Print this Article


භාග්‍යවතුන් වහන්සේ අනුත්තරෝ පුරිසදම්ම සාරථී නම් වන සේක

භාග්‍යවතුන් වහන්සේ අනුත්තරෝ පුරිසදම්ම සාරථී නම් වන සේක

“සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළවන්නේ බොහෝ දෙව් මිනිසුන්ගේ යහපත පිණිස ය. හිතසුව පිණිස ය. ලෝකානුකම්පාවෙන් ම ය. ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ යුතු වූ සියල්ල අවබෝධ කළ සේක. සර්ව සම්පූර්ණ ජීවිතයක් ඇති සේක. මහා නුවණැති වන සේක. අළාමක ප්‍රඥා ඇති සේක. ගම්භීර ප්‍රඥා ඇති සේක. අද්විතීය වන සේක. අසහාය වන සේක. ලොව කිසිවකුට ඉසිලිය නොහැකි අපමණ ගුණ දරා වැඩ සිටි සේක. අපමණ ගුණ ඇති ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ගුණ තවත් බුදුරජාණන් වහන්සේ නමක් කල්පයක් පුරාවට දේශනා කරයි ද, ඒ කල්පය අවසන්වී යන්නේ ය. බුදු ගුණස්කන්ධය පවසා අවසන් නොවන්නේ ම ය. බුදුරජාණන් වහන්සේ ඒ අපමණ බුදුගුණ ගුණ නවයකට කැටිකොට වදාළ සේක. මේ ලිපියෙන් විස්තර වන්නේ ඒ ගුණ නවයෙන් සයවැන්න වූ අනුත්තරෝ පුරිසදම්මසාරථී ගුණය ගැනයි.

දමනය කිරීමට අසීරු වූ අකීකරු දෙව් මිනිසුන් ඍද්ධි ප්‍රාතිහාර්යයෙන් ද, ආදේශනා ප්‍රාතිහාර්යයෙන් ද, අනුශාසනී ප්‍රාතිහාර්යයෙන් ද, දමනය කොට අමා මහ නිවනට පමුණුවා වදාළ නිසා අපගේ ශාස්තෘන් වහන්සේ “අනුත්තරෝ පුරිසදම්ම සාරථී” නම් වන සේක.

බුදුරජාණන් වහන්සේ ත්‍රිවිධ ආකාරයකින් ලෝ සතුන් දමනය කරන ආකාරය කේවඩ්ඪ නම් ගෘහපති පුත්‍රයාට මෙසේ වදාළ සේක.

“පින්වත් කේවඩ්ඪ, ඍද්ධි ප්‍රාතිහාර්ය කියන්නේ ශරීර කිහිපයක් මවා පෙන්වීම, හදිසියේ නො පෙනී ගමන් කිරීම, පර්වත විනිවිද ගමන් කිරීම, දිය මතුපිට ඇවිදීම, අහසින් ගමන් කිරීම ආදි නොයෙකුත් ඍද්ධි ප්‍රාතිහාර්යයන් ය.

පින්වත් කේවඩ්ඪ, ආදේශනා ප්‍රාතිහාර්ය කියන්නේ ඒ උතුමාට අනුන්ගේ සිත කියන්න පුළුවන්කම යි. ඔබේ සිත මේ විදිහයි. ඔබ සිතන්නේ මේ විදිහටයි. සිත්වල ඇති දොම්නස් බව, සොම්නස් බව, සිත හැසිරෙන අරමුණූ ආදිය ගැන ප්‍රකාශ කළ හැකි වීමයි.

