Print this Article


ධාර්මිකත්වය ලෝකයේ පැවැත්මට හේතුවයි

ධාර්මිකත්වය ලෝකයේ පැවැත්මට හේතුවයි

ජීව හා අජීව වස්තූන්ගෙන් යුත් මේ මහා පෘථිවියට අපි ලෝකය යැයි කියමු. එහි පැවැත්ම ඉතා විචිත්‍රය.

ජීව වස්තූන් අජීව ද්‍රව්‍යයන් කෙරෙහි බලපාන හැටි විස්මයජනකය. මිනිසා ගුණ දහමින් පිරිහෙත්ම වෘක්ෂලතාවන්ගේ පවා රස ගුණ අඩුවන බව ධර්ම කතාවලින් පෙනේ. සත්වයන් හා ද්‍රව්‍යයන් අතර පවතින අපට නොපනෙන මේ සම්බන්ධය කුමක්ද? මේ අදෘශ්‍යමාන ශක්තිය “ධර්ම” යන වචනයෙන් කියන දෙය මිස අනිකක් නොවේ. මෙය තේරුම් ගැනීමට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද චක්කවත්තී සීහනාද සූත්‍රය ඉතා හොඳ නිදසුනකි. ලෝකයේ පාපකර්ම වැඩිවන්න, වන්න මිනිසා ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් හා ප්‍රඥාවෙන් පිරිහෙන හැටිත්, පව් අඩුවෙන්න, වෙන්න ඒවායින් දියුණු වන සැටියත් එහි විසිතුරු ලෙස දැක්වේ.

සක්විතිවත් පිරූ චක්‍රවර්තී රජවරුන් ලොව පහළවන කාලයෙහි මිනිසාගේ පරමායුෂ අවුරුදු අසූ දහසක් වෙයි.

මේ සමයෙහි පස්පව් දස අකුසල් ලොව ඇත්තේම නැත. සක්විති රජය හිමිවන්නේ එනම්, චක්‍රරත්නය පහළ වන්නේවත් පිරූ වහුට මිස පිය උරුමයෙන් නොවේ. එක් සක්විති රජෙකු සිරිත් පරිදි දෙටු පුතුට රජය භාරදී පැවිදි වූ කල අලුත් රජු පිළිවෙළට නොව සිය මතය අනුව පාලනය කළේය. ජනපද වැස්සෝ ස්වෛරී වූහ. මැති ඇමැතිවරු තුමූ සක්විතිවත් දරමුයි කියා සිටියෙන් රජ ඔවුන්ට රක්ෂාවරණ සංවිධානය කළේය. එහෙත් නිර්ධන අයට ධනය නුදුන්නේය. කල්යත්ම දිළිඳුකම රටපුරා බහුල වී ගියේය.

මෙසේ ලෝකයෙහි පව් වැඩි දියුණුවත්ම මනුෂ්‍යයන්ගේ ආයු වර්ණාදියද පිරිහී ගොස් අවුරුදු දහය පරමායුෂ වන සමයක්ද ඇති වන්නේය. ඒ බව බුදුරජාණන් වහන්සේ

“භවිස්සති භික්ඛවෙ සො

සමයො යං ඉමෙසං

මනුස්සානං දසවස්සා

යුකා පුත්තා භවිස්සන්ති” යි වදාළහ.

මේ දසවර්ෂායුෂ්ක මිනිසුන්ගේ ස්වභාවය මෙසේය. පස්වන වියේදී කසාද බඳිති. මෙකල පස්ගෝරස හා මී පැණි, හකුරු, ලුණු යන රස අතුරුදන් වෙයි. මොවුන්ගේ ප්‍රධාන ආහාරය අමු. දසකුසල කර්ම මුළුමනින්ම අතුරුදන් වෙයි. දස අකුසල් බැබළේ. “කුසල්” යන වචනය පවා නැතිවන්නේය. මවුපියන්ට, වැඩිමහල්ලන්ට නොසලකන්නෝම සැලකිය යුත්තෝද ප්‍රශංසනීයෝද වෙත්. මවය, නැන්දාය, කුඩම්මාය, ගුරු, භාර්යාවය යන විශේෂයක් ඔවුන් අතර නැත. මොවුහු එළු, බැටලුවන්, ඌරන්, කුකුළන්, සුනඛයන්, බළලුන් ආදී තිරිසනුන් මෙන් හැසිරෙති. ඔවුනොවුන් කෙරෙහි මේ මිනිසුන්ගේ තියුණු ක්‍රෝධයක්, වෛරයක් පවතින්නේය. මවු පුතුන්, පිය පුතුන් සහෝදර සහෝදරියන් මුවා දුටු දඩයක්කාරයා කෙරෙහි මෙන් ඔවුනොවුන් අතර ආඝාතයක් ඇති වන්නේය. මොවුන් අතර තියුණුූ අවි ආයුධ පහළ වී මෘග සංඥාවෙන් සත්දිනක් ඇන කොටා ගැනීමක් ඇතිවන්නේය. ඔවුනොවුන් මරා ගන්නේය.

