Print this Article


බුදු සසුනක දෑස් ඇත්තෝ....

බුදු සසුනක දෑස් ඇත්තෝ....

‘ඇස’ යනු උපන් සත්ත්වයාට අත්‍යවශ්‍ය ම ශාරීරික අංගයකි. ඇස් ( පෙනීම) නැති වූ කල්හි සත්ත්වයන්ට විඳින්නට සිදු වන දුක් ගැහැට අපමණ ය. ඒ ගැන සැබෑවට ම දන්නේ අන්ධ වූවෝ ම පමණි.

ඔවුන්ගේ ජීවිත තුළ ඇත්තේ අන්ධකාරයක් ම පමණි. එකිනෙකා සංසාර ගමනේ කළ කී දේට අනුව, කර්මානුරූපව එකිනෙකාගේ ඇස් ද සකස් වී තිබේ. ඒ අනුව සමහර අයට සුන්දර දෙනෙත් ලැබී ඇත. ඇතැමෙක්ට දෙනෙත් ඇති නමුත් පෙනෙන්නේ එක් ඇසක් පමණි. තව කෙනෙක්ට සුන්දර දෙනෙත් ඇතිමුත් ලොව දකින්නට වරම් නැත.

අවාසනාවක මහිම......! ඇස් දෙකක් පිහිටි තැනක්වත් නැති අය ද මේ ලෝකයේ සිටී. ඒ අයුරින් වෙනස්කම් සිදු වූයේ සංසාරයේ තමා විසින්ම වපුරා ගන්නා දෙය අනුව ය. අපගේ භාග්‍යවතුන් වහන්සේට පියවි ඇසින් දවාලටත්, රාත්‍රියටත් කිසි බාධාවක් නැතිව දොළොස් යොදුනක් (150ම්ථ පමණ) දුර දකින්නට හැකි ය. අඳුරේ දී පවා බිත්තියක්, ප්‍රාකාරයක්, පර්වතයක්, ගසක් වැනි කොයියම් ම දේකින්වත් කිසිම බාධාවක් නැතිව උන්වහන්සේට පේනවා. පිනෙන් උපන් ඒ නේත්‍රා යුගල හරිම අසිරිමත්.

“පින්වත් මහණෙනි ඇස් වර්ග තුනක් තිබෙනවා. ඒ මොනවා ද? මසින් සෑදුණු ඇස, දිව්‍ය ඇස, නුවණ නමැති ඇස.

මසැසේ පහළ වීම දිව්‍ය ඇස ලබන්නට උපකාර වෙනවා. යම් කලෙක ආර්ය සත්‍ය පිළිබඳ ඥානය ලබනවා නම්, ඒක තමයි උතුම් වූ ප්‍රඥා ඇස. ඒ ඇස ලැබුණාම සියලු දුකින් එතෙර වන්නේ.”

එසේ නම් අප කාටත් පෙනෙන්නා වූ මේ මසැසට අමතරව තවත් ඇස් ඇති බව අපි දැනගෙන සිටිය යුත්තෙමු. ඒ අනුව මේ ලිපියෙන් පෙන්වා දෙන්නේ මෙලොව පරලොව යහපත සලසන්නා වූ ද දුලබ වූ ද ‘නුවණ’ නැමැති ඇස පිළිබඳව යි.

මේ නුවණැසට අනුව පුද්ගලයන් වර්ග කර තිබෙන ඉතා අපූර්ව සූත්‍ර දේශනාවක් අංගුත්තර නිකායේ තික නිපාතයේ මුණ ගැසේ. ඒ අන්ධ සූත්‍රය යි. භාග්‍යවතුන් වහන්සේ එම සූත්‍රයේදී මෙසේ වදාළ සේක.

“පින්වත් මහණෙනි, මේ පුද්ගලයන් තුන් දෙනෙක් ලෝකයේ දකින්නට ලැබෙනවා. ඒ තුන් දෙනා කවුද? අන්ධ පුද්ගලයා, එක ඇසක් ඇති පුද්ගලයා, ඇස් දෙකක් ඇති පුද්ගලයා යි.

