Print this Article


සුවපත් මනසක් සුවබර දිවියක් - 54 කොටස: තරහව සමඟ ගනුදෙනු කිරීම

සුවපත් මනසක් සුවබර දිවියක් - 54 කොටස:

තරහව සමඟ ගනුදෙනු කිරීම

අන්‍යයන් සමඟ කාරුණික හදවතකින් කටයුතු කිරීමට උපකාරීවන මෙවලම් පහක් බුදුරජාණන් වහන්සේ අපට හඳුන්වා දුන්හ. ඒ පංච සීලය යි. සමහරුන් සීලය නිදහසට බාධාවක් සේ සිතුව ද ඇත්ත වශයෙන් ම මේ පන්සිල් නිදහස ළඟා කරයි. අපගේ අකාරුණික ක්‍රියා නිසා ඇති කරන දුක් වේදනාවලින් නිදහස් වීමට පන්සිල් උපකාරී වේ. මේ උපදෙස් අන්‍යයන් අනතුරෙන් ආරක්ෂා කිරීමට අපට පුහුණුවක් ලබා දෙයි. අනුන් ආරක්ෂා කිරීමෙන් අප ද ආරක්ෂා වේ. අනුන්ගේ ජීවිත නැති කිරීමෙන්, සොරකම් කිරීමෙන්, කාමයෙහි වරදවා හැසිරීමෙන්, අසත්‍ය හා නපුරු වචන කතා කිරීමෙන්, ප්‍රමාදයට හේතුවන මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකින ලෙස මේ සිල්පද අපට අනතුරු ඇඟවීමක් ඇති කරයි. භාවනා පුරුදු කිරීමෙන් සතිමත් බව දියුණු කර ගැනීමට ද, අන්‍යයන් සමඟ මිත්‍රශීලීව කටයුතු කිරීමට ද හැකි වේ. භාවනාවෙන් අප සිත තුළ ආශාව හා කැමැත්ත ඇතිවන සැටි බලා හිඳීමු. එබඳු සිතිවිලි ඇතිවන විට සිත සන්සුන් කර ගැනීමට අපි ඉගෙන ගනිමු. ඇලීම හා ගැටීම ක්ෂණික තත්ත්වයන් බව දන්නා අපි ඒවාට යන්න ඉඩ හරිමු. භාවනාව ලෝකය දෙස අලුත් ඇසකින් බැලීමට අපට උපකාරී වන අතර, නිදහස වෙත ළඟාවීමට මඟක් ද සොයා දෙයි. භාවනාවේ ගැඹුරට යන තරමට ම අපේ කුසලතා ද දියුණු වෙයි.

තරහ සමඟ ගනුදෙනු කිරීම...

අපි කෙනකු සමඟ තරහ වූ විට, ඔහුගේ චරිතයෙහි එක් කරුණක පමණක් එල්ලී සිටීමට වෑයම් කරමු. බොහෝ විට එය මොහොතකින් සිදුවිය හැකි යමකි. කර්කශ වචන කිහිපයක්, අකාරුණික බැල්මක්, කල්පනාවෙන් තොර ක්‍රියාවක් නිසා අපේ මනසෙන් ඒ පුද්ගලයාගේ පෞරුෂයෙහි ඉතිරි සියල්ල හැලී ගොස් ය. එහි ඇත්තේ අපගේ අමනාපයට හේතු වු සිද්ධිය පමණකි. මෙසේ කරන විට අපි ඒ පුද්ගලයාගේ මුළු පෞරුෂයෙන් එක් අංශු මාත්‍රයක් පමණක් වෙන් කොට ගෙන එය සත්‍ය හා විශ්වාසදායි ලෙස පිළිගනිමු. ඒ පුද්ගලයා එසේ හැඩගැසීමට හේතු වූ සියලු බලවේග අපි නො තකා හරිමු. අප අමනාපයට පත්කළ ඔහුගේ එක ම අගුණය කෙරෙහි පමණක් ම අවධානය යොමු කරමු.

