Print this Article


මහණකම රැක ගනිමින් සමාජයට සෙත සදමු

මහණකම රැක ගනිමින් සමාජයට සෙත සදමු

ලෝකයෙහි විසූ ශ්‍රේෂ්ඨතම අසහාය සමාජ සේවකයාණෝ බුදුරජාණන් වහන්සේ යැයි කිව යුතු ය.

උන්වහන්සේ බුදු වී සත් සති ගෙවා බරණැස ඉසිපතන්හි දම්සක් පවත්වා පස්වග මහණුන් නිවන් දැක්වූ තැන් පටන් අවුරුද්දකට නව මසක් හෝ අට මසක් හෝ සත් මසක් හෝ ගමින් ගමට ඇවිදිමින් ගිය ගිය තැනැ සුළු වේලාවකට වඩා විවේක නො ගෙනැ තමන් සුව නො තකා අනුන් සුව සඳහා වැඩ කළ සේක. ආගම්, ජාති, කුල ආදී කිසිදු භේදයක් නො සැලැකූ උන් වහන්සේ හැම දන හට එක සේ මෙත් සිතින් සෙත් කළහ.

මෙසේ අවුරුදු හතළිස් පහක් මුළුල්ලෙහි ස්වල්ප වූ ද ලාභයක්, පුද සත්කාරයක්, කීර්ති ප්‍රශංසාදියක් නො තකා, “මේ සත්ත්වයන් දුකින් මුදවන්නෙමි, සුඛිත මුදිත කරවන්නෙමි” යි යන කරුණා, මෛත්‍රී පෙරදැරි සිතින් ආදර්ශයත් සමඟ කළ අනුශාසනාවලින් ජන සමාජයට සිදු වූ සේවය, සැලැසුණු ශාන්තිය අතිවිශාල ය.

බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවලින් රටවැසියා සසර දුකින් මිදුණා පමණක් නොවැ, අගුණ දුර්වලකම් අඩු කැරැ ගනිමින් ගුණනුවණ දියුණු කැරැ ගත්තා පමණක් නොවැ, නොයෙක් ලෙසින් සමාජයට සෙත සැලැසිණ. මිනීමරුවෝ සාහසික ක්‍රියා අත්හළහ. හොරු සොරකම් හළහ. මැරවරයෝ මැරවැරකම් හළහ. නොයෙක් ලෙසින්, නොයෙක් වෙසින් වූ අපරාධකරුවෝ අපරාධ හළහ.

එසේ ම ඒ අනුශාසනාවලින් ගිහියෝ ගිහිකම්හි ද, පැවිද්දෝ පැවිදිකම්හි ද හොඳීන් යෙදුණහ.

රජවරු රාජසභා දියුණු කැරැ ගත්හ. මැති ඇමැතිවරු නමින් නො වැ ක්‍රියාවෙන් ම, ගුණයෙන් ම ජන නායකයෝ වූහ. ගම් වඩන්නෝ ගම්සබා දියුණු කැරැ ගත්හ. මවුපියවරු දරුවන් ලැබීම් මාත්‍රයෙන් නොවැ, නියම ගුණයෙන් ම මවුපියෝ වූහ. ගුරුවරු නියමිත කාලයේ රක්‍ෂා කරනුවන් වශයෙන් නොවැ, ආදර්ශයෙන් ද, උපදේශයෙන් ද දරුපරපුර නිසිමඟ යවන්නෝ වූහ. ස්වාමිපුරුෂවරු ද, භාර්යාවෝ ද ඉන්ද්‍රියයන් පිනවන අදහසින් නොවැ රටට, ජාතියට, භාෂාවට හා ආගමට වැඩ ඇති දරුවන් ලැබීමේ පරමාධ්‍යාශයෙන් ම ස්වාමිපුරුෂයෝ - භාර්යාවෝ වූහ.

ඥාතිමිත්‍රයෝ කතාවෙන් හිනාවෙන් ගනුදෙනුවෙන් පමණක් නොවැ, නියම ඥාති ධර්මයෙහි ම, මිත්‍ර ධර්මයෙහි ම පිහිටිය හ. සමාජ සේවකයෝ වේදිකාවන්හි බෙරිහන් දීමෙන් පමණක් නො නැවැතී ලොකුකම, ලොකු නම, ලොකු තනතුර ගැන නො බලා කීර්ති ප්‍රශංසාදියට වහල් නොවී රටවැසියා සුඛිත මුදිත කිරීමේ අදහසින් ම ක්‍රියා කළහ. ජනතාව ලොවි ලොවුතුරා දියුණුවේ මඟ පමණක් නො වැ කන - බොන - එන - කතා කරන - හිනාහෙන සැටි පවා ඉගෙන ගත්හ. සමාජයට කරදර නොවන්නට ශිෂ්ට මහත්මයකු ලෙස කෙළ ගසන සැටි පවා ඉගෙන ගත්හ.

