Print this Article


ඓතිහාසික ලෙනගල ලෙන් විහාරය

ඓතිහාසික ලෙනගල ලෙන් විහාරය

සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගුරුගොඩ ඔය නිම්නයේ පිහිටා ඇති ඓතිහාසික ලෙනගල ලෙන් විහාරයට ප්‍රවේශ වීමට ප්‍රධාන මාර්ග දෙකක් ඇති අතර, වරකාපොළින් කරවනැල්ල මාර්ගයේ පැමිණ ගලපිටමඩින් හැරී කොටියාකුඹුර මාර්ගයේ කිලෝමීටර 15ක් පමණ ගමන් කළ විටත්, නුවර පාරේ නෙළුම්දෙනිය මංසන්ධියෙන් ගලපිටමඩ මාර්ගයෙන් ගමන් කර

කිවුල්දෙණිය හංදියෙන් හැරී ගිය විටත් මෙම විහාරස්ථානයට ළඟා විය හැකි ය.​

කෑගල්ල දිස්ත්‍රික්කයේ බටහිර හෙල්වැටි කලාපයේ ඇති මෙම විහාරය වටා ලෙනගල, පහළ ලෙනගල, පහළ මායින්නොළුව, පරදෙණිය, පල්ලේපැල්පිට, උඩ පැල්පිට, දික්වාන යන ගම්මාන ඇති අතර, මෙම විහාරය ඇත්තේ ගල් පර්වත බහුල උස්බිමක ය.

මෙම ලෙන් විහාරයේ ඉතිහාසය අනුරාධපුර යුගය දක්වා දිව යයි. මෙම විහාරස්ථානය මුලින් ම ඉදිකරන ලද්දේ වළගම්බා රජු (ක්‍රි.පූ. 89-77) බවත්, අවසන් වරට විහාරය ප්‍රතිසංස්කරණය කර ඇත්තේ සතර කෝරලේ ලෙව්කේ දිසාවේ විසින් බවත් ජනප්‍රවාදයේ කියැවේ.

ජනප්‍රවාදයට අනුව වළගම්බා රජු දමිළයන්ගෙන් පැරදී, ඔවුන්ට විරුද්ධ ව යුද්ධ කිරීමට සේනා සංවිධාන කළේ ලෙනගල ආශ්‍රිත සල්ගල වන උද්‍යානයේ බව පැරැන්නන්ගේ පිළිගැනීමයි. එනිසා මෙම විහාරස්ථානය වළගම්බා රජු විසින් ආරම්භ කර ඇති බවත්, මෙහි පිළිම වහන්සේ ඉදිකරවා ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් බවත් කියැවේ.​

කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි විශාලතම ලෙන් විහාරය වශයෙන් සැලකෙන මෙම ලෙන් විහාරය විශාල පර්වතයක කටාරම් කොටා සකස් කර ඇත. මෙය විශිෂ්ට නිර්මාණයක් වන්නේ එහි පිහිටීම හේතුවෙනි. කඳු බෑවුමේ පහළ සිට අඩි 100ක් පමණ උසට ඉහළ නැඟුණු පර්වතයකි. එම ගලේ බිම සිට අඩි 55ක් උසින් ගැඹුරට කටාරම් කොටා තිබේ. ප්‍රධාන ලෙන් විහාර ගොඩනැඟිල්ල අඩි පහක් පමණ උස කළුගල් වේදිකාවක් මත ඉදිකර ඇත.

මෙම ලෙන විහාර තුනකට බෙදා ඇත. වම්පස විහාරය “සත් සති විහාරය” ලෙස හඳුන්වන අතර, එය අඩි 15යි අඟල් 10ක් දිග සහ පළල අඩි 12කි. විහාරය දොරටුව ලියවැල් හා වෙනත් මෝස්තරවලින් කැටයම් කරන ලද විශාල කළුගල් කණුවලින් සාදා ඇත. මෙම දොරටුව අඩි 6යි අඟල් 8ක් උස, අඩි 4යි අඟල් 2ක් පළල සහ අඟල් 7ක් ඝනකමකින් යුක්ත වේ. සියලුම බුද්ධ

ප්‍රතිමා වහන්සේ මහනුවර යුගයේ ලක්ෂණ පෙන්නුම් කරයි. ඒවායින් බොහොමයක් නැවත පින්තාරු කර නොමැති නිසා නුවර යුගයේ කලා සම්ප්‍රදායන් තවමත් හොඳීන් ආරක්ෂා වී තිබේ. මෙම විහාරයේ එක් හිටි පිළිම වහන්සේ නමක් ඉදිරිපිට කළුගල් දොර රාමුවක් දැකිය හැකි ය.

“මහ ලෙන” ලෙස හැඳීන්වෙන මැද විහාරය අඩි 31යි අඟල් 6ක් දිග සහ අඩි 17යි අඟල් 9ක් පළලින් යුක්තවේ. මෙහි ද උළුවස්ස ලියවැල්වලින් කැටයම් කරන ලද විශාල කළුගල් කණුවලින් සාදා ඇත. එහි උඩෙලිපතෙහි බෝසත් රූපයකින් සහ සමන්, විෂ්ණු සහ දේවතා බණ්ඩාර දෙවිවරුන්ගේ රූපවලින් සමන්විත වේ. කුලුනු පාදමේ විවෘත හකු සහිත සිංහ රූප කොටා ඇත. මෙම දොරටුව අඩි 11යි අඟල් 6ක් උස, අඩි 8ක් පළල සහ අඟල් 9ක් ඝනකමකින් යුක්ත වේ. මෙම විහාරයේ ප්‍රධාන ප්‍රතිමා වහන්සේ වන්නේ සැතපෙන බුදු පිළිම වහන්සේ ය. වම් බිත්තියේ හිටි බුදු පිළිම වහන්සේ හා විෂ්ණු දෙවියන්ගේ ප්‍රතිමා දක්නට ලැබේ. දකුණු බිත්තියේ විෂ්ණු සහ සමන් දෙවිවරුන්ගේ ප්‍රතිමා සහිත තවත් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් දැකගත හැකි ය. ලෙන් වහලය නෙළුම් මල් මෝස්තරවලින් වර්ණාලේප කර ඇත.

තුන්වන විහාරය කුඩා ය. එහි දිග අඩි 7යි අඟල් 7ක් සහ පළල අඩි 10කි. මෙහි පිවිසුම ද ශෛලමය දොර උළුවස්සකි. විහාර තුනෙහි උළුවස්සේ කුලුනුවල මෝස්තර එහිනෙකට වෙනස් ය. දොරටුවේ ඉහළින් මකර තොරණක් දක්නට ලැබේ. දොරටුවට ප්‍රතිවිරුද්ධ බිත්තියේ හිඳී බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් දක්නට ලැබේ. වම් බිත්තියේ සමන් සහ විෂ්ණු දෙවිවරුන්ගේ ප්‍රතිමා වහන්සේ ද, දකුණු බිත්තියේ කතරගම දේව ප්‍රතිමාවක් ද දක්නට ලැබේ. අඩි 10ක් උස ස්ථූපයක් මෙම විහාරයේ දැකිය හැකි ය. ඇතුළු විහාර ගැබට පිවිසීමට ඇති කළුගල් උළුවස්සේ සිංහ මුහුණු, කිඹිහි මුහුණක්, පලාපෙති සහ ලියවැල් කැටයම් සහිත ව අලංකාර ලෙස නිර්මාණය කර තිබේ.