Print this Article


බෞද්ධ භාවනාව ගැන වැරදි වැටහීම් එපා

බෞද්ධ භාවනාව ගැන වැරදි වැටහීම් එපා

මහණෙනි, කායික ය, චෛතසිකය යි රෝග දෙකකි. කායික රෝගයෙන් නිදහස් ව වර්ෂයක් ආරෝග්‍ය විඳින, වර්ෂ දෙකක් ආරෝග්‍ය විඳින..... වර්ෂ සියයක් හෝ වැඩිකල් ආරෝග්‍ය විඳින සත්වයෝ දක්නා ලැබෙති. එහෙත් ක්ෂීණාශ්‍රවයන් (රහතන්) හැර, චෛතසික රෝගයෙන් නිදහස් ව මොහොතකුදු මානසික ආරෝග්‍ය විඳින සත්වයෝ ලෝකයෙහි දුර්ලභ වෙත් යැයි බුදුන් වහන්සේ වදාළහ.

උන්වහන්සේගේ ධර්මය, එයිනුදු උන්වහන්සේගේ භාවනා ක්‍රමය සම්පූර්ණ මානසික සෞඛ්‍යයත්, සාමයත්, ශාන්තියත් ලබාදීම අරමුණු කර ඇත්තේ ය. එසේ වුව ද, භාවනාව තරම් බෞද්ධ, අබෞද්ධ බොහෝ දෙනකු වැරැදි ලෙස තේරුම් ගත් වෙන අංශයක් බුද්ධ ධර්මයේ නැති තරම් ය.

‘භාවනාව‘ යන වචනය කියනු ලබත් ම, අප කල්පනා කරන්නේ ජීවිතයේ, දවසේ පොදු වැඩවලින් ඉවත් ව, සමාජයෙන් වෙන් ව,ඇතැම් ගුහාවල හෝ විහාරවල හෝ දක්නට ලැබෙන ප්‍රතිමා වැනි විශේෂ ඉරියව්වකින් කිසියම් ගූඪ කල්පනාවක නොහොත් සිතිවිල්ලක යෙදෙන බවකි. සැබෑ බෞද්ධ භාවනාව කිසි ලෙසකිනුදු එවැනි පලායෑමක් නො වේ. මේ පිළිබඳ බුද්ධ මතය කො තරම් දුර වරදවා තේරුම් ගන්නා ලද්දේ ද, නැතහොත් කො තරම් අඩුවෙන් තේරුම් ගන්නා ලද්දේ ද යත් පසු කාලවල දී මේ භාවනා ක්‍රමය පිරිහී ගොස් ශිල්පයක මෙන් කළ යුතු වැඩ පිළිවෙළක් ඇති චාරිත්‍ර විශේෂයක් බවට පැමිණියේ ය.

බොහෝ දෙනා භාවනාවට හෙවත් යෝගයට කැමැති වන්නේ වෙන අයට නැති ‘තුන් වැනි ඇස’ වැනි ආධ්‍යාත්මික ගුප්ත බලයක් ලබා ගැනීම සඳහා ය. ඇස්වලින් දැක ගැනීමේ බලය හොඳින් තිබිය දී ම, කන්වලින් දැකීමේ බලයකුදු ලබා ගන්ට උත්සාහ කළ එක්තරා උපාසිකාවක් ටික කලකට පෙර ඉන්දියාවේ විසූ බව මෙහි ලා නිදසුනක් හැටියට සඳහන් කළ හැකි ය. මේ වූ කලි ආධ්‍යාත්මික දුරුපයෝගයක් මිස අන් කිසිවක් නො වේ. මෙය ද බලයට ඇති ආශාව හෙවත් තෘෂ්ණාව ම ය.

භාවනා යන වචනයේ සැබෑ තේරුම නම් සිත වැඩීම, සිත දියුණු කිරීම යනුයි. ඒ වනාහි කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීන මිද්ධ, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්ඡා ආදී කෙලෙස්වලින් සිත මුදා පිරිසිදු කර, ඒකාග්‍රතාව, ස්මෘතිය, බුද්ධිය, අධිෂ්ඨානය, වීර්යය, විවේචන ශක්තිය, ශ්‍රද්ධාව, පී‍්‍රතිය, ශාන්තිය ආදි ගුණ දියුණු කර සියල්ල තතු පරිද්දෙන් දක්නා උතුම් ප්‍රඥාව ලබා දී, පරම සත්‍ය හෙවත් නිර්වාණය අවබෝධ කර දීම අරමුණු කර ඇත්තේ ය.

