සත්පුරුෂ භූමියේ ශ්‍රාවක රැකවරණය
සීලය යි
ශාස්ත්‍රපති
රත්ගම සුනීත හිමි
ගෞතම බුදු සසුනේ පිහිට, පිළිසරණ ලබා ගන්නට භූමියක් අවශ්‍ය වෙනවා. අපේ ජීවිතයේ ඉතිරි
කටයුතු සම්පූර්ණ කරගන්නේ. භූමිය පිහිට පිළිසරණ කරගෙනයි.
ඒ ආකාරයට බුදු රජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරගන්නට කැමැති කාන්තාවක් වේවා,
පුරුෂයෙක් වේවා ඒ සඳහා භූමියක් සකසා ගන්න ඕන. ඒ තමා සීලය. සීලයේ පිහිටලයි සියල්ලම
කරන්න ඕන. ඒ නිසා අපි බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය අවංකව ම සරණ ගොස් සීලයේ
පිහිටන්නට වෑයම් කළ යුතු වෙනවා.
මුසාවාදයෙන් වැළකීමේ සිල්පදය ගැන අද අපි විශේෂයෙන් සාකච්ඡා කරන්නේ, අපේ සමාජයේ කුඩා
දරුවාගේ සිට මහල්ලා දක්වා හිතුමනාපේ මේ සිල් පදය කඩා බොහෝ අකුසල් සිදුකර ගන්නා
නිසයි. පවට කිසිදු ලැජ්ජාවක් බයක් නැතිව, පුංචි පුංචි හේතුවලටත් විශාල බොරු කියන්න
බොහෝ දෙනා පුරුදු වෙලා ඉන්නවා. සමහර විට ඒ අයට තවම ධර්මය අසන්නට ලැබී නැති නිසා හෝ
කල්‍යාණ මිත්‍ර සම්පත්තියක් නොලැබුණු නිසා බොරු කීමේ විපාක අසන්නටත් ලැබී නැතිව
ඇති.
ඇතැම් පිරිස් නිරන්තරයෙන් බොරු කියමින් ජීවිතයට අකුසල් රැස්කර ගන්නවා. ඒ වගේම
අනවශ්‍ය පිරිසක් සමඟ අනවශ්‍ය කතාවට වැටී කාලය ගෙවමින් අකුසල් කර ගන්නා පිරිසකුත්
අපි අතර ඉන්නවා. පිරිමි අය වගේම කාන්තාවනුත් තමන්ගේ ජීවිතේ බොහෝ ඉලක්ක කරා යන්න,
බොහෝ බලාපොරොත්තු ඉෂ්ට කර ගන්න කටට එන එන බොරුව කියනවා. කිසිදු බයක් තැතිගැනීමක්
නැහැ. “අනේ මට මේ බොරු කීමෙන් අකුසලයක් සිදු වෙනවා. එහි විපාකය මට ගෙවන්න වෙනවා”
කියා හිතන්නේ නැහැ. දැනගත්තත් ලැජ්ජාවක් නැහැ.
සමහර විට මේ බොරුව කියන්නේ රැකියාවක් ගන්න, රැකියාවේ උසස් වීමක් ගන්න, නැතිනම් තව
කෙනෙක් සමඟ තිබෙන ඊර්ෂ්‍යාවට ආදි නොයෙක් කරුණු නිසයි. මොන රැකියාව කළත් අවුරුදු 55
- 60 වෙනකොට ඒ ජීවිතයෙන් විශ්‍රාම යන්න ඕන කියලා අප තේරුම් ගන්න ඕන. බොරුවක් කියා
ලබා ගන්නා රැකියාව, කේළාම් කියමින් සොයන උසස්වීම ලාභ සත්කාර ටික දවසටයි කියා
අවබෝධයක් නැහැ. පින් පව් ගැන දන්නේ නැති නිසා ම අසරණයි. ඇතැම් දෙනා දන්නේ මේ ජීවිතය
සාර්ථක කරගන්නා ආකාරය පමණයි. ඒ නිසා ම තමන්ගේ දරුවා පාසලට දාගන්න විශාල බොරු
කියනවා. බොරුවට සහතික හදනවා. තමන්ගේ දරුවා ළඟට ගෙන පුංචි කාලේ ම බොරු කියන්න කියා
දෙනවා.” “ප්‍රින්සිපල් සර් හරි, ටීචර් හරි ඇහුවොත් ඔයා මෙහෙම මෙහෙම කියන්න” කියා
කිසිවක් දන්නේ නැති අහිංසක පොඩි දරුවාට මවුපියෝ තමයි මුලින් ම බොරුව කියා දෙන්නේ.
