Print this Article


සන්සුන් සිතක උදාරත්වය

සන්සුන් සිතක උදාරත්වය

විභංග පාලිය සමාධි සම්බොජ්ඣංගය හඳුන්වා ඇත්තේ මෙසේයි. ‘තත්ථ කතමො සමාධි සම්බොජ්ඣංගො? යා චිත්තස්ස ඨිති සම්මාසමාධි, සමාධි සම්බොජ්ඣංගො මග්ගංගං මග්ගපරියාපන්නං’ යනුවෙනි. සමාධි සම්බොජ්ඣංගය නම් කවරේද? සිත පිළිබඳ යම් පැවැත්මක්, සිත අරමුණෙහි මනාකොට පිහිටීමක් වේ ද? මාර්ග අංගයක් වේ ද? මාර්ගයට ඇතුළත් වේ ද? එය සමාධි සම්බොජ්ඣංගය යි. අවිද්‍යා ඝනාන්ධකාරයෙන් වසන ලද පෘථග්ජන චිත්තසන්තානය ඇසිල්ලක් පාසා කිළිටි කරන, රාගාදී ක්ලේශ ධර්ම සමුච්ඡේද වශයෙන් ප්‍රහීණ කිරීමත්, තමාගේ උප්පත්තියට අනතුරුව ඒකාන්තයෙන් ම ප්‍රතිඵලය ලබා දීමත් සමාධි සම්බොජ්ඣංගයේ කෘත්‍ය යි.

බොජ්ඣංග ධර්මයක් ලෙස සමාධියෙහි මූලික ලක්ෂණ තුනක් දැකිය හැකි ය.

කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධ, උද්ධච්චකුක්කුච්චය, විචිකිච්චා යන පංච නීවරණ ධර්ම යටපත් කර සිත නිවීම.

ආලම්බනයේ ස්ථිරව ම පිහිටීම එනම් ආනාපානසති, මෛත්‍රී, කසිණ වැනි භාවනා කමටහනක සිත පිහිටුවා ගැනීම.

ඒකාග්‍රතාව ඇති කිරීම. එනම් සිත එකඟ වී පී‍්‍රතියෙන් සිටීමයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ‘සමාහිතො යථාභූතං පජානාති’ සමාධියට පත් තැනැත්තා යථාර්ථය තත්වූ පරිදි දකින බවයි.

සමාධි බොජ්ඣංගය වඩන ආකාරය

සමාධිය හදිසියේ ඇති වන්නක් නොවේ. සමාධිය ලැබීමට දීර්ඝ කාලයක් අභ්‍යාස කළ යුතු, ප්‍රගුණ කළ යුතු ධර්මතා සමූහයකි. එනම් කල්‍යාණ මිත්‍ර සේවනය, සිල් රැකීම, යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වීම, සමසතළිස් කර්මස්ථානය වැඩීම ප්‍රධාන වේ.

මෙසේ සමාධිය බොජ්ඣංග ධර්මයක් ලෙස වැඩීමේ දී කරුණු එකොළහක් ජීවිතයට එකතු වේ. ඒ බව දේශනාවේ දැක්වෙන්නේ ‘එකාදසධම්මා සමාධි සම්බොජ්ඣංගස්ස උපාදාය සංවත්තන්ති’ යනුවෙනි.

1.වත්ථුවිසද කිරියතා - අභ්‍යන්තර හා බාහිර වස්තූන්ගෙන් පිරිසිදු වීම.

2.ඉන්ද්‍රයසමත්ත පටිපදානතා - ඉන්ද්‍රිය ධර්ම ඉතා දුර්වලවන්නටත්, ඉතා ශක්තිමත්වන්නටත් ඉඩ නොදී සමව පවත්වා ගැනීම.

3.නිමිත්ත කුසලතා - කසිණ භාවනාදිය වැඩීමෙන් ඇතිවන්නා වූ නිමිත්ත ආරක්ෂා කර ගැනීමෙහි දක්ෂ වීම.

4.සමයෙ චිත්තස්ස පග්ගණ්හනතා - හීන වීර්යාදියෙන් සිත හැකිළී යන විට උත්සාහවත් වී යළි සිත නඟාසිටුවා ගැනීම.

5. සමයෙ චිත්තස්ස නිග්ගණ්හනතා - යම් කලෙක සිතට නිග්‍රහ කළ යුතු වේ නම් එකල සිතට නිග්‍රහ කිරීම.

6. සමයෙ සම්පහංසනතා - යම් කලෙක සිත සතුටු කළ යුතු වේ නම් එකල සිත සතුටු කිරීම.

7. සමයෙ අජ්ඣුපෙක්ඛන්තා - සිතේ කුසීතකම නිසා නො හැකිළී සිටිමින්, සිතේ උඩඟුකම නිසා අහංකාර නොවී සිටිමින් සිතේ ප්‍රයෝග සම ව පවත්වා ගෙන යාම.

8.අසමාහිතපුග්ගල පරිවජ්ජනතා - අසමාහිත පුද්ගලයන් වර්ජනය කිරීම.

9. සමාහිතපුග්ගල සෙවනතා - සමාහිත පුද්ගලයන් සේවනය කිරීම.

10. ඣානවිමොක්ඛ පච්චවෙක්ඛන්තා - අට වැදෑරුම් වූ ධ්‍යාන විමොක්ෂ නිතර සිහි කිරීම.

11.තදධිමුත්තතා - සතර ඉරියව්වෙහි ම සමාධි සම්බොජ්ඣංගය උපදවාගත යුතු යැයි ප්‍රබල අධිෂ්ඨානය ඇති කර ගැනීම.

සමාධි බොජ්ඣංගයේ අනුසස්

සමාධියට පත් වූ සිතට ඇති ශක්ති ප්‍රමාණය අපමණ ය. සමාධි බොජ්ඣංගය වැඩීමෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය පැහැදිලි ව දැකිය හැකි ය. එය විදර්ශනාවට මූලික පදනම වේ. රාග, ද්වේශ, මෝහ ආදී කෙලෙස් තාවකාලික ව යටපත් වේ. එය විදර්ශනාව සමඟ එකට එකතු වූ පසු ස්ථිරත්වයට පත් වෙනු ඇත. කාංසාව, ආතතිය, නින්ද නොයාම වැනි සිතේ අසහනකාරි දේ දුරු වී මානසික සුවතාව ඇති වේ. සමාධි සම්බොජ්ඣංගය දීර්ඝ කාලයක් වැඩීමෙන්, අභ්‍යාස කිරීමෙන්, ප්‍රගුණ කිරීමෙන් ලෞකික අභිඥා හා සමාපත්ති වුව ද ලබා ගත හැකි ය. එසේම අර්හත් මාර්ග ඥානයටත් සමාධි සම්බොජ්ඣංගය වැඩීම අවශ්‍ය වේ. සමාධි බෝජ්ඣංගය වැඩූ තැනැත්තාගේ සිත දිය නොසලන විල් තලයක් මෙනි. එවැනි සිතකට ධර්මයේ ගැඹුර පෙනේ. එබැවින් අද සිට ම දිනකට ස්වල්ප වේලාවක් හෝ සිත සන්සුන් කර ගනිමින් සමාධිය වඩන්නට උත්සාහවත් වන්න. ඒ සමාධිය අප දුකින් මිදෙන මඟට යොමු කරනු ඇත.