Print this Article


උපාසක පරිහානියට හේතු...

උපාසක පරිහානියට හේතු...

උපාසකයකුගේ හෝ උපාසිකාවකගේ පරිහානියට තුඩු දෙන කරුණු ද මහා කාරුණික සර්වඥයන් වහන්සේ ඇති සැටියෙන් දෙසූ සේක.

සද්ධර්ම ශ්‍රවණයට පමා වීම පරිහානි කාරණයකි. අධිශීලයෙහි නො හික්මීම පරිහානියට කරුණකි. ස්ථවිර, මධ්‍යම, නවක භික්ෂූන් කෙරෙහි අප්‍රසාද බහුලව විසීම පරිහානි මුඛයෙකි. උපාරම්භ චිත්තයෙන් යුක්තව සිදුරු සොයනු කැමැතිව බණ ඇසීම පරිහානි මුඛයෙකි. සම්බුදු සස්නෙන් බැහැර වෙනත් මිථ්‍යාදෘෂ්ටික ශාසනයන්හි දක්ෂිණාර්හයන් සෙවීම පරිහානිකර ධර්මයකි. ඒ මිසදිටු ආගම්වලට හැමට පළමු සත්කාර කිරීම පරිහානියට කාරණයකි.

මේ උපාසකයකුගේ පිරිහීමට ඇති දොරටු සතයි. මෙ සතින් වෙන් වූයේ නම් ලෞකික ලෝකෝත්තර ගුණ වෘද්ධියට පැමිණෙයි. එහෙයින් තිසරණගත උපාසක - උපාසිකාවරුන් විසින් ඒ පරාභව කාරණා සත ඉවත ලීමටත් ලොවී ලොවුතුරු සුව ලැබීමට නිසි කරුණු සත පිරීමටත් වගබලා ගත මනා ය.

උපාසක චණ්ඩාලයා

උසස් පෙළෙහි ලා ගැණෙන උපාසක උපාසිකාවන්ගේ ලක්ෂණත් පහත් පෙළෙහි ලා සැලැකෙන උවසු - උවැසියන්ගේ ලක්ෂණත් අංගුත්තර නිකායෙහි පඤ්චක නිපාතයේ එන උපාසක වර්ගයෙහි සඳහන් ව ඇත. “පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො උපාසකො උපාසක චණ්ඩාලො ච හොති. උපාසකමලඤ්ච, උපාසකපති කිට්ඨො ච, කතමෙහි පඤ්චහි? අස්සද්ධො හොති, දුස්සීලො හොති, කොතුහල මංගලිකො හොති, මංගලං පච්චෙති නො කම්මං, ඉතො ච බහිද්ධා දක්ඛිණෙය්‍යං ගවෙසති, තත්ථ ච පුබ්බකාරං කරොති.”

මහණෙනි, කරුණු පසෙකින් සමන්වා ගත වූ උපාසකයා උපාසක චණ්ඩාලයෙක් වෙයි. උපාසක මල (කිලුටු) වෙයි. ළාමක උපාසක වෙයි. කවර පසෙකින් යත්.

උපාසක තෙම තුණුරුවනෙහි සැදැහැ නැතියේ වෙයි, ගෘහීධර්මය හෙවත් නිත්‍ය ශීලය වන පඤ්ච ශීලය නැති හෙයින් දුඞශීල වෙයි. මෙයින් මෙබන්දෙක් වන්නේය යනාදි විසින් පවත්නා කුහුලට කරුණු දිට්ඨ මංගල, සුත මංගල, මුත මංගල විසින් පවත්නා ඒ පෙරනිමිති නමැති මංගල්‍යයම නහමයි. කුසලා කුසල කර්මය නො නහමයි. නො ද පිළිගනී. මේ සස්නෙන් පිට අන්‍යදෘෂ්ටික ශාසනයන්හිදු දක්ෂිණාර්හ පුද්ගලයන් සොයයි. ඒ බාහිර ශාසනිකයනට ම දාන, මාන, සත්කාර හැමට පළමු කෙරෙයි. මෙ කරුණු පසින් යුක්ත වූ උපාසකයා උපාසක චණ්ඩාලයෙකි.