මේ අතර මොවුන්ගෙන් ඇතැම් කෙනෙක් “අපි කිසිවෙකු නොමරමු. කිසිවෙක් අප නොමරාවා, අපි වන ගහනයකට හෝ කඳුකරයකට හෝ ගොස් වනමුල් පලාපලවලින් සත්දින ජීවත්වෙමු. නම් යෙහෙකැ’යි වනගත වෙත්. සත්දින ගතවූවායින් පසු ඔවුහු එළියට පැමිණ ඔවුනොවුන් වැලඳ ගෙන සැනසී “පව්කම්හි යෙදුණු නිසා අපට මෙබඳු ඤාති ව්‍යසනයක් වූයේය. මින් පසු අපි “කුසල් කරමු” කියා ගනිති.

මෙසේ පවතිද්දී මිනිසෙක් සොරකමක් කළේය. ඔහු ගෙන රජුවෙත ඉදිරිපත් කළෙන් රජ තෙම නුඹ සොරකම් කළේ ඇයිදැ’යි ඔහුගෙන් ඇසීය. ජීවත්වන්නට නොහැකි හෙයිනැ”යි ඔහු කී විට රජ ඔහුට ධනය දී “අඹු දරුවන් සමඟ හොඳින් කා බී එයින් ජීවත්වන්න යැයි කියා මුදා හැරියේය. ටික දිනකට පසු තවෙකෙක් එසේම සොරකමක් කෙළේය. රජු ඔහුට ද ධනය දී මුදා හැරියේය. මෙය ඇසූ මිනිස්සු රජුගෙන් ධනය ලබා ගැනීමට සොරකම් කරන්නට පටන් ගත්හ. ධනය දෙන්ට දෙන්ට හොරකම වැඩිවන බව රජුට පෙනී ගියේය. මෙය මුල් සිඳිය යුතුයැයි සිතූ රජු සොරකුගේ හිස සිඳීමට නියම කළේය. මෙය ඇසූ මිනිස්සුද තියුණු ආයුධ සාදාගෙන හොරුන් අල්ලා තුමුද මරන්නට පටන් ගත්හ. මෙයින් ලෝකයේ ප්‍රාණ ඝාතයද පහළ විය. මෙසේ ප්‍රාණ ඝාතයද වැඩි දියුණුවී පැතිරී යත්ම මිනිසුන්ගේ ආයුෂ ද වර්ණය ද පිරිහී ගියේය.

අසූ දහසක් ආයුෂ වූ මිනිසුන්ගේ දරුවෝ පව් වැඩෙත්ම සතළිස් දහසක් පරමායුෂ ඇත්තෝ වූහ. සොරකම් කළත් මෙතෙක් ඔවුහු බොරු නොකීහ. දිනක් රජ සොරකම් කළේ සැබෑදැයි සොරකුගෙන් ඇසූ කල්හි නැතැ’ යි ඔහු මුසාවක් කීය. මෙයින් ලොව මුසාවාදයද පහළ විය. බොරුව වැඩෙත්ම මිනිසුන්ගේ ආයුෂ විසිදහස දක්වා බැස්සේය. ක්‍රම ක්‍රමයෙන් කේළාම් කීම පැතිරී යත්ම දස දහස දක්වා ද කාම මිථ්‍යාචාරය පැතිරෙත්ම පන්දහස දක්වාද පරුෂ වචනය හා සම්ඵප්‍රලාඵය පැතිරෙත්ම දෙදහස්පන්සියය දක්වාද, අභිධ්‍යා ව්‍යාපාද පැතිරෙත්ම දහස දක්වාද මිථ්‍යා දෘෂ්ටිය පැතිරෙත්ම පන්සීය දක්වාද, අධමරාගය, විෂමලෝබය, මිථ්‍යා ධර්ම පැතිරෙත්ම දෙසිය පනහ දක්වාද, මවුපිය පූජක වැඩිමහලු අයට නොසැලකීම පැතිරෙත්ම අවුරුදු සියය දක්වාද මිනිසාගේ පරමායුෂ පිරිහුණේය. දැන් පවතින්නේ මේ පිරිහීම් අවධියයි.

