Print this Article


භික්ෂූන් වහන්සේගේ වගකීම සහ වගවීම

භික්ෂූන් වහන්සේගේ වගකීම සහ වගවීම

සෑම භික්ෂූන් වහන්සේ නමක් ම විනය පිටකාගත නියමවලට අනුව සතරාකාර හික්මීමකින් හෙවත් සතර සංවර සීලයෙන් හික්මිය යුතු ය. එනම්, ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය සහ ප්‍රත්‍ය සන්නිශ්‍රිත සීලය යනුයි.

මෙයට සමගාමී පරිදි තුන් ආකාර නීති පද්ධතියකට භික්ෂුව යටත් විය යුතු ය. එනම්, විනය පිටකාගත නීතිය, රාජ නීතිය හා සමාජ සදාචාරය හා බැඳුණු නීතිය යනු යි.

තමා කෙතරම් සිල්වත් වුවත්, ගුණවත් වුවත්, චීරරාත්‍රඥ වූවත් රටේ ක්‍රියාත්මක සාමාන්‍ය නීති සියල්ලට ම භික්ෂුව යටත් විය යුතු ය. ඒ බව “අනුජානාමි භික්ඛවෙ රාජානං අනුවන්තිතුං” යන බුද්ධ නියමයෙන් ද පැහැදිලි ලෙස ම ප්‍රකට වෙයි.

රාජ්‍ය නීතියට පටහැනි ලෙස ක්‍රියා කරන භික්ෂුවට දඬුවම් නියම වන්නේ රජයේ උසාවි මඟිනි. මෙවන් අවස්ථාවල පොදුවේ භික්ෂූත්වයට සිදුවන අපහාසය, උපහාසය, අවමානය බරපතළ ය. හේතුව ඒ පුද්ගල වැරැදි පොදු සංඝ සමාජයට ම එල්ල වන බැවිනි.

ඒ නිසා රාජ්‍ය නීතිය බරපතළ ලෙස කඩ කළ අපරාධ හෝ දුරාචාර හෝ චෝදනා එල්ල වූ විට එබඳු භික්ෂුව සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විශේෂ විධිවිධානයක් මෑතක දී තෛ‍්‍රනිකායික මහානායක මාහිමියන් වහන්සේ විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

ලාංකේය සමාජය තුළ භික්ෂූන් වහන්සේ නමක් වෙත උරුම ව ඇති සම්ප්‍රදායික ගෞරවය හා පිළිගැනීමත්, උතුම් වූ බුද්ධ චීවරය පිළිබඳ බෞද්ධයන්ගේ ශ්‍රද්ධාවත් අවභාවිත කරමින් සිදු කරන නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වන සියලු භික්ෂු ප්‍රතිරූපකයන්ට නිසි දඬුවම් රාජ්‍ය අධිකරණයෙන් ලබාදීමට කටයුතු කළ යුතු බව උන්වහන්සේ රජයට උපදෙස් දී තිබේ. බුද්ධ චීවරයත්, ශාසනික අනන්‍යතාවත් අවභාවිත කරමින් විවිධ නීති විරෝධී කටයුතු කරන භික්ෂු ප්‍රතිරූපක පිළිබඳ කරුණු විභාග කර ඔවුන් භික්ෂූත්වයෙන් නෙරපා හැරීමට කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා නො පමාව රජයෙන් නෛතික ප්‍රතිපාදන සම්පාදනය කළ යුතු බවත්, අතිපූජ්‍ය මාහිමියන් වහන්සේ අවධාරණය කොට ඇත.

මාහිමියන් වහන්සේ සිදු කර ඇති මේ නිර්දේශය අතිශයින් ම විනයානුකූල ය. ධර්මානුකූල ය. මෙහිලා නිදසුන් වශයෙන් ගත යුතු දේශනය අංගුත්තර නිකායේ කේසී සූත්‍රයේ සඳහන් වෙයි.

අශ්වයන් පුහුණු කිරීමේ සුප්‍රසිද්ධ ආචාර්‍යවරයකු වූ කේසී නමැත්තාගෙන් එතරම් දක්ෂ ලෙසින් අශ්වයන් පුහුණු කරන ක්‍රමවේද ගැන බුදුරදුන් කළ විමසීමට පිළිතුරු දෙමින් අස්සදම්ම සාරථි කේසීතුමා පහත සඳහන් විස්තරය ඉදිරිපත් කරයි.

“ස්වාමීනි, මම පළමු ව ඉතා කාරුණික ලෙසින් මෘදු ලෙසින් අශ්වයා ඇසුරු කරමින් අමතමින් හික්මවීමට උත්සාහ ගනිමි. ඒ ක්‍රමය සාර්ථක නොවේ නම්, මම සැරපරුෂ අයුරින් ක්‍රියා කොට සතා හික්මවීමට උත්සාහ කරමි.”

