Print this Article


සුවපත් මනසක් සුවබර දිවියක්- 51 කොටස: මෛත්‍රිය වැඩීමේ උත්සාහය අත්හරින්න එපා

සුවපත් මනසක් සුවබර දිවියක්- 51 කොටස:

මෛත්‍රිය වැඩීමේ උත්සාහය අත්හරින්න එපා

එහෙත් කෙනකුගේ වචන මෙන්ම ක්‍රියාවන් අකාරුණික නම් එවිට කුමක් කළ යුතුද? ඔහු ඇතුළතින්ම කුණු වී ඇද්ද? මෙබඳු කෙනකු තුළ පවා පිරිසිදු හදවතක් තිබිය හැකිය. ඔබ කාන්තාරයක් මැදින් ඇවිද ආවා යයි සිතන්න. අවට කිසි තැනක දිය බිඳුවක්වත් නැත. ඔබට දැඩි රස්නයක් හා මහන්සියක් දැනේ. තබන පියවරක් පියවරක් පාසා ඔබේ පිපාසය දැඩි වෙයි. දිය බිඳක් ලබා ගැනීමට ඔබ නො ඉවසුම්ය. මේ මොහොතේ ඔබට ගවයකුගේ කුර සටහනක් ඉදිරියෙහි පෙනේ. එහි දිය ස්වල්පයක් ඇත. කුර සටහන නොගැඹුරු නිසා දිය ඇත්තේ ඉතාම ස්වල්පයකි. දිය ඇබිත්ත අතින් ගන්නට වෑයම් කළොත් එය බොරවෙයි. පිපාසය ඉවසිය නොහැකි ඔබ දණ ගසාගෙන බිමට නැමි කුර සටහනට මුව ලංකර ඉතා පරිස්සමින් දිය බිඳ බොර නො වන පරිදි දෙතොලින් උරා බොයි. අවට සියල්ල මඩසහිත වුවද දිය බිඳ පමණක් පිරිසිදු ය. ඔබට පිපාසය නිවාගත හැක. සියලුම උත්සාහයන් මඟින් කිසිදාක හැඩගැසීම නොහැකි යයි සිතන පුද්ගලයා තුළ පවා පිරිසිදු හදවතක් සොයාගත හැකි වනු ඇත.

මා වැඩි වශයෙන් භාවනා පුහුණු කරවන මධ්‍යස්ථානය පිහිටියේ බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ පිටිසර බද කඳුකරයක ය. අප මධ්‍යස්ථානයක් විවෘත කළ මුල් කාලයේ අසල මාර්ගයේ එහාපසින් ජීවත් වූ බෙහෙවින් අහිතවත් බවක් පෙන්වූ පුද්ගලයෙක් විය. මා දිනපතා එම පාරේ ටික දුරක් ගමන් කළ අතර, මේ පුද්ගලයා දුටු සෑම විටක ම ඔහුට අතවැනීමි. ඔහු මට රවා බලා ඉවත බලාගන්නේ ය. එසේ වුවත් මම හැමවිට ම ඔහුට අතවනා ඔහු ගැන මෛත්‍රී සහගත ව සිතීමි. ඔහුගේ හැසිරීමෙන් මා අධෛර්ය වූයේ නැත. මගේ උත්සාහය අත්හැරියේ ද නැත. ඔහු දකින හැම විටක ම ඔහුට අතවැනීමි. අවුරුද්දකට පමණ පසු ඔහුගේ හැසිරීම වෙනස් විය. රවා බැලීම නතර විය. මට පුදුම සතුටක් දැනුණි. මෛත්‍රිය වැඩීමේ ප්‍රතිඵල ආරම්භ වෙමින් තිබුණි.

තවත් අවුරුද්දකට පමණ පසු මගේ සක්මනේදී ආශ්චර්යමත් යමක් සිදුවිය. මා පසුකරගෙන යද්දී ඔහු වාහනයේ සුක්කානමෙන් අත ඉවතට ගෙන එක ඇඟිල්ලක් එසවීය. නැවත මට මෙසේ සිතුණි. “මොන තරම් සතුටක් ද, මෛත්‍රිය වැඩකරන හැඩයි.” තවත් අවුරුද්දක් මෙසේ ගත වෙද්දී මම දිනපතාම ඔහුට අත වනා යහපතම ප්‍රාර්ථනා කෙළෙමි. තුන්වෙනි අවුරුද්දේ ඔහු මා දෙසට ඇඟිලි දෙකක් එසවීය. ඊළඟ අවුරුද්දේ ඇඟිලි හතරම සුක්කානමෙන් උඩට එසවීය. තවත් කලක් ගතවිය. දිනක් ඔහු වාහනය මිදුලට හරවනවිටම වාගේ මා එතනින් යමින් සිටියෙමි. ඔහු සුක්කානමෙන් අත සම්පූර්ණයෙන්ම ඉවතට ගෙන එළියට අත දමා මට අත වැනීය.

මින් ටික දවසකට පසු, වනරොද මැදින් දිවෙන පාරක් අයිනේ ඔහු වාහනය නතර කරගෙන සිටිනු දුටුවෙමි. රියදුරු අසුනේ වාඩිවී ඔහු දුම් වැටියක් උරමින් සිටියේ ය. මම ඔහු ළඟට ගියෙමි. අපි දෙදෙනා කතාවට වැටුනෙමු. මුලදී කාලගුණය ගැන කතා කරමින් සිට ටිකෙන් ටික ඔහුගේ කතාව දිග හැරියේ ය. ඊට අවුරුදු කීපයකට පෙර ඔහුගේ ට්‍රක් රථය මතට ගසක් කඩා වැටී ඔහු දරුණු අනතුරකට භාජනය වී තිබේ. ඔහුගේ සිරුරේ හැම ඇටයක්ම පාහේ කැඩී ගිය අතර සිහිසුන් තත්ත්වයෙන් ඔහු කලක් ගිලන්ව සිට ඇත. මා මුලින්ම ඔහු දකින දිනවල ඔහු යන්තම් සුවය ලබමින් සිටියා පමණ ය. මගේ අත වැනීමට ප්‍රතිචාර දක්වා මට ආපසු අත නො වැනුවේ ඔහුගේ නිහීන කමකට නොව අතේ ඇඟිලි සියල්ල නැවීමට නුපුළුවන් වූ නිසා ය. ඒ අවදියේ මගේ මෛත්‍රී සිත ඔහු වෙතින් ඉවත් කළේ නම්, මේ පුද්ගලයා කෙතරම් හොඳ මිනිසකු දැයි කිසිවිටෙකත් මට දැන ගන්නට නො ලැබෙනු ඇත. මා මධ්‍යස්ථානයෙන් බැහැර චාරිකාවක යෙදී සිටි අතර එක් දවසක ඔහු එහි පැමිණ මා ගැන විමසා තිබේ. මා දින කීපයක්ම සක්මනෙහි යෙදෙනු නුදුටු බැවින් ඔහු කනස්සල්ලට පත්ව තිබිණ. දැන් අපි හොඳ මිතුරෝ වෙමු.