Print this Article


හාත්පසින් ආරක්ෂාව සලසන ධර්ම විශේෂය

මෙලොව සෙත් ශාන්තිය හා සෞභාග්‍යය ළඟා කර ගැනීම සඳහා පිරිත් දේශනා කරවා ගැනීමට සිංහල බෞද්ධ ජනතාව බලවත් කැමැත්තක් දක්වති.

පිරිත් වශයෙන් ගැනෙන්නේ පිරුවානා පොතට ඇතුළත් සූත්‍ර දේශනායි. මෙහි දැක්වෙන සූත්‍ර ආරක්ෂක දේශනා වශයෙන් සැලකෙයි. මේවා චිරාගත තාලානුකූල ව භික්ෂුන් විසින් සජ්ඣායනා කරනු ලැබේ. බුදුහු සරභඤ්ඤය අනුදැන වදාළහ. ස්වරයෙන් ධර්මය ( පිරිත්) දෙසීම සුදුසු බැව් කියා තිබේ.

තරංග වෘත්ත, දෝධක වෘත්ත, ගණක වෘත්තා දී දෙතිස් වෘත්තයන්ගෙන් කවරක් වුව ද තෝරාගෙන සුදුසු පරිදි කිව හැකි බව ප්‍රකාශිත ය. එහෙත් ආයත දීර්ඝ ස්වරයෙන් ධර්මය නොකිව යුතු බැව් දක්වා ඇති බැවින් පිරිත් දේශනා සඳහා ගීත ස්වරය යොදා ගැනීම නුසුදුසු ය. ආයත ගීත ස්වරය නම්, ඒ ඒ වෘත්තය බිඳ අකුරු විනාශ කොට කීමයි. මෙයින් පෙනී යන්නේ මුල් කාලයේ සිට ම පිරිත් දේශනය තාලානුරූප ව හැඩගස්වාගෙන තිබු බවකි. පරිත්ත යන පාලි වචනයෙන් පිරිත් යන්න බිඳී ඇත. හාත්පසින් ආරක්ෂාව සලසන ධර්ම විශේෂය මෙනමින් හැඳින්වෙයි.

බුදුරජාණන් වහන්සේ සත්‍ය පාරමිතාවත්, අධිෂ්ඨාන පාරමිතාවත් කුළුගන්වන දේශනාවක් වශයෙන් සැලකෙන පිරිතෙන් මිනිසුන්ට වැළඳෙන රෝග පීඩාදියෙන් සහ බාහිර උපද්‍රවවලින් ආරක්ෂාව සැලසීම අපේක්ෂා කෙරේ. පිරිත සත්‍ය ක්‍රියාව කි. සත්‍ය වචනයේ බලය ආවර්ජනා කොට යහපතක් පැතීම පිරිතෙන් සිදු කෙරේ. අංගුලිමාල පිරිතේ දී අඟුල්මල් තෙරුන් තමන් ආර්ය ජාතියට පත්වූ තැන් සිට සතුන් මැරීමෙන් වැළකීමේ සත්‍ය කරණකොට ගෙන මූඪගර්භ මාතාවට සෙත් පැතූ සැටි ප්‍රසිද්ධ ය. රතන සූත්‍රයේ දී තෙරුවන්ගේ ගුණ ආවර්ජනා කොට ඒ සත්‍ය වචනයේ බලයෙන් යහපතක් වේවා යි ප්‍රාර්ථනා කෙරේ.

පිරිත් දේශනාවේ ආරම්භය ලෙස දැක්වෙන්නේ විසාලා නුවර තුන්බිය දුරු කිරීම සඳහා දෙසන ලද රතන සූත්‍රය යි.

රතන සූත්‍ර නිධාන කතාවේ දැක්වෙන පරිදි බුදුන්ගේ අනුදැනුම ඇතිව ආනන්ද හිමියෝ රතන සූත්‍රය සජ්ඣායනා කරමින් බුද්ධ පාත්‍රයෙන් පැන් ඉසිමින් වීදි සංචාරයෙහි යෙදුණාහ.