සැබැවින්ම මේ සූත්‍රය තුළින් අප කාටත් අප ගැන ස්වයං නිගමනයකට එළඹිය හැකි ය. ඒ තමන් කොයි ආකාරයේ ඇස් ඇති කෙනෙක් දැයි කියා ය. බොහෝ දෙනාට තේරුම් ගන්නට නොහැකි වී තිබෙන්නේ ද මෙයම ය. නමුත් මේ උතුම් දේශනාව නිවැරැදිව තේරුම් ගතහොත් ඔහුට ඒකාන්තයෙන්ම මෙලොව සේ ම පරලොව ද යහපත සලසා ගත හැක්කේ ය.

‘අන්ධ’ පුද්ගලයා යනුවෙන් අදහස් කළේ කවරෙක් ද? සාමාන්‍යයෙන් අන්ධ පුද්ගලයා වශයෙන් අප සලකන්නේ දෑස් නො පෙනෙන පුද්ගලයා ය. ඔවුනට නො පෙනෙන්නේ රූපයි. නමුත්, භාග්‍යවතුන් වහන්සේ ‘අන්ධ’ යනුවෙන් අදහස් කළේ රූප දැකීමට ඇති නොහැකියාව නොවේ. උන්වහන්සේ මෙසේ වදාළ සේක.

“පින්වත් මහණෙනි, අන්ධ පුද්ගලයා කවුද? මේ සමහර කෙනකුට මෙන්න මේ වගේ අදහසක් නෑ. ඒ කියන්නේ යම් විදියක ඇසකින් බලා කටයුතු කරද්දී නො ලැබූ භෝග සම්පත් ලැබෙනවා නම්, ලැබුණු භෝග සම්පත්වල වැඩීමකට පත්වෙනවා නම්, ඒ වගේම යම් විදිහක ඇසකින් බලා කටයුතු කරද්දි කුසල් අකුසල් දන්නවා නම්, වැරැදි දේ නිවැරැදි දේ දකිනවා නම්, උස් පහත් දේ දන්නවා නම්, එකිනෙකට වෙනස් වූ අයහපත්, යහපත් දේ ගැන දැනගන්නවා නම් ඒ වගේ ඇසකුත් ඔහුට නෑ. පින්වත් මහණෙනි, ඔහුට තමයි කියන්නේ අන්ධ පුද්ගලයා කියලා.”

සෑම කෙනාට ම එකිනෙකට වෙනස් වූ නමුදු අල්ප හෝ වේවා, මහත් හෝ වේවා යැයි යම් වස්තු සම්පත් ලැබෙයි. ඒ පෙර කළ පින් අනුව ය. ඉදින් මේ අන්ධ පුද්ගලයා හට ඒ ලැබූ දේ දියුණු කර ගැනීමට තරම් නුවණක්ද නැත්තේ ය. අලුතෙන් දෙයක් උපයා ගන්න ද නොහැක්කේ ය.

බුද්ධ කාලයේ සිටි මහධන සිටු පුත්‍රයා සේ ය. පෙර පිනෙන් කෝටි එකසිය හැටක ධනයක් ඔහුට හිමි විය. නමුත් ඒ සියල්ල විනාශ කරගෙන හිඟමනට වැටී මහමඟ මියැදෙන්නට සිදුවුණේ ඒ මෙලොව දියුණුව දකින ඇස අන්ධ වී තිබූ නිසාවෙනි. එසේම, මේ අන්ධ පුද්ගලයාට පරලොව දියුණුවක් ද නැත්තේ ය. ඔහු පරලොව සැපය පිණිස උපකාරක වන කුසල් දහම් දියුණු කර නො ගනියි. පිනක් උපදවා ගන්නට නො දනියි. එබැවින් ඔහුගේ පරලොව ජීවිතය පරාජයක් ම ය. මෙකල ද බොහෝමයක් සිටින්නේ අන්ධ පුද්ගලයෝ ම වෙති. ඔවුන් දෙලොවෙහි ම පරාජිතයෝ ය.

මොළේ නැති උදවිය තරුණ කාලෙදි බ්‍රහ්මචාරීව නිවන් මඟේ හැසිරෙන්නෙත් නෑ. අඩු ගණනේ මිල මුදලක්වත් හම්බ කරගන්නේ නෑ. අන්තිමේ දී වයසට ගිහින්, බලාගත්තු අත බලාගෙන ඉන්නෙ, මාළු නැති මඩ වළක් දිහා බලාගෙන ඉන්න මහලු කොක්කු වගේ.

