Print this Article


සම්බුද්ධ ශාසනයේ ඒකාලෝකය

සම්බුද්ධ ශාසනයේ ඒකාලෝකය

භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ සසරේ සැරිසරා ඉපදෙමින්, මැරෙමින් යන මේ සසර ගමනේ පටන්ගත් කෙළවරක් නැහැ කියලයි. එහෙම සසර ගමනකට වැටී දුකෙන් දුකට, නිරයෙන් නිරයට, තිරිසන් ලෝකයෙන් තිරිසන් ලෝකයට මාරු වෙවි අනන්ත දුක් විඳීමිනුයි සත්වයා ගමන් කරන්නේ. එසේ සසර ගමන යන අපි ඌරන්, කුකුළන්, ගවයන් ව බෙලිකැපුම් කද්දී ගලාගෙන ගිය රුධිරය සතර මහ සාගරයේ ජලයට වැඩියි කියලයි දහමේ සඳහන් වෙන්නේ. එනිසා අපි මේ සියලු සංස්කාරයන් ගැනම කළකිරෙන්නට ම යි වටින්නේ. අත අරින්නමයි ඕනෑ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. මෙසේ බිහිසුණු සසරක යන අපට සම්බුදු සසුනක් මුණ ගැහෙනවා කියන්නේ අතිශයින් ම සුන්දර හමුවීමක්.

අපි දැන් සිටින්නේ එවන් සුන්දර කාලයකයි. ගල්, මුල්වලට වන්දනා කරමින්, නොයෙක් දෘෂ්ඨිවල පැටලෙමින් සිටි ජාතියට ආලෝකයක් ලබා දෙමින් ප්‍රෞඩ ජාතියක් ලෙස අප ඔසවා තබන්නටත්, අධර්මයෙන් මුදවා ධර්මයට පමුණුවන්නටත් අපගේ ශාස්තෘන් වහන්සේ හා සමාන වූ අප මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවේ සම්බුදු සසුන පිහිටුවීමේ ඒකායන අදහසින් යුක්ත වුණා. ඒ හැම අවස්ථාවක ම අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ අපකෙරෙහි මහත් අනුකම්පාවෙන් දීප භාෂාවෙන් ම ධර්මය දේශනා කොට වදාළා. මේ ලක්ධරණී තලයට සැබෑම පිළිසරණක් වූ උන්වහන්සේ ලක්වැසි ජනී ජනයා ධර්ම මාර්ගයේ ගමන් කරන්නට මහත් දයා කරුණාවෙන් කටයුතු කොට වදාළා.

ගෞතම සම්බුද්ධ ශාසනය මේ ලක්දීපයේ ස්ථාපිත කළේත් , කරුණාව, ඉවසීම, මෛත්‍රිය, අනුකම්පාව, අන් අයගේ සැපයෙන් සතුටුවීම, කෙළෙහි ගුණ ආදී උතුම් උත්තරීතර මනුෂ්‍ය ගුණ ධර්ම වඩන්නට උපකාර කළේත් අපගේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ යි.

දන්දීම, කුසල් වැඩීම, මෙත් සිත පැතිරීම, අනිත්‍ය මෙනෙහි කරමින්, විදසුන් වඩමින් භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය විස්තර කරමින් මේ ආයතනයන්ගේ පංච උපාදානස්කන්ධයේ ඇති තතු විමසමින්, සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වඩමින් ධර්ම මාර්ගයේ ගමන් කරන්නට අපට වදාළේත් උන්වහන්සේ යි. ඒ දහම් පද විවරණය කරමින්, නැවත නැවත විග්‍රහ කරමින් ඒවාට අටුවා කතා කියාදෙමින් අපට ඒ දහම් පද මැනවින් කියා දුනනේත්, උතුම් සද්ධර්මය කෙරෙහි සිත පහදවන්නට උපකාර කළේත්, උතුම් මහරහතන් වහන්සේ ගැන, මගඵලලාභී දෙවි, මිනිසුන් ගැන අපට කියා දුන්නේත් මිහිඳු මහරහතන් වහන්සේ යි.

නොයෙක් මිසදුටු මතවලින් කිලුටුවෙලා, කාමයන් පසු පස ම හඹාගිය, කිසි දිනෙක තෘප්තියට පත් නොවන ආශාවන්ගෙන් පිරී ගිය හිත් තිබුණ, සතර අපායට යන්නට දොරටු හැරගෙන සිටි ලක්වාසී ජනයාගේ සිත් සතන් දහමින් සනසා, දහමින් පෝෂණය වූ ලෞකික ජීවිතයක් ගොඩනඟා ගන්නා හැටි පෙන්වා දුන්නේ උන්වහන්සේයි. ලෝකෝත්තර වූ ඒ අමා මහා නිවන අවබෝධ කර ගන්නා සැටිත්, සුගති රැකවරණය සකසා ගන්නා ආකාරයත් දේශනා කොට වදාළේ දීපප්පා සාදක අපගේ ආදී ගුරු දේවෝත්ම මිහිදු මහ රහතන් වහන්සේ යි. උන්වහන්සේට අපගේ ගෞරවාදර නමස්කාරය වේවා!