අවුරුදු ගණනාවක් තුළ ධර්මය ඉගෙනීමට උනන්දුවක් දක්වන සිරකරුවන්ගෙන් ලිපි බොහෝ ගණනක් මට ලැබී තිබේ. සමහරු මිනීමැරුම් වැනි දරුණු අපරාධ කළ අය වෙති. එහෙත් දැන් ඔවුන්ට කරුණු නියම ලෙස වැටහී ජීවිතය වෙනස් කර ගැනීමට වුවමනා ය. ගැඹුරු අවබෝධයක් දැනවූ එබඳු එක් ලිපියක් මගේ සිතට තදින් කාවැදී ගියේ ය. සිරගෙදර අධ්‍යක්ෂ පැමිණෙන සෑම විටකම අනික් සිරකරුවන් ඔහුට උසුළුවිසුළු කරමින් කෑකෝ ගැසූ සැටිත්, ඔහුත් තමන් සියලු දෙනා මෙන්ම මනුෂ්‍යයකු බව ඔවුන්ට කොතෙකුත් කීවද, වෛරයෙන් අන්ධ වී සිටි ඔවුන් කිසිවක් නෑසූ සැටිත් එහි විස්තර කර තිබුණි. ඔවුන් දුටු එක ම දෙය ආරක්ෂකගේ නිල ඇඳුම මිස ඒ තුළ සිටි මිනිසා නොවේ.

අප කෙනකු සමඟ කෝප වූ විට, අපගෙන් අසා ගත යුතු ප්‍රශ්නයකි. මා කෝප වන්නේ ඔහුගේ හිසකෙස් සමඟ ද? ඔහුගේ සම, දත්, මොළය, හදවත, හාස්‍ය දනවන විලාසය, මුදු මොළොක් ස්වභාවය, ත්‍යාගශීලී බව, සිනහව යන මෙයින් කුමකට ද යන්නයි. මිනිසකු සෑදී තිබෙන භූත කොටස් සහ ක්‍රියා පද්ධතිය ගැන විමසීමට කාලය ගන්නා විට අපේ කෝපය ඉබේටම තුනීවී ගොස් ය. සතිමත් බව පුරුදු කිරීමෙන් අපි, අපත් අනුනුත් වඩා පැහැදිලි ව දැකීමට ඉගෙන ගනිමු. අවබෝධය, අනුන් සමඟ මිත්‍රශීලීව සම්බන්ධතා පැවැත්වීමට උදව් වෙයි. අප හැම දෙනා තුළ ම යහපත් බවේ හරයක් තිබේ. අංගුලිමාල තුළ මෙන්, සමහරුන් තුළ මේ සැබෑ තත්ත්වය අප දකින්නේ නැත. අනාත්ම ධර්මතාව තේරුම් ගැනීම තුළින් අපගේ හදවත් මුදු මොළොක් වී, අන්‍යයන්ගේ අකාරුණික ක්‍රියාවලට සමාව දීමට අපට හැකි වෙයි. අප වෙතත්, අන්‍යයන් වෙතත්, මිත්‍රශීලී බවෙන් යුතු ව සිටීමට අපි මෙයින් ඉගෙන ගනිමු.

එහෙත් ඔබට කිසිවකු හිරිහැර කළොත්? බැණ වැදුණොත්? ඔබට එයට ප්‍රතිචාර දක්වන්න සිතේවි. එය සාමාන්‍ය මානුෂික ප්‍රතිචාරය යි. එහෙත් එයින් එහාට සිදුවන්නේ කුමක්ද? “වෛරයෙන් වෛරය කිසිදාක නො සන්සිඳේ” යැයි ධම්මපදය කියයි. ප්‍රකෝපකාරී ප්‍රතිචාරය තවත් ප්‍රකෝපයකට පාර කපයි. කෝපයට මෛත්‍රියෙන් ප්‍රතිචාර දැක්වූයේ නම්, අනෙක් තැනැත්තාගේ කෝපය ඇවිලෙන්නේ නැත. එය ටිකෙන් ටික පහව යා හැකි ය. “අවෛරයෙන් ම වෛරය සන්සිඳෙන” බව ධම්මපදය තවදුරටත් උගන්වයි.