භාවනා වර්ග දෙකක් වෙයි. ආකිඤ්චඤ්ඤායතන, නේවසඤ්ඤා නාසඤ්ඤායතන වැනි උසස් යෝගී තත්වවලට මුල් වන සමථය, සමාධිය, සිත එකඟ බව (චිත්තේකග්ගතා) වැඩීම එයින් එකකි. මේ පිළිබඳ විවිධ ක්‍රම ධර්ම ග්‍රන්ථවල විස්තර කර තිබේ. මේ සියලු ධ්‍යාන ම සංස්කාරවලින් හටගත් (සංඛත) මනෝමය තත්ව බව බුදුන් වහන්සේ වදාළහ. තථය, සත්‍ය හෙවත් නිර්වාණයත්, ඒවාත් අතර කිසි සම්බන්ධයක් නැත. මේ භාවනා වර්ග බුද්ධ කාලයට පෙර ද තිබුණේ ය. හුදු බෞද්ධ භාවනාවක් නො වුව ද, එය බෞද්ධ භාවනා ගණයෙන් බැහැර නොවේ. එහෙත් නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා ඒ අවශ්‍ය ම යැයි නො කිය හැකි ය. බුද්ධත්වය ලැබීමට පෙර ඒ ඒ ආචාර්යවරුන් යටතේ මේ ධ්‍යාන පුරුදු කළ ගෞතමයන් වහන්සේ ඉතා උසස් යෝගී තත්වවලට පැමිණියහ. එහෙත් සම්පූර්ණ මුක්තිය, පරම තථය එමඟින් ප්‍රතිවේධ කළ නො හැකි හෙයින් එය උන්වහන්සේගේ තෘප්තියට හේතු නො වීය. මේ ධ්‍යාන වනාහි මේ ජීවිතයේ සුව සේ විසීමක් (දිට්ඨ ධම්ම සුඛ විහාර), සැනසිල්ලේ විසීමක් (සන්ත විහාර) මිස ඊට වඩා උසස් දෙයක් නොවන බව උන්වහන්සේ වදාළහ.

එහෙයින් උන්වහන්සේ විපස්සනා නමැති අනික් භාවනා ක්‍රමය සොයා ගත්හ. විපස්සනාව නම් සිත පිළිබඳ සම්පූර්ණ නිදහස ලැබීමටත්, පරම තථය හෙවත් නිර්වාණය අවබෝධ කර ගැනීමටත් ඉවහල් වන ප්‍රතිවේධය යි. මෙය සහමුලින් ම බෞද්ධ භාවනාවකි. මේ වනාහි සිහියත්, අප්‍රමාදයත්, නිරීක්ෂණයත් මුල් කොට ඇති විශ්ලේෂණ ක්‍රමයකි.

භාවනාව ගැන බුදුන් වහන්සේ කළ දේශනා අතුරින් ඉතා ම වැදගත් වනුයේ සතිපට්ඨාන සූත්‍රය යි. බොහෝ විට කෙනකු මිය යන්නට ළං වන විට භික්ෂූන් වහන්සේ ඇඳ ළඟ වැඩ හිඳ ඔහුගේ අන්තිම සිතිවිලි පිරිසිදු කරවාලීම සඳහා මේ සූත්‍රය කියවති.

මේ සූත්‍රයට ඇතුළත් භාවනා ක්‍රම ජීවිතයෙන් බැහැර නො වේ. ජීවිතය මඟ හැරීමක් ද එහි නැත. ඒ භාවනා ක්‍රම සියල්ල ම අපේ ජීවිතයට සම්බන්ධ ය. අප දිනපතා කරන පොදු වැඩවලටත්, අපේ සොම්නස් දොම්නස්වලටත්, වචනවලටත්, සිතිවිලිවලටත් ධාර්මික හා බුද්ධිමය කාර්යයවලටත් සම්බන්ධ ය.