මේ සම්බුද්ධ වචනය අනුව තුනුරුවන් සරණ ගිය, පන්සිල් රක්නා ගිහි බෞද්ධයාට ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් ආදී ආගම්වල පූජකයන් වඳිනු, පුදනු, සත්කාර කරනු නො යෙදෙයි. ඒ මිථ්‍යා ධර්මයන්ට අයත් පොත්පත් කියවීම ද එහි එන මිථ්‍යා මත මංගල කොට විශ්වාස කිරීම ද නො හොබනේ ය. ඔහු විසින් දෙවියන් උදෙසා බාර ඔප්පු කිරීම වැනි දේ නො කළ මනා ය. එමඟින් තමන් නොදැන ම උපාසක චණ්ඩාල ගණයට වැටෙන හෙයිනි.

උපාසක රත්නය

මහණෙනි, කරුණු පසෙකින් යුත් උවසු තෙම උපාසක රත්නයෙක් ද, උපාසක පද්මයෙක් ද, උපාසක පුණ්ඩරීකයෙක් ද වෙයි. කවර කරුණු පසෙකින යත්.

තුනුරුවන් ගුණ හා කර්මඵල හදහන සැදැහැතියේ වෙයි. නිති පන්සිල්, පොහොය අට සිල් රක්නා හෙයින් සිල්වත් වෙයි. කුතුහලයට කරුණු වන දිට්ඨ, සුත, මුත වස්තූන් මංගල්‍යයයි. හදහන කොතුහල මංගලික නොවෙයි. කුසල අකුසල කර්මය ම බලයි. (හදහයි) දිට්ඨ, සුත, මුත මංගල නො හදහයි. බුදු සස්නෙන් බැහැරි ආගම්වල දක්ෂිණර්හයන් ඇද්දැයි නො සොයයි.

මේ බුදුසස්නෙහි ම හැමට පළමු වන්දන, මානන, පූජාදි පූර්වකෘත්‍ය කෙරෙයි.

මේ කරුණු පසින් යුක්ත උපාසක උපාසකරත්න ද උපාසක පද්ම ද උපාසක, පුණ්ඩරීක ද වෙයි.

සිත් අලවන, මහඟු, අතුල්‍ය වූ දුලබ දැකුම් ඇති උතුමන් විසින් ම පරිභෝගයට ගනු ලබන වස්තුව රත්න නම් වෙයි. මේ ලක්ෂණයෙන් යුත් සිල්වත්, නැණවත් උපාසක ද, උපාසක රත්න වෙයි. එබඳු උපාසක රත්නය බුද්ධාදි ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ ඇසුර ලබන්නේ ය. පිරිපුන් සියපත් ඇති වර්ණයෙන් හා සුගන්ධයෙන් පිරිපුන් පියුම පද්මයයි. ගුණ නැණ දෙකින් පිරිපුන් සිල්වත් උවසු ද සමාජය හොබවන උපාසක පද්මයෙකි. සියපතට වඩා අඩු පත් ගණනක් ඇති පියුම පුණ්ඩරීක නාමයෙන් ගැනෙයි. උපාසක ද එබඳු ගුණ ඇති වූ විට උපාසක පුණ්ඩරීකය යි කියනු ලැබේ. ඉහත සඳහන් කරන ලද සූත්‍රයෙහි දී තිලෝගුරු සම්බුදු රජාණන් වහන්සේ සිල්වත් ගුණ සපන් උපාසකයා හට දිය හැකි උසස් ම පැසසුම දෙනු සඳහා රත්න, පද්ම, පුණ්ඩරීක යන උපමා පද තුන ගෙන හැර පෑහ. එ හෙයින් අපේ උපාසක, උපාසිකා දෙපිරිසට අයත් හැම සාමාජිකයකු විසින් මේ කරුණු සිහි නුවණින් යෙදී සැදැහැයෙන් ඉගෙන ඒ ගුණදම් තමන් තුළ වවා ගැනීමට උත්සාහ දැරිය යුතු ය.