බුදුරජාණන් වහන්සේ මෙලෙසින් ආදර්ශයත් සමඟ වූ අනුශාසනාවෙන් ම ජන සමාජයට සිදු කළ සේවය ස්වල්ප ද ? මෙතරම් සේවයක් මේ ලොවැ වෙන කවුරුන් හෝ කැරැ තිබෙනුවා දැයි සලකා බලන්න. එසේ ම උන්වහන්සේ සේවය කළ විශේෂාකාරය ගැන ද සිතා බැලිය යුතු වේ.

දිනක් ද්‍රෝණ නම් බ්‍රාහ්මණයා, “ඔබ වහන්සේ කවරෙක් දැ”යි බුදුරජාණන් වහන්සේගෙන් ඇසී ය.

“බ්‍රාහ්මණය, උපුලක් හෝ පියුමක් හෝ පුණ්ඩරීකයක් හෝ ජලයෙහි හට ගත්තේ, ජලයෙහි වැඩුණේ, ජලයෙන් උඩට නැඟී ජලය හා නොගැටී යම් සේ සිටී ද, එසේ ම මම ද ලෝකයෙහි උපන්නේ, ලෝකයෙහි වැඩුණේ ලෝකය හා අබිබවා ලෝකය හා නො ගැටී වාසය කරමි. මම බුදු වෙමි” යි වදාළහ. බුදුරජාණන් වහන්සේ සමාජයට සේවය කළේ සමාජය හා ඇලී, ගැලී, ගැටී නො වන බව මෙයින් මැනැවින් ම පැහැදිලි වේ.

ලොවැ ශ්‍රේෂ්ඨතම සමාජ සේවකයාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන අප ගිහි පැවිදි බෞද්ධයන් විසින් සමාජ සේවය කළ යුතු ම යි. ගිහි පක්‍ෂයට සමාජ සේවය කළ හැකි නොයෙක් ආකාර ඇත ද භික්ෂූන් වන අප එය කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ කළ ආකාරයට ආදර්ශයත් සමඟ වූ අනුශාසනාවෙනි.

ඈත අතීතයෙහි පටන් ජන සමාජය පිරිහීම් මුඛයෙන් මුදා නිවැරැදි දියුණුවෙහි යෙදීමේ මූලික වැ අනුශාසනා කළාහු භික්ෂූන් වහන්සේ ම ය. මුළු භික්‍ෂු ජීවිතය ම සමාජ සේවයට කැප වූවෙකි. ගිහි භවතුන් සමාජ සේවය කරන්නේ එක්තරා කාල පරිච්ඡේදයක් ඇතුළත පමණ ය. භික්‍ෂූන් වහන්සේ පැවිදි වූ දා පටන් අපවත් වන දා දක්වාමත් සමාජයට සේවය කරන්නෝ ය. පැවිදි වූ දාමත් දායකවරුන්ගේ දානයට වඩිති. එතැන් පටන් සැමදාමත් කරන්නේ මහජනයාගේ කටයුතු ම යි. බලවත් රෝගයක් නැත්නම් අපවත් වන දාත් එය එසේ ම ය. එය එසේ වුව ද බොහෝ භික්‍ෂූන් වහන්සේ ඉගෙනීම ලබන්නෙත් මහත් කරදරයෙනි. ජීවත් වන්නෙත් මහත් පීඩා සහිත ව ය. මුළු ජීවිතය පුදා කරන හොඳ වැඩ සඳහා ලැබෙන ප්‍රශංසාදියට වඩා එක දවසක දී සිදු වූ ප්‍රමාද දෝෂයට සමාජයෙන් නින්දා චෝදනා ලැබෙයි. එය ස්වභාවික සිද්ධියෙකි. බුදුරජාණන් වහන්සේටත් එය එසේ ම ය. භික්ෂූන් වන අප ඒවාට නො කළකිරී සමාජ සේවය කළ යුතු ම ය. එහෙත් කවර තරමේ සමාජ සේවයක් වුව ද කළයුත්තේ තමාගේ මහණකමත් රැක ගෙන ම ය. සියලු දුකින් මිදී නිවන් සුව පසක් කරනු සඳහා ය යන පැවිද්දේ පරමාධ්‍යාශයට බාධාවක් නො වන පරිදි ම ය.