එදා සිට දරුවා කිසිදු ලැජ්ජාවක් බයක් නැතිව බොරු කියනවා. ඊට පස්සේ ඒ දරුවා කියන
බොරු පාලනයකින් තොරව සිදු වෙනවා. ඒ දෙයට වගකිවයුත්තෝ මවුපියන්. බොරු කියලා
ජනපි‍්‍රය පාසලකට දරුවා ඇතුළත් කළත්, ඒ වැඩිහිටි සහ දරුවයි දෙන්න ම කුසලය ඉදිරියේ
පරාදයි.
ඒ වගේම අපේ රටේ බොහෝ අම්මලා දරුවන් කුඩා කාලයේ දී ඒ දරුවාට කෑම ටික කවා ගන්න බොහෝම
ලස්සනට බොරු කියනවා. ඇය දන්නේ නැහැ අපට සංස්කෘතිකමය වශයෙන්, ආගමික වශයෙන් ලස්සන
පුංචි කතා තිබෙනවා කියා. ඒ සියල්ල පැත්තකට දාලා කිසිවක් දන්නේ නැති දරුවාට මේ ලෝකයේ
කිසිදා සිදු නොවු, සිදු විය නොහැකි දේ කතා ලෙස කියා දෙනවා. ඒ කතා අසන පුංචි දරුවා
දකින ලෝකය ඉතා සුන්දරයි. එහිදීත් ඒ අම්මායි දරුවාගේ ජීවිතයට වගකියන්න ඕන.
මේ ආකාරයට අකුසලයක් ගැන නොසිතා තමන්ගේ ජීවිතයේ ඉලක්ක සපුරා ගන්න වෙහෙසෙන කාන්තාවට
දුගතියක් මරණින් පසු මුණගැසෙනවා කියා නො සිතීම පුදුමයක්. බොහෝ කාන්තාවන්, අම්මලා
රැකියා ස්ථානයේ දී ත් බොරු කියනවා. ගෙදර දොර කටයුතු කරද්දී ත් බොරු කියනවා. දරුවෝ
ඉදිරියේත්, ස්වාමියා ඉදිරියේත් බොරු කියනවා. බොරුව තමාගේ ජීවිතයේ සාමාන්‍ය දෙයක්
කරගන්නවා කියන එක අභාග්‍ය සම්පන්න දෙයක්. භාග්‍යවතුන් වහන්සේ වදාළා යම් කෙනකුට
බොරුවක් කියන්න පුළුවන් නම් එයාට කරන්න බැරි පාපයක් නැහැ කියලා. මේ බොරුව කියන්නේ
කො තරම් භයානක දෙයක් ද, බොරුව නිසා කුසලය කො තරම් නම් අපේ ජීවිතයෙන් ඈත් වෙනවා ද
කියා සඳහන් වන ලස්සන බුද්ධ දේශනාවක් තිබෙනවා. ඒ අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය. ඒ
දේශනාව වදාළේ රාහුල ස්වාමින් වහන්සේට යි.
දිනක් භාග්‍යවතුන් වහන්සේ වැඩිය අවස්ථාවක රාහුල තෙරුන් වහන්සේ පැන් බඳුනක් සූදානම්
කර උන්වහන්සේගේ දෙපා සේදුවා. භාජනයේ ඉතිරි ජලය දුටු භාග්‍යවතුන් වහන්සේ වදාළා
“පින්වත් රාහුල, මේ භාජනයේ ජලය ටිකයි නේද ඉතිරිව තිබෙන්නේ? රාහුල, ඒ වගේ යම් කෙනෙක්
බොරු කියනවා නම් ඔහුගේ ජීවිතයේ ගුණධර්ම ටිකයි පුරුදු කරන්න පුළුවන් වෙන්නේ,” ඊට
පස්සේ භාග්‍යවතුන් වහන්සේ ඒ භාජනයේ ජලය විසි කර වදාළා.
“මේ ජලය ටික වීසි කළා වගේ තමයි යම් කෙනෙක් නිතර දැන දැන බොරු කියනවා නම් වතුර ටික
විසි කළ හිස් භාජනය වගේ. මේ පුද්ගලයා දියුණු වෙන්න තිබෙන හැම ගුණධර්මයක් ම වීසි කළා
වෙනවා” කියලා. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ අර හිස් භාජනය මුනින් අතට නැමුවා.
