දරුණු රෝග නසන
මහඟු ඖෂධයක්...
අත්තුඩාවේ සිරි රාහුල මහනාහිමි
මිනිසාට හුදෙකලාව විසිය නොහැකි ය. ආශ්‍රය සඳහා කෙනකු හෝ කිහිප දෙනකු අවශ්‍ය ය.
ඇසුරට සුදුසු පුද්ගලයකු සොයා ගැනීම අතිශයින් ම අසීරු කරුණක් වී තිබේ. බුදුරජාණන්
වහන්සේ මංගල සූත්‍රය ආරම්භයේ දී වදාරා තිබෙන්නේ
“අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා” යනුවෙනි. බාලයන්, මෝඩයන් ඇසුරු නොකළ යුතුයි.
පණ්ඩිතයන්, බුද්ධිමතුන් සේවනය කළ යුතු ය කියා ය.
කල්‍යාණ මිත්‍රත්වය සම්පතකි. මිත්‍රත්වය නම් සෙනෙහස, දයාව, ආදරය ආදී විවිධ
වදන්වලින් හැඳින්වන්නකි. ද්වේෂය, වෛරය, ක්‍රෝධය, තරහව යන වචනවලින් පැවසෙන දුර්වල
චෛතසිකයන්ට මිත්‍රත්වය ඉඳුරාම විරුද්ධ වෙයි. ද්වේෂයේ හෙවත් ක්‍රෝධයේ විරෝධාර්ථය
මෛත්‍රිය යි. ක්‍රෝධය නිසා මිනිසාට සතුරෝ වැඩි වෙති. මෛත්‍රිය නිසා මිතුරෝ බොහෝ
වෙති. වෛරය නිසා මිනිසාට අපමණ දුෂ්කරතාවලට මුහුණ පාන්නට සිදු වෙයි.
මනුෂ්‍යයාට සැනසීම ලැබෙන්නේ මෛත්‍රියෙනි. මිනිසා වැනසෙන්නේ වෛරයෙනි.
“අච්ඡරා සංඝාත මත්තංපි චෙ මෙත්තං චිත්තං භාවෙති සො අරිත්තජඣානො විහරති”
අසුරු සණක් කල් පමණ හෝ යමෙක් මෙත් සිත වඩා ද හෙතෙම නොසිස් වූ ධ්‍යාති ජීවිතයක් ගත
කරන්නෙක් වෙයි.
මිතුරු තුමෝ දුක් සැප
දෙකෙහි ම පැවැති
බිතු සිතුවම් රූ මෙන්
පිටු නොපා විති
මෙත්ත සූත්‍රයේ දී මෛත්‍රිය වැඩීමේ අනුසස් එකොළසක් දක්වා තිබේ.
සුඛං සුපති - සැප සේ නිදයි.
සුඛං පටිබුජ්ඣති - සුව සේ පිබිදෙයි.
න පාපකං සුපිනං පස්සති - නපුරු සිහින නොදකී.
මනුස්සානං පියොහොති - මිනිසුන්ට පි‍්‍රය වෙයි. අමනුස්සානං පියොහොති - නොමිනිසුන්ට
පි‍්‍රය වෙයි.
දේවතා රක්ඛන්ති - දෙවියෝ ඔහු රකිති.
නාස්ස අග්ගිවා විසංවා සත්ථංවා ඛමති. - ගිනි විෂ අවි වැනි දේ ඔහුගේ සිරුරෙහි නොවදී.
තුවටං චිත්තං සමාධියති - වහා සිත සමාධිගත වේ.
මුඛ වණ්ණා විප්පසීදති - ඔහුගේ මුහුණ පැහැපත් වේ.
අසම්මුළ් හො කාලංකරොති - නුමුළාව කලුරිය කරයි.
උත්තරිං අප්පටි විඣත්තො බ්‍රහ්ම ලොකූප ගො හොති - රහත් නොවී නම් බඹලොව හෝ උපදී.
මිතුරන් අතර ඉතා ම විශිෂ්ට මිත්‍රයා කල්‍යාණ මිත්‍රයා ය. බුදුරජාණන් වහන්සේ ද
හඳුන්වන්නේ කල්‍යාණ මිත්‍ර මෛත්‍රිය බුදුරජාණන් වහන්සේ යන ආකාරයට ය.
කල්‍යාණ මිත්‍රයාගෙන් නැති ගුණ යහපත්කම ඇති වෙතැයි ද, පවතින ගුණ යහපත්කම වැඩී
වර්ධනය වෙතැයි ද බුදුන් වහන්සේ වදාළහ. කල්‍යාණ මිත්‍රයා කවදාවත් මිත්‍රයකුට
ද්‍රෝහිකමක් නොකරයි. මිත්‍රද්‍රෝහී නොවීමේ වැදගත්කම පිළිබඳ කරුණු රාශියක් පිරිත්
පොතේ දැක්වෙන මිත්තානිසංස සූත්‍රයේ ඇතුළත් වේ.
මිත්‍රද්‍රෝහී නොවන්නා බැහැර ගියවිට බෙහෙවින් ආහාරපාන වර්ග ලැබේ. ඔහු ඇසුරු කරන
බොහෝ දෙනාට වැඩ සිදු වෙයි.