ධර්මය ඉගැන්වීම භික්ෂූන් වහන්සේගෙන් සිදු විය යුතු උසස් ම සේවයෙකි. සෑම පාසලක ම ධර්මය ඉගැන්වීමට, ආගමික අංශය භාර වැ කටයුතු කිරීමට භික්‍ෂූන් වහන්සේ නමක් පත් වී සිටිනුවා නම් එයින් ඉතා උසස් ප්‍රතිඵල ලබා ගත හැකි වනුවා ඇත. එහෙත් එය කළ යුත්තේ රජයේ සේවකයකු වශයෙන් නො වැ අනුශාසකයකු වශයෙනි. ගුරුකම්, වෙදකම්, නැකැත්කම්, දේශපාලනකම් කිරීමට ලක්‍ෂ ගණන් ජනයා සිටිති. මහණකම් කරන්නට සිටින්නෝ පහළොස් දහසක් තරම වන අපි ටික දෙනා පමණ ය. මේ මහණකම අප නො කළොත් කරන්නට වෙන කෙනකුත් නැත. භික්‍ෂූන් නැති වූවොත් ශාසනයත් නැත. මේ කරුණ හොඳීන් නුවණින් සලකා බලා භික්‍ෂූන් වන අප බුදුරජාණන් වහන්සේ අනුගමනය කෙරෙමින් සමාජ සේවය කරන්නටත්, ගිහි පින්වතුන් එයට සියලු පහසුකම් සලසා දෙන්නටත් තරයේ ම ඉටා ගන්නේ නම් මැනැවි. ගිහි භවතුන්ට සමාජ සේවය කළ හැකි ක්‍රම බොහෝ ය.

සමාජයට අපකාර - කරදර නො කිරීමත් උසස් සේවයකි. බෝධි සත්ත්ව ගුණයෙකි. අන්‍යයන්ට කරදර නොවන පරිදි කතා කිරීම, ක්‍රියා කිරීම, ජීවිතය පැවැත්වීම උසස් සමාජ සේවයෙකි. අන්‍යයන්ට කරදර නොවන පරිදි ගුවන් විදුලිය යන්ත්‍ර ක්‍රියා කරවීම, පාරේ ගමන් කිරීම, රිය පැදවීම, පාඩම් කිරීම, සෙල්ලම් කිරීම උසස් සමාජ සේවයකි. වැදගත් මහත්මයකු සේ අන්‍යයන්ට කරදර නො වන පරිදි කෙළ ගැසීම පවා බුදුරජාණන් වහන්සේ ඉගැන්වූ සැටි සිහියේ තබා ගත යුතු වේ.

පාරවල් තැනීම, ඒ දඬු දැමීම, ගිලන්හල් තැනීම, බෙහෙත් වැවීම, සෙවණ පිණිස ගස් සිටුවීම, පින් පැන්තාලි තැබීම, නවාතැන් හල් තැනීම, මහජනයාගේ සුව පහසුව සඳහා මල් පලතුරු උයන් වැවීම ඉතා උසස් සමාජ සේවා ය. මෙකල ප්‍රසිද්ධ ව තිබෙන විවිධ ශ්‍රමදාන කටයුතු ද මීට ම ඇතුළත් වේ. තමන් ගුණවත් වීම ද, යහපත් වීම ද උසස් සමාජ සේවයකි. සතුන් නො මැරීම, සොරකම් නො කිරීම, කාමයන්හි වරදවා නො හැසිරීම, බොරු - කේළාම් - හිස් වචන - පරුෂ වචන නො කීම, මත්පැන් නොබීම, සූදුවෙහි නො යෙදීම, ක්‍රෝධ නො කිරීම, ඊර්ෂ්‍යා නො කිරීම ද උසස් සමාජ සේවා ය.

ආගම හොඳීන් ඇදහීම, සිල් රැකීම, භාවනා කිරීම, මවුපියන් වැදීම පිදීම, ගුරුවරුන් වැඩිහිටියන් සැලැකීම, සහෝදර සහෝදරියන්හට ප්‍රිය මනාප වැ සිටීම, නෑදෑ හිත මිතුරන් සමඟ සමගියෙන් විසීම, සියලු දෙනාට ම මෛත්‍රී කිරීම ද ඉතා උසස් සමාජ සේවා ය.

ශ්‍රේෂ්ඨතම සමාජ සේවක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන අප බෞද්ධයන් සමාජ සේවයෙහි තව තවත් යෙදිය යුතු වේ.

අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන්ට කෘතෝපහාරයක් ලෙස මෙම ලිපිය පළවේ.