දීඝ නිකාය අට්ඨ කතාව වන සුමංගල විලාසිනියේ ආටානාටිය සූත්‍ර අටුවාවේ වර්ධනය වූ පිරිත් චාරිත්‍ර ගැන සඳහන් වේ. ආටානාටිය දේශනාවට පෙරාතුව මෙත්ත, ධජග්ග හා රතන සූත්ත දින හතක් දෙසිය යුතු බවත්, ඉන් යක්ෂාවේෂය පහව නොයන්නේ නම් ආටානාටිය සූත්‍ර දේශනාව කළ යුතු බවත් එහි දක්වා ඇත. පිරිත් දේශනා කරන භික්ෂුන් පිටි හා මාංස ආහාරයෙන් වැළකී සිටිය යුතු බවත් එහි සඳහන් ව ඇත. පිරිත් දෙසන ස්ථානය ගොම පිරිබඩ ගන්වා පිරිසිදු කර ආසනයක් පැනවිය යුතු බව ද, දොර ජනෙල් වසා පිරිත් කිය යුතු බව ද වැඩිදුරටත් දක්වා ඇත. ආයුධ ගත් අතැතියන් ලවා රැකවල් ගත යුතු යැයි ද කියා තිබේ. ආතුරයා විහාරයට ගෙන ගොස් චෛත්‍ය මළුව පිරිසිදු කොට එහි හොවා මංගල ගාථා දෙසිය යුතු බැව් ද සඳහන් වේ. අමනුෂ්‍යාවේෂය බැහැර කිරීම සඳහා පිරිත් දෙසීමේ පිළිවෙළ මේ කාලය වන විට ඇරඹී තිබුු බව මෙයින් අනාවරණය වේ.

මහාවංශයේ විජය කුමාරයාගේ ලංකාවතරණය පිළිබඳ කතා පුවතේ ද පිරිත් පැන්, පිරිත් නූල් ගැන සඳහන් වේ. එහි සඳහන් පරිදි ශක්‍රයාගේ අණ පිළිගත් උපුල්වන් දෙවිඳු පිරිවැජි වෙසින් විජය වෙත වුත් පිරිත් පැන් ඉස පිරිත් නූල් දී ඔහුට ආරක්ෂාව සැපයීය. (ක්‍රි.ව. 4) පළමු වැනි උපතිස්ස රජු සමයේ සිට රෝගපීඩා, අතුරු ආන්තරා මුල්කරගෙන පිරිත් දේශනා පැවැත්වූ ආකාරය දැක්වෙන පුවත් මහාවංශයේ හා චූලවංශයේ ඇතුළත් ව ඇත. පිරිත් දේශනය ගැන සෙල්ලිපිවල ද තොරතුරු දැක්වේ. නිශ්ශංකමල්ල රජු විසින් පිරිත් ධර්ම ශ්‍රවණය සඳහා විශේෂයෙන් තනවන ලද නිශ්ශංක ලතාමණ්ඩපය නමින් යුත් ගොඩනැඟිල්ල වෙසෙසින් සඳහන් කළ මනා ය. මෙම මණ්ඩපය මධ්‍යයෙහි කුඩා ස්තූපයක ආකෘතියක් දැකිය හැකි ය. එය බුදුරදුන් සංකේතවත් කරන්නක් බව කිව යුතු ය.

රැයක් මුළුල්ලෙහි දෙසනු ලබන පිරිත් තිස්පැයේ පිරිත වශයෙන් ද, රෑ දෙකක් සහ එක් දවාලක් දිගට කියන පිරිත තුන්වේලේ පිරිත වශයෙන් ද, දින හතක් එක දිගට දිවා රාත්‍රි කියන පිරිත හත් දවසේ පිරිත වශයෙන් ද, එක් රාත්‍රියක් හා දිවා රාත්‍රි තුනක් ද දිගට කියන පිරිත සත් වේලේ පිරිත වශයෙන් ද හැඳින්වේ. වරු තුනක් තුළ කෙටි කාලයක දී කියනු ලබන පිරිත් තුන් වරුවේ පිරිත නම් වේ.