මේ සූත්‍රය කොටස් හතරකට බෙදා තිබේ. ඒ කය (කාය) ද, විඳීම (වේදනා) ද, සිත (චිත්ත) ද, ධාර්මික හා බුද්ධිමය විෂය (ධම්ම) ද ඇතුළත් ය.

මෙයින් කවර භාවනා ක්‍රමයක් තෝරා ගත්තත් සිහියත්, අවධානය හා නිරීක්ෂණයත් අතිශයින් ම අවශ්‍ය බව මෙහිලා සිත තබාගත යුතු ය.

කය මුල් කොට ඇති භාවනා ක්‍රම අතරින් ඉතා ප්‍රකට, ජනපි‍්‍රය, ප්‍රායෝගික එකක් නම් ආශ්වාස පිළිබඳ සිහිය (ආනාපානසතිය) යි. එක්තරා අමුතු ඉරියව්වක් නියම කර ඇත්තේ මේ භාවනාව සඳහා පමණකි. මේ සූත්‍රයේ දක්වන ලද සෙසු සියලු භාවනා අප කැමැති පරිද්දෙන් හිඳගෙන හෝ සිට ගෙන හෝ සක්මන් කරමින් හෝ හාන්සි වී හෝ වැඩිය හැකි ය. එහෙත් ආනාපානසතිය වැඩීමේ දී අප බද්ධපය්‍ය¡¡ංකයෙන් (එරමිණිය ගොතා) හිඳ, කය කෙලින් තබාගෙන, සිහි එළවා ගත යුතු බව මේ සූත්‍රයේ දැක්වෙයි. එහෙත් පලක් බැඳ හිඳීම සියලු රටවල මිනිසුන්ට පහසු නො වන බව පෙනේ. වෙසෙසින් ම මෙය බටහිර රටවල අයට අපහසු ය. එහෙයින් බද්ධප¸ංකයෙන් හිඳ ගන්නට අසමත් අය පුටුවක වාඩි වී, කය කෙළින් තබාගෙන, සිහි එළවා ගත යුතු ය. කෙසේ වුව ද මේ භාවනාවෙහි යෙදෙන තැනැත්තා උඩු කය සෘජු කොට හිඳ ගැනීම අවශ්‍ය ය. එසේ හිඳ ගෙන දෙ අත් උකුලේ තබා ගත යුතු යි. මෙසේ හිඳගත් පසු, අපට පහසු පිළිවෙළට, ඇස් පියා ගත හැකි ය. නැතහොත් නාසයේ අගට ඇස් යොමු කළ හැකි ය. සිත එකඟ කිරීම සඳහා ඇස් පියා ගැනීම වඩා ප්‍රයෝජනවත් ය.

අපි රෑ දවල් දෙකේ ම නො කඩවා ආශ්වාස, ප්‍රාශ්වාස කරමු. එහෙත් ඒ ගැන මොහොතකුදු සිත යොමු කිරීමක් නම් නැත. මේ භාවනාවේ දී අප කරන්නේ එයට සිත යොමු කිරීම ය. යත්නයක් හෝ මහන්සියක් නො දරා, පුරුදු පිළිවෙළට පහසු ලෙස ආශ්වාස, ප්‍රශ්වාස කරනු. දැන් ඒ ආශ්වාස, ප්‍රශ්වාසයට සිත එකඟ කර ගනු. ආශ්වාස, ප්‍රශ්වාසය දෙස බලා සිටින්නට සිත මෙහෙයවනු. හුස්ම ඇතුළු වන, පිට වන තැන, නාසයේ අග, සිහිය පිහිටුවා සිත එකඟ කරනු. අප ගන්නා හුස්ම ඇතැම් විටෙක දික් වෙයි. ඇතැම් විටක කෙටි වෙයි. එහි ඇති වරදක් නැත. එහෙත් අප ගන්නා හුස්ම ම දික් නම් ඒ දික් යැයි ද, කෙටි නම් කෙටි යැයි ද දැන ගත යුතු ය. මෙහි දී අප සිත ආශ්වාස, ප්‍රශ්වාස කෙරෙහි කො තරම් දුර යොමු කළ යුතු ද යත්, එය ඇතුළු වන සැටිත්, පිට වන සැටිත් වෙනස් වන සැටිත් දැන ගත යුතු ය.

