මුදිතා භාවනාව පුරුදු කරමු
ශාස්ත්‍රපති
රත්ගම සුනීත හිමි
මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව ‘සතර බ්‍රහ්ම විහරණ’ කියා හඳුන්වන්නේ ඒවා
බ්‍රහ්මයන් තුළ පවතින සුවිශේෂි ගුණධර්ම නිසයි. මනුෂ්‍යයන් වශයෙන් අපත් නිතර නිතර
බහුල වශයෙන් මේ කරුණූ අපේ ජීවිතවල දියුණු කර ගත්තොත් මරණින් මතු බ්‍රහ්ම ලෝකයක උපත
ලබන්නට අපටත් පුළුවනි. බඹ ලොවදී තවදුරටත් ධර්ම මාර්ගය දියුණුූ කරගෙන ධර්මාවබෝධ
කරන්නත් පුළුවනි.
අන් අයගේ ආර්ථික, ආධ්‍යාත්මික දියුණුව දැක එය අනුමෝදන් වෙමින් එයට හදවතින්ම
ආශීර්වාද කරමින්, ඒ කෙරෙහි ඇතිකර ගන්නා සතුට, මුදිතාව කියා හඳුන්වනවා. මුදිතාව
නැතිනම් එතැන හටගන්නේ ඊර්ෂ්‍යාව නම් බලවත් දුර්විපාක ගෙන දෙන අකුසල් ස්වභාවය යි.
නමුත් මුදිතාව ඇති කෙනා තව කෙනෙක් ධාර්මිකව ධනය රැස්කරගෙන ඉඩකඩම්, ගෙවල් දොරවල්
හදාගෙන දියුණු වෙලා ඉන්නකොට ඒ ගැන සතුටු වෙනවා. ඒ වගේ ම අන් අය හොඳින් ඉගෙන ගන්නවා
නම්, හොඳ රැකියාවක් කරනවා නම්, හොඳ සමාජ පිළිගැනීමකට ලක්වෙනවා නම්, ලස්සනට
ක්‍රමානුකූලව ජීවත් වෙනවා නම් ඒ සෑම කරුණක දී ම සිතේ සතුටක් ඇතිකර ගන්න අපි
දක්ෂවෙන්න ඕනෑ. එවිට අපේ ජීවිතවලට උතුම් පින් රැස් වෙනවා. එම පින ඒ සම්පත් අපට ද
ලැබීම පිණිසත් කර්මානුරූපව උපකාරී වන අයුරින් පිනක් බවටත් පත්වෙනවා. කුසල් අකුසල්
ගැන අවබෝධයක් නැති සමහරු තවත් කෙනකුගේ ලස්සන රූපයට ඊර්ෂ්‍යා කරනවා. එවැනි අකුසල්
සිතිවිලි බැහැර කරලා මුදිතාව ඇතිකර ගන්නට අපි මහන්සි වෙන්න ඕනෑ. අන් අය තුළ ගුණධර්ම
දියුණු වන විටත් අපි ඒ කෙරෙහි සතුටු වෙන්න ඕනෑ. ඒ කියන්නේ තව කෙනෙක් හොඳින් දන්
පැන් පූජා කරද්දී, හොඳ දහම් දැනුමක් ඇතිකර ගනිද්දි අපි හදවතින් ම එයට ආශීර්වාද
කරන්න ඕනෑ. තව කෙනෙක් මිහිරි හඬින් තෙරුවන් ගුණ කවි කියනවා නම්, ලස්සනට ධර්මය දේශනා
කරනවා නම් ඒ ගැන සතුටු වෙන්න ඕනෑ. ඒ හැම විට ම අප තුළ මුදිතාව දියුණු වෙනවා.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ අරතිය හෙවත් කුසල් දහම්වල සිත නො ඇලෙන ගතිය
දුරු කර ගන්න මුදිතාව වඩන්න කියලයි. මුදිතාව දියුණුකර ගත්තොත් කුසල් දහම්වල සිත
අලවාගෙන නිරාමිස සතුටින් කාලය ගත කළ හැකි යි. මුදිතාව භාවනා වශයෙන් දියුණු කිරීමෙන්
ඇතිකර ගන්නා චිත්ත සමාධිය මුදිතා චේතෝ විමුක්තිය කියා හඳුන්වනවා. මුදිතා චේතෝ
විමුක්තියත්, මහග්ගත, අප්පමාණ යන ක්‍රම දෙකෙන් ම දියුණු කළ හැකි යි.