මිත්‍රද්‍රෝහී නොවන්නා යම් රටකට, නුවරකට, ගමකට ගිය විට හැම තැනක දී පූජිත තත්වයට
පැමිණේ. ඔහු කරා සොරු ළං නොවෙති. රජු ද අවමන් නොකරයි. ඔහුගේ සතුරෝ ද මර්දනය වෙති.
මිත්‍රද්‍රෝහී නොවන්නා නොකිපී නිවෙසට පැමිණෙයි. සභාවෙහි දී ගෞරව පූර්වක ව
පිළිගනිති. නෑයන්ට ද උතුම් වේ.
මිත්‍රද්‍රෝහී නොවන්නා අනුන්ට සත්කාර කොට මෙරමාගෙන් සත්කාර සංග්‍රහ ලබයි.
මිත්‍රද්‍රෝහී නොවන්නා අනුන්ට සත්කාර කොට අනුන්ගෙන් ද සත්කාර ලබයි. අනුන්ගේ
ගෞරවාදරයට පත් වෙයි. අනුන්ගේ වර්ණනාවෙහි හා ප්‍රශංසාවෙන් ඉහළට පැමිණෙයි.
මිත්‍රද්‍රෝහී නොවන්නා මිතුරන් පුදා, තමා ද පූජිත තත්වයට පැමිණේ. තමා ද වැඳුම් ලබන
තත්වයට පැමිණේ. යසසට හා කීර්තියට පත්වේ.
මිත්‍රද්‍රෝහී නොවන්නා ගින්න මෙන් දිලිසේ. දෙවියකු මෙන් බබළයි. මිත්‍රද්‍රෝහී
නොවන්නාට ගවයෝ බොහෝ වෙති. ඔහුගේ ගොවිකම සාර්ථක වේ. දරුපල සාර්ථක වේ.
මිත්‍රද්‍රෝහී නොවන්නා දැදුරෙන්, පව්වෙන් හෝ ගසකින් හෝ වැටුණත් ඔහුට යම් පිහිටක්
ලැබෙයි.
මිත්‍රද්‍රෝහී නොවන්නා වැඩුණු මුල් සමූහයකින් යුත් නුග ගසක් මෙන් සතුරන්ට මැඬලිය
නොහැක්කේ වෙයි.
මෙම කරුණුවලින් පැහැදිලි වන්නේ මිත්‍රත්වය රැක ගැනීමේ වටිනාකමයි. කලණ මිතුරන්ගෙන්
ජීවිතය අර්ථවත් වෙයි.
කල්‍යාණ මිත්‍රයා කවරෙක්දැයි මෙසේ හඳුන්වා දුන්හ.
පියොච ගරු භාවනීයො
චත්තාච වචනක්ඛමො
ගම්භීරංච කතංකත්තා
නොචට්ඨානෙ නියොජයෙ.
පි‍්‍රය ය. ගරුත්වයෙන් යුක්ත ය. සම්භාවනා කටයුතු ය. කීමෙහි බිණීමෙහි දක්ෂ ය. වචන
පිනවන සුළු ය. ධර්ම සංයුක්ත ගැඹුරු කතා ඇත්තේ ය. නො තැන්හි නොයොද වන්නේ ය.
මේ ආදී වචනවලින් බුදුරජාණන් වහන්සේ, සියලු ලක්ෂණවලින් හෙබි කල්‍යාණ මිත්‍රයාණෝ ය යන
බවයි.
බුද්ධත්වයට පැමිණි බුදුරජාණන් වහන්සේ පළමු කොට සෙවූයේ මම කවරකුට ගුරුත්වයෙන් ආශ්‍රය
කෙරෙම් ද කියා ය. උන්වහන්සේගේ ගුරුත්වය ලැබීමට හෝ සම තත්වයේ සිටීමට හෝ කිසි කෙනකු
නැති බැවින් නවලෝකෝත්තර ධර්මය ම ඒ සඳහා තෝරා ගත්හ.
දිනක් ආනන්ද මහ තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අමතා ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස,
මේ ශාසන බ්‍රහ්ම චර්යාවෙන් හරි අඩක් ම කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නිසා ම ලැබෙන” බව
පැවසූහ. “හා, හා, ආනන්ද එසේ නොකියව. අඩක් නොව සම්පූර්ණයෙන් ම ලැබෙන්නේ කල්‍යාණ
මිත්‍ර සම්පත්තියෙනි යි” වදාළ සේක.
මේ මිත්‍ර යන අකුරු දෙක කවර නම් උතුමකු විසින් මවන ලද දැයි ප්‍රකාශ කරති.
ශෝකය, සතුරා ය. උවදුරු ය, බය යන මෙයින් වළක්වා රක්නා වූ පී‍්‍රතිය, විශ්වාසය යන මේ
මහඟු ගුණ දෙකට භාජන වූ මිත්‍ර යන මේ අකුරු දෙක කවර උතුමකු විසින් මවා ලූ මිණි
රුවනක් දැයි විස්මයෙන් ප්‍රශ්න කරන ලදි. |