Print this Article


අවබෝධයේ පරිසමාප්තිය

අවබෝධයේ පරිසමාප්තිය

ප්‍රඤ්ඤාධික තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් වනු පිණිස සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා දස පාරමී ධර්ම, පාරමී, උප පාරමී, පරමත්ත පාරමී වශයෙන් සපුරාගෙන වෙසඟ පුන් පොහෝ දා මිනිස් පුතකු වශයෙන් අප මහා බෝධිසත්ත්වයන් වහන්සේ මෙලොවට බිහි වූ සේක.

ඉන්පසු මහත් වූ සැප සම්පතින් ආඪ්‍ය ව හැදුණු වැඩුණු මේ කුමාරයා භද්‍ර යෞවනයට පත් වූ තැනේ දී මෙබඳු සිතිවිල්ලක් ඇතිකර ගත්තේ ය.

එනම් මහණෙනි, මා නව භද්‍ර වියේ පසු වූ ඒ කාලයේ දී මට මේ කාරණය සම්බන්ධයෙන් මෙබඳු අදහසක් ඇති විය. මොකද මා මට ම අයත් වූ හට ගැනීමේ විධියක් ලබා ඇත. ඒ නිසා මා හටගැනීම් විධිය ගැන ම සොයන්න උනන්දු විය යුතු ද? එසේම මා මට ම අයත් වූ පරණවීමේ විධියෙක් ලබා ඇත. ඒ නිසා පරණ වීමේ විධිය ගැන ම සොයන්න උනන්දු විය යුතු ද? මා මට ම අයත් වූ අසනීප වීමේ විධියෙක් ලබා ඇත. ඒ නිසා මා ලෙඩ වීමේ විධිය ගැන ම සොයන්නට උනන්දු විය යුතු ද? මා මටම අයත් මරණයට පත් වීමේ විධියෙක් ලබා ඇත. ඒ නිසා මා මරණයට පත්වීම ගැන ම සොයන්න උනන්දු විය යුතු ද?

“තස්ස මයිහං භික්ඛවේ ඒතදහෝසි. කිං නුධෝ අහං අත්තනා ජාති ධම්මෝ සමානො ජාති ධම්මං ඒව පරියේසාමි.”

ඒ ඔස්සේ තවදුරටත් කල්පනා කළ ඒ භද්‍ර යෞවනයා ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය ස්වභාවය කොට ඇති අයෙක් යැයි තේරුම් කරගෙන ජාතියෙන්, ජරාවෙන්, ව්‍යාධියෙන්, මරණයෙන් කිසි පලක් නැති බව, ආදීන ව සහිත බව තේරුම් ගෙන ඉපදුමක් නැති, පරණ වීමක් නැති, ලෙඩක් නැති, මරණයක් නැති උත්තරභාවයේ නිමාවට ම පත් නිවන සොයා ගත්තොත් හොඳ යැයි කල්පනා විය.

තවදුරටත් තම භද්‍ර යෞවනයේ දී ඇති කරගත් සිතිවිලි ඔස්සේ ක්‍රියාත්මක වූ ආකාරය භික්ෂූන් වහන්සේට අනාවරණය කළ තථාගතයන් වහන්සේ (මජ්ක්‍ධිම නිකායේ, චූල පණ්ණාසකයේ, ආරිය පරියේසන සුත්තං) දේශනා කොට වදාළේ මහණෙනි, ඒ මම පසු කාලයෙහි ළදරු වූයෙන් ම ඉතා කළු කෙස් ඇත්තෙමි. පළමු වැනි වයස වූ සොඳුරු යෞවනයෙන් යුක්ත වූයෙමි. අකැමැති ව මවුපියන් හඬද්දී, මුහුණ පුරා කඳුළු දරමින් සිටිද්දී, කෙස්, රැවුල බහා කහ වත් හැඳ ගිහි ගෙයින් ඉවත් ව පැවිද්දට පත් වූවෙමි.”

එදා කෙස්, රැවුල් හැර කහ වතින් සැරැසී ගිහි ගෙයින් නික්මුණු සිද්ධාර්ථ ගෞතම තුමාට සිත ජය ගැනීමෙහි නියුක්ත ව සිටි මුනිවරයන් දෙදෙනකු හමු විය. ඒ ආලාරකාලාම හා උද්දකරාමපුත්ත යන මුනිවරයන් ය. ඔවුන් ඇසුරේ ටික දිනක් ගතකළ එතුමෝ ඔවුන් ගතකළ පිළිවෙත් මඟ නිවන පිණිස පමණ නොවන බව වටහාගෙන ඔවුන්ගෙන් සමුගෙන හුදකලාව තම අභිමතාර්ථය සපුරා ගැනීමට බරණැස් නුවර, මිගදාය නම් වූ ඉසිපතනය වෙත පිවිසුණුහ.

