තම තම නැණ පමණ
බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නා හිමි
ලෝකය පාසලක් බඳු ය. මානසික දියුණුවේ ප්‍රමාණය අනුව නා නා තරාතිරමේ මිනිස්සු එහි
වෙති. ආගම් අතින් සලකා බැලුවොත් කවර ආගමකට අයත් පිරිසෙක වුව ද මේ විවිධතාව දක්නට
ලැබේ.
බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශාස්තෘවරයාණන් කොට පිළිගත් බෞද්ධ ජනතාවෙහි ද ආධ්‍යාත්මික
පක්ෂයෙන් නොයෙක් මට්ටමෙහි වූවෝ දක්නා ලැබෙත්. සමහර කෙනෙක් ධනවත් වෙති. නැතහොත් රජයේ
ඉහළ තනතුරු දරන්නෝ වෙති. එහෙත් සමහරු ආගමික දැනුමෙන් පාසලෙක බාලාංශයේ දරුවෝ බඳුහ.
දිළිඳු වුව ද ඇතැම් කෙනෙක් ආධ්‍යාත්මික පක්ෂයෙන් යට කී ධනවතාට වඩා බොහෝ ධනවත් වෙති.
ධනයෙන්, බලයෙන්, තනතුරෙන් කෙනෙකුගේ ආධ්‍යාත්මික වර්ධනය කවර මට්ටමෙකැ දැයි දත නො
හැක්ක.
මෙසේ විමසන විට අද බෞද්ධයන් අතර පාසලෙක පහළ බාලාංශයේ සිසුවන් බඳු මානසික දියුණුවෙන්
ඉතාම බාල මට්ටමේ අය බොහෝ වෙති. ගැඹුරු බණ දහම් තේරුම් ගන්නට ද ඉහළ පිළිවෙත් පිරුමට
ද රිසියෙක් එවුන් තුළ පහළ නොවේ. ඒ ඉහළ පිළිවෙත්වල අගය තේරුම් ගන්නට තරම් ඔවුන්ගේ
නුවණ වැඩී නැත. මල් පූජා, පහන් පූජා, බෝධි පූජා, තවත් නානා විධ ආගමික පෙරහර බඳු
දැයට කුඩා දරුවන් පාඩම් පොතේ චිත්‍රයනට සෙයින් නැතහොත් කෙළි බඩුවලට සෙයින් ඔහු
නිතැතින් නැමෙති, ඇදෙති. එහෙත් එයට නිගා නොකළ යුතු. ඒ ඔවුන්ගේ සිත වැඩී ඇති මට්ටම
ය. ඒ තරමට වත් සිත නොවැඩුණු ප්‍රාණඝාතාදී පාපයට ම ඇලුණු ගැලුණු අයට වඩා ඔහු සිතින්
වැඩුණේ ය. එහෙත් ආත්ම ශූන්‍යතා ආදී ගැඹුරු දෑ තේරුම් ගන්නට ඔහු නො සමත් හ. ඒ පමණින්
ඔහු අත්හළ යුත්තෝ ද? නැත. ඔවුන්ගේ සිත දියුණු වී ඇති මට්ටමට සරිලන දහමක් ඔවුනට
ඉගැන්විය යුතු ය. ඔවුන්ගේ අභිරුචියට සරිලන ආගමික පිළිවෙතකට ඔවුන් හුරු කළ යුතු ය.
බුදුරජාණන් වහන්සේ පාරිලේය වනයේ වුසුයේ අන් තැනකට වඩින්නට බැරි කමෙකින් නොවේ. ඒ
වනෙහි වැසි ඇතකුටත්, වඳුරකුටත් තමන් වහන්සේ නිසා වන ශුභසිද්ධිය දුටු බැවිනි. ඔවුනට
ඒ තිරිසන් අත්බව්හිදී ධ්‍යානයක්, මාර්ග ඵලයක් ලද නො හැක්ක. එහෙත් බුදුරදුන් කෙරේ
ලබන පැහැදීමෙන් මතු සග සැප ලබත හැක්ක. ඒ බැවිනි.
