 කර්මයේ විපාක පසුපස
එන හැටි
සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය
දිවියාගහ යසස්සි නාහිමි
සියල්ල සිදුවන්නේ කර්මයෙන් යැයි සැලකීම ප්‍රතික්ෂේප කරන බුදු දහම ලෝකයේ සිදුවීම්
උතු නියාම, බීජ නියාම, ධම්ම නියාම, චිත්ත නියාම හා කම්ම නියාම යන නියාම ධර්ම පහට
අයත් බව පෙන්වා දෙයි.
උතු නියාම යනුවෙන් දැක්වෙන්නේ ශීත, උෂ්ණ, සුළඟ ආදීයේ ඇතිවීමයි’ හේමන්ත, ගිම්හාන හා
වස්සාන වශයෙන් සෘතු නම් කොට ඇති අතර, ඒවා සියලු සත්ත්වයන්ට ම පැහැදිලිව ම දැනෙන්න
පටන් ගනියි.
බීජ නියාම යනුවෙන් දැක්වෙන්නේ එක් එක් බීජයන්ගෙන් හටගන්නා ගස්වැල් ආදියේ ඇතිවන
වෙනස් වූ ස්වභාවයයි. සමහර ගස්වැල් ඇටවලින් හට ගනියි. සමහර ඒවා කඳ කෑල්ලකින් නොවේ
නම් දළු ආදියෙන් හට ගනියි. සුරියකාන්ත ගසක හට ගන්නා මල හිරු දෙසට හැරෙමින් වැඩෙයි.
නිදිකුම්බා ගසක යමක් ස්පර්ශ වූ විට වහා කොළ හැකිලේ. මෙවැනි සිදුවීම් කර්මයට නොව බීජ
නියාම ගණයට අයත්වේ.
රාත්‍රි පවතින අඳුර හිරු උදාවත් සමඟ පහව යයි අහසින් බිමට වැටෙන ජලය පහළට ගලා යයි.
බුදුවන උතුමා බිහිවූ විගස ඇවිදියි. මෙවැනි දේ කර්ම ගණයට අයත් නොවන අතර, ධම්ම නියාම
වශයෙන් පෙන්වා දී ඇත.
අපේ සිතිවිලි උත්පාද, ඨිති, භංග යන අවස්ථා තුනකින් යුක්ත ය. සිතට ඇතිවන අරමුණු සමහර
විට සුළු වේලාවක් පැවත වහා විනාශ වී යයි. සමහර සිතිවිලි ටික වේලාවකින් අමතක වෙයි.
බොහෝ කලකට පෙර පැවති සිදුවීම් පුදුම ලෙස මතකයේ රදා පවති. මේ සියල්ල චිත්ත නියාමයේ
ලක්‍ෂණය යි.
ඉහත සඳහන් නියාම ධර්ම කිසිවකටත් අයත් නොවන සිදුවීම් කර්ම නියාමයට අයත් වේ. යම්
කෙනකුට සැප හෝ දුක් ඇතිවීමේ දි බලපා ඇත්තේ කර්මය දැයි දැන ගැනීමට ක්‍රම ඇත. කෙනකුට
සෑදි ඇති අසනීපය තේරුම් ගත් ඉතා දක්‍ෂ වෛද්‍යවරයකුගෙන් බෙහෙත් ලබාගෙන නිසි පරිදි
භාවිත කරතත් රෝගය සුව නොවන අවස්ථා ඇත. එසේ වීමට ප්‍රධාන හේතුව කර්මයේ බලපෑම විය
හැකි ය.
අද සමාජයේ ජීවත්වන සමහර අයෙක් කුරාකුහුඹියකුටවත් කරදරයක් නොවන අන්දමට ජීවත් වෙමින්
අපමණ පින් දහම්වල යෙදී සිටිති. එයින් සමහර කෙනකුට අසනීපයක් සෑදුන කල්හි ඔහුට නිරෝගි
සැප ලබා ගැනීමට පහසු නොවේ. එහෙත් විවිධ පව්කම් කරමින් සමාජයට ද්‍රෝහී ව කටයුතු කරන
බෙහෝ අයට කලින් සඳහන් කළ අන්දමට කුසල් කරන අයට මෙන් ලෙඩදුක් ආදී කිසිවක් ඇති
නොවන්නාක් මෙන් ම සැපවත් ප්‍රිතිදායක ජීවිතයක් ගත කරති. මේ අංශ දෙක පිළිබඳ සිතන
සමහර අය යහපත් දේ කිරීමෙන් සැප ලැබේ දැයි සැක කරති.
