Print this Article


බෞද්ධ සාහිත්‍යය සහ සෞඛ්‍ය පුරුදු

බෞද්ධ සාහිත්‍යය සහ සෞඛ්‍ය පුරුදු

නීරෝගිකම සෑම මනුෂ්‍යයකුට ම අවශ්‍ය බව කිවයුත්තක් නො වේ. ලෙඩක් වූ විට එයට ප්‍රතිකාර කරන්නට වෛද්‍යවරයන් සිටිය යුතු ය. ආරෝග්‍යශාලා ද තිබිය යුතු ය. නීරෝගි වීම් සඳහා වෛද්‍යවරුන් වැඩි කිරීමත්, ආරෝග්‍යශාලා විවෘත කිරීමත්, හරියට හේතුව තිබිය දී ඵලය නැති කිරීමට උත්සාහ කිරීමක් වැනි ය.

අප අතර ඇති රෝගයන්ගෙන් වැඩි කොටසක් අපේ ම වරදින් සැදුණු බව ඒ ගැන කල්පනා කළොත් තේරී යයි. එදිනෙදා පැවැත්ම ගැන සමාජය කිසිම සැලකිල්ලක් නො දක්වයි. විශේෂයෙන් ම ක්ෂය රෝගය, මහාමාරිය, වසූරිය, පැපොල, සරම්ප වැනි රෝගයන් පැතිරී යන්නේ අපේ නො සැලකිල්ල නිසායි. මනුෂ්‍යයාට නීරෝගිකම තරම් වටිනා දෙයක් නැති බවට ආරෝග්‍යා පරමා ලාභා යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළහ.

එපමණක් නොව ත්‍රිපිටකයේ නොයෙක් තැන්වල සෞඛ්‍යය රැක ගන්න විධි ද සඳහන් කොට තිබේ. උන්වහන්සේ මේ සඳහා විනය නීති රාශියක් ද පැනවූහ. බෞද්ධ සාහිත්‍යයෙහි විසිරී පවත්නා ඒ නීති හා අදහස් එක්රැස්කොට ගෙන මෙහි පළ වන්නේ ය. ප්‍රධාන වශයෙන් මානසික රෝග සහ ශරීරික රෝග. මේ ආකාරයට රෝග කොටස් දෙකක් ඇත්තේ ය. මේ දෙවර්ගයේ ම රෝගයන්ට ප්‍රතිකාරත්, ඒවා වළක්වා ගන්නා ක්‍රමත්, බෞද්ධ සාහිත්‍යයෙහි ප්‍රකට ය. මානසික රෝග විවිධ වෙයි.

දැනට ප්‍රකට මානසික රෝගවලට පමණක් පිළියම් කරන වෛද්‍ය ක්‍රම හා ආයතන ද ඇත්තේ ය, එහෙත් සැඟවුණු එබඳු රෝග මිනිස් සිත්වල කිඳා ගොස් සිටින අය සියයට හතලහක් පමණ විය හැකිය. මේ මානසික රෝග වරින්වර මතු වීම නිසා බය, තැතිගැන්ම, තිගැස්සීම ඇති වේ. බුද්ධ වචනය අනුව නම්, පුහුදුන් සෑම පුද්ගලයකු ම මානසික රෝගියෙකි. අපි එතරම් ගැඹුරට ම නො බසිමු. මානසික රෝග සෑදීමේ ප්‍රධාන හේතුව පරිසරය හා වැරදි කල්පනාවයි. මේ රෝග වළක්වාගන්නා ක්‍රම සූත්‍ර පිටකයෙහි නොයෙක් තැන්වල සඳහන් වී ඇත්තේ ය. මෙහි සඳහන් වන්නේ ශාරීරික සෞඛ්‍යය රැක ගන්නා විධියයි.