කේවඩ්ඨ, අනුශාසනී ප්‍රාතිහාර්ය කියන්නේ ධර්මයෙන් අනුශාසනා කිරීමයි. මේ විදිහට හිතන්න, මේ විදිහට හිතන්න එපා. මේ විදිහට විමසන්න, මේ විදිහට විමසන්න එපා. මේ මේ දේ පුරුදු කරන්න, මේ මේ දේ ප්‍රහාණය කරන්න. මේ මේ දේ ලබාගෙන වාසය කරන්න ආදි වශයෙන් අනුශාසනා කරමින්, සීල, සමාධි, ප්‍රඥා මාර්ගය පෙන්වා දී සසර දුකින් සත්ත්වයා මුදා ගැනීමට කටයුතු කිරීමයි. තථාගතයන් වහන්සේ වර්ණනා කරන්නේ මේ අනුශාසනී ප්‍රාතිහාර්යය ම යි.”

බුදුරජාණන් වහන්සේ පහළ වූ යුගයක දෙව් මිනිස් ලෝකයාට තම ජීවිතය මුළුමනින් ම දමනය කර ගන්න වාසනාව ලැබේ. ඒ මක්නිසාද යත් බුදුරජාණන් වහන්සේ මුළුමනින් ම දමනයට පත් වූ, අන් අය දමනය කිරීමෙහි ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ වන නිසා ය.

භාග්‍යවතුන් වහන්සේ දඬු මුගුරු, අවි ආයුධවලින් තොරව, විවිධාකාර වධ බන්ධනවලින් තොරව, ඒ ඒ පුද්ගලයන්ට ගැළපෙන අයුරින් ධර්මයෙන් ම ඔවුන් දමනය කළ සේක.

අනාවරණ ප්‍රඥා ඇති ඒ සුගතයන් වහන්සේ ඒ ඒ පුද්ගලයා දමනය කිරීමට සුදුසු වෙලාව, කතා කිරීමට සුදුසු වචන, දමනය කළ යුතු ආකාරය, මේ පුද්ගලයා කොපමණකින් දමනය වෙත් ද ආදී සෑම දෙයක් ම මනාකොට දැක වදාළ සේක. ඒ ඒ පුද්ගලයාගේ රුචි අරුචිකම්, සසර පුරුදු, කල්පනා කරන ආකාරය, ඉන්ද්‍රියයන්ගේ මෝරා ඇති ප්‍රමාණය, සිතේ කෙලෙසුන් ක්‍රියාත්මක වන ආකාරය ආදි සෑම ගති ලක්ෂණයක් ම කිසිදු බාධාවකින්, පැකිළිීමකින් තොරව බුදුරජාණන් වහන්සේ පරිපූර්ණ කොට දකින සේක. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ සකල ලෝකයේ ම දමනය කරන අය අතර ඒකාන්තයෙන් ම අග්‍ර වන සේක.

දමනය කිරීමට සුදුසු පිනැතියන් තුන්ලොවේ කොතැනක සිටියත් මහා කාරුණිකයන් වහන්සේගේ බුදු ඇසට ඔවුන් සියල්ලෝ ම පෙනෙන්නේ ඈතට පෙනෙන හිමාල පර්වත රාජයා සේ ය. ඒ කිසිවකු හෝ අත්නොහැර දින, සති, මාස ගණන් බොහෝ වෙහෙසී ඒ සියලු දෙනාට ම පිහිට වූ සේක.

භාග්‍යවතුන් වහන්සේ ජීවමාන ව වැඩසිටි පන්සාළිස් වස පුරාම එසේ දමනයට පත් කළ දෙව් මිනිසුන් ගණන ප්‍රමාණය කළ නො හැකි තරම් ය. සසරේ රැස්කළ පින් ඇති ඔවුහු සසරේ ම ඇති විවිධාකාර දෝෂ කරණ කොටගෙන සසරට ම සිර වී සිටියෝ ය. කෙලෙස් රෝගාදිය සුව කරන ශල්‍ය වෛද්‍යවරයාණන් වූ භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ පුද්ගලයාගේ කෙලෙස් දෝෂ හඳුනාගැනීමට අතිශයින් ම දක්ෂ වන සේක.

