Print this Article


සම්බුදු දහමට අනුව ජීවයේ සම්භවය

සම්බුදු දහමට අනුව ජීවයේ සම්භවය

ජීවය වනාහි ද්‍රව්‍ය ප්‍රවර්තනයේ විශේෂ ආකෘතියකි. එහෙත් මේ ආකෘතිය සදහටම පැවතී නැත. එය දුර්ගම ප්‍රපාතයක් මඟින් අනින්ද්‍රීය ද්‍රව්‍යයෙන් වෙන් කර දමන ලද්දක් නොවේ. එහෙත් අනික් අතට ලෝක සංවර්ධන රටාවෙහි නව ලක්ෂණයක් ලෙස ද්‍රව්‍යයෙන් ජීවය උද්ගත වී ඇත්තේ ය.

ජීව සම්භවය පිළිබඳව භෞතිකවාදීන් කරන මේ විග්‍රහයෙහි ඔවුන් නොදැනම බෞද්ධ මතය අන්තර්ගත වී තිබෙන බව කිව යුතු ය. උච්ඡේද දෘෂ්ටියෙන් වැසී ගෙන කරන ප්‍රකාශයක් නිසා ඔවුන්ට ඒ බව නොපෙනුණත්, ඔවුන්ගෙන් ඇත්තක් ප්‍රකාශ වී ඇත. “ජීවය වනාහි ද්‍රව්‍ය ප්‍රවර්තනයේ විශේෂ ආකෘතිය”යි. ඔවුහු කියති. මෙහි ‘විශේෂ’ යන්නෙන් අදහස් කරන්නේ එය එක්තරා ශක්ති විශේෂයකැයි ඔවුන් කියනු ඇත. ද්‍රව්‍යයන්ගේ සම්වාසයෙන් දක්නා ලැබෙන නොයෙක් විදියේ ශක්ති විශේෂයන් ඇති අතර, ඒ සියල්ලටම වඩා විශේෂ ශක්තියක් ජීවයේ ඇති බව, අතින්ද්‍රිය ලෝකයේ ද්‍රව්‍ය හා විෂයය අතුරෙහි අවිද්‍යමාන යන විවරණයෙන් ඔවුහු පෙන්වා දෙති. එහෙත් ඊට භෞතික වූ නමක් ඉදිරිපත් කිරීමට ඔවුහු අසමත් වෙති. මෙහි විශේෂ ශක්තියයි. ඔවුන් කියන්නේ බුද්ධ මතයේ විඤ්ඤාණය මිස අනිකක් නොවන බව පැහැදිලි විය යුතුමය.

නවීන විද්‍යා මතයේ තිබෙන මේ විශේෂ යන වචනය වෙනුවට ‘විඤ්ඤාණය’ යන නාමය යොදා සමීක්ෂණය කර බැලූ විට නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වය පෙනේ. එනිසා නූතන විද්‍යා මතය බුද්ධ මතයෙන් පණගැන්වෙන බව අවබෝධ වන්නේ ය. දෘශ්‍යමාන රූප ධර්මයන්ගේ සමවාසයේ ප්‍රතික්‍රියාවක් වශයෙන් සිත ඔවුන් දකින අතර, බුදුරජාණන් වහන්සේ දැක ඇත්තේ අදෘශ්‍යමාන සිත හෙවත් නාමය (විඤ්ඤාණය) රූපය හා සංකලනය වීමෙන් ජීවය සම්භවය වන බවය. ථෙරවාද දර්ශනයේ චුතිය හා ප්‍රතිසන්ධිය සම්බන්ධ ධර්ම ක්‍රමය හෙවත් පටිච්ච සමුප්පාදය සලකා බැලීමේදී මෙහි යථා තත්ත්වය වැටහෙන විඤ්ඤාණයක, චිත්තයක, මනසක පුරෝගාමීත්වයක් කිසිම සජීව වස්තුවක සම්භවයට හා පැවැත්මට හේතුභූත වන බවත් ඔවුහු නොකියති. ඔවුන් කියන්නේ රූප ධර්මයන්ගේ සංකලනයේ ප්‍රතික්‍රියාවක් වශයෙන් චිත්ත චෛතසික පහළ වන බවයි. ඒ ජීවාණු යැයි කියන ඇමීබාවා ආදී ප්‍රාණීන්ගේ පටන් මිනිසා දක්වා සත්ත්ව සන්තතිය ක්‍රම විකාශනය කැයි කියන පරිණාමවාදීන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් වෙයි. එනම් ‘මිනිසාගෙන් පරිණාමයට පත්වන්නේ කවර සත්ත්වයෙක්ද’ යන්නයි. අදෘශ්‍යමාන දේව බ්‍රහ්ම ආදි උත්තරීතර සත්ත්වයන් හෝ ප්‍රේත භූත ආදී අමනුෂ්‍යයන් හෝ විද්‍යමාන සත්ත්ව විශේෂයන් හැටියට ඔවුහු නොපිළිගනිති. ඔවුන් කියන හැටියට පරිණතවීම් වශයෙන් මෙසේ ඇතිවන මිනිස් සත්ත්වයා හොඳ නරක වශයෙන් බෙදිය නොහැකි විය යුතු ය. එසේ නම් සත්ත්ව පරිණාමයේ පරම සත්ත්වයා මිනිසාදැයි ඔවුන්ගෙන් විමසිය යුතු ය. මීට බුද්ධිගෝචර පිළිතුරක් සැපයිය නොහැකි නම් ඔවුන්ගේ නූතන පරිණාමවාද මතය සාර්වභෞම සත්‍යයක් හෝ යථාර්ථවත් විද්‍යාවක් හෝ නොවන බව තහවුරු වන්නේ ය.