පියාගේ මසුරුකමේ වරදින් කිසිමදාක ගුණදහමක් වඩන්නට මඟක් නොලත් මට්ටකුණ්ඩලි බමුණු
දරුවා මරණ මංචකයේ හෙවැ වුව ද තමන් වහන්සේ දැක ඇති කැරැගන්නා පැහැදීමෙන් මරණින් මතු
සග සැප ලබනු දුටු භාග්‍යවතුන් වහන්සේ ඒ අවසන් මොහොතෙහි ඔහුට පෙනෙන තෙක් මානයට වැඩි
සේක.
දවසෙක භාග්‍යවතුන් වහන්සේ සමඟ පිඬු පිණිස රජගහ නුවරට වැඩි සැරියුත් මහ තෙරණුවෝ පාර
අද්දර සිටී. කිසි ගුණ දහමක් නො වැඩූ, මරණයට ළං වූ මැහැල්ලක දැක, ඇය සුගතිගාමී කරනු
වස්, ඇය අමතා
“මෙ භාග්‍යවතුන් වහන්සේ වඳින්න. මුන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගන්නැ”යි වදාරා
බුදුරදුන් වඳිනුවට ඇය මෙහෙයූහ. කල් නොයාදී මළ ඕ සග සැප ලදුවා ය.
මෙසේ ඉහළ ගුණදහමක් වඩන්නට තරම් සිතින් නො වැඩුණු අය තුළ තෙරුවන් කෙරෙහි ප්‍රසාද
මාත්‍රයක් වත් ඇති කළ හැකි නම් එය ඔවුනට කරන මෙහෙයකි.
වරෙක බුදුරජාණන් වහන්සේ පිටිසර ගමකට වැඩි සේක. ගම් වැස්සෝ උන්වහන්සේ වටා රැස් වූහ.
ගරු බුහුමන් දක්වා “ස්වාමීනි, අපි ගොවිතැන් ආදී රැකියා කරමින්, අඹු දරුවන් රක්නා
ගැමියෝ ය. අපට ධ්‍යාන විදර්ශනා ආදී උසස් පිළිවෙත් පුරන්නට පුළුවන්කමක් නැත. අපට ඕනෑ
කරන්නේ මෙලොව ඉන්නා තාක් සැප පහසුවෙන්, සාමයෙන් ජීවත් වන්නටත්, මරණින් මතු සුගතියෙක
උපදින්නටත් පමණ ය. එයට මාර්ගය අපට වදාළ මැනැවැ”යි කීහ.
බුදුරජුහු ඔවුන්ගේ මානසික තත්ත්වය දුටුහ. ඔවුන් ඕනෑ කළ පරිදි දෙලෝ සැප ලබන මඟ
වදාළහ.
උජ්ජය නම් මිසදිටු බමුණෙක් බුදු රජුන් වෙත අවුත් දිළිඳු වූ තමා ධනය සැපයීමට ඈතකට යන
බව කියා රැකියාවෙන් දියුණු වන මඟ විචාළේ ය. බුදුරජුහු ඔහුට රැකියා සඵල කැරැ ගත හැකි
මඟ වදාළහ. ඔහු නුවණ වඩා ගත හැක්කකු බව දැක ලෝකෝත්තර ධනය ලබන මඟ ද වදාළහ. වයසින් සත්
හැවිරිදි වුව ද උපතින් ම ගැඹුරු නුවණක් ලැබ සිටි විශාඛාවට එවේලේ ම නුවණ මුහුකුරුවා
නිවන් දක්නට (සෝවාන් වීමට) හැකි වන ලෙසට දහමක් දෙසූහ.