මේ තත්ත්වය පවත්නා වටපිටාවේ එදා සුද්ධෝදන රජතුමාගේ ඇරැයුමෙන්, තම දරුවාට නම් තැබ්බවීමට රජ මැඳුරට කැන්දවා ගත් බමුණුවරයන් එකසිය අට දෙනා අතරින් කුශාග්‍ර බුද්ධිමත් රාම, ධජ, ලක්ඛණ, ඛන්ති, භෝජ, සුයාම, කොණ්ඩඤ්ඤ සුදත්ත යන බමුණු පඬිවරයන් කුමාරයාගේ ශරීර ලක්ෂණ විමසා කීවේ මේ කුමාරයා ගිහිගෙයි රැඳුණොත් රජ වෙනවා. ගිහිගෙය හැරපියා පැවිදි වුවහොත් සම්මා සම්බුදු වෙනවා යනුවෙනි. පසුව කුමරුගේ ශරීර ලක්ෂණ විමසා නළලත ඌර්ණ රෝම ධාතුව දැක මේ කුමරුවා ඒකාන්ත වශයෙන් බුදු වෙනවා ම යැයි අදහසෙක් පළ කළ සුදත්ත හෙවත් කොණ්ඩඤ්ඤ බමුණුවරයා, භද්ධිය, වප්ප, මහානාම, අස්සජී යන බමුණවරයන් හතර දෙනා සමඟ තාපස පැවිද්දට පත්ව එතුමාට උපස්ථාන පිණිස එහි පත් වූහ. බුද්ධ චරිතය ආශ්‍රයෙන් පස්වග තවුසන් යනු ඔවුන් ය.

එකුන්තිස් වසරක් පුරා කාමභෝගී ජීවිතයක් ගත කළ සිද්ධාර්ථ ගෞතමයෝ ඒ මඟ හැර පියා අත්තකිලමතානුයෝගය අනුගමනයෙන් උක්ත තපස්වරුන් පස් දෙනාගෙන් උපස්ථාන ලබමින් කෙලෙස් තැවීමෙහි උත්සාහවත් වූහ. එය සුළුපටු කාලයක් නොවේ. වසර හයක පමණ කාලයකි.

විසි නව වසරෙක්හි කාමසුඛල්ලිකානුයෝග ජීවිතයක් ගත කළ එතුමෝ එමඟ පහත් ය. (හිනෝ) නොදියුණු ය. (ගම්මෝ) වෙනස් වන සුලු ය. (පෝථුජ්ජනිකෝ) උතුම් නැත. (අනරියෝ) වැඩක් නැත. (අනත්තසංහිතෝ) යි දැන, දැක ඉන්පසු ගත වූ ස වස පුරා යෙදි අත්තකිලමතානු යෝග පිළිවෙත අත්විඳ, ඒ ශරීරයට අපහසු ය. (දුක්ඛෝ) උතුම් නැත. (අනරියෝ) වැඩකට නැත. (අනන්ත සංහිතෝ) බව තේරුම් පැහැදුම් කරගෙන ය.

ඒ දෙමඟ ම හැරැ පියා සම ගැලවී ගියත් බුදු වී මිස නොනැඟිටිමි, නහර ගැලැවී ගියත් බුදු වී මිස නොනැඟිටිමි, ඇට ගැලවී ගියත් බුදු වී මිස නොනැඟිටිමි, මස් ලේ වියැළී ගියත් බුදු වී මිස නොනැඟිටිමි යන චතුරංග සමන්නාගත වීර්යයෙන් සැදී, ඇසතු ගසකට පිට දී පලක් බැඳ වාඩිවී සිට භාවනා කරන්නට පටන් ගත්හ.

ඒ වෙසක් පුන් පොහෝදාවකි. මෙසේ භාවනාවේ යෙදුණු සිද්ධාර්ථ ගෞතමයෝ පෙර යම් කාලයේ විසූ ස්කන්ධ පිළිවෙළ සිහි කිරීමේ නුවණ (පුබ්බේ නිවාසානුස්සති) පහළ විය. එදින ම මැදියම කාලයේ සත්ත්වයන්ගේ මරණ දක්නා නුවණ (චුතූපපාත) පහළ විය. එදින ම පැසුළු යාමේ කාමාදී ආශ්‍රව නසන අරහත් නුවණ (ආසවක්ඛය) පහළ විය. මේ අතීතය, වර්තමානය, අනාගතය යන ත්‍රිකාල ඥානය ලැබීම ම. අසංඛත හේතු ප්‍රත්‍යයන්ගෙන් හට නොගන්නා, ඒකාන්ත සත්‍ය පහළ විය.

අජර හෙවත් පරණ නොවීම, අසත්‍යයක් නොවීම පහළ විය. වෙනත් සත්‍යයක් නැත. අමර මරණයට පත් නොවීම පහළ විය. මෙසේ වූ නිරෝධයේ ලක්ෂණ පහළ වීම ම අවබෝධයේ පරිසමාප්තිය විය.