දෙවැනි පුද්ගලයා වශයෙන් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ එක ඇසක් ඇති කෙනා ය. ඔහුගේ ‘එක ඇස’ යනු මෙලොව ජීවිතය යි. ඒ කියන්නේ යම් විදිහක ඇසකින් බලා කටයුතු කරද්දී නො ලැබූ භෝග සම්පත් ලැබෙනවා නම්, ලැබුණ භෝග සම්පත්වල වැඩීමකට පත්වෙනවා නම්, එවැනි අයෙක්ට එක් ඇසක් තිබෙනවා.. නමුත්, ඔහුට පරලොව දකින ඇස පිහිටා නොමැත. එනම් කුසල් දහම් දන්නේ නැත. පින් ද අඳුරන්නේ නැත. හොඳ නරක අඳුරන්නේ නැත. එසේ වුවත්, ඔහු මේ ජීවිතය තුළ භෝග සම්පත්වල දියුණුවක් කරා යයි. මේ ජීවිතයෙන් පසුව ඔහුට සිදු වන්නේ කුමක් ද? කෙසේ ද ඔහු මෙලොව දියුණුවක් කරා ගියේ? ඔහු ධාර්මිකවත්, අධාර්මිකවත් ,කෛරාටිකවත් භෝග සම්පත් සොයන කෙනෙකි.

“කම්සැප විඳින ඒ මනුෂ්‍යයා සොරකමින් යුතු කූට ව්‍යාපාර තුළිනුත්, බොරුවෙනුත් යන දෙකෙන් ම භෝග සම්පත් රැස් කරගන්නට දක්ෂයි. නමුත් ඒ එකැස් ඇති පුද්ගලයා මෙයින් චුතව නිරයට ගිහින් වැනසී යනවා.”

එසේනම් එක ඇසක් ඇති පුද්ගලයාගේ අවසානය නිරය බලා ගමන් කිරීම ය. වර්තමානයේ අප දකින ඇතැමකුගේ ජීවිත කතාව මෙයම නොවේ ද? බැලූ බැල්මට සුන්දර ලෙස පෙනෙන නමුත් ඔවුන්ගේ අවසානය නිරය බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා නො දෙන්නට අප කෙසේ නම් දැන ගන්න ද? ඒ අසිරිමත් මුනිරජාණන් වහන්සේට නමස්කාර වේවා!

තවත් පුද්ගලයෙක් මේ ලෝකයේ සිටී. ඔහු ඇස් දෙකම ඇති පුද්ගලයාය. සැබැවින්ම යමකුට ‘සුන්දර ඇස් ඇති කෙනා’ යනුවෙන් ප්‍රකාශ කළයුතු නම් මේ එවැනි කෙනෙකි. ඔහු ගැන අප ශාස්තෘන් වහන්සේ වදාළේ” පින්වත් මහණෙනි, මෙහි මේ සමහර කෙනකුට මෙන්න මේ වගේ ඇසක් තිබෙනවා. ඒ කියන්නේ, යම් විදිහක ඇසකින් බලා කටයුතු කරද්දී නො ලැබූ භෝග සම්පත් ලැබෙනවා නම්, ලැබෙන භෝග සම්පත් වැඩීමකට පත් වෙනවා නම් එවැනි ඇසක් තිබෙනවා.

ඒ වගේම, යම් විදිහක ඇසකින් බලා කටයුතු කරද්දී කුසල් අකුසල් දන්නවා නම්, වැරැදි දේ නිවැරැදි දේ දන්නවා නම්, උසස් පහත් දේ දන්නවා නම්, එකිනෙකට වෙනස් වූ අයහපත් යහපත් දේ ගැන දැන ගන්නවා නම්, ඒ වගේ ඇසකුත් ඔහුට තියෙනවා” යනුවෙනි.

මේ කාලයේ අපට සොයාගන්නට ඉතා අසීරු පුද්ගලයා මොහු ය. කාමයන් පසුපස හඹා යන ලෝකය තුළ මෙලොවත්, පරලොවත් ජයගන්නා මෙවැනි අය ඉතා දුලබ ය. හේ නැඟී සිටින වීර්යයෙන් යුක්තව, ධාර්මිකව ලැබෙන්නා වූ ධනය උපයා ගන්නා කෙනෙකි.