“සුදත්ත ගෘහපතියෙනි, ‘අපි සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකරින් බික්සඟුන්ට උවටැන් කරන්නම්හ’ යන මෙ පමණෙකින් ම සතුටට සෑහීමට පත් විය යුතු නොවේ මැ ‘යි දිනෙක සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටු හට වදාළ සේක.

“තස්මාතිහ ගහපති එවං සික්බිතබ්බං, කින්ති මයං කාලෙන කාලං පවිවෙකං පීතිං උපසම්පජ්ජ විහරෙය්‍යා මාති.”

“ගෘහපතියෙනි, එහෙයින් ම, කලින් කල අපි (සමථ භාවනායෙහි යෙදී) ප්‍රවිවෙක නම් වූ පළමු වන, දෙවන ධ්‍යානයන් නිසා උපදනා පී‍්‍රතියට ද පැමිණ වසම්හ’යි මෙසේ තොප විසින් හික්මිය යුතුයි ද උන්වහන්සේ සිටු හට අනුශාසනා කළ සේක.

උපාසක රත්නය භික්ෂු සංඝයා වහන්සේට සිවුපස සපයා දෙමින් පමණක් සෑහීමට පත් නොවිය යුතු බවත් නීවරණ දම් ප්‍රහීණ කිරීමෙන් ලබන ධ්‍යානමය පී‍්‍රතිය ලැබීමට සමථ භාවනාවෙහි යෙදීමට ද අනුදැන වදාළ බවයි මෙයින් අදහස් කළ යුත්තේ. ශීලයත් භාවනාවත් “ව්‍යාපාර”යක්, වෙළෙඳාමක් ලෙස නො පැවැත්වීමටත් ශීල ප්‍රතිපත්ති, භාවනා ප්‍රතිපත්ති කොට ගෙන පුරුදු පුහුණු කිරීමටත් උපාසක උපාසිකාවන් විසින් වගබලා ගත යුතු ය.

විවේක පී‍්‍රතිය ලැබීමට වෑයම් කරන උවසු උවැසියන්ට ඒ මොහොතෙහි කාමච්චඡන්දය නිසා උපදනා දුක් දොම්නස් නැත. කාමච්ඡන්දයත්, වස්තු කාමයත් නිසා උපදනා සුව - සොම්නස් ද ඒ මොහොතෙහි නැත. අකුසලයන් ඇසුරින් උපදනා දුක් දොම්නස් ද එ මොහොතෙහි ඔහුට නැත. අකුසල කර්මයෙන් උපදනා සුව සොම්නස් ද නූපදනේ ය. කුසල කර්ම ඇසුරින් උපදනා දුක් සොම්නස් ද නැත. ප්‍රවිවෙක පී‍්‍රතිය ලැබීමට සමථ භාවනායෙහි නියුක්ත වන මේ අනුසස් පස සැරියුත් හිමියන් විසින් සම්මා සම්බුදු රජාණන් වහන්සේ වෙත තබා අනුමත කරවන ලදි.

නිති තිසරණ පන්සිල් රකිමින් භාවනානුයෝගී වන උවසු - උවැසියන් විසින් හළමනා වෙළෙඳාම් පසක් ද තිලෝගුරු සම්බුදු රජාණන් වහන්සේ දෙසූ සේක.

මහණෙනි, තිසරණගත උපාසකයකු විසින් නො කළමනා වෙළෙඳාම් පහකි. කවර පසෙක යත්, ශස්ත්‍ර වාණිජ්‍ය, සත්ත්ව වාණිජ්‍ය, මාංස වාණිජ්‍යය, මද්‍ය වාණිජ්‍යය විෂ වාණිජ්‍යය යන් ය. මහණෙනි, මේ වෙළෙඳාම් පස උපාසකයකු විසින් නො කළ යුතු ය.