ජලය

නීරෝගි ජීවිතයක් ගත කරන්නට සතුටු සෑම මනුෂ්‍යයකු ම පිරිසුදු ජලය පාවිච්චි කළ යුතුයි. ජලය පිරිසුදුව තබා ගැනීමට අවශ්‍ය බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන්නේ ය. භික්ෂුන් වහන්සේගේ පාවිච්චිය සඳහා පෙරහන් කඩක් බුදුරජාණන් වහන්සේ අනුමත කළහ. ඒ සඳහා “අනුජානාමි භික්ඛවෙ පරිස්සාවනං” යනුවෙන් විනය නීතියක් ද පනවා වදාළහ. මේ පෙරහන භික්ෂුන් වහන්සේට පමණක් නොව ගිහි පින්වතුන්ට ද සුදුසු ය. යමක් කමක් ඇති තැන්වල හා පාඨශාලා ආදියේ වතුර පෙරන ෆිල්ටර තිබේ. ඇතැම් දෙනාට එබඳු ෆිල්ටරයක් ගන්නට වත්කම නැති නිසා ඉතා ලෙහෙසියෙන් පෙරහන්කඩයක් සොයා ගත හැකි වෙයි. විශේෂයෙන් නගරබද ජලයෙන්, ඇතැම් අපවිත්‍ර දේ තිබෙන නිසා පෙරහනක් පාවිච්චි කිරීම ඉතා ම අවශ්‍යයි. ආරාමවල පානීය, පරිභෝජනීය, වශයෙන් වතුර කොටස් දෙකක් පාව්චිචි වේ. ‘පානීය’ ජලය, බීම සඳහා පාවිච්චි කරති. ‘පරිභෝජනීය’ ජලය මුහුණ හා පා දෝවනයට ද සෙසු භාජන ආදිය සේදීම සඳහා ද ගනිති. බීම සඳහා ගන්නා ජලය ගැන බුදුරජාණන් වහන්සේ විශේෂ සැලකිල්ලක් දක්වා ඇත්තේ ය.

ගලා බසින දිය පාරක් ගැන වුව ද භික්ෂුන් වහන්සේ සැලකිල්ල යොමු කොට ඇත්තේ ය. එ බඳු දිය පාරකට මුත්‍රා කිරීම හෝ මළපහ කිරීම හෝ තහනම් කොට වදාළහ. ඒ කෙසේ වෙතත් එබඳු දියකට කෙළ ගැසීම ද තහනම් කොට ඇත්තේ ය. සිය දහස් ගණන් පාවිච්චියට ගන්නා ජලය ගලා බස්නා ගංගා, හෝ, ඇළ, දොළ අපිරිසුදු කරන අය කෙතෙක් සිටිත් ද?

විශේෂයෙන් බෞද්ධ පින්වතුන් බුද්ධ නියමය ගැන ද සලකා එබඳු වැරදිවලින් මිදෙතොත්, එය ලොකු පිනක් ද වන්නේ ය.

භාජන පාවිච්චිය

නොසැලකිලිමත්ව භාජන පාවිච්චි කිරීම නිසා අපට බෝවෙන රෝග වැළඳෙයි. විශේෂයෙන් ක්ෂය රෝගය වැනි ලෙඩ වැළඳෙන්නේ ආහාර ගන්නා භාජන පාවිච්චියේ වරදින් බව පිළිගත යුතු ය. තම තමාට අයත් භාජන වෙන ම තබාගැනීමේ ක්‍රමය භික්ෂුන් අතර පවත්නා ක්‍රමයයි. තමාගේ ම ප්‍රයෝජන සඳහා පාත්‍රයක් පාව්චිචි කිරීමට නියම කරන ලදි. පාත්‍ර පාවිච්චිය පිළිබඳ නීති රාශියක් ද සෑම දිනකම දන් වැළඳීමෙන් පසු සේදූ පාත්‍රය අව්වෙන් රත්කොට තෙතමනය සිඳවා තැබීමට ද නියම කළහ. පාත්‍රය රත් කිරීම නිසා පාත්‍රයේ පතිත වූ යම් විෂබීජ කොටසක් ඇත්නම් එය විනාශ වී යයි. පාත්‍රයේ මළ ඇල්ලීමක් ද නොවේ. පාවිච්චි කරන භාජන පිළිබඳ බුදුරජාණන් වහන්සේ අනුදත් මේ ක්‍රමය ගිහි පින්වතුන්ට ද සුදුසු යැයි හැඟේ.

තමා කන බොන පිඟන් කෝප්ප මාරු නොවන ලෙස ලකුණු යොදා තබා ගැනීම මේ සඳහා හොඳම ක්‍රමය යි. සමහර නිවෙස්වල වැඩිහිටියන්ගේ භාජන වෙන ම ඇතත් සෙස්සන්ගේ පිඟන් කෝප්ප වෙන් වෙන් වශයෙන් නැත්තේ ය. ක්ෂය රෝග විෂ බීජ බොහෝ විට ආහාර සමඟ ශරීර ගත වේ. මේ නිසා බෝවෙන රෝගයන්ගෙන් වැළකීම සඳහා තමා පාවිච්චි කරන පිඟන්, කෝප්ප වෙන ම තබා ගැනීම ඉතා වටිනා කාර්යයකි.