නහි පාපං කතං කම්මං -
සජ්ජුඛීරංව මුච්චති
ඩහන්තං බාලමංවෙති -
භස්මච්ඡන්නෝව පාවකෝ
ධම්ම පදයෙහි බාල වර්ගයෙහි දැක්වෙන ඉහත සඳහන් ගාථාවෙන් පෙන්වා දෙන්නේ ඉතා වැදගත්
කරුණකි. කෙනකුට මිදුණු කිරි අවශ්‍ය වුවත් දෙවූ ගමන් මිදුණු කිරි ලබාගත නොහැකි ය.
නියමිත වේලාව ඉකුත් වීමෙන් එම මිදුණු කිරි ලබාගත හැකි ය. ඒ අන්දමට හොඳ හෝ නරක හෝ
කර්මයක් සිදු කළ සැනින් විපාක නොලැබේ. බුදුරදුන් ඇතුළු සෑම කෙනකුටම කරන කර්මවල
විපාක සසර කොතැනක දී හෝ ලැබෙන්නේ මේ අන්දමට ය.
යම් කෙනකු විසින් කරන ලද කර්මයක් පිසදා ඉවත් කරන්නාක් මෙන් නැති කළ නොහැකි ය. තමාට
අයත් ඉඩකඩම්, දේපළ දූ දරුවන් වෙත පවරන්නාක් මෙන් යමකු කළ පව් තම දූ දරුවන් වෙත භාර
දී කිසිවකුට පරලෝ යා නොහැකි ය. එහෙත් අපට දුක් හිරිහැර ලබා දීමට බලපා ඇති අකුසල
කර්මයන්හි බලය හීන කොට සැපදායක තත්ත්වයක් උදාකර ගතහැකි මාර්ග නැතුවා නොවේ.
අංගුත්තර නිකායේ තික නිපාතයේ දැක්වෙන ලෝණඑල සූත්‍රය මෙහිදී වැදගත් වේ. එහි අකුසල
කර්ම මැඬ පවත්වා ගැනීම සඳහා මාර්ග හතරක් පෙන්වා දී ඇත. එහි භාවිතකාය නමින්
දැක්වෙන්නේ ශරීරය වැරදි වැඩවලින් සම්පුර්ණයෙන් ඉවත් කොට මරණයට කැප වූ සතුන් නිදහස්
කිරීම සහ දානා දී කුසල ක්‍රියා සිදු කිරීමයි.
රෝගි තත්ත්වයෙන් සිටින තැනත්තා නීරෝගී වීමට එහිදී බලපෑවේ පෙර කරන ලද අකුසල කර්මයට
වඩා කුසල් සිදු කිරීමයි. මේ අන්දමට තම ශරීරයෙන් සතුන් මැරීම හා සොරකම් කිරීම ආදී
අපරාධ සිදු නොකොට කායවාග් සංවරයෙන් භාවිත ශීලය ඇති කර ගැනීමෙන් ද, ද්වේෂය, දැඩි
ලෝභය ආදීය තුරන් කොට සිත දියුණු කිරීමෙන් භාවිත චිත්තය තුළින් ද, විදර්ශනා ප්‍රඥාව
දියුණු කිරීම මඟින් භාවිත ප්‍රඥාව ඇති කිරීමෙන් ද තමන්ට බලපාන අකුසල කර්මවල බලය හීන
කර සැප ලබා ගත හැකි ය.
කවර කර්මයක් සිදු කළ ද ඒවායේ විපාකය නිසි පරිදි ලබාදිය නොහැකි වන අන්දමට කර්මය
පාලනය කරන කරුණු කිහිපයක් ඇත. ගති සම්පත්ති, ගති විපත්ති, කාල සම්පත්ති, කාල
විපත්ති, උපධි සම්පත්ති, උපධි විපත්ති, ප්‍රයෝග සම්පත්ති, ප්‍රයෝග විපත්ති යනුවෙන්
දැක්වෙන්නේ ඒවා ය. උපදින තැන, උපදින කාලය, ශරීරයේ ස්වභාවය හා උත්සාහය ආදී වශයෙන්
දැක්වෙන එම කරුණු කර්මය විපාක දීම කෙරෙහි තදින් බලපායි. |