වටපිටාවේ, පරිසරයේ හැම දෙයක් අමතක කරනු. ඇස් යොමු කිසිවක් දෙස නො බලනු. මිනිත්තු දහයක් හෝ පහළොවක් මෙසේ කිරීමට උත්සාහ දරනු.

ආශ්වාස, ප්‍රශ්වාසයට සිත එකඟ කර ගැනීම ඉතා අමාරු යැයි මුල දී සිතෙන්නට පුළුවන. මෙහි දී සිත පැන දුවන සැටි අපේ විස්මයට හේතු වෙයි. එය එකතැන රැඳී නො සිටී. අපි නොයෙක් දේ ගැන සිතන්නට පටන් ගනිමු. පිටින් ශබ්ද අපට ඇසේ. අපේ සිත අවුල් ය. කලබල සහිත ය. මෙහිදී අධෛය¸යක්, එපාකමක් ඇති වියහැකි ය. එහෙත් දිනපතා දෙවරක්, උදේ සවස, වරකට මිනිත්තු දහයක් හෝ පහළොවක් හෝ බැඟින් නො කඩවා මෙය පුරුදු කළහොත් ආශ්වාස, ප්‍රශ්වාසයට ටිකින් ටික පිළිවෙළින් සිත එකඟ කර ගන්නට අපි සමත් වෙමු. මෙසේ කලක් පුරුදු කරන විට ආශ්වාස, ප්‍රශ්වාසයට මුළුමනින් ම සිත යොමු වූ, එකඟ වූ සියුම් ඇසිල්ලක් ඇති වෙයි. බාහිර ශබ්දයක් පවා මේ මොහොතේ දී අපට ඇසෙන්නේ නැත. බාහිර ලෝකයක් අපට නැත. මේ වූ කලි සිත මුළුමනින් ම ආශ්වාස, ප්‍රශ්වාසයෙහි රැඳුණු මොහොතකි. මේ ස්වල්ප මොහොතකි. මේ ස්වල්ප මොහොත කෙබඳු පී‍්‍රතියකින් හා සැනසිල්ලකින් පිරි මාහැඟි අත්දැකීමක් ද යත් අපි එය රඳවා ගන්නට කැමැත්තෙමු. එහෙත් එසේ රඳවා ගැනීමට අසමත් වෙමු. එසේ වුවත් භාවනාව නො කඩවා පුරුදු කර ගෙන යන විට, අර අත්දැකීම නැවත නැවත ද, වැඩි කලකට ද විඳ ගත හැකි වෙයි.

ඉතා සරල, ඉතා පහසු භාවනාවලින් එකක් වන මේ ආනාපානසතිය වනාහි උසස් ධ්‍යානවලට හේතු වන ඒකාග්‍රතාව දියුණු කිරීම අරමුණු කර ඇත්තේ ය. යථාතත්වාබෝධය, නිර්වාණාවබෝධය ඇතුළු කෙබඳු ගැඹුරු අවබෝධයකට වුවත් මේ ඒකාග්‍රතාව අවශ්‍යම ය.

මේ හැර ආනාපානසතියෙන් වහා ම ලැබිය හැකි ප්‍රතිඵල ද වෙයි. එය අපේ සෞඛ්‍යයට ද, විශ්‍රාමයට ද, හොඳ නින්දට ද, දවසේ වැඩ හොඳින් කිරීමට ද ඉවහල් වෙයි. එයින් සිතට සාමයත්, සැනසිල්ලත් ලැබේ. සිත කැළඹී තිබෙන විටෙක මිනිත්තු දෙක තුනක් මෙය වැඩුවොත් ඒ කැළඹීම වහා ම සංසිඳෙන බව අත් දකින්නට පුළුවන. එවිට හොඳ විවේකයකින් නැඟී සිටියාක් මෙන් දැනේ.