එහෙත් ඒකදේශ වශයෙන් එහි සත්‍යයක් පවතින වග බුද්ධ මතය අනුව පෙන්වා දිය හැකිය. වෙනත් ලෙසකින් කියතොත් නූතන පරිණාම වාදයට බුද්ධ මතයෙන් පණපෙවිය හැකිය. ඒ කෙසේද? ඔවුන් ජීවාණු යැයි කියන්නේ බුදුදහමේ ඉගැන්වෙන අටවිසි රූප අතරින් රූප ජීවිතින්ද්‍රිය යන දෙකම පවතින බවත් වටහා ගැනීමයි. වෘක්ෂලතාවන් ද සිතන පතන බවත් එහෙයින්ම ඊට මනසක් ඇති බවත් නූතන විද්‍යා පර්යේෂණවලින් ප්‍රකාශ කර තිබේ. බුද්ධ මතය අනුව එය නිශ්ප්‍රභ වන්නේ ය. ගස්වැල්වලට සිතක් ඇත්තාක් බඳු ක්‍රියාකාරීත්වයක් ඇත්තේ ඊට රූප ජීවිතීන්ද්‍රිය පවතින නිසා හෝ බීජනියාමය හා උතුනියාමය නිසා බවත්, වියළුණු ගස්වැල්වලට හා ගල් ගඩොල්, වැලි, පස් ආදියට ජීවිතීන්ද්‍රියක් කොහෙත් ම නැති බවත් වටහා ගත යුතු වේ. පරිණාමවාදය පමණක් හදාළ පිරිසට මෙය වටහා ගැනීම අසීරුය. ඔවුන් බුදු දහමේ එන ‘ජීවිතින්ද්‍රිය’ ධර්මය මැනවින් හදාරාම මෙය වටහාගත යුතු වන්නේය. දහමට අනුව ‘ජීවිතින්ද්‍රිය රූප හා ජීවිතින්ද්‍රිය නාම’ වටහා ගත් තැනැත්තාට නූතන පරිණාමවාදයේ පවතින ඒකදේශ සත්‍යතාව මැනවින් පෙනී යන්නේ ය. එනම් රූප පරිණාමයත්, නාම පරිණාමයත්, නාම රූප පරිණාමයත් පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ ධර්ම විවරණයයි. මෙහිදී බුදුරජාණන් වහන්සේ විඤ්ඤාණයේ ම හෙවත් මනසේම පුරෝගාමීත්වය වදාළහ. සිතෙන් උපදවන රූප ද ඇත්තේ ය. රූපයන් ප්‍රත්‍යය කොට ඇතිවන සිත් ද ඇත්තේය. එහෙත් සිතෙහි රූපය නැත. රූපයෙහි සිත නැත. සිත නම් විඤ්ඤාණ ධාතුවයි. එය රූපය හා අන්‍යොන්‍ය වශයෙන් ප්‍රත්‍යය වී සත්ත්වයා හෙවත් නාමරූප යැයි කියන ලද පඤ්චස්කන්ධය පහළ වනනේ ය. එහි පරිවර්තනයේදී ක්‍රම විකාශනයක්, පරිණාමයක් පවතින්නේ ය. එම පරිණාමය හුදෙක් උසස් අතටම නොවන්නේ ය. පහත් අතට ද විය හැකිය. ඒ ද චිත්ත ප්‍රණිධියේ හෙවත් සිත පිහිටුවීමේ ආකාරය අනුව වන්නේ ය. හරි ලෙස තැබූ විට උසස් තත්ත්වයටත් වැරදි ලෙස තැබූ විට පහත් අතටත් පරිණත වන්නේ ය. එයද ඒකාන්ත නැත. වෙනස් කළ හැකිය. කෙසේ වුවත් මේ සත්ව පරිණාමය සිදුවන්නේ මනසේ පුරෝගාමීත්වයෙන් සිදුවන ක්‍රියා පද්ධතියක අනුසාරයෙනි.