“හොඳයි ඒ ක්‍රමවේදවලින් පලක් නොවන තැන ඔබ ඒ සතාට කුමක් කරනවා ද?” “ඒ ක්‍රමයෙන් විනයට නො පැමිණෙන්නේ නම් මම සතා මරා දමමි”

පුරිසදම්මසාරථි ගුණයෙන් යුතු බුදුරදුන් මිනිසුන් දමනය කරන්නේ හෝ හික්මවන්නේ හෝ කුමන ක්‍රමවේදයක් අනුව ද යන ප්‍රශ්නය ඊළඟට පැනනැඟෙයි. එයට පිළිතුරු දෙන බුදුරදුන් දක්වා සිටින්නේ තමන් වහන්සේ ද එකී ක්‍රමය භාවිත කරන බවයි. කරුණා මෛත්‍රී පූර්වක ක්‍රමවේද අසාර්ථක වුවහොත් “මම ද ඔහු මරා දමමි.” (හනාමි නං කේසී ති) යනුවෙන් දක්වති. “ප්‍රාණඝාතයට එරෙහි ව දම් දෙසන බුදුරදුන් කෙසේ නම් මිනිස් ඝාතනය අනුමත කරන්නේ ද? යි කේසී ඇසූ පැනයට තථාගතයන් වහන්සේ පිළිතුරු දෙන්නේ තමන් වහන්සේ මරා දැමීම යනුවෙන් අදහස් කරන්නේ අවවාද දීම්, හික්මීම් ආදී සියලු උත්සාහයන් අත්හරින බව යි. වචනයෙන් හෝ ඇසුරෙන් හෝ ඉවත් කරන බව යි.

මේ සූත්‍රාර්ථය අනුව බලන විට විනයට අනුව නො හික්මෙන, සංඝාධිකරණයට හෝ අවනත නොවන භික්ෂූන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රමවේදය වන්නේ ඒ අය අත්හැර දැමීම යි. සේවනයෙන් ඉවත් කිරීම යි. වත්මන් ව්‍යවහාරය අනුව නම් කළ යුතු වන්නේ නිකාය ලියාපදිංචිය අවලංගු කිරීම යි. ඔහුගේ නීත්‍යනුකූල භික්ෂූභාවය ඉවත් කිරීම යි. එවිට ඔහු තවදුරටත් රාජ්‍ය නීතියට අනුගත භික්ෂුවක් නොවෙයි.

වත්මන් මහානායක මාහිමියන් වහන්සේ ද අනුගමනය කර ඇත්තේ කේසී සූත්‍රාගත ක්‍රමවේදය ම මිස වෙනකක් නොවෙයි. විවිධ නීති විරෝධී ක්‍රියාවලට වැරදිකරුවන් වන භික්ෂූන් සහවාසයෙන් ඉවත් කිරීම හෙවත් භික්ෂූත්වයෙන් මරා දැමීම ධර්මානුකූල ය. විනයානුකූල ය.

පිටරට සංචාරය කරන භික්ෂූන් සඳහා විශේෂ නීති පනවා තිබීම මෙහිලා සැලකිය යුතු කරුණකි. භික්ෂූත්වයට හිමි ගෞරවනීය බව විශේෂ සැලකිල්ල අවභාවිත කරමින් ඇතැම් භික්ෂූන් කළ නීති විරෝධී ක්‍රියා එසේ නව නීති පැනවීමට හේතු වී ඇත. එය නිවැරැදි ය. නමුත් එසේ භික්ෂුන්ට පමණක් විශේෂිත නීති පැනවීම “මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්” ලෙසින් හුවා දක්වන සමහරු කරුණු නිර්දය විවේචනයට යොමු කරති. නමුත් සත්‍ය නම්, ධර්මානුකූල නිගමනය නම් භික්ෂුවට මානව හිමිකම් කියා කිසිවක් නැති බව යි. භික්ෂුවක් පැවිදි බවට ඇතුළත් වන්නේ තමා උපතින් ම ලද ප්‍රජාතාන්ත්‍රික අයිතීන් හා මානව හිමිකම් සිය කැමැත්තෙන් ම ප්‍රතික්ෂේප කරමිනුයි. එසේ කිරීම ජීවිත පරිත්‍යාගයකි. ඒ මහා පරිත්‍යාගයට උපහාර ගෞරව වශයෙන් ගිහි සමාජය භික්ෂුවට ප්‍රත්‍ය පහසුව සපයයි.

තමාගේ ජීවිත පරිත්‍යාගය උසුලා ගත නොහැක්කක් බව යම් විටෙක වැටහේ නම් හෝ මානව හිමිකම් විඳ ගැනීමට අවශ්‍ය යැයි යම් විටෙක භික්ෂුවකට හැඟෙන්නේ නම් හෝ ඒ ඕනෑම අවස්ථාවක ඔහුට සිවුරෙන් බැහැර විය හැකි ය. උපැවිදි විය හැකි ය. ධර්මානුධර්ම ප්‍රතිපදාව, විනයානුකූලකම, සිල්වත්කම ආදී උත්තරීතර අංග කෙසේ වෙතත් අවම තරමින් ආචාරශීලී ශිෂ්ටසම්පන්න භාවයෙන්වත් යුතු ලජ්ජී, ප්‍රියශීලී භික්ෂු සමාජයක් දක්නට කැමති සාසනස්ථිතිකාමීන් ඍජු ලෙස ම කිවයුතු වන්නේ “මානව හිමිකම් ගරු කරන, වඩ වඩාත් නිදහස් සුව පතන ඇත්තෝ චීවරයෙන් බැහැර ව එකී සුවයෙන් සැතපෙත්වා!” යනුවෙනි. යා දෙක නොරත රත සමඟ පෑහීමක් නැත සේ ම රැවුලත් කැඳත් දෙක ම එකවර රැක්ම නො කළ හැක්කක් වන බැවිනි.