම කොට දේවානම්පියතිස්ස මහරජු ඇතුළු පිරිස බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ පිහිටවූ පොසොන් පොහෝ දිනය ලක්වැසියන්ට බුද්ධ ධර්මය දායාද වූ දිනය යි.

සිද්ධාර්ථ කුමරුන් විසිනව වැනි වියේ දී උයන් කෙළියට යන විට සතර පෙරනිමිති අතර සඳහන් මළ මිනියක් දැක ජීවිතයේ අස්ථීර භාවයත්, උපන් සියලු සත්ත්වයා මරණයට පත්වන ධර්මතාවයත් අවබෝධ කොට ගත්තේ පොසොන් පොහෝ දිනක දී ය. සමතිංසත් පාරමිතා පූරණය කොට සම්බුද්ධත්වයට පත් ගෞතම බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් පසු සිව්වන සතිය බෝමැඩට වයඹ දෙසින් වූ රුවන් ගෙයි වැඩ හිඳීමින් ධර්මය මෙනෙහි කරන්නට විය. එම අවස්ථාවේ බුදුසිරුරෙන් රැස් විහිදුණු බව ශාසන ඉතිහාසයේ දැක්වෙයි. එම අසිරිමත් සිදුවීම සිදුවූයේ ද පොසොන් පොහෝ දිනක දී ය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පශ්චිම වසර දෙසිය තිස් හයකට පසුව මගධාධිපති අශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහයෙන් පැළලුප්නුවර අශෝකාරාමයේ දී මාස නවයක් පුරා තෙවන ධර්ම සංගායනාව පැවැත්වුණි. එහි ප්‍රධානත්වය ගනු ලැබුවේ මොග්ගලීපුත්ත මහ රහතන් වහන්සේ යි. මහාවංශයට අනුව භාරතයෙන් බැහැර ප්‍රත්‍යන්ත පෙදෙස්වල බුදුසසුන පිහිටුවීමට මොග්ගලීපුත්ත හිමියන් කටයුතු සම්පාදනය කර ඇත. ඒ අනුව මගධයෙන් පිටිසර පිහිටි රාජ්‍යයන් නවයකට ධර්ම දූත කණ්ඩායම් පිටත් කළ අතර, ලංකාවට මහා මහින්ද තෙරුන් සමඟ ඉත්තිය, උත්තිය, සම්බල, භද්දසාල නම් තෙරුන් වහන්සේගෙන් යුක්ත ධර්ම දූත කණ්ඩායමක් මොග්ගලීපුත්ත හිමියන් විසින් පත් කරන ලදී. මිහිඳු මා හිමියන් ෂඩ් අභිඤාලාභී සුමන සාමණේරයන් සහ අනාගාමී ඵලලාභී භණ්ඩුක නම් කුමරුන් ද කැටුව බුදු පිරිනිවනින් වසර දෙසිය තිස් හතක් වූ පොසොන් පෝ දා ලක්දිවට වැඩම කළහ. මේ වන විට මිහිඳු මා හිමියන් දෙතිස් වැනි වියේ පසු විය. උන්වහන්සේ අශෝක අධිරාජ්‍යයාගේ අතිජාත පුත්‍රයා යි.

සුමන සාමණේරයන් අශෝක අධිරාජ්‍යයාගේ දුහිතෘ සංඝමිත්තාවගේ පුත්‍රයා යි. භණ්ඩුක උපාසක නම් අශෝක අධිරාජ්‍යයාගේ බිසව වූ විදිසා දේවියගේ සොයුරියගේ පුත්‍රයා යි. මෙම දූත කණ්ඩායම අශෝක අධිරාජ්‍යයාගේ ඥාතීන්ගෙන් සමන්විත වූ නිසා එක්තරා ලෙසකින් බුදු සසුන ලක්දිව සුපිහිටුවීමට දේවානම්පියතිස්ස රජුට එය උත්තේජනයක් වූවා නො අනුමාන ය.

මෙම ධර්ම දූත කණ්ඩායම ලක්දිව මිහින්තලා පව්වට වැඩම කරන විට දී මෙරට පාලකයා වූ දේවානම්පියතිස්ස රජු මිහිඳු හිමි ඇතුළු ධර්ම දූතයන් එහිදී මුණ ගැසුණි. ඒ අවස්ථාවේ දෙපාර්ශ්වය ඔවුනොවුන් හඳුනා ගැනීම සඳහා සුහද සාකච්ඡාවක් සිදු කළ අතර

“සමණා මයං මහාරාජ - ධම්මරාජස්ස සාවකා
තවේව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා”

“මහරජ අපි ශ්‍රමණයෝ ධර්මරාජයන්ගේ (බුදුන් වහන්සේගේ) ශ්‍රාවකයෝ, නුඹට හිත පිණිස දඹදිව සිට මෙහි ආම්හ.” ලෙස මිහිඳු හිමියන් තමන් වහන්සේ හඳුන්වා දුණි.

තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ කර ගැනීමට තරම් බුද්ධියක් රජු සතු ව පවතින්නේ ද යන වග පරීක්ෂා කිරීමට මිහිඳු හිමියන් විසින් අඹ පැනය සහ ඥාති පැනය විමසූහ. රජු ඒවාට සාර්ථක ලෙස පිළිතුරු දීම නිසා මිහිඳු හිමියෝ රජු සහ හතළිස් දහසක් වූ පරිවාර ජනයාට චුල්ලහත්ථිපදෝපම සූත්‍රය ඇසුරින් ධර්මය දේශනා කළහ. මෙරට තුළ තමන් වහන්සේට හමුවුණු පළමු ශ්‍රාවක ප්‍රජාව අතර රටේ පාලකයා සිටීමත්, තෝරාගත් පළමු දේශනාව තුළ බුදුන් වහන්සේත්, උන්වහන්සේගේ ධර්මයත් පිළිබඳ මනා අවබෝධයක් ලද හැකි ඉගැන්වීමක් අන්තර්ගත ව තිබූ නිසාත් මිහිඳු මා හිමියන්ට ලක්දිව තුළ බුදු සසුන ව්‍යාප්ත කරලීමට එය මහත් රුකුලක් විය. මිහිඳු මා හිමියන් ප්‍රධාන ධර්ම දූත පිරිස වැඩම කරවීමත්, රජු ඇතුළු පිරිසට මෙරට දී මිහිඳු හිමියන් දෙසූ පළමු ධර්ම දේශනාව වන චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කිරීමත් පොසොන් පෝදා සිදු වූ මෙරට ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් ය.

මිහිඳු හිමියන් වැඩම කළ දින සවස උන්වහන්සේ විසින් භණ්ඩුක උපාසකවරයා පැවිදි උපසම්පදා කරන ලද බවත්, දෙවියන්ට ද දම් දෙසුමක් පවත්වන ලද බවත් මහාවංශයේ දහහතර වැනි පරිච්ඡේදයේ සඳහන් ය.

බුදුන් වහන්සේ ලක්දිවට තෙවරක් වැඩිමුත් භික්ෂු ශාසනයක් මෙරට ස්ථාපිත නොවුණි. මිහිඳු හිමියන් තමන් හා පැමිණි භණ්ඩුකයන් පොසොන් පෝ දා සවස පැවිදි කිරීමත්, එකෙනෙහි ම උපසම්පදා කිරීමත්, මෙරට සසුන් ඉතිහාසයේ වැදගත් සිදුවීම් වන අතර, ලංකාවේ සිදු කළ පළමු විනය කර්මය එයයි.

එම මොහොතේ ම භණ්ඩුක තෙරුන් අර්හත්වයට පත් විය. මෙරට දී අයකු රහත් බවට පත් පළමු අවස්ථාව ද එයයි.

ඉන්පසු මිහිඳු හිමියන් තමන් වහන්සේ සමඟ පැමිණි සුමන සාමණේරයන් අමතා ධර්මය ශ්‍රවණය කිරීමට දෙවියන්ට ආරාධනා කරන ලෙස වදාළහ. සුමන සාමණේරයන් වහන්සේ ද ඍද්ධියෙන් ලංකාවට ම ඇසෙන ලෙස බුදුන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්නට කාලය බව හඬනඟා දෙවියන්ට දැනුම් දුන්හ. ඒ අනුව රැස් වූ දේව ගණයාට බුදුන් වහන්සේගේ දකුණත් ශ්‍රාවක සැරියුත් මහ රහතන් වහන්සේ විසින් දේශනා කරන ලද දම් දෙසුමක් වන සමචිත්තපරියාය සූත්‍රයෙන් මිහිඳු හිමියන් විසින් ධර්මය දේශනා කරන ලදී. අසංඛ්‍ය ගණනක් දෙවිවරු එම දෙසුම අසා පොසොන් පෝදා සවස තෙරුවන් සරණ ගියහ. ධර්මාවබෝධය ද ඇති කර ගත්හ. පොසොන් පෝදා සිදු වූ මිහිඳු හිමියන් ප්‍රධාන ධර්ම දූත පිරිසේ ආගමනය නිසා ශ්‍රී ලංකාවේ මේ තාක් පවතින බුදු දහම ප්‍රධාන කරගත් සංස්කෘතිය ඇති වූ අතර, වසර දෙදහසකට අධික කාලයක් මේ දක්වා රටෙහි ජීවනාලිය එම බෞද්ධ සංස්කෘතිය යි. භික්ෂු ශාසනයත්, භික්ෂුණී ශාසනයත්, අටළොස් කුලයක ශිල්ප ශ්‍රේණි ලැබීමත්, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලැබීමත් ආදී සියල්ලට පදනම වැටුණේ අද වැනි පොසොන් පෝ දිනක මිහිඳු හිමියන් මෙරටට වැඩම කිරීමයි.