මෙසේ බුදුරජුන්ගේ දෙසුම් මඟ චරිතානුකූලව ය. අසන්නන්ගේ මානසික දියුණුවේ මට්ට ට සරිලන
සේ ය. අද වුව ද එය එසේ ම විය යුතු ය.
සමහර බුදුනුවෝ ගැඹුරු දහම් නො දන්නෝ ය. එය තේරුම් ගන්නට තරම් ගුණ නුවණින් නො වැඩුණෝ
ය. එවැන්නෝ බෙහෙවින් බෝධි පූජා බඳු පූජා පෙරහරෙහි ළැදියෝ ය. එයට නිගා නො කොට
ඔවුන්ගේ අභිරුචිය පරිදි අනුශාසක පක්ෂය ඔවුනට සහයෝගය දිය යුතු ය. ආරම්භයේ දී පූජා
විධියට නතු වුව ද එය මඟින් ස්වල්ප වශයෙන් නුමුදු, සැදැහැ වැඩීමෙන් මඳ කලෙක දී
පන්සිල් රක්නට ද, තව කලෙක දී අට සිල් රක්නට ද, බණ දහම් අසන්නට ද, අන්තිමේ දී භාවනා
වඩන්නට ද ඔවුන් නැඹුරු වනු ඇත. එහෙත් හැමදාම ඒ සැදැහැවතුන් පූජා විධියෙහි ම රඳවා
එයින් ඉහළ ගුණ දහම් වැඩීමෙහි ඔවුන් නො මෙහෙයතොත් එය ඔවුනට කැරෙන හානියෙකි.
සමහරු ආමිස පූජාවලට උනන්දුවෙක් නැත. එවැන්නනට වක්කලී තෙරුනට බුදුරජුන් වදාළ පරිදි
ධම්මාරාම තෙරුන් ඇරැබැ වදාළ පරිදි සමථ විදර්ශනා භාවනාහි උත්සුක බව ඇති කළ යුතු.
අභිධර්මය තරමක් දුර හදාළ සමහර කෙනකු ඇතැම් ධර්ම දේශකයන් ජාතක කථාදී කිසිවක් කියනු
විනා ගැඹුරු බණ අතෙ කිසිත් නො වදාරති යි කියනු ඇසුමු. ඒ භවතුන් එයින් හෙළා දකිනු යේ
ඒ ධර්ම දේශකයනට ම නො වේ. බුදු රදුන්ටත් ය. ජාතක කථා වදාළේත්, බුදුරජුන් ම බැවිනි.
දම් දෙසුම එය අසන්නන්ගේ සැටිය අනුමානයෙන් හෝ සලකා බලා කළ යුතු ය. සැදැහැවතුන්
පිළිවෙත් පිරීමෙහි මෙහෙයීම ද, ආධ්‍යාත්මික පක්ෂයෙන් ඔවුන් කවර පමණකට වැඩී ඇත් දැයි
සලකා බලා ම කළ යුතු ය.
සිසුවා හැමදා ම බාලාංශයේ රැඳවිය යුතු නැත. එසේ කළොත් ඔහුගේ දියුණුවෙක් නැත.
පන්තියෙන් පන්තියට උත්තීර්ණ වන ලෙසට ඉගැන්වීම කළ යුතු ය. පන්ති පිළිවෙළින් දැනුම
නංවා ඉහළ ම පන්තිය නැංග පසු එයට සරිලන ඉගැන්වීම කළ යුතු ය. බුදුනුවන් ගුණ දහම්
මඟින් නැංවීම ද පාසලෙක පන්තිට අනුව සිසුවන් නංවන්නා සේ අනුශාසක පක්ෂය විසින් කළ
යුතුය. ගැඹුරු ධර්ම මාතෘකාවක් විස්තර කරනුවට වඩා අද බුදුනුවන්ගේ තත්ත්වය අනුව
හැඟුණු බැවින්, මේ ලිහිල් වෙසක් පණිවුඩය බැතිමතුන් අතට පැමිණ වූ බව සැල කරමු. |