බඩු බාහිර තබා ගැනීම

මුලදී භික්ෂුන් වාසය කළ තැන්වල උන්වහන්සේට අයත් පාත්‍ර, චීවරආදිය මිස එයට වැඩිමනත් යමක් නො වී ය. ශාසනය දියුණු වෙත් ම, බෞද්ධයන් වැඩිවත් ම, ශ්‍රද්ධාව වැඩෙත් ම, ස්ථාන - පන්සල් බඩුබාහිරාදිය ද අධික විය. මේ නිසා ඒවායේ පොදු පරිභෝගය සඳහා විනය නීති රාශියක් ද වදාළහ.

ආරාමයක වැඩ සිටින ශිෂ්‍ය භික්ෂුව විසින් ම තම ආචාර්යවරයාට සැලකිය යුතු අයුරු සඳහන් වන නීති කොටස ‘වට්ඨකඛන්ධකය’ නමින් හැඳින්වේ. එහි සඳහන් පරිදි ඇඳ, පුටු, ඇතිරිලි ආදිය දිනපතාම ශුද්ධ කළ යුතුය. උදෑසන ම අවදිවන ශිෂ්‍ය භික්ෂුව තම ගුරුවරයාට මුහුණ දෝවනයට පැන් හා දත් මැදීමට දැහැටි ද දිය යුතුයි. කවර ආහාරයක් දෙතත් කැඳක් හෝ පිළිගන්වතොත් ඒ පිළිගන්වන භාජන පිළිගන්වන්ට පළමුවත් වැළඳූ පසුත් සෝදා තැබිය යුතු බව මහා වග්ග පාලියේ වත්තකඛන්ධකයෙහි සඳහන් වේ. නිතර ම කුණුකසළ ආදිය ශුද්ධ කොට තැබිය යුතු බව ද එහි සඳහන් වේ.

තමා සිටින ආරාමයෙහි ශුද්ධ කළ යුතු අපිරිසුදු තැන් පිරිසුදු නොකිරීම ම ඇවතක් සිදුවීමට ද හේතුවකි. පිරිසුදුකම පිළිබඳ කොතරම් සැලකිල්ලක් දක්වා තිබේ දැයි මෙයින් තේරුම් ගත හැකි වෙයි. ආරාමයෙහි තිබෙන ඇඳ, පුටු ආදිය පිරිසුදු කිරීමට ගෙයින් පිටතට ගන්නා විට ද තබන විට ද ඒවා තැන් තැන්වල නො හැප්පිය යුතු බව ‘මඤෙවා නීචං කත්වා සාධුකං අපරි ඝංසනෙත්තන අසං ඝට්ටනෙතන කවාට පිඨාං නීහරිත්වා එකමන්තං නික්ඛිපි තබ්බො’ යනුවෙන් සඳහන් වේ. ගේ දොර හැමදීමේ දී බඩු බාහිරාදියට දූවිලි නො වදින සේ එය කළයුතු බව දක්වා ඇත්තේ ය. ඇතිරිල්ලක් ගසාදැමීමේදී ද ළඟ පාත සිටින අයගේ ඇඟට දූවිලි නොවදින සේ කළ යුතු බව අන්තිම පරිච්ඡේදයෙන් දක්වා ඇත්තේ ය. වතුර භාජන ආදිය ළඟ තිබේ නම් එබඳු තන්හි ඇතිරිලි ආදිය ගසා දැමිය නොයුතු යැයි වදාළහ. සුළඟ හමන දිශාව බලා එය කළයුතු බව දක්වා ඇත්තේ ය. නිතර සෙනඟ ගැවසෙන තැන්වල ජීවත්වන පින්වතුන් මෙය සැලකිල්ලට ගත යුතුයි. විශේෂයෙන් නගරබදව සිටින අය මේ කරුණ සැලකිල්ලට ගත යුතුව තිබේ.

අධික ආහාර ගැනීම ශරීර සෞඛ්‍යය පිරිහීමට හේතු වන බව වෛද්‍ය මතය ද වන්නේ ය. ප්‍රමාණයට වඩා ආහාර ගැනීම නුසුදුසු බව බෞද්ධ සාහිත්‍යයෙහි ද සඳහන් වන්නේ ය.

“හතර පස් කටක් වැළඳීමට ඉඩ තිබියදී වතුර පානය කළ යුත්තේය” කියා දහමේ සඳහන් වේ.