“ඔහු ශ්‍රේෂ්ඨ අදහස් ඇති කෙනෙක්. ධර්මය කෙරෙහි සැක රහිත සිත් ඇති කෙනෙක්. ඔහු පින් රැස් කිරීම නිසා යම් තැනකට ගොස් ශෝක නොකරයි නම්, එබඳු සොඳුරු ලොවකට පැමිණෙනවා.” මොහුට ඇස් ලැබුණේ සැබැවින්ම ධර්මය නිසාවෙනි. මිනිසා අන්ධ වන්නේ ද ඇසකින් ලොව දකින්නේ ද ධර්මය නො දන්නා බැවිනි. යම් කෙනෙක් ධර්මය දන්නේ නම් ඔහුට ඉතා සොඳුරු දෙනෙත් හිමි වේ. ඉන් මෙලොව සේ ම පරලොව ද ජයගත හැකි බවනම් සනාථන සත්‍යයකි.

ධර්මය තුළින් අන්ධයන්ට ද එකැස් ඇත්තන්ට ද පෙනීම ලබා ගත හැක්කේ ය. අවශ්‍ය වන්නේ ඒ උත්තම ශ්‍රී සද්ධර්මය මනාකොට ශ්‍රවණය කිරීමත්, එය තම තමන්ගේ ජීවිතයට ගළපා ගැනීමත් ය. “වාසෙට්ඨයෙනි, මෙලොවෙහිත්, පරලොවෙහිත් ජනයා අතර ධර්මය ම ශ්‍රේෂ්ඨ වෙයි” යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළේ එහෙයිනි. මේ සූත්‍රයේ අවසාන වශයෙන් මේ අයුරින් ද සඳහන් වෙයි.

“දෙලොව නො දන්නා අන්ධ කෙනාත්, මෙලොව පමණක් දන්නා එකැස් ඇති කෙනාත් දුරින් ම දුරු කළ යුතු යි. දෑස් ඇති ශ්‍රේෂ්ඨ පුරුෂ පුද්ගලයා ව පමණයි සේවනය කළ යුත්තේ.”

ධර්මය නො දත් පවිටු පුද්ගලයන් ඇසුරු කිරීම තුළින් අන් අයගේ පෙනෙන ඇස් ද අන්ධ වී යා හැකිය. දෙලොව ම වැනසී යාමට ඉඩ තිබේ. ඒ නිසාම , නිරන්තරයෙන් අප ද කළ යුත්තේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන්ව ම ඇසුරු කිරීම ය. දෙලොව පෙනෙන්නා වූ උත්තමයන් ඇසුරු කිරීම ය. එවිට අප හැම දෙනාට ම ද මෙලොව මෙන්ම පරලොව ද යහපත සලසාගෙන ලොව්තුරු අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීමට අවස්ථාව උදා කර ගත හැකි ය. මඟ හොඳට තිබේ නම්, යන්න දෑසත් පෙනේ නම්, මංමුළා වූ එකෙක් සේ බැදිවල නොයත්වා...! බුදු, පසේබුදු, මහරහත් උත්තමයන් වැඩම කොට වදාළ නිවන් මඟේ ම යත්වා....!

අන්ධයන් වන්නට සියල්ලන්ට ම පාහේ ඉතා පහසු ය. ඔවුන්ට අමතරව කළ යුතු දෙයක් ඇත්තේ ම නැත. එසේම එක් අසැක් ඇති කෙනෙක් වන්නට ද පුළුවන. ඒ සඳහා ඕනෑතරම් පිරිස් ද පහසුකම් ද වත්මන් ලෝකය තුළින් සොයාගත හැකි ය. ඒ සඳහා හේතු වන පාප මිත්‍රයන් ද ඉතා සුලබ ය. නමුත් ඔවුන්ගේ ගමනාන්තය මහා දුක් ඇති නිරය බව සිහියේ තබාගත යුතු ය. අසීරු ම කාර්යය ඇස් දෙක ම පෙනෙන කෙනෙක් වීම ය. ඒ සඳහා අවශ්‍ය පරිසරය ද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ද ඉතා දුක සේ ලබා ගන්නට සිදු වෙයි. නමුත් කළ යුත්තේ ද කරන්නට මහන්සි ගත යුත්තේ ද එය ම ය.

දුක සේ නමුත් ඒ සඳහා වෙහෙස විය යුතු ය. අන්ධයන් ද නොවන්න. එකැස් ඇත්තන් ද නො වන්න. දෑස් ඇත්තෝ ම වන්න.