සසරේ කල්ප ගණන් පුරුදු වුු ඒ දෝෂ සැණෙකින් ඉවත් කර පාරිශුද්ධ ජීවිතයක් ඔවුන්ට දායාද කරන්නට භාග්‍යවතුන් වහන්සේ අතිශයින් ම සමත් වූ සේක. ඒ නිසා අපායගාමී පව් කරමින් සසර සැඩ පහරේ ගසාගෙන ගිය ඒ පින් ඇති දෙව් මිනිසුන් සසර දුකින් නිදහස් වී සදහට ම නිවී සැනසී ගියහ.

භාග්‍යවතුන් වහන්සේ එකල සිටි විවිධාකාර ස්වභාවයේ අය දමනයට පත් කළ සේක. වාද කිරීම පිණිස පැමිණි සච්චක, කුණ්ඩලකේසී, උපාලි ගෘහපති ආදීන් ද දමනය කළහ. කුල මානයෙන් මත් වී සිටි වංශවත් කුලීනයන් ද දමනය කළහ. මිසදිටුවෙන් මුළා වී සිටි බක බ්‍රහ්මයා, පුණ්ණ, සේනිය, ජම්බුක ආදීන් ද දමනය කළ සේක. අංගුලිමාල, ආලවක හා සුචිලෝම යක්ෂයන්, නාලාගිරි ඇතා ආදී චණ්ඩ ගති ඇති අය ද සුවචයන් බවට පත්කළ සේක.

රාහුල, සංකිච්ච, අධිමුත්ත, භද්‍ර, රේවත ආදී වයසින් සත් වැනි වියෙහි පසු වූ ළදරු ශ්‍රමණයන් මහා මුනිවරුන් බවට පත් කළ සේක. අදින්න පුබ්බක, මසුරුකෝසිය ආදි මසුරන් දානපතියන් කළ සේක. පටාචාරා, කිසාගෝතමී, උබ්බරී, සන්තති ඇමැති ආදි පි‍්‍රය විප්පයෝග දුකින් සිහි විකල් වී සිටි අය, පි‍්‍රය අපි‍්‍රය සෑම දෙයකින් ම සදහට ම නිදහස් කර සුවපත් ජීවිත දායාද කළ සේක. අම්බපාලි, විමලා, සිරිමා, අඩ්ඪකාසි ආදි වෙසඟනන් සද්ධර්මයෙහි සුපිහිටි සුසිල්වත් ශ්‍රාවිකාවන් බවට පත් කළ සේක. ඛේමා, රූපානන්දා ආදී රූපයෙන් මත් වී සිටිය අයට රූපයේ යථා ස්වභාවය පෙන්වා දී රූපය පිරිසිඳ අවබෝධ කර දුන් සේක.

මහා කප්පින, භද්දිය, අනුරුද්ධ ආදී රන් බඳුනේ ආහාර ගත්, රන් මිරිවැඬි පය ලූ ඉසුරුමත් රජවරු මැටි පාත්‍රය අතට ගෙන ගෙපිළිවෙළින් පිඬුසිඟා යන, පාංශුකූල වස්ත්‍ර දරන, රුක් සෙවණේ වාසය කරන නිකෙලෙස් මුනිවරුන් බවට පත් කළ සේක. යස, රට්ඨපාල, උග්ගසේන ආදී මහේශාක්‍ය සිටු පුතුන් තුරුණු වියේ දී ම මුළුමනින් ම කාමයන් බැහැර කර ලොව්තුරු සුව විඳින්නන් බවට පත් කළ සේක.

උත්පලවණ්ණා, සුමේධා, අනූපමා, භද්‍රකාපිලානී වැනි සුරූපිමත් තරුණියන් කසාවත දරා ඈත වන සෙනසුන්වල ගිරිගුහාවල හුදෙකලාවේ බය, තැති ගැනීම්වලින් තොරව කෙලෙස් රහිත දිවි ගෙවන්නියන් බවට පත් කළ සේක. කන්ථක අශ්වයා, මණ්ඩුක, පාරිලෙය්‍යක ඇතා ආදී තිරිසන් සතුන් පවා පරලොව දෙවියන් අතරට ගෙන ගිය ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් ම අනුත්තරෝ පුරිසදම්ම සාරථී නම් වන සේක.

බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයන් පමණක් නොව, ගිහි ශ්‍රාවකයන් පවා මනා හික්මීමක් ඇති දමනයට පත් වූ ජීවිත ගත කළ බව එදා දඹදිව පුරා ප්‍රචලිත විය.

එය අන්‍යාගමිකයන් අතර පවා කතාබහට ලක්විය. එදා ජීවත් වූ බොහෝ දෙනාට මේ අසිරිමත් බුදු සසුනට පැහැදීම ම මහඟු පිටිවහලක් විය. කොසොල් රජතුමා මේ කරන ප්‍රකාශය ඊට හොඳ නිදසුනකි.

කෝසල රාජධානිය පුරා තම අණසක පැතිරූ කොසොල් රජතුමාට තම අධිකරණ සභාවේ දී අන්‍යයන් තමන් වෙත අවනත කරවා ගැනීම අතිශයින් ම දුෂ්කර විය. එදා වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා දුටු කොසොල් මහරජතුමා භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසීය.

“ස්වාමීනි, යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ නොයෙක් සිය ගණන් පිරිසට දහම් දෙසා වදාරණ සේක. එවිට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් අතරේ කිවිසුම් හඬක් හෝ උගුර පාදන හඬක් හෝ නො ඇසෙන්නේ ම ය. ස්වාමීනි, සිදු වූ දෙයක් පවසමි. එම දිනයේ ද භාග්‍යවතුන් වහන්සේ නොයෙක් සිය ගණන් පිරිසට දහම් දෙසමින් වැඩසිටි සේක. එකල්හි ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් උගුර පෑදුවේ ය. ඒ මොහොතේ එක්තරා සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් තම දණහිසින් උන්වහන්සේගේ දණහිසට තට්ටු කොට “පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, නිශ්ශබ්ද වනු මැනවි. ශබ්ද නො කළ මැනවි. අපගේ ශාස්තෘන් වහන්සේ දහම් දෙසන සේක” යැයි කියා ඇඟවූයේ ය. එවිට ස්වාමීනි මට මේ අදහස ඇති විය. “භවත්නි ඒකාන්තයෙන් ම ආශ්චර්ය යි. ඒකාන්තයෙන් ම අද්භූත යි. දඬුමුගුරුවලින් තොරව, අවි ආයුධවලින් තොරව මේ ශ්‍රාවක පිරිස වනාහී මැනවින් හික්මී සිටින්නාහු ය.

ස්වාමීනි, මම මේ ආකාරයෙන් මැනවින් හික්මී සිටින පිරිසක් නම් බුදු සසුනෙන් බැහැර වූ වෙන කිසිදු සසුනක, ආගමක නො දකින්නෙමි.”

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වසර 2570ක් ගත වුව ද අදට පවා මෙය සාධාරණ ය. අදටත් භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනී ප්‍රාතිහාර්යය ජීවමාන ය. අදටත් භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව අසා දුස්සීල අය සිල්වත් වෙති. අසමාහිතයන් සමාහිත වූ සිත් ඇත්තෝ වෙති. මසුරු අය දානපතියන් වෙති. කාමයෙන් සතුටු වූ අය නෙක්ඛම්මයෙන් සතුටු වෙති. දුගතිය උරුම කර ගත්තෝ සුගතිය උරුම කර ගනිති. අනවබෝධයෙන් සිටි අය ජීවිතාවබෝධය ලබති. මෙසේ දෙව් මිනිස් ලෝකයා යහපත පිණිස දමනය කොට වදාළ ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් ම අනුත්තරෝ පුරිසදම්ම සාරථි නම් වන සේක.