වැඩි ආහාර ගැනීමෙන් බත් මතය ඇතිවන බව පාලි සාහිත්‍යයෙහි නොයෙක් තැන සඳහන් වන්නේ ය. මෙහි “බත් මතය” යනුවෙන් අදහස් කරන්නේ ආහාරය නිසා ඇති වන මත් ගතිය යි. අධික ව ආහාර ගැනීමෙන් මත් ගතිය පමණක් නො ව අලසකම ද වැඩි වේ.

මිශ්‍ර ආහාරයක් ගැනීමට ද බුදුරජාණන් වහන්සේ අනුදත්හ. ව්‍යඤ්ජන වර්ග බතින් හතරෙන් කොටසක් විය යුතු බව පාලි සාහිත්‍යයෙහි සඳහන් වේ. ආහාරයේ පිරිසුදුතාව, ආහාර ගන්නා ක්‍රමය, සුදුසු නුසුදුසු ආහාර ආදී කරුණු රාශියක් ගැන ද සඳහන් වී ඇත්තේ ය.

නීරෝගි ජීවිතයක් ගත කිරීමට නම් ශරීරය පිරිසුදුව තබා ගත යුතු ය. මෙහි ඇති වටිනාකම අද මෙන් ම එදා ජීවත් වූ චින්තකයෝ ද කල්පනා කළහ. ඒ සඳහා දැක්වූ කරුණුූ රාශියක් පාලි සාහිත්‍යයෙහි දක්නට ලැබේ. ශරීරයේ දූවිලි ගෑවුණු හෝ වෙහෙස වී දාඩිය වැටුණු හෝ ගමනක් ගොස් පැමිණි විට හෝ නා ගැනීමට අවසර ලැබූ අයුරු මධ්‍ය දේශයේ භික්ෂුන් පිළිබඳ කතාන්තරයෙහි සඳහන් වේ. නියපොතු කැපීම ගැන පිටිසර පාඨශාලාවල අදත් තද සැලකිල්ලක් දැක්වෙයි. අවුරුදු දෙදහස් පන්සියයකට පෙර ජීවත් වූ අයත් මේ පිළිබඳ සැලකිල්ලක් දැක්වූ බව ඇසීම ඔබේ කුතුහලය ඇවිස්සීමට ද හේතු විය හැකියි යන නීතිය භික්ෂුන් සඳහා වදාළහ.

“මහණෙනි, දික් නිය නොදැරිය යුතුයි. (තබා නො ගත යුතුයි) යමෙක් දුරා නම් ඔහුට “දුකුළා ඇවතක් වන්නේ ය” තදින් ඇදී ගිය දිග නියපොතු අවලක්ෂණ ය.

එසේ ම එහි රැඳෙන කුණු නිසා ආහාරය සමඟ අපිරිසුදු ද්‍රව්‍ය ශරීරගත වේ. මෙ පමණක් නො ව නියම කනෙහි වූ කලාඳුරු හෑරීමට ද නියම කොට ඇත්තේ ය. නිසි අවස්ථාවෙහි කන් සුද්ධ නො කිරීම නිසා කන් ආශි‍්‍රත රෝගවලට භාජන වූවෝ කොපමණ අපේ රටේ ඇත් ද? මේවා විශේෂයෙන් ම බෞද්ධයන්ගේ සැලකිල්ලට භාජන විය යුතු ය. දත් මැද ගැනීම සඳහා දැහැටි පාවිච්චි කිරීමට නියම කළ තැන් විනය පාලියෙහි දක්නට ලැබේ.

ශරීරය පිරිසුදුව තබා ගැනීමට අවශ්‍ය මේ නීති, භික්ෂුව විසින් පිළිපැදිය යුතුම ය. එසේ නො කරතොත් එය දඬුවම් ලැබිය යුතු වරදකි. නීරෝගිකම ගැන කොතරම් සැලකිල්ලක් දක්වා ඇත්තේ දැයි මේ කරුණුවලින් තේරුම් ගත හැකි වෙයි.

කොටින් ම නියමිත වේලාවේ දී මුහුණ නොසේදී ම ද පවෙකි. මූණ සෝදා ගැනීම පිනෙකි. පිරිසුදු වීම පිනෙකි. අපිරිසුදුව සිටීම පවෙකි.

බද්දේගම විමලවංස අනුනාහිමිපාණන් වහන්සේට කෘතගුණ පිණිස මෙම ලිපිය පළ කෙරේ.