මහග්ගත චේතෝ විමුක්තිය ටිකෙන් ටික ප්‍රදේශය පුළුල් කරමින් පැතිරවිය හැකියි.
අප්පමාණ චේතෝ විමුක්තියේ දී පළමුව තමන්ට මුදිතාව වඩා ඉන්පසු, උතුරු දිශාව, උතුරු
අනුදිශාව ආදි වශයෙන් දස දිශාවට ම මුදිතාව පැතිරවිය හැකි යි. ඒ තුළින් මුදිතා ධ්‍යාන
උපදවා ගන්නත්, එම ධ්‍යාන තුළ පිහිටා විදර්ශනා වඩා මාර්ගඵල අවබෝධ කර ගන්නටත් හැකියාව
ඇති බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. එම නිසා අපි කවුරුත් එදිනෙදා ජීවිතයේ දී
මුදිතාව දියුණුකර ගැනීමටත්, භාවනාවක් වශයෙන් ප්‍රගුණ කර ගැනීමටත් උත්සාහවත් වෙමු.
මහග්ගත චේතෝ විමුක්තිය වඩන හැටි.......
මම ආයුෂයෙන් වැඩෙම්වා.......! බලයෙන් වැඩෙම්වා......! වර්ණයෙන් වැඩෙම්වා...!
සැපයෙන් වැඩෙම්වා! යසසින් වැඩෙම්වා..............! කීර්තියෙන් වැඩෙම්වා.........!
ප්‍රඥාවෙන් වැඩෙම්වා!
මා මෙන් ම මේ නිවෙසේ සිටින සියලු දෙනා ම.....
මා මෙන් ම මේ ගමේ සිටින සියලු සත්ත්වයෝ........
මා මෙන් ම මේ නගරයේ සිටින සියලු සත්ත්වයෝ.....
මා මෙන් ම මේ පළාතේ සිටින සියලු සත්ත්වයෝ.....
මා මෙන් ම මේ රටේ සිටින සියලු සත්ත්වයෝ.........
මා මෙන් ම මේ ලෝකයේ සිටින සියලු සත්ත්වයෝ......
මා මෙන් ම මේ සියලු සත්වයෝ ම ආයුෂයෙන් වැඩෙත්වා.......! බලයෙන් වැඩෙත්වා.......!
වර්ණයෙන් වැඩෙත්වා.......! යසසින් වැඩෙත්වා.......! කීර්තියෙන් වැඩෙත්වා..........!
..........ප්‍රඥාවෙන් වැඩෙත්වා!
අප්පමාණ චේතෝ විමුක්තිය වඩන හැටි......
මම ආයුෂයෙන් වැඩෙම්වා.....! බලයෙන් වැඩෙම්වා......! වර්ණයෙන් වැඩෙම්වා......!
සැපයෙන් වැඩෙම්වා.....! සැපයෙන් වැඩෙත්වා.........! ............යසසින්
වැඩෙම්වා..........! කීර්තියෙන් වැඩෙම්වා........! ප්‍රඥාවෙන් වැඩෙම්වා.......!
උතුරු දිශාවේ සිටින සියලු සත්ත්වයෝ....
උතුරු අනු දිශාවේ සිටින සියලු සත්ත්වයෝ.......
නැඟෙනහිර දිශාවේ සිටින සියලු සත්ත්වයෝ.......
නැඟෙනහිර අනු දිශාවේ සිටින සියලු සත්ත්වයෝ.......
දකුණු දිශාවේ සිටින සියලු සත්ත්වයෝ.......
දකුණු අනු දිශාවේ සිටින සියලු සත්ත්වයෝ.......
බටහිර දිශාවේ සිටින සියලු සත්ත්වයෝ.........
බටහිර අනු දිශාවේ සිටින සියලු සත්ත්වයෝ........
උඩ දිශාවේ සිටින සියලු සත්වයෝ.......
යට දිශාවේ සිටින සියලු සත්ත්වයෝ ආයුෂයෙන් වැඩෙත්වා.....! බලයෙන් වැඩෙත්වා.......!
වර්ණයෙන් වැඩෙත්වා....! සැපයෙන් වැඩෙත්වා...! යසසින්
වැඩෙත්වා.......!............කීර්තියෙන් වැඩෙත්වා..........! ප්‍රඥාවෙන්
වැඩෙත්වා........! |