Print this Article


අපවත්වී වදාළ හොරතැපල පාලිත නාහිමිපාණෝ

අපවත්වී වදාළ හොරතැපල පාලිත නාහිමිපාණෝ

“සත්පුරුෂයන්ගේ සීල සුගන්ධය උඩු සුළඟට ගමන් කරයි”

එබදු ගුණ සමුදායකින් හෙබි සංඝ පීතෘවරයාණන් නමක් ලෙස හොරතැපල පාලිත නාහිමිපාණන් වහන්සේ හඳුනා ගත හැකි ය.

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුගම්පල කෝරලයෙහි හොරතැපල නම් ගමෙහි ජීවත් වූ ජයමාන්න ආරච්චිගේ තෝබියස් අප්පුහාමි පියතුමන්ටත්, රණසිංහ ආරච්චිගේ පොඩිහාමිනේ මවටත් දාව 1935. 02. 19 වැනි දින උපත ලැබූ දරුවා මහීපාල නම් විය. මෙම දරුවා හොරතැපල රජයේ පාසලෙන් සහ වල්පිටගම රෝමානු කතෝලික පාසලෙන් අධ්‍යාපනය ලබා ඉතා කුඩා කාලයේ දී ම ගිහි ගෙයින් නික්මී ඇත.

පසුව නැදලගමුව ධර්මරාජ මහ පිරිවෙනට ඇතුළත් වී 1944 නොවැම්බර් මස 22 වැනි දින හොරතැපල පාලිත හිමි නමින් පැවිදි විය. උන්වහන්සේගේ ආචාර්ය මෙන්ම උපාධ්‍යයන් වහන්සේ් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ දිසා පාලක යටගම ශ්‍රී ඤාණුක්කංස හිමිපාණන් වහන්සේ සහ හැදලගමුවේ පිරිවෙන් අධ්‍යක්ෂ ධුරය හෙබ වූ මහෝපාධ්‍යාය වෙලගානේ ඤාණවිමල හිමිපාණන් වහන්සේ ය.

අනතුරුව උන්වහන්සේ නැදලගමුව ශ්‍රී ධර්මරාජ මහ පිරිවෙන් ආයතනයේ ද, තුම්මෝදර ශ්‍රී සුමන පිරිවෙනෙන් ද, මරදාන ශ්‍රී ලංකා විද්‍යාල මහ පිරිවෙනින් ද අධ්‍යාපනය ලබා 1961 දී විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය සමත්ව විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව 1965 දී ශාස්ත්‍රවේදී උපාධිය දිනා ගෙන ඇත. තවද කොළඹ විශ්වවිද්‍යාලයෙන් පුස්තකාල විද්‍යා පාඨමාලාවක් ද හදාරන්නට විය.

1981 දී අනුරාධපුර මල්වතු ඔය උදකුක්කේප සීමා මාලකයේ දී මහානායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වෙතින් උපසම්පදාව ගෙන ඇත. උන්වහන්සේගේ චරිතයේ විශේෂ ලක්ෂණ අතර ඉගැන්වීම මහත්කොට සලකා ඇත.

පසුව බණ්ඩාරවෙල බෙරාගම කනිෂ්ඨ විද්‍යාලය, කුලියාපිටිය මාහිම්පිටිය විදුහල, කරවුල්ල කනිෂ්ඨ විද්‍යාලය සහ උඩුබද්දාව ධම්මානන්ද විදුහල ආදියෙන් සේවය කර 1986 දී විශ්‍රාම ගෙන තිබේ. උන්වහන්සේ අපවත් වනතුරුම දියකළමුල්ල ශ්‍රීපති පිරිවෙනෙහි කෘත්‍යාධිකාරී තනතුර දරා තිබේ. 1996 ජූලි මස 30 වැනි දා දහම් පාසලක් ආරම්භ කරමින් දූ දරුවන්ට දහම් අධ්‍යාපනය දීමට ද උන්වහන්සේ පියවර ගෙන තිබේ. එලෙස ඇරඹි දහම් පාසල අද වන විට සිංහල සහ ඉංග්‍රීසි යන මාධ්‍ය දෙකෙන්ම දහම් දැනුම දෙන විශාල වනස්පතියකි.

සාහිත්‍ය ග්‍රන්ථ, දේශපාලන ග්‍රන්ථ සහ අපදාන ග්‍රන්ථ උන්වහන්සේ අතින් රචනා වී තිබේ. “සකුන්තලා විචාර ග්‍රන්ථය” සහ ”සරස්වතී විහාර වංශය” මෙහිදී පෙන්වා දිය හැකි ය. විශේෂයෙන්ම උන්වහන්සේ විසින් රචනා කොට ඇති අපදාන කෘති අතර සත්කෝරල මිණිපහන, බෝසත් සිරිතක්, සත්ගුණ සිරිතක්, ඉටුදෙවි, දේවතා, සහෝදර ගුරුතුමා, පිලිප් ගුණවර්ධන උපහාර ග්‍රන්ථය ප්‍රධාන තැනක් ගනී.

උන්වහන්සේගේ ශාසනික සේවාවේ අග්‍රඵලය වන්නේ උඩුබද්දාව ශ්‍රී ආර්යබෝධි විහාරය යි. පුද්ගලික ධනය යොදවමින් ඉඩමක් මිලට ගෙන 1984 දී ආවාසයක් තනා එයට පැමිණ මෙම විහාරය ආරම්භ කර තිබේ. පසුව එය දර්ශනීය විහාරයක් බවට පත් වූ අතර, තායිලන්තයෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේ ද මෙම විහාරයට වැඩම කරවීය. තායිලන්ත සම්ප්‍රදායට අනුව වෙහෙර වහන්සේ, ඝණ්ඨාර කුලුනක්, මලසුන්ගෙය ආදී විහාර අංග ඉන් පසු නිර්මාණය විය. අද වන විට දහම් පාසල් ශාලාවක්, ධාතු මන්දිරය සහිත දෙමහල් සංඝාවාසයක්, අනුබුදු මිහිඳු ප්‍රතිමාවක් ඇතුළු විහාරයකට අවශ්‍ය වන සියලුම අංගවලින් සමන්විත ය. සත්ත්ව කරුණාව ඉතා උතුම් කොට සැලකූ උන්වහන්සේ පැවිදි පරම්පරාවක යතිවරයෙකි.

උගත් යතිවරයෙක් වූ පාලිත හිමිපාණෝ 2008 ජනවාරි මස 05 වැනි දින සියලුම සංස්කාරයන් නැසෙන බව ප්‍රකට කරමින් අපවත් වී වදාළහ. උන්වහන්සේ අපවත් වී මේ වර්ෂය වන විට වසර 18ක් සපිරෙයි. මේ වෙනුවෙන් වර්ෂයක් පාසා උන්වහන්සේට පින් අනුමෝදන් කරමින් විවිධ පින්කම් දායක කාරකාදීන් විසින් සිදු කරනු ඇත. උන්වහන්සේට පින් දීම වෙනුවෙන් පින්කම් මාලාවක් උඩුබද්දාව ශ්‍රී ආර්යබෝධි විහාරයේ පසුගිය 14 සහ 15 දිනවල පැවැත්විණි. අපවත් වී වදාළ නාහිමිපාණන් වහන්සේට උතුම් නිවන් අවබෝධ වේවා යි ප්‍රාර්ථනා කරමි.