නූතන පරිණාමවාදය අනුව එළුවකු, බල්ලකු හෝ කපුටකු කිසිවිටෙකත් මිනිසකු බවට පරිණත විය හැකි යැයි කියනු නොලැබේ. එහෙත් බුද්ධ මතයට අනුව එසේ විය හැකිය. එය එසේ වන්නේ පරිණාමයේ මුල ජීවාණු නොව, විඤ්ඤාණයම වන බැවිනි. ජීවාණුන්ගේ පරිණාමය අනුව ‘ආරයට’ යෑම සිදු වේ. මීට හොඳ නිදසුනක් නම් වරක් සුනඛව්‍රතය හා ගොව්‍රතය සමාදන් වී සිටි සේනිය හා පුණ්ණ යන දෙදෙනාට ඔවුන්ගේ ආයතිභවය කෙබඳු වේ දැයි ඔවුන්ගේ ම පැනයට බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුරයි. බුදුරජාණන් වහන්සේ වදාළේ ඔවුන් මරණින් මතු සුනඛ හා ගව හැටියට උප්පත්තිය ලබන බවයි. එහෙත් එය ද අන් අතකට පරිණත කළ හැකිය. එනිසාම ඔවුහු පසුව ඒ තත්ත්වය වෙනස් කළහ. බෞද්ධ පරිණාමවාදය අනුව ‘සභව්‍යතාව‘ වැදගත් නිදසුනකි. සභව්‍යතාව යනු සමාන ආත්මභාවයක් ලැබීමයි. එකට විසීමයි. මෙය භාරතීය දාර්ශනිකයන් ද දුටු පරිණාමයකි. ‘බ්‍රහ්මසභව්‍යතාව‘ පතන්නන් මෙලොවදී බ්‍රහ්මයා වසන ආකාරයෙන් එනම් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බඹ විහරණයෙන් වාසය කළ යුතු ය. දේව සභව්‍යතාව සඳහා ඊට අදාළ පින් දහම් කළ යුතු ය. සුනඛ ව්‍රතයෙන් යුක්ත වූවන් සුනඛ සහව්‍යතාවට එනම් මරණින් මතු සුනඛ ආත්ම, භාවයෙහි උපදින බවට පත්වන බව වදාළේ ද මේ ආකාර පරිණාම හේතු වශයෙනි.

මනෝප්‍රණිධානයෙහි පටන් දස පෙරුම් පිරීම (මහායානට අනුව බෝධිචිත්ත ප්‍රණිධියේ පටන් දසභූමි ප්‍රාප්තිය) ද පරිණාමයට (මුහුකුරා යෑමට - මේරීමට) යෑමේ ප්‍රතිඵලයක් වශයෙන් බුද්ධත්වය ලැබීම ද බෞද්ධ පරිණාමවාදයට නිදසුනකි. පැරණියන් පින් දහම් කොට “පරිණාම වශයෙන් මොක්සුව පිණිස හේතු වේවා” කියා ප්‍රාර්ථනා කළේ ද මේ පරිණාමය විශ්වාස කළ බැවිනි. මේ ආත්මභවයෙහිම වුව ද ඒ ඒ අදාළ ප්‍රතිපත්තීන් පුරුදු පුහුණු කිරීමෙන් ඒ ඒ තනතුරුවලට පුද්ගලයන් පරිණාම වශයෙන් පත්වන බව ප්‍රත්‍යක්ෂ කාරණයකි. පුනර්භවයක් නොපිළිගන්නා අය විසින් වුව ද මෙය පිළිගත යුතු වන්නේ ය. මෙසේ සලකා බලන විට සත්ත්ව පරිණාමය වූ කලි මනසේ පුරෝගාමීත්වය ඇතිවම සිදුවන ධර්මතාවක් බව නිගමනය කළ යුතු වන්නේ ය.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ නිර්මාතෘ හෑගොඩ ඛේමානන්ද නාහිමියන්ගේ ලිපි ලේඛන ඇසුරිනි.