වනගත වී ඇනකොටා ගැනීමෙන් බේරුණූ දශවර්ෂායුෂ්ක මිනිස්සු මරාගැනීම් නිසා සිය නෑයන් වැනසුණු හැටි වටහාගෙන පළමු කොට ප්‍රාණ ඝාතයෙන් වෙන්වීමට තීරණය කරන්නෝය. මේ කුසල හේතුවෙන් ඔවුන්ගේ ආයුෂ වැඩිවේ. වර්ණය වැඩිවේ. දරුවෝ විසි අවුරුද්දක් පරමායුෂ ඇත්තෝ වෙති. මේ දරු පරපුරේ අය සොරකම් කිරීමෙන්ද වෙන්වෙති. එනිසා ඔවුන්ගේ දරුවෝ සතළිස් අවුරුදු පරමායුෂ ඇත්තෝ වෙති. මේ ක්‍රමයෙන් අනාගත දරු පරම්පරාවෝ කාම මිථ්‍යාචාරය මුසාවාදාය ආදී යට කී පාපධර්මයන්ගෙන් වෙන්වෙමින් කුසල ධර්මයන් කරමින් ගුණ දහමින් දියුණුවීම හේතුකොට ගෙන පරමායුෂද අසුව, සීය ආදි වශයෙන් වැඩී ගොස් වර්ෂ අසූදහස පරමායුෂ වන තැනට හැඟීයන්නේය. මුලින් කී පරිදි ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ආදියෙන් අනූන වන මේ සමයෙහි චක්‍රවර්තී රජවරු පහළ වන්නේය. සර්වප්‍රකාරයෙන්ම සමෘද්ධිමත් වන ලෝකයෙහි අග්‍රරාජධානිය වන්නේ දඹදිව “කේතුමතී” නම් නගරයයි. මෙහි “මෙත්තෙය්‍ය” නම් සර්වඥයන් වහන්සේ පහළ වන්නෝය.

ලෝකයේ නැඟීම හා බැසීම පිළිබඳ මේ ධර්මානුගත විස්තරයෙන් පැහැදිලි වන්නේ මිනිසාගේ සිතුම් පැතුම් හා වැඩ කටයුතු යම් තරමට කෙලෙස් සහගත නම් ඒ තරමට භෞතික වශයෙන්ද පිරිහෙන බවය. ද්‍රව්‍යවල රසගුණ අඩුවන්නාක් මෙන්ම මිනිසා ආයු වර්ණාදියෙන්ද පිරිහෙන බවය. එසේම සමාජය පාප ප්‍රවාහයට අසුවෙද්දීත් යමෙකුට කෙලෙස් අඩු කරගත හැකි නම් විචාරශීලිව කටයුතු කළ හැකි නම් බොහෝ සෙයින් ඒ අයට බේරී සිටිය හැකි බවය. ඒ බේරී සිටීම, ඉහිලීම, දැරීම සිදුවන බලවේගය, ‘ධර්මය’ නමින් අපි හඳුන්වමු.

දුකට වැටෙන සත්ත්වයන් වැටෙන්ට නොදී දරන්නේ ධර්මයයි. එනිසා දුකට නොවැටීමට නම් සියල්ලෝම ධාර්මික වෙත්වා.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ නිර්මාතෘ හෑගොඩ ඛේමානන්ද නාහිමියන්ගේ ලිපි ලේඛන ඇසුරිණි.