“පින්වත් රාහුල, මුනින් අතට නැමූ මේ භාජනයට ජලය කො තරම් දැම්මත් භාජනය පිරෙන්නේ
නැහැ. ඒ වගේ දැන දැන බොරු කියන පුද්ගලයා කො තරම් ධර්මය ඇසුවත්, කො තරම් ගුණධර්ම
වඩන්නට මහන්සි වුණත් බොරු කියනවා කියන කාරණය හේතු කරගෙන ගුණයක් වඩන්නට බැහැ” කියා
වදාළා. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ අර හිස් භාජනය උඩ අතට හරවා
“පින්වත් රාහුල, කෙනෙක් දැන දැන බොරු කියනවා නම් ඔහුගේ ජීවිතය මේ හිස් භාජනය වගේ
සම්පූර්ණයෙන් ම හිස් ජිවිතයක්.” යැයි වදාළා.
ඒ නිසා ඔබ බොරුවක් කියන විට හිතන්න ඕන’ මේ බොරුව කියන්න මට පුළුවන් නම් මගේ අතින්
ඕනෑ ම වරදක් වෙන්න පුළුවන්. මම පවට බය, ලැජ්ජාව නැති කෙනෙක් නේ, ලාභ සත්කාරවලට යට
වූ කෙනෙක් නේ’ කියා තමා ගැන ම අනුකම්පාවක් ඇතිකර ගන්න. ඒක හරියට තමා ළඟ තිබෙන
රත්‍රන් භාජනය, රිදී භාජනය අත් හරිනවා, නො වටිනා දෙයක් අල්ලා ගන්නවා වගේ දෙයක්. ඒ
වගේ පුංචි බොරුවෙන් නිරයේ යන අකුසලයක් පවා සිදු වෙන්න පුළුවන්.
ඒ වගේ ම අපේ සමාජයේ තවත් පිරිස නො දැන කරන පව්වලට විපාක නැහැ කියන මතයේ ඉන්නවා.
‘දරුවෙක් පාසලට දාගන්න බොරුවක් කිව්වට මොකක්ද වෙන්නේ? ඒ වගේ දෙයකට කොහොමද ලොකු පවක්
රැස්වෙන්නේ? ‘කියා හිතනවා. ඒ වගේම ප්‍රශ්නයක් මිළිඳු රජතුමා නාගසේන රහතන්
වහන්සේගෙන් ඇසුවා.
‘ස්වාමීනි, යම් කෙනෙක් නොදැන කරන පවේ ද විපාකය වැඩි, නැත්නම් දැන දැන කරන පවේ ද
විපාක වැඩි?” කියලා. නාගසේනයන් වහන්සේ වදාළා.
“මහරජ, යම් කෙනෙක් නො දැන මේ පව කළා කියලා පව් රැස් නොවී තිබෙන්නේ නැහැ. නො දැන කරන
පවට තමයි කර්මය බලවත් වන්නේ. රජතුමනි, යම් කෙනෙක් ගිනි ගුළියකට
නො දැන අත දානවා. තමන් නො දැන කළා කියා අත පිච්චෙන්නේ නැතිව තිබෙන්නේ නැහැ. ඒ අත
පිච්චෙනවා ම යි.”
එහෙම නම් අද කාලේ බොරුවක් කියලා. “අපි විහිළුවටයි ඒ බොරුව කිව්වේ, ඉඳහිට පොඩි
බොරුවක් කිව්වාට මොකද වෙන්නේ?” ආදිය කියමින් තමන්ගේ සිත සනසා ගන්නට උත්සාහ කළත්
ඔවුන්ට විපාකයෙහි නම් අඩුවක් වෙන්නේ නැහැ.
ධර්මය නො දන්නා නිසා දෙතිස් කතාවට වැටුණාට පස්සේ ඇතැම්දෙනා විශාල වශයෙන් කරන දෙයක්
තමයි මේ බොරු කීම. තමන්ට පුළුවන් නම් දිවි හිමියෙන් බොරුවක් කියන්නේ නැතිව ඉන්න,
එකයි වටින්නේ. එක බොරුවක් වහන්න තව බොරු දහයක් කියන්න ඕන කියලා සමාජයේ කතාවක්
තිබෙනවා. ඒ නිසා, “මම සත්‍ය වචන පමණක් කතා කරනවා” කියා අධිෂ්ඨානයක් ඇති කර ගන්න. එය
බොහොම අමාරු කාර්යයක් වෙන්න පුළුවන්. නමුත් පවට බය නම් දුක් විපාක විඳින්න අකැමැති
නම් බොරු නොකියා ඉන්න උත්සාහ කරන්න. |