උපාසකයා සම්‍යගාජීව ඇතියෙකි. කෘෂිකර්මය ශිල්ප කර්මාන්ත, හා වණික්කර්ම ආදි දැහැමි ජීවනෝපායක් ඔහු විසින් කළ යුතු වෙයි. පශුපාලනය ද දැහැමි ජීවනෝපායකි. වෙළඳාමින් ධන සම්පාදානය කිරීමට බට තිසරණගත උපාසකයා විසින් දුරැලිය යුතු මේ වෙළෙඳාම් පස තථාගත ධර්මරාජයාණන් වහන්සේ බෞද්ධ සමාජයට පෙන්වා දුන් සේක. මහා කාරුණික සම්බුද්ධ ශාසනය අහිංසාව පදනම් කොට ඇතියේ ය.

පශු පක්ෂීන්ගේත්, මනුෂ්‍යයන්ගේ හා සෙසු ප්‍රාණීන්ගේත් ජීවිත විනාශයට කරුනුවන නපුරු අවි තැනීම, වෙළෙඳාම් කිරීම මිථ්‍යා ආජීවයෙකි. කඩු, කෙටේරි, කිණිසි, තුවක්කු, බෝම්බ ආදිය මිනිසාගේත් සෙසු ප්‍රාණීන්ගේත් ජීවිත හානියට තුඩු දෙන ආයුධ විශේෂයෝ ය. ඒ හැම තැනීම, තැනවීම, විකිණීම, එයින් ලාභ උපයා ගැනීම මිථ්‍යා ආජීවයෙකි. ස්වර්ග මොක්ෂසුඛයට බාධාවකි. එ හෙයින් එ අකරණීය වෙළෙඳාමෙකි. පරහට දාස මෙහෙවර සඳහා රැකියාවක් වශයෙන් ඇතැම්මු දුගී අසරණ දරු - දැරියන් සපයාදී ධනෝපාර්ජන කරත්. ඒ වහල් වෙළෙඳාම ද අහර සඳහා තාරා, කුකුළු, ගව, එළු, බැටළු ආදි සතුන් ඇතිදැඩි කොට විකිණීම ද නො කළමනා වණික් කර්මයෙකි. මෙ ද මිථ්‍යා ආජීවයෙකි. කුරුලු කොබෙයි ආදී පක්ෂීන් ද ගව, එළු, බැටළු, මුව, ගෝනි, හූරු මත්ස්‍ය ආදී සතුන් මරා විකිණීම මාංසවාණිජ්‍ය යයි. එ ද මිථ්‍යා ආජීවයෙකි.

මිනිසාගේ සිහි නුවණ නැති කරන මද - පමා දෙකට කරුණු වන, හිරි - ඔතප් වනසාලන මත්පැන් බෙහෙත් වර්ග සාදා හෝ සාදවා ගෙන හෝ ධන ඉපයීම මිථ්‍යා අජීවයෙකි. කසිප්පු ව්‍යාපාරය, ගංජා ව්‍යාපාරය වැනි අධාර්මික කර්මාන්ත සියල්ල මද්‍ය වාණිජ්‍ය යන මේ කරුණෙහි ඇතුළත් වෙයි.

මිනිසාගේ හෝ තිරිසන් සතුන්ගේ ජීවිත විනාශයට කරුණු වන විෂ වර්ග හා විෂ බෙහෙත් සාදා හෝ සාදවා විකිණීම විෂවාණිජ්‍ය නම් වේ. මේ පස් වැදෑරුම් වෙළෙඳාම්වලින් උපයනු ලබන ධනයෙහි පල විඳින අයත් දෙ ලොවෙහි ම විපතට පත්වෙත්. තථාගත මහා කාරුණිකයන් වහන්සේගේ සර්වඥතා ඥානයට ගෝචර නොවූ කිසිවක් හෝ කිසිවෙක් ලොව නැත. මේ වෙළෙඳාම් පහ පුද්ගලයාත්, සමාජයත් ලෝකයත් වනසට හෙළන විපත්ති කර ධර්ම ලෙස උන්වහන්සේ ඇති සැටියෙන් දැන වදාළ සේක. එහෙත් වස්තු තෘෂ්ණායෙන් බැඳුණු කූට ව්‍යාපාරිකයෝ එහි අනුසස් ම දකිත්. ජාතිය, සමාජය, පවුල, ආදිය පිළිබඳ හැඟීමක් ඔවුන්ට නැත.