ගෘහ ප්‍රවේශයක දී හෝ ළමයකුගේ ඉඳුල් කටගෑමක දී හෝ වෙනත් එබඳු විශේෂ කරුණක දී කෙටි කාලයක් පිරිත් දෙසනු දැකිය හැකි ය. වරු පිරිතක දී හැර තිස්පැයේ පිරිතේ සිට හත් දවසේ පිරිත් සඳහා විශේෂ මණ්ඩපයක් පිළියෙළ කිරීම සිරිතකි. එසේම තුන්වේලේ සිට හත් දවස දක්වා වූ පිරිත්වල දී පිරිත් මණ්ඩපය තුළ ඉන්ද්‍රඛීලය නම් විශේෂ අංගයක් සැකසේ. සම ප්‍රමාණයේ පුටු දෙකක් ( යුග පුටු) එකට යා කර ඒ පුටු දෙක මැදින් උඩට නැඟී යන සේ ඉඹුල් කොපිලක් හෝ අමු සූරිය ලීයක් සවිමත් සේ බඳිනු ලැබේ. මේ ලීය උඩ කොටසේ අලුත් සුදු රෙද්දකින් රැලි ගන්වා වටාපතක හැඩය දැක්වෙන ආකාරයට මේ සැරසිල්ල සකස් කෙරේ. කොළඹ ප්‍රදේශයේ තිස්පැයේ පිරිතට ද රාජගහ නමින් මෙබඳු අංගයක් එක් කෙරේ. එය ඉන්ද්‍රඛීලය සේ අලංකාරවත් වූවක් නොවේ. පුවක් පැළයක අග කොටස රාජගහ සඳහා යොදා ගැනේ. පුවක් අතු විහිදී යන කොටසේ පොල් මලක් බැඳීම සිරිතකි. ඉන්ද්‍රඛීලයෙන් ප්‍රධාන අර්ථ සතරක් සංකේතවත් කරන බව වියතුන්ගේ අදහසයි.

සීමා පිළිබඳ සංකේතය, බලය පිළිබඳ සංකේතය, ස්ථිරසාරභාවය පිළිබඳ සංකේතය සහ කේන්ද්‍රය හෙවත් මධ්‍ය පිළිබඳ සංකේතය යනුයි.

මෙකී ඉන්ද්‍රඛීලය පිරිත් මණ්ඩපයට සම්බන්ධ වීමෙන් පිරිතේ පූජාමය චාරිත්‍ර, ඉපැරැණි යුගය හා ඇති සම්බන්ධතාව හෙළි කරයි. පිරිත් මණ්ඩපයේ අනිකුත් සැරසිලි දෙස බැලීමේ දී එහි මල් වියනක් බැඳීම ද, ගොක් කොළයෙන් වලයන් බැඳීම ද, ධාතු ආසනයක් බැඳ එහි ධාතු කරඬුව තැන්පත් කිරීම ද, පිරිත් පැන් බඳුන නියමිත පරිදි තැන්පත් කර පිරිත් නූල් ඇදීම ද පිරිත සම්බන්ධ පූජා චාරිත්‍රවලට අනුකූලව සිදු කෙරෙයි. මණ්ඩපය මුදුනේ නූල් ඇද එහි පුවක් මල්, නාදලු, බුලත් කිනිති ආදිය එල්ලීම සිරිතකි. මෙකී සැරසිල්ල මල් වියන නම් වේ.

තුන්වේලේ සහ සත් දවසේ පිරිත්වල දී පිරිත් පේ කිරීමෙන් පසු මණ්ඩපය වටා ඇතුළතින් පිරිත් හුය අදිනු ලැබේ. මණ්ඩප දොරටුවල පුන්කලස් තබා, පහන් දල්වා, සුවඳ දුම් දී ප්‍රධාන භික්ෂුවට දැහැත් වට්ටියක් පිළිගන්වා පිරිත් දේශනා කරන ලෙස ආරාධනා කළ යුතු ද වෙයි. දායකයා ලවා විපත්ති පටිභාහාය යනාදී ගාථාව කියවා පිරිත සඳහා ආරාධනා කරවීමෙන් ඉක්බිතිව ගිහියන් පන්සිල්හි පිහිටුවා පිරිත් අනුශාසනය පවත්වා දේවතාරාධනයෙන් පසු පිරිත් සජ්ඣායනය ඇරඹේ.